දශක කිහිපයකට කලින් රතු පැහැ අකුරින් ලියන ලද සටහනක් සහිත වාහන විශේෂයක් මෙරට මහා මාර්ගවල ධාවනය විය. ඒවායේ සඳහන් වූයේ වමෙන් ධාවනය වන බවය. රියැදුරු අසුන දකුණු පැත්තේ පිහිටි වාහනවලට අමතරව ගෙන්වන ලද මෙම වාහනවලින් අනතුරු විය හැකි බැවින් මෝටර් රථ වාහන රෙගුලාසි අනුව එම වගන්තිය ප‍්‍රසිද්ධ කළයුතු විය. වර්තමානයේ එවැනි වමෙන් පදවන වාහන මෙරට භාවිතා නොවේ. නමුත් අනාගතයේදී රියැදුරන් රහිත වාහනයකි යනුවෙන් සඳහන් වූ රථවාහන මෙරට මහා මාර්ගවල ධාවනය කෙරෙන්නට ඉඩ තිබේ. පළමු වතාවට චීනය රියැදුරකු නැති වාහන ධාවනය කරයි. එහෙත් ශ‍්‍රී ලංකාවේ එවැනි වටපිටාවක් ඇති කිරීම සඳහා විශාල පරිවර්තනයක් අවශ්‍යය. වැඩිදියුණු කිරීම් අවශ්‍යය. මාර්ග පද්ධතියේ විශාල වෙනස්කම් සිදුවිය යුතුව තිබේ. පස්වැනි පරම්පරාවේ රැහැන් රහිත සන්නිවේදන අවශ්‍යතා සපුරාලීම ඉතාම වැදගත්ය.
රියැදුරකු නැති සම්පූර්ණයෙන් ස්වයංක‍්‍රීය ධාවනය වන වාහන ලෝකයේ නොයෙක් රටවල අත්හදා බලා තිබුණි. ඇමෙරිකාව හා ජපානයෙන් එවැනි තොරතුරු වාර්තා විය. පසුගිය වසරේදී ඔලිම්පික් උළෙල ජපානයේදී පැවැත්විය හැකිව තිබුණා නම් රියැදුරන් රහිත වාහනවලින් ක‍්‍රීඩකයන් තරග පැවැත්වෙන තැන් කරා ප‍්‍රවාහනය කරන සැලැස්මක් ජපානය සංවිධානය කරන ලද බව ප‍්‍රකාශ වෙයි. ඇමෙරිකාවද ප‍්‍රධාන නගර අතර අත්හදා බැලීමක් සාර්ථකව කළේය. ගූගල් සමාගමට අයත් වයමෝ නමැති ව්‍යාපාරයක් රියැදුරන් රහිත වාහන වෙනුවෙන් අත්හදා බැලීම් කළ අතර යුරෝපා රටවල් පවා එවැනි පියවරකට ආයෝජනය කර තිබුණ බව වාර්තා පළ කරයි.
කෙසේ නමුත් චීනයෙන් ලැබෙන අලුත්ම තොරතුරු අනුව සෙන්ෂෙන් නගරයේ සම්පූර්ණයෙන්ම රියැදුරකුගේ සහාය නැති වාහන විසි පහක් ධාවනය කෙරේ. අර්ධ ස්වයංක්‍රීය හෝ හදිසි අවස්ථාවක තීරණ ගැනීම සඳහා රියැදුරකු සිටින ටැක්සි සියයක් චීනයේ ප‍්‍රධාන නගරවල සේවයට යොදවන්නට සූදානම්ය. අලිබාබා ව්‍යාපාරයට අනුබද්ධ ඔටෝ එක්ස් නමැති සමාගමක් පසුගියදා ඔවුන්ගේ සැලැස්ම මාධ්‍ය හමුවේ තැබීය. එම සැලැස්මට අනුව පසුගිය මාස හය තුළ චීනයේ ප‍්‍රධාන නගරවල මෙම වාහන සාර්ථකව අත්හදා බලා තිබේ. නමුත් තවමත් මෙම රියැදුරන් රහිත වාහන සාමාන්‍ය ජනතාවට විවෘත කර නැත. එම සේවාව වාහන නිෂ්පාදකයන්, වාහන අලෙවි සමාගම් සහ මාධ්‍යවලට පමණක් සීමාකර තිබේ. කිසියම් අවස්ථාවක වරදක් සිදුවුවහොත් සාමාන්‍ය ජනතාවට විය හැකි අනතුර ගැන තවමත් සැලකිල්ල යොමු කරන බව දැක්වෙයි.
කොරෝනා වසංගතය පවතින මෙම වකවානුවේ පුද්ගල සමාජ ආශ‍්‍රය රහිතව ගමන් බිමන් යන්නට මෙම වාහන අතිශය ප‍්‍රයෝජනවත් වනු ඇතැයි සැලකේ. දැනට සෙන්ෂෙන්හි ධාවනය වන අත්හදා බැලීමේ සංචාර ලෝකයේ ප‍්‍රධාන නගර දහයකට ව්‍යාප්ත කරන්නට නිෂ්පාදකයෝ සූදානම්ව සිටිති. ඉදිරි මාස හය තුළ අග්නිදිග ආසියාවේ ප‍්‍රධාන නගරවලට අවධානය යොමුකරනු ඇති බව දැක්වෙයි. පළමුවෙන් මෙම අත්දැකීම ලබන මගීන්ට එයින් තැති ගැන්මක් ඇතිවිය හැකි නමුත් පෞද්ගලිකත්වය ගැන කල්පනා කරන මගීන්ට මෙයින් මහත් සේවාවක් අනාගතයේදී සැපයෙනු ඇත. අනෙක අවිනීත රියැදුරන්ගෙන් සිදුවන වැරදි හේතුවෙන් ඇතිවන විපත් අවම මටට්මකට පත්වෙයි. එය විශාල වාසියක් බව දැක්වෙයි. වාහනවල පවතින ඉහළම තාක්ෂණික පද්ධති වටපිටාවේ සියලුම දත්ත හුවමාරු කරගෙන ඉතාම පරීක්ෂාකාරී ස්වයං ධාවනයක් සිදුකරනු ඇත.
රියැදුරන් රහිත වාහන ධාවනය ගැන පර් ෙය්ෂණ 1920 ගණන් තරම් ඉතිහාසයේ සිට සිදුවී තිබේ. 1977 දී ජපාන සමාගමක් ඇනලොග් වර්ගයේ පරිගණකයකට සවිකරන ලද කැමරා දෙකක් භාවිතා කර විශේෂයෙන් සකස් කරන ලද මාර්ගයක දී වාහන ධාවනය රියැදුරකු රහිතව කළ හැකි බව සාර්ථකව අත්හදා බලා ඇත. එයින් ලැබී ඇති අත්දැකීම් සෑහෙන ප‍්‍රයෝජනවත් වී තිබේ. ඇමෙරිකානු විශ්වවිද්‍යාල කිහිපයක් විශේෂයෙන් එරට ආරක්ෂක ඇකඩමියද සම්බන්ධ කරගෙන යම් යම් සොයාබැලීම් කර ඇති අතර ඒවා ඉතිහාස ගතවන සිද්ධි බවට පත්ව ඇත.
චීනයේ ඔටෝඑක්ස් සමාගම දක්වන පරිදි රියැදුරන් රහිත වාහන ප‍්‍රසිද්ධ මාර්ගවල ධාවනයට අවශ්‍ය නීති තවමත් අනුමත කර නැත. එහෙත් එරට කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය එය දිරිගන්වන බව දැක්වෙයි. සමහර ප‍්‍රදේශවල මාර්ග භාවිතා කර පරීක්ෂණ ධාවන කරන්නට අවසර දී තිබේ. ඉතාම දියුණු කෘත්‍රිම බුද්ධිය සහිත පරිගණක පද්ධති සවිකරන ලද වාහන මෙම මාර්ගවල භාවිත කර සාර්ථක ප‍්‍රතිඵල ලබා ඇත. චීන පර් යේෂණ වාර්තා අනුව ඉදිරි පස් වසර තුළ එරට කෙරෙන වාහන අලෙවියෙන් සියයට පනහක පමණ ඉල්ලුමක් දක්වා ස්වයංක‍්‍රීය වාහනවලට නැඹුරුවන්නට බෙහෙවින් ඉඩ කඩ තිබේ. එය ඉතාම විප්ලවීය අවස්ථාවක් වනු ඇතැයි සැලකේ. මෝටර් රථ කර්මාන්තයේ නියැලි ප‍්‍රවීණයන් දක්වන පරිදි වසර සියයකට මෙපිට කර්මාන්තයේ සිදුවූ ඉහළම ගුණාත්මක පෙරළිය වශයෙන් රියැදුරන් රහිත වාහන ඉතිහාසයට එක්වනු ඇත
ඔටෝඑක්ස් ස්වයංක‍්‍රීය වාහන නිෂ්පාදනය හා භාවිතාව ගැන වාර්තා කරන චීන තොරතුරුවලට අනුව එරට පළාත් දහසයක් 2018 වසරේ සිට පරීක්ෂණ කටයුතු සඳහා රියැදුරන් රහිත වාහන භාවිත කරන අවසරය නිකුත් කර තිබේ. එය විශාල පිටිවහලක් බව දැක්වෙයි. චීනයෙන් ඇරඹී ඇති එහෙත් මුළු ලෝකයම උනන්දුවෙන් බලා සිටින ස්වයංක්‍රීයව ධාවනය වන මෝටර් රථ ශ‍්‍රී ලංකාවේ වීදි පුරා ඔබමොබ ගමන් කරන දිනය වැඩි ඈතක නොවනු ඇත. එහෙත් එයට ගැලපෙන පරිදි නිසි යටිතල පහසුකම් සැපයීම අවශ්‍යය.
මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට එවන්නේ නම් අගය කරමි.
►මිලින්ද මොරගොඩ