2021 මැයි 01 වන සෙනසුරාදා

පලා මැල්ලුම් පැකට් පහෙන් ගොඩගිය ප්‍රියංකර

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 190

ඔහු නමින් සුජීව ප්‍රියංකර බාලසූරියයි. වර්මානයේදී ඔහු සාර්ථක ව්‍යවසායකවරයකු පමණක් නොව, සාර්ථක ගොවි මහතෙක්ද වන්නේය. තවත් කෙනෙකු වගා කළ බෝග අස්වැන්න විකුණා ව්‍යාපාරිකයකු වනවා වෙනුවෙට ඔහු තම දෑතින්ම වගාකොට ඒ අස්වැන්න වෙළඳපොළට විකුණා ජීවිතය ජයගත් ගොවියෙකි. නමුත් මේ සාර්ථකත්වය පිටුපස ජීවිතේ කඩාවැටීම්, අසාර්ථකවීම් තිබුණේය. නමුත් ජීවිත හයියක් ඇති ප්‍රියංකර තමන්ට දැඩිලෙස විශ්වාස කළේය. ඒ විශ්වාසය පිටුපස ඔහුට තවත් පවුරක් වැනි ගැහැනු හිතක් තිබුණේය. ඒ ප්‍රියංකරගේ ආදරණීය බිරිඳයි. ඔහු අද යම් ස්ථාවරයක සිටී නම් ඒ සාර්ථකත්වය පිටුපස හෙවනැල්ල වගේ ඔහුගේ ආදරණීය බිරිඳ සිටියාය.

ප්‍රියංකරගේ මුල්ම වගාව වූයේ බිම්මල්ය. ඔහු කොහොමටත් වගාවන්ට ආසාකළ කෙනෙකි. ඕනෑම දෙයක් කැමැත්තෙන් වගා කරන්නට පටන් ගත්තොත් එය සාර්ථක වන බව ප්‍රියංකර විශ්වාස කළේය. ඔහු මේ මහ පොළොව දැඩි ලෙස විශ්වාස කළ කෙනෙකි.

මම මුලින්ම බිම්මල් තමයි වගාකරන්න පටන්ගත්තේ. මුලින්ම බිම්මල් වගාවේ හැම කටයුත්තක්ම කරල පැකට් කරල වෙළඳපොළට ගිහින් දැම්මෙත් මමමයි. ඒ හැමදේටම මගේ බිරිඳ උදවු කළා. ඊටපස්සේ මම බිම්මල් වගා කරන්න මගේ උදව්වට තුන් හතර දෙනෙක් සේවයට ගත්තා. මුලින්ම මම කඩ දහඅටකට විතර බිම්මල් පැකට් දැම්මා. සේවයට හතරදෙනෙක් විතර හිටියට මාත් උපරිමයෙන් මහන්සි වුණා...
බිම්මල් වගාවෙන් යම් සාර්ථකත්වයක් ලබපු ප්‍රියංකරට දිනක් හරි අපූරු අදහසක් ඇතිවුණි. ප්‍රියංකර දරුවන් තුන්දෙනකුගේ පියෙකි. එකල තම කුඩා දරුවන්ට සහ තමන්ට දහවල් කෑමවේලට පලා වර්ගයක් අනිවාර්ය විය. ප්‍රියංකර පලා කෑමට වැඩි ප්‍රියතාවයක් දැක්වූයේය. නිවෙසේ වැඩකටයුතු, දරුවන්ගේ, ව්‍යාපාරයේ වැඩ කටයුතුත් සමඟ දිනපතා පලා පිසීම තම බිරිඳට දින කිහිපයක් මඟ  හැරුණේය. ඒ අතරේ නිවසට ගෙනා පලා මිටි පහකින් දෙකක් පමණ ඉවතට විසිවෙද්දී ප්‍රියංකරට හරි අපූරු අදහසක් හිතට ආවේය. ඒ අනුව පලා වර්ග කපා දින කිහිපයක් තබාගත හැකිවන්නේ කෙසේදැයි ප්‍රියංකර සොයා බැලුවේය. ඒ 1995 වසරේදී පමණය.

ඒ අනුව ප්‍රියංකර තම බිරිඳව ආයතන කිහිපයකට යොමුකොට මේ පිළිබඳව යම් අවබෝධයක් ලබාගන්නට උත්සාහ ගත්තේය. ඒ බොහෝ පරීක්ෂණාගාරවල පිළිතුර වූයේ මැල්ලුම් කපා දවස් ගණන් තියාගන්න බැහැ. ඒ වෙලාවේම ආහාරයට ගන්න ඕනේ යනුවෙනි.

එහෙම ඒ අය කියද්දී මම මැල්ලුම් කපලා ෆ්‍රිජ් එකේ දාලා මේක ටෙස්ට් කළා. එහෙම දවස් ගණන් ටෙස්ට් කරලා මේක දවස් පහක් තියාගන්න පුළුවන් කියල මම තීරණය කළේ. ඒ වෙනුවෙන් මම බොහෝ අත්හදා බැලීම් කළා. ප්‍රියංකර දේශය පිටු අතරට එක්වෙමින් පැවසීය.

ඒ අනුව අත්හදා බැලිම්වලින් සාර්ථක වුණ පිළියමට අනුව ප්‍රියංකර පලා කොළ ලියා පැකට් කර හතු පැකට් දැමූ වෙළඳ සල් ජාලයටම දැම්මේය. ඒ වෙළඳ සල් ජාලයේ කිසිදු වෙළඳසලක අධි ශිතකරණයක් නොතිබිණි. ඒ අනුව ප්‍රියංකර පළමු දවසේ මුකුණුවැන්න පලා මිටි පහක් ගෙන හීනියට කපා පලා පැකට් පහක් සැදුවේය. ඔහු එම පැකට් පහ වෙළඳ සලක විකිණෙන්නට තැබුවේය. උදෑසන වෙළඳසලට තැබූ පැකට් පහෙන් පැකට් දෙකක් දවස තුළ විකිණී තිබුණි. ප්‍රියංකරගේ හිසේ මලක් පිපුණි. තම නව ව්‍යාපාරයේ යම් සාර්ථකත්වයක් ඔහු ඒ රාත්‍රීයේදී දුටුවේය.
වර්තමානයේදී පලා විකුණා ඉතා වටිනා මෝටර් රථවල හිමිකරුවකු වීමට හැකි වුවද ප්‍රියංකර මුල්ම මුකුණුවැන්න පැකට් පහ වෙළඳසලට ගෙන ගියේ තම පරණ මෝටර් බයිසිකලයෙනි. බයිසිකලේ පිටුපස බැඳ තිබූ කඩ්බෝඩ් පෙට්ටියේ හතු පැකට් සමඟ මුකුණුවැන්න පැකට් පහ ගෙනගිය ඒ අතීතය තවමත් ප්‍රියංකරට මතකය.

පලා පැකට් සාර්ථක වේ යැයි වෙළඳසල් හිමිකරුවන්ටද ලොකු විශ්වාසයක් නොතිබුණි. නමුත් හතු පැකට්වල සාර්ථකත්වය ගැන දැන සිටි වෙළඳසල් හිමිකරුවෝ දාලා බලමුකෝ... යැයි පැවසූහ. පලා මිටි විකුණුනද, පලා පැකට් විකිණේ යැයි ඔවුන් තුළද ලොකු විශ්වාසයක් නොතිබුණි. නමුත් ප්‍රියංකරගේ හිත තුළ තම නව ව්‍යාපාරය පිළිබඳව ලොකු විශ්වාසයක් තිබුණි.
ඒ දවස්වල මට පලා කපන්න තේරෙන්නේ නැහැ. මම පලා මිටි අරගෙන හොඳට සෝදලා මගේ යාළුවකුගේ අම්මා කෙනෙක්ට ගිහින් දීලා තමයි පලා ටික හීනයට ලියා ගන්නේ. දෙවැනි දවසේ මම මිටි දහයක් කපන්න ගිහින් දුන්නත් මිටි හයයි අපිට කපා ගන්න පුළුවන් වුණේ. කොහොම හරි කපලා දෙවැනි දවසේ පැකට් දහයක් ගිහින් දැම්මත් ඒකෙන් විකිණිලා තිබුණේ පැකට් හයයි.

සුමානයකට පමණ පසුව ප්‍රියංකර පලා හීනියට කපන්නට පුරුදු වූවේය. පිහි මුවහත් තබන තැනේ සිට මැල්ලුම් ලියා පැකට් කරන තැන දක්වා ප්‍රියංකර පුරුදු වූවේය. එය එතරම් ලෙහෙසි වූයේ නැත. හීනියට කපන්නට ගොස් අත අනන්තවත් කැපී ගියේය. නමුත් ප්‍රියංකර අතේ ඇති වේදනාවට වඩා හිතේ ඇති ධෛර්යය විශ්වාය කළේය. ඔහු රෙජිෆෝම් පෙට්ටියක මැල්ලුම් පැකට් පුරවා වෙළඳසල්වලට ගෙන ගියේය. දිනෙන් දින ඔහුගේ ව්‍යාපාරය සාර්ථක වූවේය. මුකුණුවැන්න, ගොටුකොළ, කතුරුමුරුංගා මැල්ලුම් පැකට් ඔහු වෙළඳපොළට දැම්මේය. ඒවා ඉතා ඉක්මනින් විකිණුනේය හතු ව්‍යාපාරය නතර කළ ප්‍රියංකර දිගටම පලා පැකට් ව්‍යාපාරය කරගෙන ගියේය. 
ව්‍යාපාරය අරඹා අවුරුද්දකට පමණ පසුව ඔහු වෑන් රථයක් මිලදී ගත්තේය. ඔහු සුපිරි වෙළෙඳසල් ජාලාවටද තම පලා පැකට්ටුව හඳුන්වා දුන්නේය. රෙජිෆෝම් පෙට්ටියේ තබා වෑන් රථයෙන් සුපිරි වෙළඳසැල්වල ශීතකරණයට යන පලා පැකට්ටුවට විශාල ඉල්ලුමක් ලැබුණි. මේ නිසා වසර තුනකින් ඔහු ශීතකරණය සහිත වෑන් රථයක්ද මිලදී ගත්තේය. ඒ අනුව කාඩ්බෝඩ් පෙට්ටියෙන්, රෙජිෆොම් පෙට්ටියට මාරුවුණු පලා පැකට්ටුව ශීතකරණ සහිත වෑන් රථයෙන් සුපිරි වෙළඳසල්වල ශීතකරණයට යන සාර්ථක ගමන් මාර්ගයක් ප්‍රියංකර ගොඩනැගුවේය.

මුලින්ම බොහෝම පොඩියට තමයි පටන් ගත්තේ. අපි පලා වර්ග සෝදන තැනේ සිට, කපලා, පැකට් කරන නැත දක්වා කළේ ඒ පොඩි ෆැක්ටරියෙයි. පලාවර්ග සුපිරි වෙළඳ සැලක තියෙන වෙන කිසිම දේකට සමාන කරන්න බැහැ. ඕනෑම එකක් ආයෙත් පිසලා තමයි කන්නේ. තමුන් පලාවර්ග එහෙම පිසින්නේ නැතිවත් කන්න පුළුවන්. ඒ නිසා ඒක ඉතා පිරිසිදුවට තමයි දෙන්න ඕනේ. මේ පැකට් එක මිලදී ගනිද්දී ඒ පාරිභෝගිකයා මාව විශ්වාස කරලයි මේක මිලදී ගන්නේ. ඒ නිසා ඒ විශ්වාසය අපි සියයට සියයක්ම තබන්න ඕනේ. මේ වෙනුවෙන් අද වෙද්දී අපි සියලුම තත්ත්ව සහතික අරගෙන තියෙන්නේ. ඒ වෙනුවෙන් ගැලපෙන විදිහට තමයි අපි මේ කර්මාන්තශාලාව පවා ඉදිකරලා තියන්නේ යැයි ප්‍රියංකර පවසන්නේය.

මෙම ව්‍යාපාරය “Three Star” ලෙසින් හඳුන්වයි. මේ නාමයට විශේෂ හේතුවක්ද පවතී. ප්‍රියංකරගේ හතු ව්‍යාපාරයද හැඳින්වූයේ “Three Star” යන නමින් ප්‍රියංකරට දරුවන් තිදෙනෙකි. ඒ අනුව ඔහු තම ව්‍යාපාරයට නම තැබුවේද “Three Star” නමිනි.
ප්‍රියංකර තම ආදරණීය බිරිඳ ජානකී විවාහ කරගැනීමෙන් පසුව මුලින්ම තඹුත්තේගම ගොස් අක්කර කිහිපයක මිරිස් වැව්වේය. මුලින් අක්කර භාගයක මිරිස් වැවූ ප්‍රියංකරගේත්, ජානකීගේත් මිරිස් වගාවෙන් හොඳ අස්වැන්නක් ලැබුණි. දෙවැනි වර ඔහු අක්කර දෙකහමාරක මිරිස් වැව්වේය. ඒ අතරේ ප්‍රියංකරගේ මාමා කෙනෙකු අසනීප වී ප්‍රියංකරත්, ජානකීත් මාමා බැලීමට කොළඹ ඒමට සිදුවිය. විවිධ හේතුන් නිසා නැවත තඹුත්තේගමට ගිය ප්‍රියකංරටත් ජානකීටත් තම පලදාව දැකබලාගන්නට හැකිවූයේ නැත. හොඳ මිරිස් වගාවක් ලැබී තිබුණද වගාව වසාගෙන කැලයක් බිහිවී තිබුණි. ඒ කාලයේදී අහල පහළ විෂඝෝර සර්පයන් එමටය. ඒ නිසාම සර්පයන් හා ඔට්ටු අල්ලා මිරිස් පලදාව ලබාගන්නට ප්‍රියංකර තබා කිසිදු කෙනෙකු ඒ අපූරු පලදාවට අත තැබුවේ නැත. සියලු වගාවන් අතහැර නැවතත් හිස් අතින් කොළඹ ආ ආ ප්‍රියංකරගේත්, ජානකීගේත් ජීවිතයට හතු වගාවත්, පසුව පලාවගාවත් වාසනව ගෙන එන්නේ ඉන්පසුවය.

මුල්කාලයේදී ප්‍රියංකර පලා පැකට්ටුවලට අවශ්‍ය පලා මිටි මිලදී ගත්තේ පිළියන්දල පොළෙනි. දවසකට පලා මිටි පහක් මිලදී ගත් ප්‍රියංක පසුකාලයේදී දවසකට පලා මිටි දෙසීය, තුන්සීය දක්වා පිළියන්දල පොළෙන් මිලදී ගත්තේය. නමුත් ඒවාට කෘෂිනාශක දියර ඉස ඇති බව ප්‍රියංකරට තේරුණි. පලාකොළයේ කෘමිනාශක දියර පුසුඹ ඇතිවිට එය පලා කොළෙන් ඉවත් වී නැති බව ඔහු දැන සිටියේය. ඒ නිසා විස පැකට් කර තම පාරිභෝකයන්ට ලබාදෙන්න ප්‍රියංකරත්, ජානකීත් අකමැති වූහ.
කෘමිනාශක දියර ඉසින එකේ වරද ගොවියන්ගේ නොවේ. ඒකේ වරද පාරිභෝගිකයන් ගෙනුයි. පරිභෝගිකයන් පලා කොළයක පුංචි සිදුරක් තියෙද්දීවත් ගන්න කැමැති නැහැ. එළවළුවක පොඩි සිදුරක් තියෙනවටත් ඒ අය කැමැති නැහැ. පරිභෝගිකයන් මේ කුඩා සිදුරක් තියෙන පලා ටිකක්, එළවළුවක් කන්න කැමැතිනම් ගොවීන් මේ කෘමිනාශක දියර එළවළුවලට, පළතුරුවලට, පලාවලට යොදන්නේ නෑ. සල්ලි දීලා ඇඟෙත් විෂ හලාගෙන ගොවීන් මේ වගාවන්වලට විස එක්කරන්නේ පාරිභෝගිකයින් නිසාව තමයි. බොහෝ පාරිභෝගිකයන් බෝගවල ලස්සන තමයි බලන්නේ. අපේ පලාවලට අපි කවදාවත් කමිනාශක දියර යොදන්නේ නැහැ. මේක කාබනික බෝග වගාවක්.
මේ වනවිට ප්‍රියකරගේ “Three Star” ආයතනයේ සේවක සේවිකාවන් විසිඅටක් පමණ සේවය කරති. එයින් බොහෝමයන් ආයතනයේම ලබාදී ඇති නේවාසිකාගාරයේ නතර වී සේවය කරති. ඔවුන් සඳහා තුන්වේලටම ආහාර සහ නේවාසිකාගාර පහසුකම නොමිලේම ආයතනය විසින් සලසා ඇත.

මේ වනවිට මෙම ආයතනය තනිකරම කාබනික පලා පැකට් කරයි. ප්‍රියංකර ලංකාවේ පුරාම ගොස් කාබනික පොහොර පිළිබඳව බොහෝ දෑ ඉගෙන ගත්තේය. ඒ සඳහා ඔහුම විවිධ ක්‍රම අත්හදා බැලුවේය. මේ වනවිට ඔහුටම පමණක් ලබාදෙන බණ්ඩාරගම සහ කහපොළ පලා වගාබිම් දෙකක් ඇත. ඒවායේ මුකුණුවැන්න, කංකුං, කතුරුමුරුංගා සහ ගොටුකොළ වගාකරයි. ඒ අතරේ තම්පලාද යම් කොටසක වගාකර ඇත. අක්කර දොළහක පමණ වගා වෙන මෙම පලා සියල්ලම කාබනික ක්‍රමයට වගා වීම විශේෂත්වයකි. එම වගා ගොවිතැනේ සේවකයෝ දොළහක් පමණ සේවය කරති.
මීට අමතරව වැල්ලවාය අක්කර සියයක පමණ ඉඩමක ප්‍රියංකර පලාවර්ගවලට අමතරව එළවළු සහ පළතුරු වගාකරයි. ඒ සියල්ලම කාබනික පොහොර පමණක් යෙදූ වගාවන්ය. පසුගිය කොරෝනා සමයේදී ප්‍රියංකර වැල්ලවායට ගොස් තම දෑතින්ම මේ වගාවන් සිදුකළේය. මේ වනවිට පළතුරුවල ඒ අස්වැන්න ලැබෙමින් පවතී.

මේක ලස්සන රටක්. ලෝකේ මෙහෙම රටක් කෙහෙවත් නැහැ. පැය දොළහක් අව්ව තිබෙන ගැඩවිල්ලන්, ක්ෂුද්‍ර ජීවීන් ඉන්නා සරුසාර පසක් තිබෙන මෙවැනි රටක් ලෝකේ කොහේවත් නැහැ. මුළු ලංකාවේ අඟලක් නෑර වැව්වක් ලෝකෙටම විකුණන්න පුළුවන් ඉල්ලුමක් තියෙනවා. නමුත් මිනිස්සු වවන්නේ නැහැ. මට ඕඩර් තියෙනවා. ඒත් යවන්න විදිහක් නැහැ. ඒ නිසා තමයි මම තනියම හරි මේ රටේ වවන්න හිතුවේ. නමුත් ඉහළ පුටුවල ඉන්න අය මට ඒ අවස්ථා ලබාදුන්නේ නැහැ. අපේ රටේ වැඩිපුරම කරන්නේ මීටින් විතරයි. වැඩක් කරන්නේ නැහැ. කොරෝනා එන්න කලින් මට නොළුම් අල, කොස්ඇට, කොහිල, පොල් සම්බෝල, පොළොස් පිටරටවල් වලට යවන්න පවා සියල්ල සුදුනම් කරමිනුයි හිටියේ. නමුත් කොවිඩ් නිසා ඒ ව්‍යාපාරය තාවකාලිකව නතරකර දමන්න සිදුවුණා.* ප්‍රියංකර පැවසීය.

කොවිඩ් කාලයේද ප්‍රියංකර වැල්ලවාය ඉඩම වැව්වේය අද එහි අස්වැන්න ලැබී ඇත. කෙසේ වුවද අද ප්‍රියංකර ජීවිතය ජයගත් ගොවියෙකි. වගා බිමට පමණක් සීමා නොවුණු ඔහු ඒ සඳහා ඇති බොහෝ විභාගවලට පෙනී සිටිමින්, විවිධ දෑ අත්හදා බලමින් තම ව්‍යාපාරය ඉහළට ඔසවා තබන්නේය. වායු සමීකරණය කළ කර්මාන්තශාලාවක හිඳ හොඳින් සෝදා ඇසුරුම් කරනා පලා පැකට්වල වටිනාකම මේ ධෛර්යවන්ත ගොවියාගේ අපූරු ගමන්මගේ ලියැවී තිබේ.

 දිශානි ජයමාලි කරුණාරත්න
     සේයාරූ - සුමුදු හේවාපතිරණ

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03