2021 මැයි 01 වන සෙනසුරාදා

ලොක්ඩවුන් සීමා ඕනෑද? එපාද?

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 55

කොවිඩ් වසංගතය නැවත හිස එසවීමත් සමඟ රට තුළ ලොක්ඩවුන් කතිකාවත නැවත ආරම්භ වී තිබේ. එම නිසාම වසංගතයේ අවදානම හමුවේ රට ලොක්ඩවුන් කළයුතුද නැද්ද යන්න පිළිබඳ මත විමසුමක් කිරීමට අපි තීරණය කළෙමු. ඒ අනුව විවිධ වෘත්තීන් සහ ක්ෂේත්‍ර නියෝජනය කරන්නන් කිහිපදෙනෙක් අප හා සම්බන්ධ වූහ.

සුළු කාලයකටවත් වැහුවොත් හොඳයි
ප්‍රනීත් මිලින්ද - රාජ්‍ය සේවකයෙක්

රට වහලා රට ඉදිරියට ගෙනියන්න බැරි ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් මේ පැතිරෙන්නේ බ්‍රිතාන්‍ය වෛරසය කියලා කියනවා. පැතිරෙන වේගය වැඩියි කියලාත් කියනවා. ශ්‍රම බලකායේ වැඩිපුරම ඉන්නේ තරුණයෝ. තරුණයන්ට අවදානමක් තිබෙනවා කියලත් කියවෙනවා. ඒ නිසා ඇත්තටම පළවෙනි අවස්ථාවේ වගේ ලොක්ඩවුන් එකකට යන්න පුළුවන් නම් හොඳයි. ලොකු කාලයට නෙවෙයි. රෝහල් ධාරිතාවය ඉක්මවා නොයන විදිහට පාලනයට ටික දවසකට.

ඉන්දියාව වගේ තත්ත්වයකට ගියොත් මොනවත් වැඩක් වෙන්නේ නෑ. ඒ නිසා ඇත්තටම ලොක්ඩවුන් එකකට යන්න බැරිම නම්, ජලය විදුලිය වගේ අත්‍යවශ්‍ය සේවා හැරුණාම නිවසේ ඉඳලා වැඩකරන්න පුළුවන් රාජ්‍ය සේවකයෝ ඉන්නවා. ඒ අයව සතියකට දවසක් විතර ගෙන්වා ගැනීම ප්‍රමාණවත්. එතකොට පොදු ප්‍රවාහන සේවයේ ගැටලුව නිරාකරණය වෙනවා. ඒ එක් එක් අයගේ රාජකාරි ස්වරූපය අනුව වැඩපිළිවෙළක් සකස් කරන පුළුවන්.

මීට අමතර මේ වෙනකොට ආගමික සිද්ධස්ථාන ඇරලා තිබෙනවා. ආගම අදහන එක ගෙදර ඉඳලා කරන පුළුවන්. කෑම කඩයක් වහලා තිබුණොත් එතැන යම් පුද්ගලයෙකුට පාඩුවක් වෙනවා. ඒත් මම හිතනවා ආගමික සිද්ධස්ථානයක් වහන්න මේ වෙලාවේ බැරිකමක් නෑ. මිනිස්සු සිරීපාදේ තවම යනවා, කතරගම තවම යනවා, ඒවා පාලනය කරන්න පුළුවන්. අනවශ්‍ය ගමන් යන අය ඕනෑතරම් ඉන්නවා. ඒ නිසා දිස්ත්‍රික් පළාත් අතර සංචාරණ සීමා දාන්න පුළුවන් නම් හොඳයි. ඇත්තටම අපි පළවෙනි රුල්ලේ කරපු ටික කරන්න ඕනෑ. එහෙම බැරිනම් මේ කියපු ටිකවත් වෙනවා නම් හොඳයි.

හැමෝම එකතු වුණොත් ලොක්ඩවුන් ඕන නෑ
පියරත්න සිල්වා - ත්‍රීරෝද රථ රියදුරු

මං හිතන්නේ ලොක්ඩවුන් එකකට යන එක සුදුසු නෑ. අපි මොනවා හරි කරලා ජීවත් වුණා කියමුකෝ. ඒත් එදාවේල හම්බ කරගන්න බැරිව අසරණ වෙන මිනිස්සු කොච්චර ඉන්නවාද? ආණ්ඩුවට බෑ ඒ අයට කන්න දෙන්න. එහෙම කන්න දෙන්න පුළුවන් නම් ලොක්ඩවුන් කළාට කමක් නෑ. නමුත් ඒක ප්‍රායෝගික නෑනේ. මිනිස්සු උපරිම සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න ඕනෑ. සෞඛ්‍ය අංශ කියන දේ අහන්නේ නැතුව මුකුත් කරන්න බෑ.

මේ රැකියාව ගත්තාමත් ලොක්ඩවුන් එකකට ගියොතින් බිංදුවට වැටෙනවා. දැනටත් වැටිලා තියෙන්නේ. ඒක ගොඩදාගන්න බොහෝ දෙනකුට බැරිවෙයි. ඒ නිසා අපි කියන්නේ දැඩි නීති යටතේ ලොක්ඩවුන් එකකට නොගිහින් රට ගෙනියන්න උත්සාහ කරන එක තමයි වැදගත්. හැමදේටම ආණ්ඩුවට බැණලා වැඩක් නෑ. ගොඩක් දෙනෙක් පහුගිය කාලේ හැසිරුණේ වගකීමක් නැතුව. අපි දැක්ක ඒ දේවල්. ටී වී වල රේඩියෝවල අනන්ත අප්‍රමාණ කිව්වා. ඒත් කවුරුත් කනකට ගත්තේ නෑ. දැන් මෙහෙම වුණේ ඒ නිසානේ.

ලංකාවේ හැම ත්‍රීවිල් එකක්ම සෞඛ්‍ය අංශ උපදෙස් දීලා තියෙන විදිහට මගීන් යන කොටස ඉටි කොළයකින් වෙන් කරලා තියෙන්නේ. බහුතරයක් දෙනා සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරනවා. මුහුණු ආවරණය දානවා. මුදල් ගනුදෙනුවලදී සැනිටයිසර් පාවිච්චි කරනවා. නොකරන අයත් ඉන්නවා ඇති. ඒත් බහුතරය වගකීමෙන් වැඩ කරන්නේ. ඒත් හැමතැනකම අපිව ඉලක්ක කරගෙන පහර දෙනවා. ඒත් අපි මේ වසංගතය පාලනයට උපරිම සහයෝගය ලබාදෙනවා. අපි කියන්නේ හැමෝම එහෙම කරන්න. අපිට පුළුවන් මේක පාලනය කරගන්න.

මේක රට වහලා ඉවරයක් දැකිය හැකි ප්‍රශ්නයක් නොවෙයි
හර්ෂණ එම්. ද සිල්වා - නීතීඥ

නීති ක්ෂේත්‍රයේ ගොඩක්ම ජනතාව ගැවසෙන නඩු තියෙන්නේ මහේස්ත්‍රාත් උසාවි ආශ්‍රිතව. දෛනිකව එන ඇප ලබාගන්න නඩු, රථවාහන සම්බන්ධ නඩු වෙනුවෙන් තමයි බහුතරයක් ජනතාව ගැවසෙන්නේ. පහුගිය සමයේ කොවිඩ් තත්ත්වය සමඟ යම් නිශ්චිත කාලසීමාවක් සඳහා උසාවි පවා වැහැව්වා. ඒ නඩු රී ශෙඩුල් කළා. අද වෙනකොට ඒ නඩු තමයි උසාවිවල අහන්නේ. එහෙම බැලුවාම කොරෝනා දෙවැනි තුන්වැනි රුලි එනකොට රට ලොක්ඩවුන් කරන්න ඕනෑ කියන තැන අපි නෑ.

නමුත් යම්කිසි සීමාවක් පනවන්න ඕනෑ ජනතාව එක්රැස්වීම වළක්වන්න. රටක් විදිහටත් මේ වෙලාවේ අපි කරන්න ඕනෑ ලොක්ඩවුන් කරන එක වෙනුවට රීති හදන එක. කර්මාන්තශාලා වහලා රටේ ආර්ථිකය පවත්වාගෙන යන්න බෑ වගේම තමයි අධිකරණ පද්ධතිය වසා දමලා රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනියන්න බෑ. මේක රට වහලා අවසානයක් දකින්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම අවසානයක් දකින්න පුළුවන් නම් එක දෙක තුන විදිහට අපිට රැලිවලට මුහුණ දෙන්න වෙන්නේ නෑ.

රටකට නීතියක් ඕනෑ මිනිස්සුන්ව පාලයන කරන්න. නීතිය අවස්ථානුකූලව පරම්පරාවල් ගණනාවක් තිස්සේ ඉඳන් හුරුවීම නිසා තමා මිනිස්සු නීතිවලට අවනත වෙලා තියෙන්නේ. උදාහරණක් විදිහට මිනීමැරීම කියන එක වරදක් බවට පත්වෙන්නේ සදාචාරය සංස්කෘතිය ඔස්සේ නීති පොත්වලට පැමිණිමෙන්. ඒ වැරදි දඬුවම මගින් සීමාකරන්න පුළුවන්. මිනිස්සු ඒකට හුරුවෙලා. ඒත් කොවිඩ් නව සාමාන්‍යකරණය ඇතුළේ කොවිඩ් පාලනය කරන හදන නීතිවලට එකපාරට හැඩගැහෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න අමාරුයි. උදාහරණයක් විදිහට මුහුණ ආවරණය කී දෙනෙකුට එළියට බහිනකොට අමතක වෙනවද? ඒ නිසා රජය තමයි ප්‍රධාන වශයෙන්ම මේකේ පාලනය වගකීම ගන්න ඕනෑ.

රටම වැහුවොත් ඔක්කොම ජීවිත කඩා වැටේවි
කණිෂ්ක සංජීව - ජාතික සංචාරක මාර්ගෝපදේශකයෙක්

මම හිතන්නේ නෑ මේ වෙලාවේ ආණ්ඩුව ලොක්ඩවුන් එකකට යයි කියලා. හේතුව රටේ ආර්ථිකය කඩාගෙන වැටිලා තියෙන්නෙ. පහුගිය කාලයේ අපි යන්තම් ගොඩ ආවා. දැන් නැවතත් කොවිඩ් අවදානම එක්ක ආර්ථිකයට ලොකු අවදානමක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා රෝගීන් හමුවෙන ප්‍රදේශ හදෙකලා කරලා යම් මට්ටමකට සංචරණ සීමා දාලා රට ඉස්සරහට ගෙනියන්න ඕනෑ. සම්පූර්ණ රට වසා දැමීමක් සිදු වුණොත් මේ වතාවේ දී බොහෝ දෙනෙක්ගේ ජීවිත මුළුමනින්ම කඩාගෙන වැටෙනවා.

සංචාරක කර්මාන්තයේ නියුතු වෙලා හිටපු ගොඩක් දෙනෙක්ට මේ වෙද්දි රැකියා අහිමිවෙලා. ඒ නිසා සංචාරක කර්මාන්තෙ පටන් ගත්ත විදිහට ඉදිරියට ගෙන යා යුතුයි. අපි දන්නවා මොන වගේ තත්ත්වයක් තිබුණත් යුරෝපයේ ගොඩක් දෙනෙක් ලංකාවට එන්න කැමැත්තෙන් ඉන්නවා. ඒ නිසා මාස හතරකට පහකට ගිවිසුම් අත්සන් කරලා සම්පූර්ණ පවුල් පරිසරයෙන් ඉවත්වෙලා සංචාරක කර්මාන්තය පවත්වාගෙන යන්න අපි කැමතියි. වෙන විකල්පයක් නෑ. බබල් එකක් විදියට සංචාරකයන්ට රට ඇතු‍ළේ සංචාරය කරන්න අවස්ථාව සලසා දෙන්න පුළුවන්. සංචාරකයන් සහ සංචාරක කර්මාන්තයේ නියුතු අය අතරට තුන්වැනි පාර්ශ්වයක් සම්බන්ධ නොවන විදියට කටයුතු කරන්න ආරක්ෂක අංශ යොදාගන්නත් පුළුවන්. සංකීර්ණ වුණත් මේ වෙලාවේ කරන්න තියෙන එකම දේ ඒක.

අපේ කර්මාන්තය විතරක් නෙවෙයි තවත් රටේ ගොඩක් ක්ෂේත්‍ර සහමුලින්ම කඩාවැටිලා තියෙන්නෙ. මේ වෙලාවේ ජනතාව වගකීමෙන් හැසිරෙන්න ඕනෑ. අපි මේ අවස්ථාව වරද්දගත්තොත් අපිට ආයේ අවස්ථාවක් එන එකක් නෑ. ජනතාව හරියට කටයුතු කළොත් රජය වගකීමෙන් කටයුතු කළොත් මේ තත්ත්වයෙන් අපිට ගොඩ එන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. 

ලොක්ඩවුන් ප්‍රායෝගික නෑ: සංචරණ සීමා - නීති ඕනෑ
විදුෂිමා ද සිල්වා  - සරසවි ශිෂ්‍යාවක්

රට ලොක්ඩවුන් කරන එක නම් මේ අවස්ථාවේ ප්‍රායෝගික නෑ. ඒත් සංචරණ සීමා එහෙම දාන්න ඕනෑ. දැනට තියෙන නීති දැඩිව ක්‍රියාත්මක කරන්නත් ඕනෑ. තාමත් මිනිස්සු අනවශ්‍ය ගමන් බිමන් යනවා. විනෝද චාරිකා යනවා. ඒ නිසා මිනිස්සු බුද්ධිමත් කියලා හිතාගෙන නීතිය හරියට ක්‍රියාත්මක නොකර හිටියොත් ලොකු ගැටලුවක් ඇතිවෙන්න පුළුවන්. 

විශ්වවිද්‍යාල පැත්තෙන් ගත්තොත් විශ්වවිද්‍යාල පටන් ගන්නවට අපි කැමතියි. නමුත් වෙන රාජ්‍ය ආයතන පාසල් වගේ නෙවෙයි විශ්වවිද්‍යාල. ඒවා ඇතුළෙ වසංගතය පැතිරෙන්න ගත්තොත් නවත්තන්න බෑ. රට පුරාම ඉන්න අය විශ්වවිද්‍යාලවලට එනවා. බෝඩිම්වල නතර වෙනවා. ඒ නිසා ඒ ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි ගිය අවුරුද්දේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වුණේ. මුළු කාලෙටම මාස තුන හතරකට වඩා විශ්වවිද්‍යාලවලට ගියේ නෑ. ඔන්ලයින්ම උගන්නලා ඔන්ලයින් හෝ විභාග කළා. ඇත්තටම අපි දන්නෑ ඒක කොච්චර ප්‍රායෝගිකද අනාගතයේ අපිට මොනවා වේවිද කියලා.

ආර්ථිකයට වගේම ගොඩක් ක්ෂේත්‍රවලට කොවිඩ් නිසා ඇතිවන පාඩුව පේන්න තියෙනවා. නමුත් අධ්‍යාපනයට පාඩුව පේන්නේ නෑ. ඇත්තටම ගණන් කරලා බලන්නත් බෑ. ඒක දැනගන්න වෙන්නේ අනාගතයේදී. හොඳම දේ අපි බුද්ධිමත් විදිහට මේ වසංගතයට මුහුණ දීලා ඉක්මනින්ම මේකෙ විසඳුමකට එන එක. නීතිරීති තියෙන්නෙ මේ වගේ වෙලාවල්වල පාවිච්චි කරන්න තමයි. රටේ ඉදිරි පැවැත්මට අවශ්‍ය වන දේවල් පවත්වාගෙන යන ගමන් අනෙකුත් දේවල් දැඩි නීති දාලා වාරණය කරලා රට ඉදිරියට අරගෙන යන්න ඕනෑ.

 චමිදු නිසල් ද සිල්වා