කඹුරුගමුව මියනවිට ජල යෝජනා ක්‍රමය ලෝක බැංකුව ආධාර යටතේ සිදුකෙරෙන්නකි. මෙය ප්‍රදේශයේ පවුල් 1080කට අධික ප්‍රමාණයකට පානීය ජල පහසුකම් ලබාදීමේ අරමුණෙන් ආරම්භ කළ එකකි. ජාතික ජල සම්පාදන මණ්ඩලය යටතේ සිදුකෙරෙන ව්‍යාපෘතියට අයත් ජල මාපක 98ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති ලක්ෂ්මන් රාජකරුණා මහතා දැරණියගල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
පොදු දේපල පනත යටතේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සිදුකර ඇතැයි කියන සොරකම සම්බන්ධයෙන් වාර්තා වූ සිදුවීම සැකෙවින් මෙසේය.
දැරණියගල කඹුරුගම මියනවිට ප්‍රදේශයේ ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් ජල ව්‍යාපෘතිය අරඹා තරමක කාලයකි. පවුල් රුසකට ජල පහසුකම් ලබාදීමේ අරමුණෙන් ක්‍රියාත්මක එහි වැඩබිමට අයත් ගබඩාවේ අවශ්‍ය කරන උපාංග හා අමුද්‍රව්‍ය රැසකි. අදාළ ගබඩාවේ උපකරණ සම්බන්ධයෙන් තොග ගණන් ගැනීමේ අවස්ථාව සඳහා එම ව්‍යාපෘතියේ ඉංජිනේරුවරයා ඉකුත් මාර්තු අවසන් සතියේ අදාළ පරිශ්‍රයට ගොස් තිබිණ. එහිදී අනාවරණය වී ඇත්තේ ගබඩා කාමරයේ තිබූ ජල මාපක 477ක් සමඟ පේරුල්වැල් 540ක් අතුරුදන්ව ඇති බවය.
මෙය යම් අයකුගේ හෝ පිරිසකගේ සොරකමක් විය හැකි යැයි අනුමාන කළ ව්‍යාපෘතියේ ඉංජිනේරුවරයා දැරණියගල පොලීසිය වෙත ගොස් පැමිණිල්ලක් සටහන් කළේය. මෙම පැමිණිල්ල පොලීසිය වෙත ඉදිරිපත් කර තිබුණේ පසුගිය මාර්තු 30 වැනිදාය. ඒත් සමඟ ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් පිරිසක් සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කොට තිබිණි. එහිදී අතුරුදන්ව ඇති ජලමීටර් හා පේරුවෑල් තොගය සම්බන්ධයෙන් ප්‍රථමයෙන් ප්‍රශ්න කරන්නට වූයේ අදාළ ගබඩාවේ පාලකවරයාගෙනි. ඒත් සමඟ එහි සේවයේ නියුතුව සිටි රියැදුරකුගෙන් ප්‍රශ්න කර තිබුණේ ගබඩා පාලකවරයාගෙන් හෙළි කරගත් තොරතුරු අනුවය.
මෙම සැකකරුවන් දෙදෙනාගෙන් සිදු කළ මූලික ප්‍රශ්න කිරීමේදී හෙළිකරගෙන තිබුණේ ඔවුන් දෙදෙනා එක්ව ජලමීටර් හා තවත් උපංග කිහිපයක් සොරාගත් බවය. වැඩිදුරටත් අනාවරණය වූයේ අදාළ භාණ්ඩ වෙනත් පාර්ශ්වයක් වෙත අලෙවි කර මුදල් ලබාගත් බවය. ඒ අනුව දැරණියගල නගරයේ යකඩ බඩු එකතු කරන ස්ථාන දෙකක ව්‍යාපාරිකයන් දෙදෙනකු වෙත එම උපකරණ විකුණා තිබෙන බවට තොරතුරු හෙළි කරගෙන තිබුණි. ඒත් සමඟ සැකකාර වෙළෙඳුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සිදුකර තිබිණි.
එම වෙළෙඳුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම දෙදෙනා හෙළි කර ඇත්තේ අදාළ උපාංග කිරිබත්ගොඩ හා කොස්ගහකන්ද ප්‍රදේශවල පිහිටි සරණේරු නිෂ්පාදන ආයතනයක් වෙත විකුණා ඇති බවය. එහෙත් විකුණා ඇති භාණ්ඩ ප්‍රමාණය හා සොරාගෙන ඇති උපකරණ ප්‍රමාණය අතර පැවතියේ විශාල පරතරයකි. ඒ සම්බන්ධයෙන් හෝඩුවාවක් නොවුණු පසුබිමක දැරණියගල පොලීසියේ නිලධාරියකු වෙත ලැබුණු තොරතුරකි.
එම තොරතුර මගින් කියා තිබුණේ දැරණියගල ලස්සේගම ප්‍රදේශයේ නිවෙසක ජලමීටර් තොගයක් සඟවා තිබෙන බවය. වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් එම නිවාස වටලා සිදු කළ පරීක්ෂාවේදී එම නිවෙසේ සුරක්ෂිතව අසුරා තිබූ ජලමීටර් 98ක් සොයාගැනීමට හැකිවිය. මෙම භාණ්ඩ සඟවා තිබූ නිවෙසේ පදිංචිව සිටි කාන්තාවකගෙන් ප්‍රශ්න කිරීමටද පොලීසිය ක්‍රියා කර තිබුණි. එහිදී ඇය පවසා තිබුණේ අදාළ භාණ්ඩ සිය පුත්‍රයාට අයත් වන බවත් ඔහු දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති ලක්ෂ්මන් රාජකරුණා නැමැත්තා බවත්ය. නමුත් අදාළ භාණ්ඩ තොගය ඔහුගේ සහෝදරයාට අයත් නිවෙසේ සඟවා තිබූ බවද පොලීසිය අනාවරණය කරගෙන තිබිණි.
මේ අනුව සිදුවීම සම්බන්ධයෙන් පොදු දේපල පනත යටතේ දැරණියගල ප්‍රාදේශීය සභාවේ (එ.ජා.ප) සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා කළේය. ඒ පසුගිය 16 වැනිදාය. පසුදිනම සැකකරු අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරිණි. එහිදී අවිස්සාවේල්ල වැඩබලන මහේස්ත්‍රාත් බී.එස්. රත්නායක මහතා නියෝග කළේ සැකකරු 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය. 19 වැනිදා අවිස්සාවේල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක සමරසිංහ මහතා යළිත් සැකකරු මැයි මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත වීරසූරිය, කොට්ඨාස බාර පොලිස් අධිකාරී බුද්ධිකාරි බුද්ධික සමරපාල, සහකාර පොලිස් අධිකාරී (II) ශිරාන් පෙරේරා, දැරණියගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත අලහකෝන්, උප පොලිස් පරීක්ෂකවරුන් වන ජයතිස්ස, චන්ද්‍රසේන, පොලිස් සැරයන් (57066) නිශාන්ත යන නිලධාරීහු විමර්ශන සිදු කරති.
සමන්ත ප්‍රදීප් විල්තෙර