මේ වන විට කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ල ලොව අන් සෑම රටක්ම පරදවමින් ඉන්දියාව බිලිගනිමින් සිටී. එය ගෝලීය කොවිඩ් වසංගතයේ උච්ඡතම ස්ථානය බවට පත්ව ඇති අතර පසුගිය සතිය පුරාම දිනකට තුන් ලක්ෂය ඉක්මවූ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ ලොව දිනක වැඩිම ආසාදියන් සංඛ්‍යාව වාර්තා කරමිනි. දිනකට මරණ 2000 ඉක්මවීම හේතුවෙන් එරට මේ වන විට විසාලා මහනුවර එදා පැවැති තත්ත්වය යළි නිර්මාණය වෙමින් පවතී. තැන නැත දැවෙන මළවුන්ගේ සිරුරු සහ රෝහල්වල ඉඩ නොමැතිව මහ මාවතේ වැතිර සිටින රෝගීන් සුලබ දසුනක් වී තිබේ. ඇතැම්හු වෛද්‍ය ප්‍රතිකාර නොලබාම රෝහල් ඉදිරිපිට වාහන තුළම මියයමින් සිටිති. රෝගීන් හා මරණ පිළිබඳව බලධාරීන් ඉදිරිපත් කෙරෙන දත්ත නිවැරදි නොවන බවත් එම සංඛ්‍යාවට වඩා විශාල රෝගීන් පිරිසක් සහ මරණ සංඛ්‍යාවක් සිදුවන බවත් සෞඛ්‍ය විශේෂඥයන්ගේ මතය වන අතර ඉන්දීය සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත්තේ මැයි මස මැද භාගය වන විට එරට දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවනු ඇති බවටය. ලක්ෂ ගණනින් මිනිසුන් මියයද්දී ඉන්දියානු ධනවතුන් පෞද්ගලික ජෙට් යානාවලින් රටින් පලා යන බවද එරට මාධ්‍ය වාර්තා කළේය.
සියලු රෝහල්වල පාහේ දැඩි සත්කාර ඒකකවල ඇඳන් පිරී ගොසිනි. මේ වන විට ඒවායේ ප්‍රතිකාර කළ හැකි ධාරිතාව ඉක්මවා රෝගීන් පැමිණෙන අතර රෝහල්වල ඉඩ පහසුකම් නොමැති බැවින් ඔවුන් රෝහල් අසල මහමග ද ඇතැමුන් වාහනවලද රැදී සිටින අයුරු දැකිය හැකිය. බොහෝ රෝගීන් මිය යන්නේ අවශ්‍ය ඔක්සිජන් රෝහල්වල නොමැතිකමිනි. ඉන්දියාවේ සියලුම රෝහල් මේ වන විට එම අර්බුදයට මුහුණ දෙමින් සිටී. මෙම තත්ත්වය ඉතාමත් දරුණු ලෙස බලපා ඇත්තේ නවදිල්ලියටය. දින කිහිපයකට ඉහත එහි රෝහලක රෝගීන් 25 දෙනකුගේ දිවි අහිමි වූයේ ඔක්සිජන් නොමැති වීම හේතුවෙනි.
බ්‍රිතාන්‍යය, ජර්මනිය, පාකිස්තානය, යුරෝපා සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් හදිසි වෛද්‍ය ආධාර ඉන්දියාවට එවන බවට දන්වා තිබේ. ජර්මනියද ජංගම ඔක්සිජන් කම්හල් දෙකක් පරිත්‍යාග කළ බැව් පැවසේ. කොවිඩ් මර්දනය සඳහා සහය වන ලෙසට ඉන්දියාව ත්‍රිවිධ හමුදාවට නියෝග කළේ පසුගිය සඳුදාය. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ පැවති සාකච්ඡාවකදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් කියා සිටියේ සන්නද්ධ හමුදා සතු ඔක්සිජන් සංචිතද රෝහල්වලට ලබා දීමට පියවර ගෙන ඇති බවත් බවත් විශ්‍රාමික හමුදා වෛද්‍ය නිලධාරීන් සෞඛ්‍ය පහසුකම් ලබාදීමට යොදවා ඇති බවත්ය.
අගමැති නරේන්ද්‍ර මෝදි පවසන්නේ මෙය ජාතිය කම්පනයට පත් කළ කුණාටුවක් වී ඇති බවටය. එහෙයින් කඩිනමින් එන්නත ලබා ගන්නා ලෙසත්, ආරක්ෂාකාරිව කටයුතු කරන ලෙසටත් ඔහු සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේය. එහෙත් බොහෝ ප්‍රාන්තවල රෝහල් සහ වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ වෛරසයට ගොදුරුවන ප්‍රමාණය ශීඝ්‍රෙයන් ඉහළ යමින් පවතින හෙයින් ප්‍රතිකාර කිරීමේ අපහසුතා පැනනැඟී ඇති බවයි. එමෙන්ම දැඩිව බලපා ඇති ඇති ඔක්සිජන් හිඟය නිසා ඒවා තම රෝහල්වලට ලබා දෙන ලෙසට යදින්නට තමන්ට සිදුවී ඇතැයිද ඔවුහු කියා සිටිති. කොවිඩ් රෝගීන්ට ඔක්සිජන් ඉතා අත්‍යවශ්‍ය ප්‍රතිකාරයකි. මෙම රෝගය පෙනහළු ක්‍රියාකාරිත්වයට බලපායි. එහි ප්‍රධාන රෝග ලක්ෂණ වලින් එකක් වන්නේ හුස්ම හිරවීමයි.
ඉන්දියානු වෛද්‍ය ඔක්සිජන් නිපදවන සමාගම් පවසන්නේ හිඟයට හේතුව සැපයුම නොව ඒවා අවශ්‍ය ස්ථානයට රැගෙන යාමේ අපහසුව නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි. ඉනොක්ස් එයාර් ප්‍රොඩක්ට්ස් නමැති ඔක්සිජන් සමාගමේ ප්‍රධානියකු වන සිද්ධාර්ත් ජේන් පවසන්නේ “වසර සියයකට පසු මතුවූ මෙම අර්බුදය හේතුවෙන් මෙතරම් දුර බැහැර ප්‍රදේශවලට කඩිනමින් ඔක්සිජන් ප්‍රවාහනය කිරීමේ අවශ්‍යතාවක් මතු වේයැයි කිසිවකු නොසිතූ අතර ඒ සඳහා වන යටිතල පහසුකම් සකස් කිරීමට පියවර ගෙන නොතිබූ බව”යි. ඔක්සිජන් නිපදවන කර්මාන්තශාලාවලින් බහුතරයක් පිහිටා ඇත්තේ නැඟෙනහිර ඉන්දියාවේය. ඒවා නවදිල්ලිය සහ මුම්බායි වැනි ප්‍රධාන නගර වලින් සැතපුම් දහස් ගණනක් ඈතය. ඉනොක්ස් එයාර් ප්‍රොඩක්ට්ස්, පසුගිය සති කිහිපය තුළ දිනකට ටොන් 1,800 සිට ටොන් 2,300 දක්වා ඔක්සිජන් නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කර තිබිණි. සාමාන්‍යයෙන් රටතුළ දිනකට නිපදවන ඔක්සිජන් ප්‍රමාණය ටොන් 7,000 පමණ වේ. අනෙක් සමාගම්ද මේ වනවිට දිනෙක ඔක්සිජන් නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට පියවර ගෙන තිබේ.
ඔක්සිජන් ප්‍රවාහනය එතරම් පහසු කාර්යයක් නොවේ සම්පීඩිත වායූන් සහිත ටැංකි ප්‍රවාහනය කළ හැක්කේ මහ මාර්ග ඔස්සේ හෝ දුම්රිය මගින් පමණි. ඒවා ගුවන් යානා මගින් ප්‍රවාහනය කළ නොහැකිය. උතුරු සහ බටහිර ඉන්දියාවේ ඔක්සිජන් නිෂ්පාදනය සිදු නොකරන හෙයින් රටේ පවතින වාතාවරණය අනුව බොහෝ දුර බැහැර ප්‍රදේශවලට එක එල්ලේ ප්‍රවාහනය කිරීමට ඔක්සිජන් නිෂ්පාදකයන්ට සිදුව තිබේ. සම්පීඩිත ඔක්සිජන් රඳවා තබා ගන්නා ක්‍රයෝජනික් ටැංකි කඩිනමින් නිෂ්පාදනය කළ නොහැකි වන අතර එක් ටැංකියක් නිෂ්පාදනය කිරීමට මාස හතරක් හෝ හයක් පමණ ගත වන බව ඔක්සිජන් සමාගම් පෙන්වා දෙයි. “අපි එවැනි ටැංකි විශාල ප්‍රමාණයක් වාර්ෂිකව අාපනයනය කරනවා. එහෙත් කවරදාකවත් මෙවැනි ඉල්ලුමක් ඇතිවූයේ නැහැ” ඔවුන් සඳහන් කරයි.
ඔක්සිජන් හිඟයට පිළියමක් ලෙස තමිල්නාඩුවේ වසාදමා ඇති ස්ටාර්ලයිට් බලාගාරය යළි විවෘත කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. ඔක්සිජන් ටොන් 44ක් රැගත් දුම්රියක් පසුගිය 26 දා මුම්බායි නගරයට ළඟා විය. ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යයද ඉන්දියාවට ඔක්සිජන් සැපයීමට තීරණය කර තිබේ.
ඔක්සිජන් හිඟය හමුවේ එය තම වාසියට හරවාගත් පිරිසක්ද සිටිති. ඒ කළුකඩකාරයන්ය. රෝහල්වලින් ඔක්සිජන් ලබාගත නොහැකි පිරිස් කළුකඩයෙන් හෝ ඔක්සිජන් ලබාගැනීමට උත්සාහ කරන්නේ කෙසේ හෝ තම ජීවිතය රැක ගැනීම සඳහාය. සාමාන්‍යයෙන් රුපියල් 6000ක් වන ඔක්සිජන් සිලින්ඩරයක් කළුකඩයේ අලෙවිකරන්නේ රුපියල් 50,000කටය.
කොරෝනා වෛරසය මෙතරම් දරුණු වීමට බලපෑවේ මැතිවරණ රැලි සහ දහස් ගණනක් සහභාගී වූ ආගමික උත්සව දිගටම කරගෙන යාමට ඉඩදීම නිසා යැයි බොහෝ පිරිස් චෝදනා කරති. පසුගිය දිනවල කුම්භමේලා නමැති ආගමික උත්සවයට අති විශාල ජනකායක් සහභාගී වූ අතර එක පොදියට ගංගාවල බැස කිසිදු සෞඛ්‍ය ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකරමින් පුදපූජා කළ ආකාරය දැකිය හැකි විය.
මේ දිනවල ඉන්දියාවේ බටහිර බෙංගාලය, ඇසෑම්, කේරළ, තමිල්නාඩු සහ පුදුචෙරි යන ප්‍රාන්ත පහ සඳහා මැතිවරණ පැවැත්වේ. මැතිවරණ රැලි සඳහා දස දහස් ගණනින් ජනතාව සහභාගී වන අතර කිසිදු දේශපාලන පක්ෂ නායකයෙක් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන ලෙසට ඔවුන් දැනුම්වත් නොකර තම දේශපාලන අරමුණ ඉටු කර ගැනීම කෙරෙහි පමණක් කටයුතු කරන බවට බොහෝ පිරිස් චෝදනා කරති. ඉන්දියාවේ මෙතරම් බියකරු ලෙසින් දෙවැනි රැල්ලක් ඇතිවීමට මැතිවරණ කොමිසම සෘජුවම වගකිව යුතුයැයි මදුරාසි මහාධිකරණයක් මගින් ප්‍රකාශ කර තිබිණි.
කෙසේ නමුදු මැතිවරණ උණුසුම හමුවේ බටහිර බෙංගාලයේ 86%කින්ද, ඇසෑමයේ 215%කින්ද, උත්තර් ප්‍රෙද්ශ්හි 47%කින්ද, තමිල්නාඩුවේ 56෴කින්ද පුදුචෙරියේ 47%කින්ද, කේරළයේ 130%කින්ද රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබිණි.
පසුගිය සඳුදා බටහිර බෙංගාලයේ නැෙඟනහිර ප්‍රාන්තයේ ඡන්ද දායකයන් මිලියන 8.6 ක් පමණ ඡන්දය ප්‍රකාශ නියමිත විය. දිනකට ආසාදිතයන් 30,000 ක් වාර්තා වන උත්තර් ප්‍රදේශ්හිද විශාල පිරිසක් පළාත් පාලන මැතිවරණ රැලිවලට සහභාගී වී සිටියහ. බටහිර බෙංගාල නගරයක් වන අසන්සෝල් හි මැතිවරණ රැලියක් පැවැත්වූ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි “මම මෙතරම් විශාල ජනකායක් දැක නැත” යනුවෙන් ට්විටර් පණිවිඩයක් මගින් කියා තිබිණි.
අගමැති මෝදි අර්බුදය පිළිබඳව බොහෝ දුරට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවී ඇතැයි තවත් පිරිසක් චෝදනා කරති. ඉන්දීය නායකයා තුළ ඇති කෝපය හා බලාපොරොත්තු සුන්වීම පැහැදිලිව දැකිය හැකි බවත්, පසුගිය අඟහරුවාදා ජාතිය ඇමතූ අවස්ථාවේ පුරවැසියන් අතර වැඩෙන භීතිකාව වටහා ගැනීමට ඔහු අපොහොසත් වී ඇති බවක් පෙනෙන්නට තිබූ බවත්, රජය මෙම භයානක තත්ත්වය වෙනස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව කිසිදු පිළිතුරක් ලබා නොදුන් බවත් ඇතැම් ට්විටර් පණිවිඩවල සඳහන්ය. රජය විවේචනය කරමින් ට්විටර් පණිවිඩ විශාල වශයෙන් පළවීම නිසා එවැනි ප්‍රකාශ රජයේ කොවිඩ් මර්දන ව්‍යාපෘතියට හානියක් යැයි පවසමින් ඒවා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසට ඉන්දීය රජය ට්විටර් සමාගමට දන්වා තිබේ.
“රටේ කොරෝනා තත්ත්වය අවතක්සේරු කිරීම සහ වැරදි කළමනාකරණය හේතුවෙන් මෙතරම් පිරිසකට මරණයට පත්වීම සම්බන්ධයෙන් ඉන්දියාව කිසිවිටෙකත් අගමැති නරේන්ද්‍ර මෝදිට සමාව නොදෙනු ඇතැ”යි බටහිර බෙංගාල ප්‍රාන්තයේ දේශපාලනඥයකු පසුගිය සතියේ ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබිණි. “ඉන්දියාව සෞඛ්‍ය අර්බුදයකට මුහුණදී සිටින මොහොතක, අගමැතිවරයා මිලියන ගණනක් එන්නත් වෙනත් රටවලට අපනයනය කිරීමට තීරණය කළේය.” යනුවෙන් ඔහු තම ට්විටර් ගිණුමේ සඳහන් කර තිබිණි.
ඉන්දීය බංග්ලාදේශ දේශසීමා සති දෙකක කාලයකට වසා දැමීමට බංග්ලාදේශය පියවර ගත්තේ තම රටට ඉන්දියාවෙන් පැමිණෙන පුද්ගලයන්ගෙන් රෝගය ව්‍යාප්ත විය හැකි බැවිනි. කර්ණාටක ප්‍රාන්තයද දින 14ක් සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.
දශක ගණනාවකට පසු පළමු වතාවට පසුගිය වසරේ අවපාතයට ඇද වැටීමෙන් පසු යථා තත්ත්වයට පත්වීමේ නව සංඥා පෙන්වමින් සිටි ඉන්දියාවේ ආර්ථිකය දැන් යළිත් දරුණු අර්බුදයකට මුහුණ පා සිටී. ඇතැම් නගර සහ ප්‍රාන්ත බලධාරීන් විසින් ජනතාවට නිවෙස්වල රැඳී සිටින ලෙසට නියෝග පැනවීම හා සංචරණ සීමාකර ඇති බැවින් රුකියා අහිමිවීම් වර්ධනය වීමට පටන් ගෙන තිබේ. ඉන්දියානු ආර්ථිකය අධීක්ෂණය කිරීමේ මධ්‍යස්ථානයේ දත්ත වලට අනුව, අප්‍රේල් 18 වැනිදායින් අවසන් වූ සතිය තුළ නාගරික විරැකියාව 10.72% දක්වා ඉහළ ගොස් තිබේ.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා