2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

ලෝක විවාහක රූ රැජන කිරුළේ ආරවුල

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 25

ප්‍රථම වරට ලෝක විවාහක රූ රැජණ කිරුළක ශ්‍රී ලාංකික අයිතිය හිමිවන්නේ රෝසි සේනානායක මහත්මියටයි. ඇය විසින් හිස පැළඳි එම කිරුළ නැවත වතාවක් හිස පළඳින්නට ශ්‍රී ලාංකික කාන්තාවකට වාසනාව උදා වූයේ අවුරුදු තිස් පහකට පසුවය. ඒ 2019 වසරේදීය. එම වාසනාව උදා වූයේ කැරොලයින් ජූරිටය.

නමුත් අප්‍රේල් මස හතර වැනිදා කිසිවකු බලාපොරොත්තු නොවුණු, ඇතැමුන් කියන පරිදි කිසියම් පිරිසකගේ යම් සැලසුමක් අනුව ක්‍රියාවට නැංවුණු එක්තරා අවාසනාවන්ත සිදුවීමක් සමඟ ඇතිවූ තත්ත්වය හමුවේ පසුගියදා කැරොලයින් ජූරි තමන්ට හිමිවූ ලෝක රූ රැජන කිරුළ අත්හැර දමන්නට තීරණය කළාය.

අප්‍රේල් හතර වැනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ඉතා උත්කර්ෂවත් ලෙසින් පැවැත්වූ (Mrs. Sri Lanka for Mrs. World) තරගාවලිය අවසන් වූයේ බොහෝ මතභේදයන් සමඟය. එම තරගාවලියේදී කිරුළ හිමිවූයේ පුෂ්පිකා ද සිල්වාටය. නමුත් එයට විරෝධය පා පුෂ්පිකාගේ හිසේ පැළැන්ඳූ කිරුළ ඊට සුළු මොහොතකට පසුව උදුරා ගලවා දමන්නේද කැරොලයින් ජූරිමය. ඒ සම්බන්ධව ශ්‍රී ලාංකික ජනතාවගේ මෙන්ම බොහෝ රටවලද අවධානය යොමුවිය. මේ සම්බන්ධයෙන් ලෝක රූ රුජන කැරොලයින් ජූරි මෙන්ම එයට සම්බන්ධ වුණු චූලා පත්මේන්ද්‍රන් ද බොහෝ දෙනාගේ දැඩි විවේචනයන්ට ලක්වූහ.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසියට ඉදිරිපත් කර තිබූ පුෂ්පිකා ද සිල්වාගේ පැමිණිල්ලකට අනුව කැරොලයින් ජූරිට සහ චූලා පත්මේන්ද්‍රන්ට පොලීසියට පැමිණීමට සිදුවිය. එහිදී මාධ්‍ය ඉදිරියේදී ඔවුන් තමන්ගෙන් සමාව ගත යුතු යැයි පුෂ්පිකා කළ යෝජනාවට අකමැති වුණු කැරොලයින්ට සහ චූලාට අප්‍රේල් මස දහ නව වැනිදා උසාවියට ඉදිරිපත් වන ලෙස නඩුවක් ගොනුවිය.

ඒ අනුව අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය පසුගිය අප්‍රේල් මස දහ නව වැනිදාට විභාග කෙරුණි. එහිදී ශ්‍රී ලංකා විවාහක රූ රැජණට සුළු තුවාල සිදුකළා යැයි ගොනු වූ පැමිණිල්ලට අනුව ලෝක විවාහක රූ රුජන කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍රන්ව එක් අයකුට රුපියල් ලක්ෂයක ශරීරඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කර තිබුණි.

මීට අමතරව අප්‍රේල් හතර වැනිදා සිදුවූ මෙම සිදුවීමෙන් නෙළුම් පොකුණ රඟහලට රුපියල් ලක්ෂ හතක පමණ අලාභයක් සිදුවී ඇති වුවද ඒ සම්බන්ධයෙන් කැඳවා ඇති වාර්තා තවමත් ලැබී නැත.

මෙහිදී පුෂ්පිකා ද සිල්වා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරිය මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවත් සමතයකට පත්වීමට මොවුන් සූදානම් බවත් ප්‍රකාශ කර තිබුණි. කෙසේ වෙතත් දෙපාර්ශ්වයම සමතයකට පැමිණීම ඔවුන්ගේ කැමැත්ත වුවද පොදු දේපළවලට හානි සිදුවී ඇත්නම් එය සමතයකට පත් කළ නොහැකි වරදක් බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබුණි. මෙම නඩුව ලබන ජූනි මස 28 තෙක් නැවත කල් දැමිණි.

කෙසේ වුවද මෙම සිදුවීමත් සමඟ තමන් දිනාගත් ලෝක රූ රුජන කිරුළ ස්වේච්ඡාවෙන් ගලවා නැවත ලෝක විවාහක රූ රුජන සංවිධානයට බාරදෙන බව ලෝක රූ රුජන කැරොලයින් ජූරි ප්‍රකාශ කිරීමෙන් පසුව එය එම තරග සංවිධායකයන් විසින් පිළිගෙන තිබිණි. ආපසු බාරදුන් එම කිරුළ එහි දෙවැනි ස්ථානයට පත්ව සිටි අයර්ලන්ත ජාතික කේට් ෂ්නීඩර්ට පළඳවනු ලැබිණි. 

ලෝක විවාහක රූ රැජන කිරුළට අරමුණක් ඇති බවත් අසාධාරණ සහ අයුක්තිසහගත වටපිටාවක එම කිරුළ පැළඳීම සියලු කාන්තාවන්ගේ අයිතිය පාවාදීමක් වන බවත් කැරොලයින් සඳහන් කර තිබුණි. ඒ අනුව 2019 නොවැම්බර් මස හතර වැනිදා ලෝක විවාහක රූ රැජන සංවිධායකවරුන් සමඟ අත්සන් කර තිබූ අවබෝධතා ගිවිසුම අවසන් කළ බව කැරොලයින් ජූරි වැඩිදුරටත් පැවසීය.

“කිසිවකු සමඟ පෞද්ගලික ආරවුලක් තරහක් මට නැහැ. ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගයේ අවසන වටයට තේරී පත්වූ සියලු දෙනාම මා ඉතා අගය කොට සලකනවා. ඔවුන්ට සාධාරණ සහ සැමට සමාන අවස්ථාවක් හිමිවන තරග පසුබිමක් වෙනුවෙන් මා පෙනී සිටියා. මා කිසිම තරගකාරියකට පක්ෂපාතීව හෝ විරුද්ධව කටයුතු කළේ නැහැ. මම හැමවෙලේම සිටගත්තේ මට විශ්වාසවන්ත නිවැරදි තීරණය ළඟයි. මට 2019 වසරේ නිවැරදි තරගයක් ලබාදීමට සාධාරණ වේදිකාවක් නිර්මානය කළ ලෝක විවාහක රූ රැජණ තරග සංවිධායකවරුන්ට මම ස්තූතිවන්ත වෙනවා. සෑම රූ රුජන තරගයකටම ඊට අනන්‍ය වූ නීති රෙගුලාසි මාලාවක් තියෙනවා. මා මුල සිටම සාධාරණ වේදිකාවක් සහ සැමට සාධාරණ වූ නීති රෙගුලාසි වෙනුවෙන් පෙනී සිටියා. තරගයක නීතිරීති ඇත්තේ, ඒවායේ අඩුපාඩුවලින් රිංගා යමින් කෙසේ හෝ තරගයෙන් ජයග්‍රහණය කිරීමට නොවේ. තරගයකට නීති රෙගුලාසි ඇත්තේ අරමුණක් වෙනුවෙන් වේදිකාවක් සඳහා බව මගේ විශ්වාසයයි. මම මුල සිටම හඬ නැගුවේ ඒ වෙනුවෙන්. නමුත් ඒ හඬනැගීම ඇහුණේ නැහැ. අවසාන තරගයට පෙර දිනයේදී මම විනිශ්චය මණ්ඩලයෙන් ඉල්ලා අස්වුණා. ඒ මගේ ක්‍රියාකලාපය, අභිමතාර්ථ සහ අරමුණු වෙනුවෙන්.” යනුවෙන් ඇය තම තීරණය පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

ඇය පවසන්නේ තමා ලෝක විවාහක රූ රැජන කිරුළ ලෙස හඳුන්වන්නේ විවාහ ජීවිතයක් ගෙවමින් ඒ වෙනුවෙන් මහා කැපකිරීම් කරමින්, හා වගකීම් දරමින් තම තමන්ගේ සිහින ජයගන්නා විවාපත් කාන්තාවන්ගේ ජාත්‍යන්තර සැමරුමක් බවය. සියලු වෙහෙස සහ කැපකිරීම් මැද පවා තමන්ව මඟ නොහැරී එතැනින් නොනැවතී තරග වේදිකාවේ කිරුළ වෙනුවෙන් තරග කිරීමට උත්සාහ ගන්නා අසීමිත කැපකිරීම් කිරීමේ හැකියාවක් ඇති අරමුණක් වෙනුවෙන් පෙනී ඉන්න විවාහක කාන්තාවන්ගේ සැමරුමක් බවයි.

මෙහිදී Mrs. Sri Lanka ජාතික පුහුණුකරු වන රුක්මාල් සේනානායක මහතා තම අදහස් මාධ්‍යයට පැවසීය.

“තරගකාරියක් තරගයට එද්දි තමන් ගැන දැනගන්න ඕනෙ. තමන් දික්කසාදයක ඉන්නවා නම් ඒකෙ අවදානම තමන් ගත යුතු වෙනවා. මේ යන කාලය ඇතුළත මේ දික්කසාදය ඔප්පු වුණොත් ඇය මේ පහුගිය කාලය ඇතුළත කළ සියලු දේම වතුරේ. එයාගෙන් කිරුළ අයින් වෙනවා. දෙවැනි ස්ථානය දිනාගත් තැනැත්තියට ඒ කිරුළ හිමිවෙනවා. මේ සම්බන්ධව කිහිප දෙනකු තුළම මුල සිටම විවිධ මතවාද තිබුණා. ඒ මතවාද තිබුණත් අවසානය තීරණය කරන්නේ ජාතික අධ්‍යක්ෂකවරයායි. එහිදී දික්කසාද වුණු කෙනාට ප්‍රශ්නයක් වුණාට සැමියාගෙන් වෙන්ව සිටින කෙනකුට ඒක ප්‍රශ්නයක් නොමැති බවයි දන්වා සිටියේ. යම් හෙයකින් පුෂ්පිකාට දික්කසාද තීන්දුව ලැබුණොත් ඒ දික්කසාද තීන්දුව ලැබුණු දවසේ සිට අනිවාර්යෙන්ම ඇයට කිරුළ අහිමි වෙනවා.” 

කෙසේ වුවද කැරොලයින් ජූරි තමන් දිනාගත් ලෝක රූ රැජන කිරුළ නැවතත් බාරදීම පිළිබඳ ඇය තම අදහස මාධ්‍යයට මෙසේ පැවසීය.

“මෙම වසරේ ලෝක විවාහක රූ රැජන තරගයේ සත්කාරක රට ශ්‍රී ලංකාවයි. ඒ සඳහා ලෝකයේ නන් දෙසින් එන සියලු තරගකාරීන්ව අපි ආදරයෙන් පිළිගන්නවා. අපේ රට නියෝජනය කරමින්, ශ්‍රී ලංකා විවාහක රූ රැජනියටද ලෝකය සමඟ කරට කර තරග වැදීමට යළිත් අවස්ථාවක් හිමිවෙනවා. එහිදී සාධාරණ සහ හොඳ තරගයක් ලබාදීමට අපේ විවාහක රූ රැජනියව සූදානම් කිරීමට මගේ උපරිම සහයෝගය ලබාදීම මගේ වගකීම සහ කර්තව්‍ය බව මම විශ්වාස කරනවා.”

අපේ ජීවිතවල මුල්බැසගත් වටිනාකම්, සාරධර්ම, මතුපිටින් මනින්නට බැහැ. කීයටවත් එය මුදලට ගන්න බැහැ. මම ඒ වටිනාකම් වෙනුවෙන් හිටගත්තා. මුළු ලෝකයම ඉවත බලද්දි පවා මම තනිවම වුවත් ඒ වටිනාකම් වෙනුවෙන් නැගී සිටියා. ලොවම ඉවත බලද්දී වුවත් යමක් වෙනුවෙන් නැගී සිටින්නට, හඬ නගන්නට සිදුවේ නම් කොතරම් තනි වුණත් ඒ සඳහා හිටගන්නට අපි ධෛර්යමත් විය යුතුයි.” යනුවෙන් පවසමින් කැරොලයින් ජූරි තමන් දිනාගත් විවාහක රූ රුජන කිරුළ ගැලවූවාය. මේ අනුව ශ්‍රී ලංකාවට හිමිවූ ඉතා වටිනා ජාත්‍යන්තර කිරුළක් අවසානයේ අහිමි විය.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03