2021 මැයි 01 වන සෙනසුරාදා

කොවිඩ් මරුවා පැරදුණු රටවල්!

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 16

ලෝකයේ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 149,454,817+ පන්නා හමාරය. කොවිඩ් මරණ සංඛ්‍යාව 3,151,990+ වැඩිය. මරණ 587,384+ සහ අසාදිතයන් 32,927,091+ පිරිසක් සහිත අමෙරිකාවට පසු වැඩියෙන්ම බැටකන රට බවට පත්ව ඇත්තේ  අපේ අසල්වැසි ඉන්දියාවයි. ඉන්දියාවේ මරණ සංඛ්‍යාව මේ ලිපිය ලියන මොහොත වනවිට 201,200+ ලෙස වාර්තා විය. ආසාදිත ගණන 17,997,897+ කි. ඒ ලෙස ලෝකය පුරා රටවල් 221ක් මේ වනවිට කොවිඩ් මාරකයෙන් දරුණු ලෙස බැටකද්දී රටවල් 14ක්  ඒ මාරක රෝගයට ගොදුරු වූ නමුත් එහි භයානක මරණයෙන් බේරී ඇත. ඩොමිනිකාව, ලාඕසය, නව කැලිඩෝනියාව, පෝක්ලන්ත දූපත්, මැකාවෝ, ශාන්ත පියරේ, සෙන්ට් කිට්ස් සහ නෙවීස්, ඇන්ගුයිලාව, සොලමොන් දූපත්, මාර්ෂල් දූපත්, සැමෝවා, මයික්‍රෝනීසියාව, ග්‍රීන්ලන්තය සහ වතිකානුව එලෙස තවමත් කොවිඩ් මරණයෙන් බේරී ඇති රටවල්ය. එසේත් නැතිනම් කොවිඩ් මරුවා පැරදුණු රටවල්ය.

කොවිඩ් මාරයාට ජීවිත බිලි නොදී අසාදිතයන් පාලනය කරගත් රටවල් රුසක්ද ලෝකයේ තිබේ. ඒ අනුව ලාඕසයේ මෙතෙක් වාර්තා වී ඇත්තේ කොවිඩ් ආසාදිතයන් 602කි. 2020 මැයි මස 26 මුල් රෝගීන් 3 දෙනකු වාර්තා වී ඇති අතර 2020 නොවැම්බරයේ 14 දෙනකු වාර්තා විය. 2021 අප්‍රේල් 23 රෝගීන් 65ක් වාර්තා වීමත් සමඟ මෙතෙක් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ අප්‍රේල් 26දාය. ඒ 113කි.

ඩොමිනිකන් රාජ්ජයේද ආසාදිතයන් වාර්තා වීම ඉතා අවමය. 2020 මාර්තු 23 පළමු රොගියා වාර්තා වී ඇති අතර එදා සිට මේ දක්වා ඒ රටින් වාර්තා වී ඇති සම්පූර්ණ රෝගීන් ගණන 173කි. එයින් 171ක්ම නැවත සුවය ලබා හමාරය. මේ රටේ එක්දිනක් තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ 2021 ජනවාරි 06දාය. එදින වාර්තා වූ සංඛ්‍යාව 17කි. අප්‍රේල් 23 වනවිට ඒ සංඛ්‍යාව නැවතත් 01 දක්වා පහත බැස තිබේ.

නව කැලිඩෝනියාවද මරණ වාර්තා නොවෙන රටකි. ඒ රටේ මේ වනතුරු වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 124කි. ඉන් 58ක්ම සුව වී හමාරය. මුල්වරට රෝගීන් දෙදෙනෙකු  එකවර ඒ රටින් වාර්තා වූයේ 2020 මාර්තු 21 දිනය‍. එදා සිට මේ දක්වා එක් දිනක් තුළ වැඩියෙන්ම රෝගින් හමුවූයේ 2021 මාර්තු 21 හරියටම මුල් රෝගියා හමුව වසරක් සැපිරෙන දිනයේදීය. ඒ රෝගීන් 19 දෙනෙකි.

ඇන්ග්‍යුලාවේද මරණ නැත. ආසාදිතයන්ද ඇත්තේ 90කි. එයින් 29ක් සුව වී සිටිති. 2020 අප්‍රේල් 02 මුල්ම රෝගියා වාර්තා වූ අතර එදා මෙදාතුර වැඩිම ආසාදිත පිරිස වාර්තා වූයේ මේ නොබෝදා 2021 අප්‍රේල් 23දාය. ඒ 29 දෙනෙකි.

ෆෝක්ලන්ත දූපතේ ආසාදිත පිරිස 63කි. එයින් 62ක්ම දැන් සුවෙනි. රටක් මැද එරටක් ලෙස ප්‍රසිද්ධ වතිකානුව අඩුවෙන් ආසාදිතයන් වාර්තා වූ රටකි. එය අන්තර්ගතව ඇති අසල්වැසි රාජ්‍ය වන ඉතාලිය 3,981,512 + රෝගීන් සහ 119,912 + මරණ සහිතව ලොව කොවිඩ් ආසාදිතයන් වැඩිම රටවල් අතර 8 වැනි තැනට පත්වෙද්දී වතිකානුවේ කොවිඩ් ආසාදිතයන් ගණන 27කි. එයින් 15ක්ම දැන්  සුවය ලබා ඇත. ඒ රට මුල්ම තුන් දෙනෙකුගෙන් යුතු කොවිඩ් රෝගී පිරිස 2020 මාර්තු 24 වාර්තා විය. ඔක්තෝබර් 12-15 අතර දෛනික වැඩිම ආසාදිත පිරිස ලෙස 7ක් වාර්තා විය. එපමණකි.  ඒරටින් ඔක්තෝබර් 17න් පසු කිසිදු රෝගියෙක් අලුතෙන් මතුවූයේ නැත.

නමුත් ඒ රටවලටත් වඩා මුලසිටම කොවිඩ් මරණයට ගොදුරු වීමෙන් සිය ජනතාව බේරා ගන මුළුමණින්ම කොවිඩ් අතුගා දමන්නට සමත් වූ රටවල් ගණනාවක්ද ලොව දක්නට හැකිය.

ඒ අන්දමට ලොව කොවිඩ් ජයගත් විශ්මිතම රාජ්‍ය ලෙස වාර්තා කළ හැක්කේ මයික්‍රෝනීසියාවය. ඒ රටින් එදා මෙදාතුර වාර්තා වූයේ එක් ආසාදිතයෙක් වන අතර ඔහුද දැන් සුවපත්ය. ඊළඟට සෙන්ට් හෙලේනාවය. එයින් ආසාදිතයන් 2ක් වාර්තා විය. ඒ දෙදෙනාම සුවපත්ව රොහල් හැර ගොසිනි. සැමෝවා දූපතේද වාර්තා වූ ආසාදිතයන් දෙදෙනාම සුවපත්ය. මාර්ෂල් දූපත තුළ ආසාදිතයන් 4ක් වාර්තා වූ අතර ඒ 4 දෙනාම සුවය ලැබූහ. සොලොමන් දූපත්ද ලෝකයේ කොවිඩ් මරණ ජයගත් රටක් පමණක් නොව ඒ රටින් කොවිඩ් ආසාදිතයන් තුරන් කළ රටකි. ඒ රටේ සිටියේ කොවිඩ් රෝගීන් 20කි. දැන් ඒ 20ම සුවෙනි.

කොවිඩ් මරණයෙන් බේරුණු තවත් රටකි සෙන්ට් කිට්ස් සහ නෙවීස්. ඒ රටද අපූරු රටකි. එහි රෝගීන් වාර්තා වූයේ 44කි. ඒ 44ම සුවය ලැබු‌වෝය. මැකාවෝද එබඳු හාස්කමක් දැක්වූ තවත් රටකි. එහි ආසාදිතයන් ගණන 49ක් වූ අතර ඒ 49ම සුවවූහ. ග්‍රීන්ලන්තයේද ආසාදිතයන් 31දෙනාම දැන් සූවය ලබා හමාරය. සෙන්ටි පියරේ වෙතින්ද ඒ බඳුම වාර්තාවක් දක්නට ලැබේ. ඒ රටින් එදා මෙදා තුර වාර්තා වූ රෝගීන් 25 දෙනාම දැන් සුවෙනි. ඒ අනුව මේ රටවල් ගැනෙන්නේ කොවිඩ් නැත්තටම තුරන් කළ නැතිනම් පාලනයට ලක්කළ රටවල් හැටියටය.

 සුගත් පී. කුලතුංගආරච්චි

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03