2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

දිනෙන් දින මියැදෙන කොරල්පර

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 258

වර්තමානයේදී කොවිඩ් වසංගතයත් සමඟ සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවක් තිබේ. එහෙත් සංචාරකයන් පැමිණීම සරුවට තිබූ කාලයේ මෙරට සංචාරය කරන්නට අප රටේ ඇති සුන්දර වෙරළ තීරය විශේෂ හේතුවක් විය. මුහුදෙන් වටවුණු කුඩා දූපතක් ලෙස ලොව පුරා සිටින සංචාරකයන් දැන සිටීමත්, මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් වැඩි කාලයක් මේ මුහුදු තීරයේ ගත කරන්නට කැමැත්ත දැක්වීමත් නිසා අප මුහුදු තීරයේ සුන්දරත්වය දෙස් විදෙස් සංචාරකයන්ගේ විශාල ආකර්ශනයක් බව දැනගත හැකිය.

මෙලෙස සංචාරකයන්ගේ ආකර්ශනය දිනාගත් තවත් සුන්දර අංගයක් වන්නේ කොරල් පවුරය. මීට වසර ගණනාවකට පෙර වෙරළ තීරයේ ඉතා සුන්දර කොරල්පර පද්ධතියක් තිබුණද විවිධ හේතු නිසාවෙන් ඒ කොරල්පර විනාශ වෙමින් පවතී.

කොරල්පර යනු සජීවී වූ පරයකි. මෙලෙස කොරල්පරයක් නිර්මාණය වන්නේ (බහුබාවන්) ලෙසින් හැඳින්වෙන කුඩා ජීවීන්ගේ එකතුවකිනි. එක කොරල්පරයක් හදන්නට එවැනි බහුබාවන් ලක්ෂ ගණනකගෙන් සැදුම්ලත් ජීවීන් පිරිසක් එකතු විය යුතුය.
කොරල්පර බහුලව දක්නට ලැබෙන්නේ මුහුදු පතුලේ සමකයේ සිට අංශක 30ක් උතුරටත්, අංශක 30ක් දකුණටත් පිහිටි ප්‍රදේශවලයි. ශ්‍රී ලංකාවේ බොහෝ කොරල්පර දක්නට ලැබෙන්නේ හික්කඩුව, මන්නාරම, පාසිකුඩා, ගාල්ල, යාපනය වැනි ප්‍රදේශවල ඇති මුහුදු තීරවලය. මෙය මුහුදේ වටිනාම සම්පතකි. මෙමගින් ධීවර කර්මාන්තයට හිතකර පරිසරයක් නිර්මාණය වන අතර මෙයින් වෙරළ ඛාදනය අවම කර ගැනීමටද හැකි වේ.

නමුත් මේ වන විට කොරල්පර විනාශ වෙමින් පවතී. මේ සඳහා විවිධ හේතු බලපා තිබේ. කොරල්පර මුහුදු පතුලේ සෑදීම සිදුවන්නේ ඒ සඳහාම විශේෂිත වූ උෂ්ණත්ව තත්ත්වයන් යටතේය. එම උෂ්ණත්ව තත්ත්වයන්හිදී සිදුවන යම් යම් ස්වභාවික හේතූන් මෙන්ම මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්ද එහි වර්ධනයට යම් බලපෑම් ඇති කරනු ලබයි. විශේෂයෙන් කොරල්පරවල දීප්තිමත් වර්ණය විනාශ වී යාමෙන් මෙම කොරල්පර සුදු පැහැති තත්ත්වයට පත්වෙයි.

“මම ලංකාවේ 2002 වසරේ සිට කිමිදුම් කරලා තියෙනවා. කල්පිටිය වැනි ප්‍රදේශවල උෂ්ණත්වය වැඩිවීම නිසා ලස්සනට තියෙන කොරල්පර සුදු පැහැති වී විනාශ වෙලා තියෙනවා. ගෝලීය උෂ්ණත්වය වැඩිවීම මෙයට ප්‍රධාන ලෙස බලපාලා තියෙනවා. ත්‍රිකුණාමල පැත්තේ කොරල්පර විනාශ වෙන්න ප්‍රධානම හේතුව වන්නේ ඩයනමයිට්වල බලපෑමයි. මේ වන විට මුහුදේ ජීවත් වන මසුන්ගේ අඩුවීමක්ද සිදුවී තිබෙනවා. කොරල්පර විනාශ වී යාමට මාළුදැල් හිරවීමත් තවත් හේතුවක් වෙනවා. මීගමුව වැනි ප්‍රදේශවල මුහුදේ එළන මාළුදැල් කොරල්පරවල පැටලීමෙන් ඒවා විනාශ වී යනවා.” යැයි මුහුදේ ගවේෂණාත්මක කිමිදුම්කරු දර්ශන ජයවර්ධන මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

එලන ලද මාළුදැල් ධීවර බෝට්ටුවක පැටලීමෙන් හෝ වෙනත් හේතුවක් නිසාවෙන් හසුවී ඉරී යාමෙන් බොහෝවිට කොරල්පරවල පැටලෙයි. මෙය කොරල්පර විනාශ වීමට ප්‍රධාන හේතුවකි. එමෙන්ම මුහුදට මිනිසුන් ඍජුවම එකතු කරන දෑ මෙන්ම ගංගාවලින් එකතු වන බෝතල් ආදිය ද කොරල්පර හා ගැටීම හේතුවෙන් කොරල්පර විනාශ වී යයි. 2004 වසරේදී සුනාමි රළ පහර කොරල්පරවල වැදීම හේතුවෙන් කොරල්පර විශාල ප්‍රමාණයක් විනාශ වූ බව කිමිදුම්කරුවෝ පවසති. ඩයනමයිට් යොදා සිදු කරන මසුන් ඇල්ලීම හේතුවෙන් විශාල කම්පනයක් මුහුදු පතුලේ හටගනී. එයින් කොරල්පර දෙදරා යාමෙන් ඉතා ඉක්මනින් විනාශ වී යයි. බෝට්ටුවල නැංගුරම් මුහුදු පතුලට බැස්සීමත්, බෝට්ටු කොරල්පරවල වැදීමත් නිසා කොරල්පර විනාශ වෙයි. 
මීට දශක කිහිපයකට පෙර ලංකාව වටේම ඇති මුහුදු තීරයේ ඉතා සරුසාර සුන්දර කොරල්පර පද්ධතියක් තිබුණා. නමුත් හුණු කර්මාන්තය නිසා බොහෝ ජීවී කොරල්පර විනාශ වුණා. මුහුදේ ඇතිවූ උෂ්ණත්ව තත්ත්වය නිසා තවත් කොරල්පර කොටසක් විනාශ වී ගියා. හික්කඩුව, පොල්හේන වැනි ප්‍රදේශවල කොරල්පර මේ තත්ත්වයෙන් විනාශ වුණා. මේ නිසා විනාශ වන කොරල්පර වෙනුවට අලුත් කොරල්පර හැදීමේ වේගය අඩුවෙලා ගිහින් තියෙනවා. ඒ වගේම පරිසර දූෂණය, මුහුදට ගංගාවලින්, කාණුවලින්, විවිධ හේතු නිසා එකතු වන විෂබීජනාශක නිසාත් කොරල්පර විනාශ වී යනවා. ඩයනමයිට් දැමීම, දේශගුණික තත්ත්වයන් නිසාත් මේ කොරල්පර විනාශ වී යනවා. යැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි පුෂ්පකුමාර මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03