2021 මැයි 01 වන සෙනසුරාදා

ශබ්ද මාධ්‍යයේ පුරෝගාමියා කොළඹ සිට කතා කළ කොළඹගේ

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 306

ලංකා ගුවන්විදුලි සේවයේ ඉතිහාසය ගැන කතා කරන විට මුලටම කියවෙන්නේ ඔහුගේ නමය. එසේ වන්නේ ලංකා ගුවන්විදුලියේ ප්‍රථම සිංහල නිවේදකයා ඔහු නිසාය. ඔහු නිකම්ම නිකම් ගිරා පෝතකයකු නොව බොහෝ ඇසූ පිරෑ තැන් ඇති, සාහිත්‍යයට, කලාවට, සංස්කෘතියට ආදරය කළ නව පරපුරට අතහිත දුන්, මානව හිතවාදී, අහිංසකත්වය, නිසංසලත්වය හා අවංකභාවයට කැඩපතක් වූ කලාකාරයෙකි. ලේඛකයකු කෙටිකතාකරුවකු මෙන්ම ඔහු වේදිකා හා සිනමා නළුවෙක් ද විය.

කුඩා කාලයේ මේ පොඩිත්තා නාරාහේන්පිට අභයාරාමය පන්සලේ දොරකඩ අස්න කියවූ දේවදූතයා ලෙස ප්‍රසිද්ධව සිටියේය. කිරුළපන, නාරාහේන්පිට, ප්‍රදේශවල ප්‍රභූවරුන්ගේ මඟුල්වල ස්තූති පත්‍ර කියවූ මේ දරුවා පන්සලේදී පොහෝදාට සිල් සමාදන් වූ පින්වතුන්ට අසා සිටීමට ජාතක පොත කියවීය. ගමේ මළගෙදරක වෙස්සන්තර ජාතකය කියවූ මේ දරුවා තවත් විටෙක මඟුල් ගෙදර ගීයක් ගැයූ අවස්ථා ද විය.

පසු කලෙක ඔහු කොළඹ මාමා ලෙස ප්‍රකටව නිවේදකයකු, ලංකා ගුවන්විදුලි සේවයේ පාසල් වැඩසටහන් නිෂ්පාදකයකු, සන්ධ්‍යා සේවයේ අධ්‍යක්ෂ, සිංහලාංශයේ සංවිධායක ලෙස තනතුරු හොබවා ඉසුඹු ලබා සිටි 1981 අප්‍රේල් මාසයේ දිනක නව යුගය පුවත්පතට විශේෂාංගයක් ලිවීමට ඡායාරෑප ශිල්පී රෝලන්ඩ් පෙරේරා සමඟ ගිය හැටි මගේ පරණ සටහන් පොතක සඳහන් වී තිබුණි. එදා කිරුළපනේ (අද ඩී.එම්. කොළඹගේ මාවත) නිවෙසට ගිය ගමනින් ඔහුගේ වතගොත සොයා ගැනීමට හැකි විය.

දොන් මර්තේලිස් කොළඹගේ මහතා (ඩී.එම්. කොළඹගේ) 1909 මැයි 04 වැනිදා උපන්නේ කොළඹ කිරුළපනේදීය. කිරිල්ලපනේ පදිංචි කොළඹගේ දොන් අර්නෝලිස් මහතාගේ දූ දරුවන් අට දෙනාගෙන් පස්වැන්නා ඔහුය. කිරිල්ලපනේ බෞද්ධ මිශ්‍ර පාසලින් තුන්වැනි පන්තිය සමත්ව වැල්ලවත්තේ ශ්‍රී වෛශාඛ විද්‍යාලයෙන්ද රජයේ ඉංග්‍රීසි පාසලටද කොළඹ මහාබෝධි විද්‍යාලයටද ඇතුළු වී අධ්‍යාපනය ලැබූ ඔහු මුලින්ම තෝරාගත්තේ ගුරු වෘත්තියයි. කළුතර දියමන්ති ජුබිලි විද්‍යාලයේද, බොරලැස්ගමුවේ ද්විභාෂා විද්‍යාලයේද, වැල්ලවත්තේ ශ්‍රී වෛශාඛ විද්‍යාලයේද ගුරුවරයකු ලෙස සේවය කොට සිටින අතර ඔහුට පුවත්පතක වෙළෙඳ දැන්වීමක් ඇස ගැසිණි. ඔහු ඒ කතාව අපට කීවේ මෙසේය.

1937 වර්ෂයේ ලංකාවේ ගුවන්විදුලි යන්ත්‍ර තිබුණේ 10,000 ක් විතර. දවසක් මම ගුවන්විදුලියෙන් නාරද හාමුදුරුවෝ බණක් කියනවා අහගෙන හිටියා. අනේ මටත් මේ වගේ ගුවන්විදුලියෙන් මුළු ලංකාවටම ඇහෙන්න කතා කරන්න පුළුවන් නම් කියලා හිතුණා. මේ කාලයේ (1937) ගුවන්විදුලියට සිංහල නිවේදකයෙක් ඕනෑ කියලා දැන්වීමක් පළ කරල තිබුණා. මම ඉල්ලුම් පත්‍රයක් දැම්මා. තරගකාරී පරීක්ෂණ කිහිපයකට පසු මම ඒ තනතුරට පත් වුණා.

මුළු ගුවන්විදුලියටම සිටිය එකම සිංහල නිවේදකයා මම වුණා. 1938 ජනවාරි 01 සිට. මට කලින් සිංහල නිවේදන කටයුතු කළේ ගුවන්විදුලියේම කාර්මික නිලධාරියකු වූ රුබේරු මහත්තයා. මුල් කාලයේ නිවේදන හා වෙනත් වැඩසටහන් ප්‍රචාරය කළේ කලින් පටිගත කොට කිසිම සංස්කරණයකින් තොරව සජීවීව. මේ අවස්ථාවේ මම මුහුණදුන් අමතක නොවන අත්දැකීම් කිහිපයක් මතක් වෙනවා.

දවසක් ක්ෂය රෝගය ගැන කතාවක් පවත්වන්න ආයුර්වේද වෙද මහත්තයෙක් මැදිරියට ආවා.

කෝ පිටපත.. මම ඇහැව්වා.

මේ පොත බලාගෙන මම කියවන්නම්. ඔහු කිව්වා.

මම ඔහු අසලම සිටියා. වෙද මහත්තයා ශීඝ්‍රගාමී දුම්රියක් යන්නාක් මෙන් කියවාගෙන කියවාගෙන ගියා. මම කොළයක හෙමින් කියවන්න කියලා ලියලා පෙන්නුවාම තමයි ක්‍රමයෙන් කතාවේ වේගය අඩු වුණේ. කොළඹගේ මහතා අතීත සිද්ධියක් මතක කළේය.

ලංකා ගුවන්විදුලිය 1925 දෙසැම්බර් 10 ඇරඹූ බව මතයක් ඇතත් කොළඹගේ මහතා පවසන්නේ එහි උපත 1924 ජූනි මාසයේ සිදුවූ කියායි. එවකට සිටි ආණ්ඩුකාර සර් විලියම් හෙන්රි මැනිං විසින් ඉංජිනේරු සංගමයට පණිවුඩයක් නිකුත් කළ දිනය 1924 ජූනි 24 ගුවන්විදුලිය පටන්ගත් දිනය ලෙස සැලකිය යුතු යැයි එදා කොළඹගේ මහතා අපට පැවසුවේය.

ප්‍රථම ගුවන්විදුලි කාර්යාලය පිහිටියේ මධ්‍යම විදුලි සංදේශ කාර්යාලයෙ පුංචි කාමරයක. ඊට පස්සේ යුනිවර්සිටි කොලේජ් හි සිටි මහාචාර්ය ආර්. මාර්ස් මේ සඳහා පුංචි කාමරයක් දීලා තියෙනවා. එතැනින් ටොරිංටන් හි පිහිටි මානසික රෝහලේ පරණ ගොඩනැගිල්ලට ගෙන ගිහින් ගුවන්විදුලි කාර්යාලය එහි මැදිරි දෙකකින් වැඩ කරගෙන ගියා.

කොළඹගේ මහතා එදා ඒ පරණ මතකය තමා ලියූ කුතුහලය සහිත කෙටිකතාවක් සේ කියාගෙන ගියේය.

මුල් කාලයේ ග්‍රුමෆෝන් තැටි තමයි ගුවන්විදුලියෙන් වැඩිපුර වාදනය වුණේ. මුල්ම සංගීත වැඩසටහන ඉදිරිපත් කළේ සංගීතඥ ඇම්.ජී. පෙරේරා. සාර්ලිස් සිල්වා, එඩී ද සිල්වා, එච්.ඩබ්ලිව්. රූපසිංහ, කෝකිල දේවි, එම්.කේ. වින්සන්ට් ඒ කාලේ ගීත ගයපු ගායක ගායිකාවෝ. මුලින්ම ගුවන්විදුලියේ කතා කළේ පැළෑනේ වජිරඥාන නායක හාමුදුරුවෝ. නාට්‍ය නිෂ්පාදක බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න ඇතුළු මිනර්වා නාට්‍ය කණ්ඩායම විනාඩි 45ක නාට්‍යයක් ඉදිරිපත් කළා. ටී.ඩී. එඩ්වින් පෙරේරා හා කුරුණෑගල රජයේ සේවකයන්ගේ සංගමයත් නාට්‍ය ඉදිරිපත් කළා. මේ කාලයේ තමයි ගුවන්විදුලි අධිකාරි ලෙස ආර්ලිචා සිල්වා පත්වෙලා ආවේ.

කොළඹ සිට කතා කරමි. මේ කොළඹ ගුවන්විදුලි සේවයයි.

කොළඹගේ මහතා ගුවන්විදුලියෙන් කතා කළේය.

ගුවන්විදුලි වංස කතාව බඳු කොළඹගේ මහතාගේ මතක ගබඩාව රසවත් තොරතුරුවලින් පිරී තිබුණි

දවසක් ස්වදේශ කටයුතු භාර ඇමැති ඩී.බී. ජයතිලක මහතා ගුවන්විදුලි වැඩසටහනකට පැමිණියා. වැඩසටහන ඉවර වෙන්න විනාඩියක් තිබියදී මා දිහා බලලා, අයිසේ වට් ඉස් ද ටයිම් (What is the Time?) කියලා මා දිහා බලලා ඇහැව්වා. මට තරු පෙනුණා. ඉක්මනට මම ශබ්ද පාලනය කරන ඇණය ඔබා තව විනාඩියක් තියෙනවා සර් කිව්වා. කොහොම වුණත් ජයතිලක මහත්තයා කිව්ව ඉංග්‍රීසි කෑල්ල ගුවනින් ඇසුණා. කොළඹගේ මහතා සිනාසෙමින් කීවේය.

මඩිහේ පඤ්ඤාසීහ හිමියන් ගුවන්විදුලියේ ධර්ම දේශනයකට පැමිණි අවස්ථාවක් ගැන ද කොළඹගේ මහතා සිහිපත් කළේය. දිනය 1942 අප්‍රේල් 25 වැනිදාය. බණ ඇරඹුණා පමණි. මැදිරියේ කහ සංඥාව නිකුත් විය. අනතුරක් අත ළඟ බව දැනගත් කොළඹගේ මහතා බණ කීම නවතා මඩිහේ හිමියන්ව ආරක්ෂිත තැනකට ගෙන ගොස් ඇත. නිමේෂයකින් කොළඹ අහස ගුගුරවමින් ජපන් අහස් යාත්‍රා කරණම් ගසන්නට විය. බෝම්බ හඬත්, සමඟම කොළඹගේ මහතා ගෙදර ගොස් ඇත්තේ තම දරුවාත් බිරිඳත් වේයන්ගොඩ ගමට ගෙන යාමටය.

කොළඹගේ මහතා 1939 වසරේ නිට්ටඹුවේ සුබේදින් ගජනායක මෙනෙවිය සමඟ විවාහ වූ අතර ඔවුන්ට අසෝක, ආනන්ද හා උපාලි නම් පුතුන් තිදෙනෙක් වූහ. අසෝක කොළඹගේ පරිපාලන නිලධාරියෙක් විය. ඔහු දක්ෂ කෙටිකතාකරුවෙක්, නාට්‍ය රචකයෙක් විය. ඔහු අද ජීවතුන් අතර නැත. බාල පුතු උපාලි රාවය පත්‍රයේ නියෝජ්‍ය කර්තෘව සිට ඉසිඹු ලබා ඇත. 

1954 වසරේ මලයා ගුවන්විදුලියේ විශේෂ පුහුණුවක් ලැබූ කොළඹගේ මහතා 1960 පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල ගුවන්විදුලි සාකච්ඡා සම්මේලනය සඳහා ලංකාව නියෝජනය කරමින් නවදිල්ලියට ගියේය. ඔහු 1962 බී.බී.සී. බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ පුහුණුව ලැබුවේය.

ඩී.ඇම්. කොළඹගේ මහතා ගුවන්විදුලියේ සන්ධ්‍යා සේවයේ අධ්‍යක්ෂව සිටි කාලයේ ගුණාත්මක වැඩසටහන්, නාට්‍ය, නිෂ්පාදනය කළේය. මෛත්‍රී මූර්හි හිමියන් විසින් 1966 සහ 1967 වසරවල ඉදිරිපත් කළ සන්ධ්‍යා සේවයේ සෑම දෙසතියකට වරක් රාත්‍රී 6.45ට ප්‍රචාරය කළ ගුවන් ලියුම, ඔබේ ගැටලුව, ඇතුල් පැත්ත වැඩසටහන් යොවුන් පරපුර අතර අතිශයින්ම ජනප්‍රිය විය. එය එක නිදර්ශකයක් පමණි. මුදලිනායක සෝමරත්න රචනා කළ මුවන්පැලැස්ස දීර්ඝ ගුවන්විදුලි නාට්‍ය දෙවැනි නිදර්ශනයයි.

කොළඹගේ මහතා දක්ෂ වේදිකා නළුවෙකි. පී. වැලිකල නිෂ්පාදනය කළ ඇත්ත කුමක්ද?, දවසක වෙනස, රාත්‍රිය භයානකයි හා එකමත් එක කාලෙක, මුදලිනායක සෝමරත්නගේ සංවත්සරය නාට්‍ය ඒ අතර ප්‍රකටය. සංවත්සරය නාට්‍යයේ කොළඹගේ මහතා රඟපෑ බීමත් චරිතය දුටු ඇතැම් ප්‍රේක්ෂකයන් ඇසුවේ ඒ මිනිහා ඇත්තටම බීලාද? කියාය.

කොළඹගේ මහතාගේ මුල්ම සාහිත්‍ය කෘතිය වූයේ යූ.ඒ.ඇස්. පෙරේරා (සිරි අයියා) සමඟ ලියූ පරිවර්තන කෘතිය වූ දේව පෙරළියයි. බැද්දේගම ඔහු ලියූ රහස් පරීක්ෂක කතාවකි. ණයකාරයා හා කෙටිකතා පොත්ය.

තිස්ස ලියනසූරිය අධ්‍යක්ෂණය කළ සාරවිට චිත්‍රපටයේ අනාථ නිවාසයේ සමාජ සේවක නිලධාරියා ලෙස කළ රඟපෑම ඔහුගේ මුල්ම චිත්‍රපට රංගනය විය. ඉන්පසු ඔහු ධර්ම ශ්‍රී කල්දේරා අධ්‍යක්ෂණය කළ සීතල වතුර හා රූන ගිරව්, හර්බට් එම්. සෙනෙවිරත්න අධ්‍යක්ෂණය කළ සෙනෙහස හා කුමාර් වික්‍රමසූරිය හා එච්.ඩී. විජේදාස අධ්‍යක්ෂණය කළ අබුද්දස්ස කාලේ, ටී. සෝමසේකරන් අධ්‍යක්ෂණය කළ සමාජ සතුරෝ චිත්‍රපටවල රඟපෑවේය.

හැටේ දශකයේ කොළඹගේ මහතා විසින් ලියූ කෙටිකතා සිළුමිණ, සරසවිය පුවත්පත්වලත්, නව යුගය සඟරාවේත් බහුලව පළ වී ඇත. තමා සන්ධ්‍යා සේවයේ සංවිධායක ලෙස කළ විශේෂතා කිහිපයක් ඔහු අප සමුගන්නා විටද, මෙසේ මතක් කරමින් විස්තර කළේය.

1928 අප්‍රේල් 28 වැනිදා පැළෑනේ ශ්‍රී වජිරඥාන නාහිමි විසින් ගුවන්විදුලියේ මැදිරියක් තුළ මයික්‍රොෆෝනයකින් ධර්ම දේශනයක් මුල්වරට පැවැත්වීම විශේෂයක්. 1938 දී මා සිංහල නිවේදකයා වීමෙන් ප්‍රථම වරට පාඨශාලාන්තර සාමාන්‍ය දැනීමේ තරගයක් සංවිධානය කළා. නුවර දළදා පෙරහරේ විස්තරය පටිගත කොට ඉදිරිපත් කළා. මුලදි ළමා වැඩසටහන්වලින් සිරිලතා නැන්දා, ආරියරත්න මාමා, දමයන්ති අක්කා යන ශිල්පීන් හඳුන්වා දුන්නා. එයින් වඩාත් කැපීපෙනුණේ අධි නීතිඥ යූ.ඒ.ඇස්. පෙරේරා (සිරි අයියා) මෙහෙයවූ ළමා වැඩසටහනයි. සිරි අයියාගේ ළමා තීරයට ආ නාලන්දා සිසුන් අතර කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, රිජ්වේ තිලකරත්න (පසුව ගුවන්විදුලියේ මුල් පුටු හා උසස් තනතුරු දැරුවා.) හා සරත් විමලවීර ද කැපී පෙනුණා. මුලින්ම ගුවන්විදුලියෙන් ගම්බද ගී (ජන කවි) ගායනා කළේ ආනන්ද තිස්ස ද අල්විස් (පසුව කතානායක හා ඇමැති). විරිඳු ගායනයක් මුල්වරට මොරටුවේ සිරිමතී වෙත්තසිංහ ඉදිරිපත් කළා.

ඩී.ඇම්. කොළඹගේ මහතාගේ ලේඛන ජීවිතයේ විශිෂ්ටම කාර්යය වූයේ ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේ ලියූ ගුවන්විදුලි වංශ කතාව කෘතියයි. එය ගුවන්විදුලියේ ඉතිහාසය අතැඹුලක් සේ පාඨකයක්ට දැනගැනීමට හොඳ අත්පොතකි.
1987 නොවැම්බර් 23 වැනිදා කොළඹගේ මහතා ජීවිතයෙන් සමුගත්තේය. කොළඹගේ මහතා ගැන අගනා ලිපි ගුණදාස ලියනගේ, මු. අරුක්ගොඩ හා අමුණුගොඩ තිලකරත්න විසින් ලියා තිබුණි.