මැයි පළමුවැනිදාට යෙදෙන ලෝක කම්කරු දිනය උත්කර්ෂවත් ලෙස සැමරීම මෙරට දේශපාලන පක්ෂ කලක පටන් සම්ප්‍රදායක් කරගෙන සිටියි. එම සම්ප්‍රදාය ඇතැම් වර්ෂවලදී විවිධ හේතු නිසා බිඳවැටී තිබේ. එසේම මැයි පළමුවැනිදා රටක් ලෙස අප ඓතිහාසික ඛේදවාචකවලටත් මුහුණ දී තිබේ. එම නිසාම මැයි පළමුවැනිදා සම්බන්ධව සොඳුරු මෙන්ම රුදුරු මතක අද අපට ඇත. ඒවාද සිහි කරමින් මෙදා මැයි පළමුවැනිදාට යෙදෙන ලෝක කම්කරු දින සමරුවට සිදුවන්නේ කුමක්ද යන්න සොයා බැලීමට අපි තීරණය කළෙමු.
පවතින කොවිඩ් තත්ත්වය මත මැයි රැලි පෙළපාලි පැවැත්වීමට හැකිද යන්න පසුගිය සතියේ ප්‍රශ්නගත විය. ඒ අනුව දේශපාලන පක්ෂ නියෝජිතයන් සමඟ කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී බලධාරීහු රැස්වීමක් පැවැත්වීමට තීරණය කළහ. මෙම රැස්වීමෙන් පසු වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මැයි දින සැමරුම් නොපැවැත්වීමේ තීරණය නිල වශයෙන් ප්‍රකාශ කළේය. පසුව එය තහවුරු කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ, පක්ෂ නායකයන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව සියලු මැයි දින පෙළපාලි හා රුලි නොපැත්වීමට තීරණය කළ බවයි.
මෙය සාමූහික තීරණයක් බව පෙනෙන්නට තිබුණ ද ඊට දේශපාලන පක්ෂ කිහිපයක් එළිපිටම සිය විරෝධය ගොනු කරනු දක්නට ලැබුණි. විශේෂයෙන්ම මෙම විරෝධය ගොනුකිරීමේ ප්‍රමුඛයා වූයේ ජනතා විමුක්ති පෙරමුණයි. මැයි දිනය සඳහා සැමරුම් පැවැත්වීමට අදාළව ක්‍රීඩාපිටි පවා වෙන් කර තිබියදී මෙම තීරණය ගැනීමට එකඟ විය නොහැකි බවද එම පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මාධ්‍යයට කියා සිටියේය. සත්‍ය වශයෙන්ම ආණ්ඩුව මේ මොහොතේ සිදු කරමින් සිටින්නේ තමන් මුහුණදෙන දේශපාලන අර්බුදය නිසා මැයි දිනය පැවැත්වීමේ නොහැකියාව වසා ගැනීම බවද ඔහු පැවසුවේය.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා ද මැයි දිනය සම්බන්ධ ප්‍රකාශයක් සිදු කර තිබුණි. ජනතා විමුක්ති පෙරමුණ නොවරදවාම මැයි දිනය පවත්වන බව ඔහු කියා තිබුණි. මෙය ආණ්ඩුවේ සටකපටකමක් බව අවධාරණය කළ ඔහු ඉතිහාසයේ පටන් ආණ්ඩු මැයි දිනය මඟහැරියේ මෙවන් ප්‍රකාශ කරමින් බව පැවසීය. එසේම සියලු පක්ෂ මැයි දිනය නොපැවැත්වීමට එකඟ වූ බවට ආණ්ඩුව සිදු කළේ අසත්‍ය ප්‍රකාශයක් බවද අනුර කුමාර මහතා කියා සිටියේය.
මෙම තීරණයට දෙවැනි දැවැන්ත විරෝධය ගොනු කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි. මැයි මස පළමුවැනිදාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනයට අදාළ කටයුතු නවතා දැමීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය කිසිසේත් සූදානම් නැති බව ඔවුහු ප්‍රකාශ කළහ. ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයේ අරමුණු වෙනුවෙන් පවත්වන සටන්කාමීත්වය, සහයෝගීතාව සහ සාමූහිකත්වය පෙන්වන කම්කරු දිනය යම් රටකදී පවත්වන්නේද නැද්ද යන්න තීරණය කළ යුත්තේ එම රටේ වැඩ කරන ජනතාව විසින් බව එම පක්ෂය කියා සිටියේය. ඒ අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා කියා සිටියේ සමහරුන්ට කම්කරු දිනය ළං වෙනකොට බඩේ අමාරු හැදෙන බවයි.
මේ අතර මැයි දිනය සම්බන්ධව මෙම තීරණය අප්‍රේල් 19 වැනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන සන්ධානයේ පක්ෂ නායකයන් අතර සාකච්ඡාවකින් අනතුරුව ගනු ලැබූවක් බවද කියවුණි. කෙසේ වෙතත් මෙම තීරණයට පෙරාතුව මැයි දිනය වෙන වෙනම සැමරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබුණි. එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ පිළිබඳ ප්‍රකාශයක් ද කළේය. වැඩ කරන ජනතාවට, ගොවි ජනතාවට, කම්කරුවන්ට, පීඩිතයන්ට හා ශ්‍රමය වැය කරන්නාට සිය අයිතිවාසිකම්, වරප්‍රසාද ලබා දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසය බව හෙතෙම කීවේය. එනිසා ශ්‍රීලනිපය මැයි දිනය සාර්ථකව පැවැත්වීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.
එක්සත් ජාතික පක්ෂය ද මැයි දිනය පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සිටි අතර ආණ්ඩුවේ තීරණයට ඔවුහු ද විරෝධය ඵල්ල කළහ. මැයි දින සැමරුම් පැවැත්වීමට අවසර නොදීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට අවනත වෙමින් වැඩ කරන ජනතාවගේ අයිතිය අහිමි කරවීමට එක්සත් ජාතික පක්ෂය ඉඩ නොදෙන බව පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. එසේ නමුත් හයිඩ් පිටියේදී පැවැත්වීමට කලින් තීරණය කර තිබූ මැයි දින රැලිය කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය නීතිරීතිවලට අවනත වෙමින් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට එජාපය තීරණය කළ බව කියැවිණි.
මේ අතර සමගි ජන බලවේගය ද මැයි දින රැලිය සම්බන්ධව ආණ්ඩුවේ තීරණය විවේචනය කළේය. පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විශේෂ නිවේදනයක් ද නිකුත් කළේය. මැයි දිනයේ දී අනුගමන කළ යුතු සෞඛ්‍ය විධිවිධාන දැන්වීමට කැඳවූ රුස්වීම මුළුමනින්ම ගැටලු සහගත බවත් ආණ්ඩුවේ ඩීල් දේශපාලනය එය පිටුපස වන බවත් එම නිවේදනයේ සඳහන් විය. රැස්වීමේ මුල සිටම එහි අරමුණ පෙනෙන්නට තිබූ බව ද එහිදී කියැවුණි. අලුත් අවුරුදු සමයේ සංචරණය සඳහා ලබා දී තිබූ නිදහස ද ජනාධිපතිවරයාගේ ගම සමඟ පිළිසඳරක් වැඩසටහනට ජනතාව රැස්කිරීමද මෙහිදී විවේචනය කර තිබුණි. ආණ්ඩුව සිදු කළ යුතුව තිබුණේ මැයි දිනය පැවැත්වීමට අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබාදීම බවත් එය සිදු නොකර මැයි දින සැමරුම් අත්හිටුවීම හරහා ආණ්ඩු තවදුරටත් ජනතා අප්‍රසාදයට ලක්වන බවත් සමගි ජන බලවේගය කියා සිටියේය.
පොදුජන පෙරමුණු පාර්ශ්වයෙන් ද මැයි දිනය සම්බන්ධව එල්ලවන චෝදනාවලට යම් ප්‍රතිචාර දැක්වීමක් සිදුවිය. කම්කරු දිනය ඕනෑම අවස්ථාවක සැමරීමට සූදානම් බව ඔවුහු කියා සිටියහ. ගාල්ලේ මාධ්‍ය හමුවේදී පොදු පෙරමුණු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මේ සම්බන්ධව ප්‍රකාශයක් කළේය. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මැතිවරණය පවා කල් දැමීමට සිදුවූ බව ඔහු සිහිපත් කළේය. එසේ නමුත් දේශපාලන පක්ෂයක් ලෙස ඕනෑම අවස්ථාවක මැයි දිනය පැවැත්වීමට පොදු පෙරමුණ සූදානම් බවද ඔහු කීවේය. එසේ නමුත් රජයක් ලෙස රටේ ජනතාව ආරක්ෂා කිරීමට සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පිළිපැදීම තමා ඇතුළු කණ්ඩායමේ වගකීමක් බවද බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
සමස්තයක් ලෙස මේ වසරේ මැයි දින සමරුව තවත් දේශපාලන අර්බුදයක් බවට පත්ව තිබෙන බව පෙනී යයි. අවසානයේ අප කිව යුත්තේ මැයි දිනය යනු දේශපාලන සංදර්ශනයක් නොවන බව පමණි. මැයි දින පක්ෂ සංදර්ශන ඔස්සේ ශ්‍රී ලංකාවේ කම්කරු ජනතාවට ලැබුණු වරදාන වරප්‍රසාද නම් කුමක්දැයි කියා අපි නොදනිමු. මැයි දිනය පැවැත්වීම හෝ නොපැවැත්වීම සම්බන්ධව තීරණය පිටුපස ඇත්තේ කම්කරු ජනතාවට ඇති ආදරය ද නැතිනම් බල දේශපාලන අරමුණු ද යන්න අප හැම සිතා බැලිය යුතුමය.
චමිඳු නිසල් ද සිල්වා