2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

මුරලි.... ලෝකෙන්ම සුපිරි

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 91

ශතවර්ෂයකට අධික ඉතිහාසයකට හිමිකම් කියන විස්ඩන් සඟරාව පිරිනමන නාමික සම්මාන ලෝක ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට රන් ආභරණයකට වඩා වටිනේය. මුත්තයියා මුරලිදරන් පසුගිය සතියේ විස්ඩන් සඟරාව එලෙස විශිෂ්ට ක‍්‍රීඩකයකු ලෙස නම් කිරීම සහ ඔහු හදිසි හෘද සැත්කමකට ලක්කිරීම යන සිද්ධීන් දෙක හේතුවෙන් නැවතත් කරළියට පැමිණියේය.

සුප‍්‍රසිද්ධ විස්ඩන් සඟරාව විසින් විසිඑක්වැනි සියවසේ පළමු දශකයේ (2010) එක්දින ක‍්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා හිටපු සුපිරි පිට දඟපන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් නම් කිරීම පසුගිය සතියේ වඩාත් කැපී පෙනුණි.
මුත්තයියා මුරලිදරන් ටෙස්ට් කඩුලු 800ක් දවාගනිමින් ලෝක ටෙස්ට් ක‍්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා වුවද එවකට ලෝක එක්දින ක‍්‍රිකට් පිටියේ මුරලිදරන් සුවිශේෂීම පන්දු යවන්නෙක් නොවීය. 
එය එසේ වුවද මුරලිදරන් 2010 දශකයේ ශ්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් පිලේ සුවිශේෂීම පන්දු යවන්නා බවට පත්ව සිටියේය. එම දශකයේදී ශ්‍රී ලංකා එක්දින පිල 2007 වසරේ එක්දින ලෝක කුසලාන තරගාවලියේ සහ 2009 වසරේ විස්සයි20 ලෝක කුසලාන තරගාලියේ අවසන් මහ තරගය දක්වා පැමිණියේය. ශ්‍රී ලංකා 2003 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය දක්වා සුදුසුකම් ලබාගත්තේය.

මුරලිදරන් 2003 ලෝක කුසලාන තරගාවලියේ තරග 10කදී කඩුලු 17ක් දවාගෙන ශ්‍රී ලංකා පිලේ දෙවැනි කඩුලු ලාභියා බවට පත්වූ අතර චමින්ද වාස් කඩුලු 23ක් දවා ගනිමින් පළමු තැන හිමිකර ගත්තේය.
මුරලිදරන් 2007 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරග ඇතුළුව තරග 10 කදී කඩුලු 23ක් දවාගනිමින් ශ්‍රී ලංකා පිලේ ඉහළතම කඩුලු ලාභියාත් සමස්ත තරගාවලියේ දෙවැනි ඉහළතම කඩුලු ලාභියා බවටත් පත්විය. එහිදී ලසිත් මාලිංග කඩුලු 18ක් දවාගනිමින් ශ්‍රී ලංකා පිලේ දෙවැනි ඉහළතම කඩුලු ලාභියා බවට පත්විය.

ඔහු 2009 විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තරග 10 කදී කඩුලු 9ක් දවාගනිමින් ශ්‍රී ලංකා පිලේ තුන්වැනි ස්ථානයට පත්විය. අජන්ත මෙන්ඩිස් සහ ලසිත් මාලිංග එහිදී කඩුලු 12 බැගින් දවාගත්හ. ශ්‍රී ලංකා පිල 2010 දශකයේ ලැබූ එම ජයග‍්‍රහණයන් සඳහා මුරලිදරන්ගේ පන්දු යැවීමේ දස්කම් ප‍්‍රධාන වූ බව විස්ඩන් සඟරාවේ මතය වීමෙන් මුරලිදරන් විශිෂ්ට ක‍්‍රීඩක ලේබලයෙන් පිදුම් ලැබීය.

එම දශකයතුළ මුරලිදරන් කඩුලු 335 ක් දවාගනිමින් දශකයකදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ක‍්‍රීඩකයා ලෙස ලෝක වාර්තාවක් ද පිහිටුවීය. මුරලිදරන් 2011 වසරේ එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට සමුදෙන විට තරග 350 කදී කඩුලු 534 ක් දවාගැනීමට සමත්ව සිටියේය. අන්තර්ජාතික කඩුලු 1347 ක් දවාගනිමින් වැඩිම අන්තර්ජාතික කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නාගේ ලෝක වාර්තාවටද මුරලිදරන් හිමිකම් කියයි.
ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට්  තරගාවලියේ සන්රයිසස් හයිදාබාද් කණ්ඩායමේ දඟපන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටින මුරලිදරන් පසුගිය සතියේ හෘදයේ නහර අවහිරතාවක් හේතුවෙන් චෙන්නායි ඇපලෝ රෝහලේදී හදිසි ශල්‍යකර්මයට ලක්විය. මුරලිදරන්ට ශල්‍යකර්මයේදී ස්ටෙන්ට් තුනක් දැමූ බව චෙන්නායි වෛද්‍යවරු පැවසූහ.

මුරලිදරන් ඉතාමත්ම හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් ඔහු ඉදිරි දින කීපයේදී නැවතත් අයි.පී.එල්. තරගාවලියට සම්බන්ධ වන බවත් මුරලිදරන්ගේ කළමනාකරු කුෂිල් ගුණසේකර මහතා ‘දේශය’ යට පැවසීය.

කුෂිල් ගුණසේකර මහතා පැවසුවේ මුරලිදරන් හෘදයාබාධයක් වැළදීමෙන් රෝහල්ගත නොකළ බවත් අවශ්‍යතාව අනුව ස්ටෙන්ට් දැමීමේ ශල්‍යකර්මය සඳහා රෝහල්ගත කළ බවත්ය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඔසවා තැබූ මෙම සුපිරි දඟ පන්දු යවන්නා පසුගිය 17 වැනිදා සිය 49 වැනිදා උපන්දිනයද සැමරීය.

 සටහන: යොහාන් භාසුර

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03