2021 මැයි 01 වන සෙනසුරාදා

අහස පරෙස්සම් කරන යුනයිටඩ් එයාර් ලයින්

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 33

පරිසර සාධක ගැන ලෝකය පුරා මහත් අවධානයක් තිබේ. ගෝලීය උණුසුම ඉහළ නගින අතර ඕසෝන ස්ථරයට හානි සිදුවීම එයට බලපා ඇති එක හේතුවකි. වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප‍්‍රතිශතය වැඩිවන විට ඕසෝන ස්ථරයට බලපෑමක් සිදුවෙයි. කාබන්ඩයොක්සයිඩ් විමෝචනය වන අවස්ථා අවම කරන තීරණ සෑම ක්ෂේත‍්‍රයකින්ම අනාවරණය වෙයි. ගගන සරණ ගුවන් යානා මෙහෙයවන සමාගම් එයට අලුතින්ම එකතු වී තිබේ. යුනයිඩට් එයාර් ලයින් එහි ඉදිරියෙන්ම සිටින බව අනාවරණය වන කරුණකි.

යුනයිටඩ් එයාර් ලයින් සමාගම කාබන් ප‍්‍රතිශය අඩු ඉන්ධන භාවිතා කරන තීරණයක් ගෙන තිබේ. එය පරිසර හිතකාමී තීන්දුවකි. සිය ගුවන් යානාවලට භාවිතා කරන ඉන්ධන වෙනුවෙන් අඩු කාබන් ප‍්‍රතිශතයක් සහිත ඉන්ධන ගැලුම මිලියන 3.4ක් මෙම වසරේදී පාවිච්චියට ගන්නා බව නිල වශයෙන් නිවේදනය කර ඇත. පරිසරයට ලැදි සියලු පාර්ශව එයට එක සිතින් කැමැත්ත පළ කර ඇත. කොවිඩ් වෛරසයය බලපවත්වන කාලසීමාවට කලින් 2019 කාලයේ දී එම සමාගම සිය ගුවන් යානා මෙහෙයුම් වෙනුවෙන් වසරකට ඉන්ධන ගැලුම් බිලියන 4.3ක් භාවිතා කර තිබේ. ජෙට් ගුවන් යානයක් ගමන් කරන විට නිසංසල අහසේ දුම් රේඛාවක් ඇදෙන අතර එය දෙස බිම සිට බලා සිටීම ඉතාම චමත්කාර දර්ශනයකි. ක‍්‍රමයෙන් දික් අතට ඇදෙන දුම් රේඛාව කෙළවර ඇති ගුවන් යානය දෙස බිම සිට නිරීක්ෂණය කරන කිසිවෙකුට එහි බරපතලකම නොදැනේ. ජෙට් යානයෙන් නික්මෙන කාබන්ඩයොක්සයිඩ් සහිත දුම ඉහළ වායු ගෝලය අපවිත‍්‍ර කරන අතර එය ක‍්‍රමයෙන් විනාශකාරී තත්ත්වයක් කරා ළඟා වෙමින් තිබුණි. ලෝකයේ බලවත් වාණිජ ගුවන් සමාගම් අහස පරෙස්සම් කරන අතර ගෝලීය උණුසුම ඉහළ යන්නට හේතුවන ක‍්‍රියාකාරකම් වලින් වැළකෙන්නේ කෙසේදැයි කල්පනා කරමින් සිටියේය. යුනයිටඩ් එයාර් ලයින් ආයතනය තරමක් වියදම් සහගත නමුත් පරිසරය වෙනුවෙන් කැපවන තීරණය ගෙන තිබේ. 

අලුත් අදහස අනුව පරිසර හිතකාමී හරිත ඉන්ධන භාවිතාවක් ද සිදුවෙයි. කෘෂිකාර්මික අපද්‍රව්‍යවලින් පුනර්ජනනීය ඩීසල් නිපදවන අතර තිරසාර ජෙට් ඉන්ධන නිපදවන පිළිවෙළක්ද කැලිෆෝනියාවේ කම්හලක් අරඹා ඇත. ගුවන් ගමන්වලදී සිදුවන හානි අවම කරන අරමුණ ඇතිව මෙවැනි පරිසර හිතකාමී ඉන්ධන භාවිතා කරන්නට යුනයිටඩ් එයාර් ලයින් සමාගම තීරණය කර ඇත. එය මිල අධිකය. එහෙත් පසුගිය වසර ගණනාව තුළ ක‍්‍රමයෙන් පිරිසිදු ඉන්ධනවලට යොමු වී තිබේ. මෙම මිල වැඩිවීම කෙසේ නමුත් දරා ගත හැකි පරිදි පිරිවැය කළමනාකරණ පියවරද අනුගමනය කරමින් තිබේ. සමාගම දක්වන පරිදි තාක්ෂණික වෙනස්කම් සහිත පද්ධති සවිකළ ගුවන් යානා හාරසියයක් නිති පතා ගමන් බිමන් කරන අතර එයින් ඉන්ධන පිළිස්සීම අවම කෙරේ. අනෙක වැඩි පිරිවැයක් සහිත පරිසර හිතකාමී ඉන්ධන ප‍්‍රයෝජනයට ගැනීමේදී ගාස්තු වැඩිවන නමුත් යුනයිටඩ් එයාර් ලයින් සේවාව ලබාගන්නා ජාත්‍යන්තරව ප‍්‍රකට ගුවන් භාණ්ඩ ප‍්‍රවාහන සේවා සමාගම් ගණනාවක් අමතර වියදමක් දරන්නට සිදුවීම ප‍්‍රශ්නයක් නොවන බව ප‍්‍රකාශ කර තිබේ. ගුවන් සමාගම සමග එකතු වී ඇති භාණ්ඩ ප‍්‍රවාහන සේවා සමාගම් එම පිරිවැය බෙදාගන්නා අතර එය ලෝකයේ පැවැත්ම ආරක්ෂා කරනන සම්මුතියක් සේ සලකන්නට නැඹුරු වී ඇත. මෙම පරිවර්තනය වෙනුවෙන් වැයකරන්නට සිදුවන වියදම දැනට ප‍්‍රකාශයට පත්කර නැත. එහෙත් සමාගම සහ සම්බන්ධ වී සිටින හවුල්කාර සමාගම් එකොළහක් එම සැලැස්මට සම්පූර්ණයෙන් එකඟ වී සිටී.

හරිතාගාර වායු විමෝචනය මගින් සිදුවන හානි සලකන විට ගුවන් ගමන්වල දායකත්වය සියයට 2-3 අතර ප‍්‍රමාණයකි. එය සැලකිය යුතු ප‍්‍රතිශතයක් සේ ගැනේ. වසර 2050 වන විට කාබන් විමෝචනයෙන් වායුගෝලයට වන හානි බිංදුව තෙක් අඩු කිරීම සැලැස්මකි. එයට උපකාරයක් වශයෙන් හරිත ඉන්ධන භාවිතා කරන්නට පෙළැඹෙනු ඇත. කෙසේ නමුත් ඇතැම් විචාරකයන්ට අනුව ලෝකයේ වානිජ ගුවන් යානා සමාගම්වල මෙහෙයුම් අනුව සලකනවිට කාබන්ඩයොක්සයිඩ් නිකුත් කිරීමක් සම්පූර්ණයෙන්ම නැති යුගයක් ගැන තවමත් කල්පනා කරන්නට අවස්ථාවක් නැත. හරිත තත්ත්වයක් සහමුලින්ම ඇති නොවේ. නමුත් මෙය පරිවර්තිත අවස්ථාවකි. සාමාන්‍ය ඉන්ධන භාවිතා කරන ගුවන් ගමන්වලට වඩා පරිසර හානිය අවම කරන පියවරක් වනු ඇති අතර අවසානයේදී විදුලි බලයෙන් එනම් එන්ජිමක් රහිත ධාවනයක් ගැන ඉලක්ක කළ යුතු බව පැවසේ. 

ජාත්‍යන්තර වාර්තා අනුව 2018 වසරේදී ගුවන් යානාවලින් ලෝකය පුරා අලුතින් විසුරුවා හරින ලද කාබන්ඩයොක්සයිඩ් ප‍්‍රමාණය ටොන් මිලියන 895ක් බව දැක්වෙයි. දැන් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හෙයින් ගුවන් ගමන් විශාල වශයෙන් සීමා වී ඇති නමුත් සාමාන්‍යයෙන් වසරකට සියයට පහක මගී වර්ධනයක් සිදුවෙයි. එයට සමානුපාතිකව සිදුවන වාර ගණන වායුගෝලයට අහිතකර ස්වභාවය ඇති කරයි. කෙසේ නමුත් කාබන්ඩයොක්සයිඩ් විමෝචනය සම්බන්ධයෙන් නම්දරන හේතුව විදුලිය උත්පාදනය බවද සඳහන් කළ යුතුය. පර්යේෂණ වාර්තා අනුව වායුගෝලය කළඹන කාබන් විමෝචනයෙන් සියයට හතළිහක දායකත්වයක් විදුලිය උත්පාදනය මගින් සිදුවෙයි. දෙවැනුවට මාර්ගවල ධාවනය කරන රථවාහන හෙයින් වන අතර එහි බලපෑම සියයට දහහතක ප‍්‍රතිශතයකි. ගුවන් යානා සමාගම් අලුතින් අවධානය යොමුකරන අතර කාලගුණ විපත් හා ගෝලීය උණුසුම වැඩිවීම වළකන අරමුණ ඇතිව ගන්නා තීරණ ජගත් ප‍්‍රජාවගේ ප‍්‍රසාදයට හේතු වී තිබේ. පිරිසිදු ඉන්ධන භාවිතා කිරීම හා කෘෂිකාර්මික අපද්‍රව්‍යවලින් නිපදවන හරිත ඉන්ධන භාවිතා කරන ප‍්‍රවනතාව මහත් අවධානයකට ලක්ව ඇත. 

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org  ලිපිනයට එවන්නේ නම් අගය කරමි.

මිලින්ද මොරගොඩ