පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා ආණ්ඩුවට එල්ලවන බලපෑම් බොහෝය. එක් පැත්තකින් දේශපාලනිකවත්, තවත් පැත්තෙන් ආගමිකවත් ආණ්ඩුවට මේ බලපෑම දිගින් දිගටම එල්ල වෙන්නට පටන් ගෙන ඇත. වර්තමාන ආණ්ඩුව බලයට පැමිණීමේදී ප්‍රධාන පොරොන්දුවක් වූයේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට දඬුවම් ලබාදීමය. මේ නිසා ප්‍රහාරයට වසර දෙකක් ගතවී ඇති නිසා දැන් බොහෝ දෙනාගේ ලොකුම අරමුණ වී ඇත්තේ සහරාන්ට අමතර මේ සඳහා සෘජුව සහ වක්‍රව සම්බන්ධ වූවන් කවුදැයි නීතිය හමුවේ දැක ගැනීමටය.
විශේෂයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම් වාර්තාවේ නිර්දේශ කෙරෙහි පවා ජනතාව වැඩි අවධානයක් යොමු නොකළේ වාර්තාව තුළද සහරාන්ට අමතරව මෙහි මහ මොළකරුවන් කවුද යන්න නිසි ලෙස සටහන් වී නැති නිසාය. මේ ගැන කාදිනල් පවා රජයෙන් විමසූ අතර විශේෂිතම කරුණ නම් එදා ප්‍රහාරය වන අවස්ථාවේ ආණ්ඩු කළ අද විපක්ෂයේ සිටින අය පවා ඒ ගැන ප්‍රශ්න කිරීමය.
කෙසේ වෙතත් මෙම සියලු කාරණා මැද බොහෝදෙනා පුදුම කරමින් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ මෙම ප්‍රහාරයේ සැකකරුවන් සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ල කරමිනි. එසේ අත්අඩංගුවට ගත් අසාද් සාලි මේ වනවිට රැඳවුම් නියෝග මත රහස් පොලීසියේ රඳවාගෙන සිටියි.
අසාද් සාලි අත්අඩංගුවට ගත්තත් පාස්කු ප්‍රහාරය සමයේ වැඩි වශයෙන්ම නම කියවුණු රිෂාඩ් බදුයුදීන් ගැන තවමත් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයිද යන්න බොහෝ දෙනාට ගැටලුවක් තිබුණේය. පාස්කු ප්‍රහාරය සමයේ එකී සැකකරුවන් සමඟ සබඳතා පැවැත්වීම, ඔවුන්ට නිවාස පහසුකම් ලබාදීම ආදී චෝදනා රැසක් රිෂාඩ් වෙත එල්ල වී තිබිණි. එහෙත් ඒ සියල්ල හුදු චෝදනා පමණක් වූ අතර එය තව තවත් දුරගියේ රිෂාඩ් බදුයුදීන් ඔක්තෝබර් මාසයේ අත්අඩංගුවට ගැනීමත් සමඟය. එම අත්අඩංගුවට ගැනීම සිදුවූයේ ඡන්දයේදී ජනතාව ප්‍රවාහනය කළ බවට චෝදනා කරමිනි. මේ අත්අඩංගුවට හෑල්ලුවට ලක්කරමින් ඇතැම් පිරිස් සහ දේශපාලනඥයන් කියා සිටියේ රිෂාඩ් අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාර චෝදනාවට නොවන බවය. එය තවත් රඟපෑමක් බව බොහෝ දෙනා කීය.
එම අදහස් තව තවත් තීව්‍ර වූයේ රිෂාඩ් හිරේ සිටිනා විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වැනි සංශෝධනයට රිෂාඩ්ගේ පක්ෂයේ පිරිසක් අත් එසවීම නිසාය. පාස්කු ප්‍රහාරයට චෝදනා එල්ලවෙන රිෂාඩ්ගේ පක්ෂයේ පිරිසකගේ සහය ලබාගැනීම සඳහා මේ අත්අඩංගුවට ගැනීම සිදුකළ බවට ඇතැම් පාක්ෂිකයෝ චෝදනා එල්ල කළහ.
මේ අතර ඒ චෝදනා තව තවත් ප්‍රබල වූයේ ඒ වනවිටත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටි රිෂාඩ්ගේ සහෝදරයා වන රිෆ්කාන් බදුයුදීන් නිදහස් කිරීමත් සමඟය. ඒ නිසා ආණ්ඩුවත් බදුර්දීනුත් අතර ගහට පොත්ත මෙන් සබඳතාවක් ඇති බවට සමහරු විශ්වාස කළහ.
කෙසේ වෙතත් රිෆ්කාන් ගැන නැවත කතාවෙන්නේ පාස්කු කොමිසම තුළය. හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන පවසන්නේ සහරාන් කුරුණෑගල මාවතගම හරහා මන්නාරමට ගොස්, මන්නාරමෙන් කාශ්මීරයට පැනගියේ මේ රිෆ්කාන්ගේ උදව්වෙන් බවය. එසේ පැනයාමට බෝට්ටු සැපයුවේ ඔහු බව කීය. එම සාක්ෂිය ඇසූ පමණින් බොහෝදෙනාට පුදුමයක් ඇතිවීම සාමාන්‍ය දෙයකි. එනම් එතරම් සැලසුම් සිදුකර ඇති බවට චෝදනා තිබියදී රිෆ්කාන් එළියේ සිටින්නේ කෙසේද කියාය.
මේ සියල්ල මැද රිෂාඩ් නිතර නිතර කීවේ තමන්වත් තම සහෝදරයාවත් මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නැති බවය. එහෙත් නිවාස ලබාදීම, මිතුරුකම සහ ඊබ්‍රාහිම් පවුලේ තඹ කර්මාන්ත ශාලාවට කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශය හරහා තඹ ලබාදීම යන චෝදනා ඔවුන්ට එල්ල වී තිබුණේය. එසේ තිබියදී රිෂාඩ් කුරුල්ලකු සේ නිදහසේ සිටීම කාටත් ප්‍රශ්නයක් විය.
කෙසේ වෙතත් ඒ සියල්ල කනපිට හැරවුණේ පසුගිය 24 වැනිදා අලුයමය. එකවර තම ෆේස්බුක් ගිණුම ඔස්සේ අලුයම සජීවීව පැමිණි රිෂාඩ් ලෝකෙටම පේන්න තමන් අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිස් නිලධාරීන් පැමිණ ඇති බව පෙන්වීය. බෞද්ධාලෝක මාවතේ පිහිටි තම නිවාසය ඒ වනවිට වටලා ඇති බව ඔහු එහිදී කීය. එහෙත් අවසානයේ රිෂාඩ් රහස් පොලිස් බාරයට ගනු ලැබීය. එසේ ගන්නා විට රිෂාඩ් පමණක් නොව ඔහුගේ සොහොයුරා වන රියාජ් බදුයුදීන්ද වැල්ලවත්තේ පිහිටි නිවසේදී අත්අඩංගුවට ගත් බව මාධ්‍ය මගින් ප්‍රචාරය විය. එම අත්අඩංගුවට ගැනීම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බවටද දැනගන්නට ලැබුණි.
එසේ අත්අඩංගුවට ගත් රිෂාඩ් සහ රියාජ් පැය 72ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන්නට පටන් ගත් බව පොලීසිය ප්‍රකාශ කළේය. එසේ ප්‍රශ්න කරන්නට පටන් ගත්තේ මේ දෙදෙනාම පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතකයන් සමඟ සෘජු සම්බන්ධතා පැවැත්වූ බවට ලැබුණු සාක්ෂි මතය. එම සාක්ෂි අත්අඩංගුවට ගත් අය විසින් ලබාදී තිබූ බවද ප්‍රකාශ විය. ඒ අනුව ප්‍රශ්න කිරීම් සිදුකෙරෙමින් තිබේ.
කෙසේ වෙතත් මේ දෙදෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා තවත් මාස තුනක කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට රහස් පොලීසිය තීරණය කර තිබුණි. ඒ අනුව අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව එයටද අවසරය හිමිවිය. මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කර සිටියේ “ඇතැම් පිරිස් ස්වයං ඝාතනකයන් සමඟ සබඳතා සෘජුව පවත්වාගෙන ගිය බවට සාක්ෂි තිබුණා. ඇතැම් අය ප්‍රකාශ කළා. ඒ වගේම බැංකු හරහා චෙක්පත් හුවමාරු පවා ඒ සම්බන්ධයෙන් අපි පරීක්ෂණ කළා. ඒ සියල්ල සම්බන්ධයෙන් තමයි අපි මේ දෙදෙනාව අත්අඩංගුවට ගත්තේ.” යනුවෙනි.
රිෂාඩ් සහ රියාජ් යන දෙදෙනාට එල්ල වී ඇති චෝදනා සුළුපටු වන්නේ නැත. පාස්කු ප්‍රහාරයේ යුක්තිය සම්බන්ධයෙන් දෙස් විදෙස් සියලුදෙනාම ඉන්නේ අවධියෙන්ය. ඒ දෙස් විදෙස් අයද මේ ප්‍රහාරයෙන් මියගිය නිසාය. යම් හෙයකින් රිෂාඩ් තම දේශපාලන හයිය මේ සැකකරුවන්ගේ සහයට ලබාදී ඇත්නම් රිෂාඩ්ට කිසිදු සමාවක් දියයුතු නැත. එහෙත් මෙරට දේශපාලනය ගෑවුණු තැන නීතිය ක්‍රියාත්මක වීම මන්දගාමී වීම සාමාන්‍ය දෙයකි. පසුව දියාරු වී යයි.
ඇතැම් විට එය එසේම මේ එල්ලවන චෝදනාවලට අනුව මේ ප්‍රහාරකයන් සමඟ රිෂාඩ් පමණක් නොව ඇතැම් දේශපාලනඥයන් සහරාන්ගේ සහොදරයා වන රිස්වාන් බෝම්බ අත්හදා බලා තුවාල වූ අවස්ථාවේ බලන්නට රෝහල් වෙත ගොස් තිබුණේය. එම ඡායාරෑප පවා ප්‍රසිද්ධ විය. එපමණක් නොව නැගෙනහිර පළාතේ ඇතැම් දේශපාලකයන් සමඟ සහරාන් සමීපව කටයුතු කළ බව සාක්ෂි තිබී ඇත.
ඒ සියල්ල එසේ තිබියදී රිෂාඩ් පමණක් කුදලාගෙන යාම නීතිය ඔන්න ක්‍රියාත්මක කළා යන්නට හොඳම සාක්ෂියක් වන්නේ නැත. සහරාන් වැනි මිනිසකු නැගෙනහිර පළාතේ සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාවට තර්ජනය කරමින් බයකරමින් සිටියේ ඉහත කී දේශපාලනඥයන්ගේ හයිය නිසාය. ඒ නිසා ඔවුන්ට විරැද්ධවද ක්‍රියාත්මක විය යුතුය. එසේ නොමැතිව රිෂාඩ් පමණක් අත්අඩංගුවට ගැනීමට විවිධ අර්ථකතන දිය හැකිය. කෙසේ වෙතත් විපක්ෂයේ චෝදනාව වන්නේ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ගේ පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුව විසින් දඩයම් කරමින් සිටින බවය. සැබෑ සැකකරුවන් වෙනුවට ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ මන්ත්‍රීවරුන් දඩයම් කිරීම දේශපාලන පළිගැනීමක් බවද ඔවුහු පෙන්වා දෙති.
මේ සියල්ලට උත්තර ලබාදිය හැක්කේ පොලීසියටය. රිෂාඩ් ඔය කියන තරමට පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නම් අදාළ සාක්ෂිද සමඟ අධිකරණයටද දැනුම් දිය යුතුය. ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය. එසේ නොමැතිව මෙය දේශපාලන මෙහෙයුමක් නම් ඔහු නිවැරදි නම් ඒ නිවැරදි බවද සහතික කළයුතුය. ඒ ඔය කවුරු කවුරුත් බෝ පැළ නොවනා බව රටම දන්නා රහසක් බැවිනි.
ගයාන් ගාල්ලගේ