2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

කෑමටත් උසාවියක්!

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 64

ආහාරවලට වස විස එක්වීම පිළිබඳ ඇතිවූ සමාජ කතිකාව තරමක් පසුගාමී වෙමින් ඇති බව පෙනී යයි. එසේ නමුත් වස විස සහිත ප්‍රමිතියෙන් තොර කෘත්‍රිම ආහාර ද්‍රව්‍ය හේතුවෙන් මෙරට ජනතාවට සිදුවන සෞඛ්‍ය හානියේ අඩුවීමක් නොමැත. පසුගිය දිනවල පිළිකා කාරක සහිත පොල්තෙල් සම්බන්ධව ඇතිවූ තත්ත්වය මත ප්‍රසිද්ධියට පත්වුවද වස විස සහිත ආහාර පිළිබඳ කතිකාව කලක් තිස්සේ මෙරට තුළ පැවතියේය. ශ්‍රී ලාංකිකයන් මෙම ව්‍යසනයෙන් බේරාගැනීමට එදා පටන් වෙහෙසුණු පුරෝගාමී චරිතයක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සමඟ අපි සංවාදයකට එළඹුණෙමු. එහි නිමිත්ත වූයේ මෙම වස විස සහිත ආහාරවලින් ජනතාව බේරාගැනීමට ඔවුන් රජය වෙත ඉදිරිපත් කරන සුවිශේෂී යෝජනාවලියයි.

මෙම යෝජනාවලිය ප්‍රධාන යෝජනා හතරකින් සමන්විත වේ. අපි ඒ සම්බන්ධව එකින් එක විමසා බැලීමට සූදානම් වීමු.  ඒ අනුව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පළමුවෙන්ම අප වෙත පහදා දෙන්නේ මෙලෙස යෝජනාවලියක් ගෙන ඒමට හේතු වූ කරුණු කාරණාය.

“ජනතාවට විස සහිත ආහාර කැවෙන එක පිළිබඳ අපි අවුරුදු 14ක් 15ක් තිස්සේ සටන් කරනවා. නමුත් ප්‍රශ්නය විසඳිලා නෑ. අප  ඊට හේතු පැහැදිලි කරගන්න ඕනෑ. පළමුවැනි කාරණාව කවුරු හරි ආහාරවලට විස එකතු කළාම අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය ගිහිල්ලා ඒක ඔප්පු කරන්න ඕනෑ. සරලව කියනවා නම් නිත්‍යනුකූල නියාමනයේ දී ඔප්පු කරන්නම අවශ්‍යයි, මේ දාලා තියෙන ද්‍රව්‍ය අතර විස තියෙනවා කියලා. ඒක සරල නෑ. ඒකට ලොකු තාක්ෂණයක් විශාල විද්‍යාගාර අවශ්‍යයි. අනික් පැත්තෙන් මේකට හැප්පෙන්නේ බිලියන ගණනින් මුදල් උපයන කූඨ සමාගම්. නීති තර්ක ආදිය එක්ක මේ වැඩේ සරල නෑ. ඔවුන් ගොඩක් බලවත්."

සෞඛ්‍ය අමාත්‍යාංශය නීති සහාය ගෙන විස සහිත ආහාර ද්‍රව්‍ය පිළිබඳ අධිකරණයට ඔප්පු කර ඒවා නියාමනයට පියවර ගැනීම සංකීර්ණ ක්‍රියාවලියකි. සමස්ත පද්ධතියේ පවතින අඩුපාඩුත් නීති තර්ක ආදියත් නිසා බිලියන ගණනින් ලාභ උපයන මෙම සමාගම් නීතියෙන් පවා රිංගා යයි. විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු පිරිස අප පෙර කී යෝජනා රජය වෙත ඉදිරිපත් කරන්නේ මෙම තත්ත්වය වළක්වා ගැනීමේ අරමුණිනි. ඒ මහතා එම යෝජනා පිළිබඳ මෙසේ පහදයි.
“අපි යෝජනා හතරක් ඉදිරිපත් කරනවා. පළවෙනි එක ආහාරයක් වෙළෙඳපොළට දානවා නම් ආහාර පිළිබඳ ප්‍රොෆයිල් එකක් අවශ්‍යයි. ඒ ආහාර වැව්වේ කොහෙද, එහිදී ඒකට මොනවාද ගැහුවේ, ආහාර නිෂ්පාදනය කළේ කොහෙද, ඒ ක්‍රියාවලියේ දී ආහාරවලට එකතු කළේ මොනවාද වගේ සම්පූර්ණ විස්තර සහිත ප්‍රොෆයිල් එකක් මෙතැන දී ලබා දිය යුතු වෙනවා. උදාහරණක් විදිහට පොල්තෙල් නම් කලවම් කළාද නැද්ද කියලා අපිට පැහැදිලිවම දැනගන්න පුළුවන්. ඒ අනුව අපි මේ යෝජනා හරහා කියා සිටිනවා ආහාර වෙළෙඳපොළට එකතු කරන පුද්ගලයන් එහි ප්‍රොෆයිල් එක ලබා දිය යුතුයි කියන තැනට අපේ රටේ නීතිය වෙනස් විය යුතුයි."

දෙවැනි යෝජනාව ඉදිරිපත් වන්නේ ප්‍රායෝගික තලයේ අප පසුගිය දිනවල දුටු ගැටලුවක් සම්බන්ධයෙනි. පාදෙණිය මහතා පහදන පරිදි එක් අවස්ථාවක යම් ආහාරයක් භාවිතයට නුසුදුසු බව සෞඛ්‍ය අමාත්‍ය කියා සිටියි. උදාහරණක් ලෙස එක් අවස්ථාවක සැමන් ටින් එකක පණුවන් දෙදෙනකු සිටින බව හෝ පොල්තෙල් කලවම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියි. එවන් අවස්ථාවක ප්‍රමිතිය, ආනයනය ඉදිරියට පැමිණ එක පණුවෙක් සිටීම ගැටලුවක් නොවන බව හෝ පොල්තෙල් කලවම් කිරීම ගැටලුවක් නොවන බව කියා සෞඛ්‍ය අමාත්‍යාංශය අතික්‍රමණය කරමින් ගැසට්ටුවක් ගසා ගනීයි.

“දෙවැනි යෝජනාව තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය අවසන් තීරකයා විය යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශය යමක් කියූ විට එය අභිබවා යෑමට ප්‍රමිති ආයතනයට හැකියාවක් තියෙන්න බෑ. මොකද ඒකට හේතුව සෞඛ්‍ය අමාත්‍යාංශය තමා මිනිස් ජීවිත ගැන බලන්නේ. ඔවුන් බලන්නේ නිෂ්පාදනයේ ප්‍රමිතිය. උදාහරණ විදිහට සපත්තුවක් ගත්තොත් ඒක ප්‍රමිතියට හදලා තියෙනවා වෙන්න පුළුවන්. නමුත් සපත්තුව දැම්මා යම් ඇලජික් එකක් එනවා නම් ඒක දකින්නේ අපි. ඒ නිසා අවසන් තීරකයා සෞඛ්‍ය අමාත්‍යාංශය විය යුතුයි."

තෙවැනි යෝජනාව ආහාර සම්බන්ධව නඩු විභාග කිරීමට වෙනම උසාවියක් නිර්මාණය කිරීමයි. මේ වන විටත් අධිකරණ පද්ධතිය යම් ක්ෂේත්‍රවල කාර්යක්ෂමතා වෙනුවෙන් වාණිජ උසාවි ආදිය ස්ථාපිත කර තිබේ.  “ආහාර සම්බන්ධව නඩු අහලා ඉවර වෙද්දී ඊට අදාළ සාම්පල නරක් වෙන්න බෑ. ඒ වගේම ප්‍රමාදය නිසා පාරිභෝගික ජීවිතවලට හානි වෙන්නත් බෑ. ඒ නිසාම තමයි ආහාර සඳහා උසාවියක් අපි ඉල්ලා සිටින්නේ." 
පාදෙණිය මහතාගේ මෙම පැහැදිලි කිරීමට අනුව මෙවන් නඩු ප්‍රමාද වීමෙන් පාරිභෝගිකයන්ට මෙන්ම ව්‍යාපාරිකයන්ට ද හානි විය හැකි බව අපට පෙනී යයි. එම නිසාම ආහාර වැනි සංවේදී විෂය ක්ෂේත්‍රයක යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම වීම සහ කඩිනම් වීම ඉතා වැදගත්ය. 

“හතරවැනි කරුණ විදිහට අපි කියා සිටියේ මේ අයහපත් ආහාර ද්‍රව්‍ය මේ විදිහට වෙළෙඳපොළට එන්නේ රජයේ නිලධාරීන් සහ ආයතනවල නිලධාරීන් ඊට උදව් කරන  නිසා. එම නිසාවෙන් රජයේ නිලධාරීන්ට මෙවැනි සමාගම් සමඟ සම්බන්ධතාවක් සේවයේ යෙදී සිටියදී හෝ සේවයෙන් විශ්‍රාම ගෙන වසර පහක් යන තුරු සම්බන්ධතා පැවැත්වුවහොත් ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය නීති සකසන්න කියලා අපි ඉල්ලා සිටියා. ඒ වගේම දැනට පවතින නීති දැඩිව ක්‍රියාත්මක කරන්න කියලත් මේ හරහා අපි යෝජනා කරනවා."

නීතිය සම්බන්ධව ඇතිවන සංවාදයේ වැදගත්කම මේ හරහා තවදුරටත් අවධාරණය වෙයි. මෙය යෝජනා හරහා විසඳා ගැනීමට උත්සාහ කරන්නේ දැනට උගතෝකෝටියක් බවට පත්ව ඇති පද්ධතියේ ගැටලු රැසකි. පාදෙණිය මහතා අවසන් අදියරේ දී සමස්තය පිළිබඳ කෙටි අදහසක් මතු කරයි.

“නීති ප්‍රමාණවත් නැති එක මේකට බලපාන එක කරුණක්. අනික් එක නීතිය ක්‍රියාත්මක වන ආකාරය. කවුරු හරි ආහාරයක් වෙළෙඳපොළට දැම්මාට පස්සේ ඒ ආහාරයේ වස විස තියෙනවාද කියලා ඔප්පු කරන්න ඕනෑ ඒක කන ජනතාව. ඒක වැරදි දාන කෙනා තමා ඔප්පු කරන්න ඕනෑ. එතකොට එතැනට මූලධර්මයක් අවශ්‍යයි. අනික් කාරණාව මේ නීති ක්‍රියාත්මක වීමේදී පනත් අතිපිහිට වෙනවා එකට එකක්. එතකොට නීතිය දන්න කට්ටිය එකක්. බේරෙන්න බැරි නම් වෙන එකකින් බේරෙනවා. එතැන දී උසාවියත් වික්ෂිප්තභාවයට පත්වෙනවා කොයි එකටද අපි පෙනී සිටින්නේ කියලා. අනික් කාරණාව නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් අනික් පැත්තට සහාය දීම. එතැනදී මහජනතාවට සෙතත් සැලසෙන්නේ නෑ."
මෙම යෝජනා මෙලෙස ඉදිරිපත් වන්නේ මෙවන් වපසරියකක් තුළ බව අවබෝධ කරගත යුතුමය. විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට අනුව මෙම යෝජනා වඩාත් පුළුල් ලෙස සාකච්ඡා කර වාර්තාවක් සකසා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සිදුවෙයි. එසේම මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහයෝගය ලබාගැනීම උදෙසා සෞඛ්‍ය අමාත්‍යවරිය, අධිකරණ අමාත්‍යවරයා, වෙළෙඳ අමාත්‍යවරයා ඇතුළු පාර්ශ්ව රැසක් සමඟ සාකච්ඡා ද පැවැත්වෙනු ඇත. ඒ අනුව මැයි මස පළමු සතිය වන විට මෙම යෝජනාවලියට අදාළ පාර්ශ්ව දක්වන ප්‍රතිචාර අපට දැකගැනීමට ඉඩ ලැබේ.

 චමිඳු නිසල් ද සිල්වා 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03