මුතුරාජවෙල ගැන හිටිගමන් මතුවන කතා අපට අමුත්තක් නොවේ. මුතුරාජවෙල ගෝල්ෆ් පිටියක් සහ හෝටලයක් ගැන කතාව පසුගිය කාලයේ මාධ්‍යවලට සිරස්තල සැපයුවේය. නමුත් පසුගිය සතියේ ඒ ගැන මතුවූ කතාව ගැන නම් පරිසරවේදීන් සහ සොබාදහමට කැමති කවුරුත් සතුටු වූ බව නොරහසකි. ඒ මුතුරාජවෙල අභයභූමිය ජාතික වනෝද්‍යානයක් බවට පත් කිරීමට කිරීම සඳහා මේ වන විට කැබිනට් පත්‍රිකාවක් කෙටුම්පත් කොට ඇතැයි යන ආරංචියයි. ඒ බව රටට පැවසුවේ පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පසුගියදා මහාචාර්ය තිස්ස විතාරණගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝප්) දීය.
එමෙන්ම කෝපා කමිටුව මගින් පෙර රැස්වීමේදී නිර්දේශ කළ පරිදි මුතුරාජවෙල අභයභූමිය සංරක්ෂණය කිරීම සඳහා වගකිවයුතු සියලු පාර්ශ්වයන්ගෙන් සැදුම් ලත් ඒකාබද්ධ කමිටුවක් පත්කර ඇති බවද ජාසිංහ එහිදී පැවසුවේය.
එම කමිටුව නාගරික සංවර්ධන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය සහ වනජීවී අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල ලෙක්ම්වරුන්ගේ සම සභාපතිත්වයෙන් යුතුව ක්‍රියාත්මක වන බවද එහිදී සඳහන් වූ තවත් කරුණකි.
මුතුරාජවෙල ඒකාබද්ධ කමිටුව බලාත්මක කිරීම සඳහා මේ වන විට සාකච්ඡා පවත්වා කැබිනට් පත්‍රිකාවක් කෙටුම්පත් කොට ඇති අතර එය අනුමත වීම සමඟ ක්‍රියාත්මක වීම ආරම්භ කළ හැකි බවත්, එම කමිටුවට සහාය වීම සඳහා අදාළ ආයතන සහ පරිසර සංවිධානවල නියෝජිතයන්ගෙන් සමන්විත ක්‍රියාකාරී කමිටුවක් පත්කිරීම අත්‍යවශ්‍ය බවද මෙහිදී අවධාරණය විය. මෙම රැස්වීමට කමිටුවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, බී.වයි.ජී. රත්නසේකර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, හරිනි අමරසූරිය සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ ඇතුළු අමාත්‍යාංශ සහ ආයතන 16ක නිලධාරීන් සහ මුතුරාජවෙල සුරැකීමේ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක්ද සහභාගී වූහ.
2021 ජනවාරි 27 වැනිදා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් මුතුරාජවෙල අධි සංවේදී පරිසර කලාපයේ සියලු පෞද්ගලික ඉඩම් අක්කර 600 රජයට පවරාගන්නා බවට, ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී යෝජනා සම්මත කර තිබුණි. මේ පිළිබඳව මෙහිදී කෝපා කමිටුවේ අවධානය යොමු වූ අතර එහි නිත්‍යනුකූලභාවය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
මේ ගැන අප අදහස් විමසුවේ මුතුරාජවෙල හෝටල් සංකීර්ණ යෝජනාවට විරුද්ධව අධිකරණයේ නඩු පවරා ඇති පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේගෙනි.
“අපි පවරා ඇති නඩුවෙනුත් කියලා තිබෙන්නේ මුතුරාජවෙල වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ආරක්ෂක ප්‍රදේශයක් බවට පත්කිරීම සුදුසු බවයි. ජාතික වනෝද්‍යානයක් බවට පත්කිරීමේ යෝජනාව ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් වීම ඉතා හොඳයි. නමුත් ඔතන ප්‍රායෝගික ගැටලු රාශියක් පවතිනවා. මුලින්ම ඒවා නිරාකරණය කරගත යුතුයි. අභයභුමියක පෞද්ගලික ඉඩම් පැවතිය හැකි වුණත් ජාතික වනෝද්‍යානයක පුද්ගලික ඉඩම් පැවතීමට ඉඩක් නැහැ. මේකේ පුද්ගලික අයිතිය යටතේ පවතින අක්කර සිය ගණන්වල ඉඩම් තිබෙනවා. ඒ ඉඩම්වල වටිනාකම ලබාදීලා රජයට අත්පත් කරගත යුතු වෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන පසුගියදා කළ ගණනය කිරීම්වලට අනුව මුතුරාජවෙල වටිනාකම රු. මිලියන 3700ක් පමණ වෙනවා. ගංවතුර වැළැක්වීම, රසායනික ද්‍රව්‍ය උරාගැනීම, කඩොලානවල ඔක්සිජන් සැපයුම, කාබන් විමෝචනය වගේ අංග රාශියක් එයට ඇතුළත්. මේ වගේ බිමක් තවදුරටත් විනාශවීමට ඉඩ නොදී උපරිම නීතිමය ආරක්ෂාවක ලැබීමට වනෝද්‍යානයක් කිරීමෙන් හැකියාව ලැබෙනවා.” ඔහු පැවසුවේය.
කැලණි නදී මෝයේ සිට මීගමුව කලපුව අතර පිහිටා තිබෙන මුතුරාජවෙල තෙත්බිම් පද්ධතිය කොළඹට කි.මී. 20ක් උතුරෙන් ආරම්භ වී, කි.මී. 30ක් දුර පිහිටි මීගමුව කලපුව දක්වා එය විහිද යයි. මුහුදට සමාන්තරව ඇදී යන මෙම තෙත්බිම බටහිරින් හැමිල්ටන් ඇළට සහ නැගෙනහිරින් පැරණි ඕලන්ද ඇළටත් සීමා වේ. මෙය වත්තල සහ ජා ඇළ මැතිවරණ කොට්ඨාසවලට අයත්ය. බොහෝ දෙනෙකු ගමන් කරන කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ වැඩිම කොටසක් වැටී ඇත්තේ මේ පරිසර පද්ධතිය මැදිනි.
මේ බිම අදින් වසර 5000කට පමණ පෙර ආරම්භ වන්නට ඇති බව භූ විද්‍යාඥයන්ගේ මතයයි. කෝට්ටේ යුගයේ දී (15-16 සියවස්) මුතුවන් සහල් ලබාදුන් විශාල වෙල්යායක් මේ ප්‍රදේශයේ පැතිර තිබුණි. ඒ නිසා මුතුරාජවෙල නම් විය. මෙයට යාව පිහිටි මීගමු කලපුව සහ වරාය කෝට්ටේ යුගයේ දී ප්‍රධාන නැව් තොටක් වශයෙන් ද වැදගත් විණි. පෘතුගීසින් කැලණි මෝයේ සිට මීගමුව දක්වා මේ වෙල්යාය හරහා ඇළ මාර්ගයක් කැපූ අතර ඊට පසු ලුණු මිශ්‍ර ජලය වෙල්යායට කාන්දු වන්නට වීමෙන් වෙල්යායේ සාරවත් බව අඩුවුණු බව ලන්දේසි ලේඛනවල දැක්වේ. කොළඹට නුදුරින් පිහිටි නිසා මෙහි වාණිජ වටිනාකම ඉතා ඉහළයි. මේ නිසා අනවසර ගොඩකිරීම්, අත්පත් කර ගැනීම් දිනෙන් දින සිදුවේ. මුතුරාජවෙල තෙත්බිම් කලාපයෙන් 15%ක් සහ මුතුරාජවෙල අභයභූමියෙන් 15%ක්ද මේ වන විට විවිධ හේතූන් මත විනාශයට ලක් වී ඇති අතර, ඉතිරි කලාපද විනාශ වීමේ අවදානම දැඩිව පවතී. එනිසා සංරක්ෂණ ක්‍රියාවලිය කඩිනමින්ම ආරම්භ කළ යුතු බව පැවසිය යුතු නොවේ. පරිසරවේදීන්ගේ සැකයක් පවතින්නේ ජාතික වනෝද්‍යාන යොජනාවත් පුස් වෙඩිල්ලක් වේද යන්නයි.
මුතුරාජවෙල පරිසර කලාපයට අයත් ඉඩම් අනවසරයෙන් ගොඩකිරීම සම්බන්ධව පැමිණිලි රාශියක් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ආදී ආයතන වෙත ලැබුණද ඒවා සම්බන්ධ විධිමත් ක්‍රියාමාර්ග නොගැනීම ද පසුගියදා පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානයට ලක්වූ කරුණකි. රාජ්‍ය ආයතනවල සමහර නිලධාරීන් ව්‍යාපාරිකයන්ගේ අතයට ගනුදෙනුවලට වහල් වී සිටින බව පරිසරවේදීන් සමහරක් පවසති.
මුතුරාජවෙල තෙත්බිම් කලාපය තුළ අනවසර ඉදිකිරීම් පිළිබඳ පැමිණිලි අදාළ රාජ්‍ය ආයතන මගින් නිසි පරිදි විමර්ශනයට ලක් නොවීම පිළිබඳව විගණකාධිපතිවරයාගේ ද අවධානය යොමු වූ අතර, මෑතකදී එලෙස හෙක්ටයාර 06ක් ගොඩකිරීම සම්බන්ධව විගණන විමසුමක් දැනටමත් ක්‍රියාත්මකය. මෙලෙස රාජ්‍ය ආයතන නිසි පරිදි මැදිහත් නොවීම නිසා අනවසර ගොඩකිරීම් සහ ඉදිකිරීම්වලට අනුබල දීමක් සිදුවන බවද එහිදී අවධාරණය විය.
මුතුරාජවෙල මීගමු කලපුවත් සමඟ ගත්විට හෙක්‌ටයාර් 6232කට ආසන්න ප්‍රදේශයක ව්‍යාප්ත වී තිබේ. තෙත්බිම පමණක් විශාලත්වයෙන් හෙක්ටයාර් 3068කි. ශ්‍රී ලංකාවේ වැදගත්ම තෙත්බිම් 12 අතරට ද මුතුරාජවෙල අයත්ය. තෙත් බිමේ උතුරු දෙසට වන්නට හෙක්‌ටයාර 1028.62ක භූමි ප්‍රදේශයක් 1996 ඔක්‌තෝබර් 31 වැනිදා අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. අභයභූමියට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම සඳහා ප්‍රේරණ කලාපයක් (Buffer Zone)ද නම් කෙරිණි. අභයභූමියට ප්‍රබල පරිසර හානි සිදුවීම නිසා විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රේරණ කලාපය, පාරිසරික ආරක්‍ෂණ කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කොට තිබුණත් මෙම පරිසර පද්ධතියට වන හානි නම් දිනෙන් දින වැඩිවෙනවා මිස අඩුවක් නැත.
1996 අංක 947/13 දරන, මුතුරාජවෙල අභයභූමියක් ලෙස නම් කරන ලද ගැසට් පත්‍රය අනුව මේ වන එම අභයභූමියේ සීමා මායිම් හඳුනාගැනීම සහ මායිම් ලකුණු කිරීම මේ වන විට ආරම්භ කොට ඇති බවද නිලධාරීහු විසින් කෝල් කමිටුවට දැනුම් දුන්හ. මුතුරාජවෙල අභයභූමියේ තිබෙන අනවසර ඉදිකිරීම් සහ ගොඩකිරීම් පවරා ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා නාගරික සංවර්ධන පනත භාවිත කිරීමේ ශක්‍යතාවයද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
මුතුරාජවෙල ශාක විවිධත්වය සැලකීමේ දී ප්‍රධාන ශාක ප්‍රජාවන් 07ක් නියෝජනය කරන, විශේෂයන් 192ක තුරුලතාවලට මෙය තෝතැන්නකි. මෙහි ඇති ඉතා වැදගත් ශාක ප්‍රජාව ලෙස කලපු ගංමෝය අවට පැතිර තිබෙන කඩොලාන හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ හඳුනාගෙන ඇති කඩොලාන විශේෂ 22න් 18ක්‌ම මුතුරාජවෙල හා මීගමු කලපුව ආශ්‍රිතව දැකගත හැකිය.
අප රට තුළ දැනට වාර්තා වී ඇති පෘෂ්ඨවංශීන්ගෙන් විශේෂ 232ක් මෙහි ජීවත් වෙති. මේ තෙත්බිම් පරිසර පද්ධතිය නියෝජනය කරන ඉතා වැදගත් සත්ත්ව විශේෂය වන්නේ පක්‍ෂීන්ය. මෙහි කුල 42කට අයත් පක්‍ෂි විශේෂයන් 102ක් වාර්තා වන බව ලෝක සංරක්‍ෂණ සංගමය සඳහන් කර සිටී. මුතුරාජවෙල අභයභූමියේ උතුරු හා මධ්‍යම ප්‍රදේශ ඉතා වැදගත් පක්ෂි අභිජනන මධ්‍යස්‌ථාන ලෙස ද, මීගමු කලපු ආශ්‍රිත ප්‍රදේශය ගොදුරු හා විවේක ස්‌ථානයක් ද වශයෙන් වැදගත් වේ. මේ පක්ෂි විශේෂ 102න් 19ක් සිසිර සෘතු සංක්‍රමණික පක්‍ෂීන් වීම ද විශේෂ කරුණකි. දියකාවන්, කොකුන්, විවර තුඩුවන්, කෑදැත්තන්, සේරුන්, උකුස්‌සන්, කුරුලුගොයන්, කිරලුන්, සිලිබිල්ලන්, බටගොයන්, බිඟුහරයන්, ගිරවුන්, පිළිහුඬුවන්, හා වැහිළිහිණියන් වැනි පක්‍ෂි විශේෂයන් බොහොමයක් මුතුරාජවෙල දී සුලබව දැකගත හැකියි. කුස ඇලි සයුරුකුස්‌සා, පුංචි දියකාවා, පුංචි ගෙඹි තුරුවා, අළු කොකා, කරවැල් කොකා, පොදු දම් කිතලා, කළුපිය ඉපල් පාවා, යුරෝපියානු ගොළු කිරලා, මල් පිළිහුඩුවා, පොම්පදෝරු බටගොයා වැනි පක්‍ෂීහු මෙහි සුලබව ජීවත් වෙති. එසේම, සංචාරක පක්‍ෂීන් අතර බටහිර වගුරු හැරිකුස්‌සා, ගෝමර හැරිකුස්‌සා, අළුපිය කාඟුල් ළිහිණියා, නිල් පෙඳ බිඟුහරයා ආදී පක්‍ෂීන් ද සුලබය. මීගමුව කලපුවේ කඩොලාන වනාන්තර අවට සහ දඩුගම්ඔය මෝය අවට ප්‍රදේශය පර්යටනික පක්ෂීන් නැරඹීමට කදිම බිම්කඩකි.
මුතුරාජවෙලින් කුල 14කට අයත් ක්‍ෂීරපායීන් විශේෂ 22ක් වාර්තා වේ. රිළවා, උණහපුළුවා, ඉත්තෑවා, උරුලෑවා, දිය බල්ලා, හඳුන් දිවියා, කොළ දිවියා, මීමින්නා ඒ අතර සිටිති. ගැට කිඹුලා (Crocodylus porosus) ද මුතුරාජවෙල දිවිගෙවයි. අතීතයේ දී මෙහි ඉතා විශාල ගැට කිඹුලන් ගහණයක් වාර්තා වුව ද මිනිසුන් මස් පිණිස දඩයම් කිරීම නිසා උන් දැඩි තර්ජනයකට මුහුණ පා සිටී.
දැන් පරිසරවේදීන් ඇතුළු සොබාදහම ප්‍රිය කරන්නන් බලා සිටින්නේ මුතුරාජවෙල ජාතික වනෝද්‍යනයක් ලෙස ගැසට් කරන තුරුය. එය ඉක්මනින් යථාර්ථයක් වේවායැයි ඔවුහු ප්‍රාර්ථනා කරති.
කුසුම්සිරි විජයවර්ධන