2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

කාඩ් කුඩු කරගත් ගුණයක් නැති ක්‍රිකටර්

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 22

ඓතිහාසික ක්‍රිකට් ජයග්‍රහණ රැසකට හිමිකම් කියන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කෙරෙහි පවතින ගෞරවයට වරින් වර එල්ල වූ කළු පැල්ලම් ගණනාවකි. ඊට හේතු වූ කරුණු කාරණා මැද ශ්‍රී ලංකා ක්‍රිකට් වලපල්ලට වැටී අවසන්ය. අදාළ හේතූන් අතරට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ඇතැම් ක්‍රීඩකයන්ගේ නොමනා හා විනය විරෝධී ක්‍රියාවන්ය.

මේ තත්ත්වය සම්බන්ධයෙන් මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ කනස්සල්ලෙන් පසුවෙති. එවැනි ප්‍රවීණ ක්‍රීඩකයන් සතුව තිබූ මහත්මා ගතිය අද ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජනය කරන ඇතැම් තරුණ ක්‍රීඩකයන් සතු නොවීම ගැටලුවකි. මේ තත්ත්වය හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන් වෙතද අත්කරන අගෞරවයකි. මෙරට නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කළ පමණින් ඔළුව උදුම්මවා ගන්නා ඇතැම්හු රට ජාතිය හෝ ක්‍රිකට් පිළිබඳව තැකීමකින් කටයුතු නොකරති. එපමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි හැඟීමකින් තොරව ඉන් ලබාගත් ප්‍රසිද්ධිය ඇපයට තබා රාත්‍රී සමාජශාලාවල කාලය ගෙවීමටත් එහිදී කාන්තා ඇසුර ලබා බීමතින් නික්ම යන අවස්ථාවල නවීන මෝටර් රථවලින් ගොස් අනතුරු සිදු කර අහිංසක මිනිසුන් මරා දැමීමටත් රුසියෝ වී සිටිති.

මෙකී කරුණු සිහිපත් කිරීමට හේතු වූයේ වර්තමානයේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයකු වන අයකුගේ නොමනා හැසිරීමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීම නිසාය. වාර්තා වන පරිදි සිදුවීම මෙසේය.

දකුණු පළාත මුල්කොටගෙන බිහිවූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහුගේ පෙනුම ඇතැම් තරුණ තරුණියන්ට ආකර්ෂණයකි. ක්‍රීඩාලෝලීන්ට නම් සිත්ගත් තවත් ක්‍රීඩකයෙකි. අලුත් අවුරුද්ද නිමිත්තෙන් මාතර ප්‍රදේශයේ ඉහළ පැලැන්තියේ හෝටලයක පැවැත්වීමට සූදානමින් තිබූ උත්සවයකි. ඒ සඳහා සමාජයේ කැපීපෙනෙන පාර්ශ්ව කිහිපයක පුද්ගලයන් ගණනාවකට ඇරයුම් කරන්නට සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබිණ. ඔවුන් විසින් මේ කියන ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා වෙතද ආරාධනා කොට තිබුණි.

සුහදව ආරාධනය පිළිගෙන තිබූ ක්‍රිකට් ක්‍රීඩකයා අදාළ දිනයේ උත්සවයකට සහභාගි විය. ඒ සඳහා ඔහුට හිතවත් මිත්‍රයන් කිහිප දෙනෙක්ද සහභාගි වී සිටියහ. පිරිස සෑහෙන වෙලාවක් එක්වී මධුවිත තොලගා තිබුණේ ආ ගිය විස්තර කතා කරමිනි. කවුරුත් නොදැනම ඔවුන් මත්පැන් බෝතල් කිහිපයක් හිස්කර අවසන්ය. ඒ වන විටත් ක්‍රිකට් ක්‍රීඩකයා පදමට මත් වී බමන මතින් සිට ඇත. ඒ බව වචන හරඹයෙන් මෙන්ම පෙනුමින්ද දකින්නට ලැබිණ.

උත්සවයට සහභාගිවූවන් අතර රූමත් තරුණියන් කිහිප දෙනෙක්ද සිටියහ. ඒ අය මාතර හා ආසන්න පෙදෙස්වල පදිංචිකාරියන්ය. ක්‍රිකට් ක්‍රීඩාවට ඇළුම් කළ තරුණියක් පැමිණ සිටි ක්‍රිකට් ක්‍රීඩකයා දෙස ඕනෑකමින් බලා තිබුණේ ක්‍රිකට්ලෝලියකු වීම නිසාය. ඔහුට වචනයක් දෙකක් කතා කිරීමට ආශාවෙන් පසුවී ඇත්තේ එම හැඟීමෙනි. එම ආශාව ඉටු කරගත් තරුණිය මධුවිත පානය කරමින් සිටි ක්‍රිකට් ක්‍රීඩකයා හමුවට පැමිණ කතා කළාය. එය අවස්ථා දෙක තුනකදීම සිදු කිරීමට අවස්ථාව ලැබී ඇත. මේ තරුණිය පැහැපත් 25 හැවිරිදි වියේ පමණ පසුවන්නියකි.

ක්‍රිකට් ක්‍රීඩකයකු වශයෙන් ගොඩනැගී තිබූ ප්‍රතිරූපය හමුවේ එහි ගෞරවයට කතා කළ තරුණිය දෙස ක්‍රිකට් ක්‍රීඩකයා බලා තිබුණේ වැරදි ඇසකිනි. ඔහුට ඇය කෙරේ ආශාවක් ඇතිවී තිබු‍ණේ ඒ නිසාය.

“කවුද බං අර මාත් එක්ක දෙතුන් වතාවක් කතා කරපු කෙල්ල... අර රතු පාට ගවුමක් ඇඳන් ඉන්නේ... මාර ලස්සනයි නේ..”

සිය මිතුරන් හමුවේ ක්‍රිකට් ක්‍රීඩකයා තරුණිය පිළිබඳව එසේ කියා ඇත. එහිදී මිත්‍රයා පිළිබඳව කරුණු දන්නා ඔවුන්, “ක්‍රිකටර් නිසා කතා කරන්න ඇත්තේ.. උඹ පිස්සු කෙලින්න එපා ඉතිං..” යැයි කියද්දී &මම ඒක දන්නවා බං මට අකමැති කෙල්ලො ඉන්නවද මේ ලංකාවේ?* යැයි කියා ඇතැයි වාර්තා වේ.

&ඒකි මට කැමතියි වගේ දැනෙනවා. උඹලා දන්නවනේ සුදු කෙල්ලන්ට මාත් කැමතියි..” යැයිද මෙම ක්‍රීඩකයා මිතුරන් හමුවේ පවසා ඇතැයි කියති. එහිදී මිතුරන් කියා තිබුණේ, “උඹ දැන් බීලා ඉන්නේ.. කාඩ් කුඩුකර ගන්නේ නැතිව හිටපන්* යනුවෙනි. ඒ මිත්‍රයාගේ තරම හඳුනන නිසාය.

එහෙත් මිතුරන්ට කන් නොදුන් ක්‍රිකට් ක්‍රීඩකයා සිය මතය අනුව අසුනෙන් නැගිට පෙර කී තරුණිය ආසන්නයට ගොස් තිබුණි.

“කොහොමද නංගි.. ඔයා නම් ගොඩක් ලස්සනයි. අපි ටිකක් කතා කරමු. එළියට ගියා නම් හොඳයි.. ඔයාට මේ වගේ චාන්ස් එකක් එන්නෙත් නෑ..” යැයි පවසද්දී ඊට පිළිතුරු දුන් තරුණිය, “අයියේ ඔයා හොඳටම බීලා ඉන්නේ.. මම ගැන වැරදියට නොහිතා දැන් ඔයා මෙතනින් යන්න.” යැයි කියා ඇත. ඊට පිළිතුරු දුන් ක්‍රීඩකයා &මට කෙල්ලො ඉස්සරහා බාල්දු වෙන්න ඕන නෑ. ඕන කෙල්ලෙක් එනවා මාත් එක්ක යන්න. ඇයි ඔයාට විතරක් බැරි..” යනුවෙන් කියා ඇත. 

එහිදී තරුණිය මෙසේද කියා ඇතැයි කියති.

“මම ඔයාට හොඳින් කීවා. ඔයා හිතන කෙනෙක් නෙවෙයි මම. ඒ නිසා ඔයා මෙතනින් යන්න.” තරුණිය එසේ පවසනවාත් සමඟ ක්‍රීඩකයාට, “ඔයාගේ ගණන් රත්තරන්වලින්ද දන්නෙ නෑ හදලා තියෙන්නේ..” යැයි පමණක් කියන්නට අවස්ථාව තිබිණි. 
ඒ වන විටත් කෝපයට පත්වී සිටි තරුණියගේ ඥාතීන් පිරිසක් ක්‍රීඩකයාට ඒ අවස්ථාවේදී පහර කිහිපයක් ගසා ඇත. ගැටුම දුරදිග යාමට මත්තෙන් මැදිහත් වූ පිරිසක් ක්‍රීඩකයා උත්සව බිමෙන් පිටතට රැගෙන යාමට කටයුතු කර ඇතැයිද ඔහු මේ වන විට තැලුම් තුවාල හා වේදනාවන් සඳහා දේශීය වෛද්‍යවරයකුගේ උපදෙස් මත ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.

මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් මේ ක්‍රීඩකයාට මීට ඉහතදීත් චෝදනා නැගුණු බව කියැවේ. වරෙක දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ජයග්‍රහණය ලබා සිටියදී ෆේස්බුක් ගිණුම හරහා හඳුනාගත් විදේශීය මිතුරියක හා ඇගේ මිතුරියක මෙම ක්‍රීඩකයා හමුවට පැමිණ තිබුණේ කොල්ලුපිටිය තරු පන්තියේ හෝටලයකටය. එහිදී ක්‍රීඩකයාගේ මිත්‍රයා විසින් එක් තරුණියකට අතවර කිරීමක් සම්බන්ධයෙන් වාර්තා විය. එය පොලිස් පොතේ සටහන් තැබුණු සිදුවීමකි. මේ හරහාද මෙම ක්‍රිකට් ක්‍රීඩකයාට තවත් ගැටලු ගණනාවක් පිළිබඳ චෝදනාද එල්ල වී තිබේ.

කෙසේ වෙතත් එකී සිදුවීම සම්බන්ධයෙන් මාතර හෝ වැලිගම පොලිස් ස්ථාන වෙත පැමිණිල්ලක් ලැබී නැති බව කියයි. එබැවින් සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් විමසීමේදී කියා සිටියේ මේ පිළිබඳව නිල වශයෙන් පැමිණිල්ලක් ලැබී නැති බවය. එහෙත් සිදුවීමට අදාළව ජනමාධ්‍ය වාර්තා හා සෙසු තොරතුරු පදනම් කොටගෙන පරීක්ෂණයක් සිදු කරන බව කියා සිටියේය.

මෙම සැකකාර ක්‍රීඩකයාට මීට පෙරත් මෙවැනි සිදුවීමකට චෝදනා නැගී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් පරීක්ෂණයක් සිදු කර ක්‍රිකට් තහනමක් පනවා තිබුණි. මෙවරත් එවැන්නක් සිදුවීමේ අවදානමක් පවතින බව වාර්තා වේ.

 සමන්ත විල්තෙර