2021 මැයි 01 වන සෙනසුරාදා

කොවිඩ් අනතුර ඉදිරියේ ඉන්දියාව

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 26

කොවිඩ් -19 වෛරසයේ බලපෑම ගැන ජගත් ප‍්‍රජාව මහත් භීතියකින් පසුවිය. එන්නත සොයාගැනීම මහත් අස්වැසිල්ලක් යැයි කල්පනා කරන්නට ඇත. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල පර්යේෂකයකන් සොයාගත් එන්නත වාණිජ වශයෙන් නිපදවන්නේ ඉන්දියාවේය. ඉන්දියාව වැඩිම බලපෑමකට ලක් වූ රට බවට පත්ව සිටී. පසුගිය සතිය පුරා දිනකට ලක්ෂ තුන ඉක්මවා කොවිඩ් ආසාදිතයන් වාර්තා වී තිබේ. ලෝක ආර්ථිකයේ පස්වැනි විශාලතම බලවතා වශයෙන් සැලකෙන්නේ ඉන්දියාවයි. නිෂ්පාදනය හා අලෙවිය සම්බන්ධයෙන් දැවැන්ත තරගයක සිටින ඉන්දියාව මේ වනවිට ආසාදිතයන් හෙයින් ජාත්‍යන්තර අවධානයට පත්ව තිබේ.

ඉන්දියාවේ තත්ත්වය පාලනය කරගත හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ. ඇමරිකාව ඖෂධ හා එන්නත් විශාල ප‍්‍රමාණයක් ප‍්‍රදානය කර තිබේ. චීනය, පකිස්තානය හා සිංගප්පූරැව වැනි රටවල් ඔක්සිජන් සිලින්ඩරවල සිට ජනතාවට අවශ්‍ය ද්‍රව්‍ය දක්වා සපයමින් සිටී. ශ‍්‍රී ලංකා රජයද මෙම සංවේදී අවස්ථාවේ දී රාජ්‍ය තාන්ත‍්‍රික මටට්මින් සබඳතා පවත්වයි. 

• අලුත් - පැරණි ලෙඩ දෙකම

පසුගිය දින කිහිපය තුළ ඉතාම වේගයෙන් කොවිඩ් වෛරසය ඉන්දියාව ආක‍්‍රමණය කර තිබේ. මහාරාෂ්ට, කේරළය, කර්ණාටක, උත්තර ප‍්‍රදේශ්, තමිල්නාඩු, අන්ද්‍රා ප‍්‍රදේශ් සහ නවදිල්ලිය යන ප‍්‍රාන්ත ඉකුත් දින හත තුළ දැවැන්ත පීඩාවකය. ආසාදිත රෝගීන් ඇතුළත් කළ නොහැකි තරමට රෝහල් පිරී ඉතිරී ගොස් තිබේ. බී.බී.සී. සේවාව ඉන්දියාවේ තත්ත්වය උපුටා දක්වමින් ඔක්සිජන් හිඟ හෙයින් අධික මිල ගණන්වලට පිටස්තරව විකිණෙන අතර, ඇතැම් ඖෂධ සොයා ගැනීමට නැති බව වාර්තා කර තිබුණි. එය ඉතාම වේදනාත්මක ස්වභාවයකි. ගිලන්රථ, ඔක්සිජන්, දැඩි සත්කාර ඒකක හා ජීවිතාරක්ෂක උපකරණ නැති බව සඳහන් පුවරු ප‍්‍රධාන රෝහල් ඉදිරිපිට දක්නට ලැබිණ. රෝගීන් ඇතුළත් කරගැනීම නතර කරන ලද අවස්ථා විශාල වශයෙන් අනාවරණය විය. 

අලුත් වාර්තා අනුව දෙලක්ෂ එක්දහසකට වඩා වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. සමහර මරණ නිල වශයෙන් ගණනය කර නැති බව එන්.ඩී.ටී.වී. සේවාව ප‍්‍රසිද්ධ කළේය. මිලියන දහ අටක පිරිසක් ආසාදිත වී ඇති අතර එයින් තුන්ලක්ෂ හැට දහසක් පසුගිය බදාදා සවස අවසන් පැය විසි හතර තුළදීය. මෙතෙක් ලෝකයේ කිසිම රටකින් හෙළිදරව් නොවූ තත්ත්වයකි. කෙසේ වෙතත් මිලියන දහ හතරකට වැඩිපිරිසක් සුව වී ඇති බවද සඳහන් කළ යුතුය. කොවිඩ් වයිරසය පැරණි ප‍්‍රභේදය හා අලුත් ප්‍රභේද මිශ‍්‍ර වී ඇති අතර දේශපාලන හා ආගමික උත්සව මෙම මහා පරිමාණ ව්‍යාප්තියට වගකිව යුතු බවට චෝදනා එල්ල වෙමින් තිබේ. නව ප්‍රභේදය ලෝකයේ රටවල් දහහතකින් සොයා ගැනීමට හැකි වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. ඉන්දියාව එයින් ප‍්‍රධානය. බ්‍රිතාන්‍ය, ඇමරිකාව සහ සිංගප්පූරුව සෙසු රටවල් අතර සිටී. 

• ඉන්දු - ශ‍්‍රී ලංකා සම්බන්ධතා අභිමුවෙහි සිදුවීම්

ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර දීර්ඝ කාලීන සම්බන්ධතා තිබේ. ඒවා මිත‍්‍රශීලී වන අතර තවත් අවස්ථාවක ඉතා උණුසුම් මුහුණුවරක් ගනී. දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුම එයින් එකකි. මෑත කාලය තුළ ආයෝජන අවස්ථා ඉතා ව්‍යාකූල පසුබිමක් නිර්මාණය කළේය. එවැනි පැති තිබියදී පවා ශ‍්‍රී ලංකාව වැඩිම ආනයන ප‍්‍රමාණයක් කරන්නේ ඉන්දියාවෙන්ය. සංචාරකයන්ගේ පැමිණීම වැඩිම රට වශයෙන්ද සැලකෙන්නේ ඉන්දියාවයි. කොවිඩ් වාතාවරණය හමුවේ සියලු ගුවන් ගමන් නතර කරන ලද හෙයින් සංචරණය ඉතාම අවම වූ අතර පසුගිය සතිය දක්වාම චෙන්නයි හා කොළඹ අතර ගුවන් සම්බන්ධතා පැවැතිණ. දිල්ලිය හා කොළඹ අතර සතියකට එක වතාවක් දක්වා සීමාවීම කැපී පෙණින. 

ලෝකය පුරා කොවිඩ් අවදානම පැතිරෙන අතරවාරයේ ලෝකයේ ප‍්‍රකට පර්යේෂණ සමාගම් එන්නතක් ගැන සොයාබලන ලද අතර බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සොයාගත් එන්නත වාණිජ වශයෙන් නිෂ්පාදනය කරන්නේ ඉන්දියාවයි. ප‍්‍රධාන නිෂ්පාදකයා ශිරාම් ඉන්ස්ටිටියුට් වන අතර භාරත් බයෝටෙක් සමාගම ද එයට සම්බන්ධ වී සිටියේය. තෝරාගත් කෝටා ක‍්‍රමයක් අනුව ලෝකයේ සැම රටකටම එන්නත් සැපයුන අතර ශ‍්‍රී ලංකාව සඳහා විශේෂයෙන් එන්නත් තොගයක් සැපයීමටද ඉන්දීය බලධාරීහු කාරුණික වූහ. ඉන්දියාව තුළ ඉතා තීරණාත්මක ව්‍යාප්තියක් පවතින අතරවාරයේ පවා ශ‍්‍රී ලංකාවට සැපයිය යුතු දෙවැනි එන්නත් තොගය වෙන්කර තිබේ. ඇමරිකානු බලධාරීන් එරට එන්නත්වලින් කොටසක් හදිසි මානුෂික ආධාර වශයෙන් ඉන්දියාවට එවන අතරවාරයේ මෙරට ජනගහනයෙන් කිසියම් ප‍්‍රතිශතයකට රුකවරණය ලැබීම භාග්‍යයකි.

• වෙළඳ පොළ ප‍්‍රවණතා තුළ මතුවිය හැකි පැති

ශ‍්‍රී ලංකාවේ වෙළඳපොළ සෑහෙන ප‍්‍රතිශතයක් ඉන්දියානු ආනයනවලින් සමන්විතය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සෑහෙන වපරිසයකි. මෙරට වගාව වැඩිදියුණු කරන හා ආනයන අඩු කරන පිළිවෙළක් වශයෙන් කහ ගෙන්වීම සීමා කර ඇත. 2019 වසරේ දෙසැම්බර් මුල් සතියේ නිවේදනයක් නිකුත් කළ රජය වහාම ක‍්‍රියාත්මක වන පරිදි ගම්මිරිස්, කහ, කරුංකා ඇතුළු ද්‍රව්‍ය ගණනාවක් ගෙන්වීම තහනම් කර ඇත. එහි පීඩනය එල්ල වූයේ ඉන්දියාවටය. මෙම ද්‍රව්‍ය කෙසේ වෙතත් රටට ගෙන්වන ලොකු ලූනුවලින් සියයට අනූවක් ඉන්දියාවෙන් පැමිණෙයි. අර්තාපල් වලින් සියයට දහ හතක් සැපයෙන්නේද ඉන්දියාවෙන්ය. ආහාර ද්‍රව්‍ය අතර ඇපල්, මිදි පමණක් නොව දේශීය බෙහෙත් වර්ග නිෂ්පාදනයට අවශ්‍ය සුදුලූනු, කොත්තමල්ලි, පත්පාඩගම් යනාදී වශයෙන් සියලු දේ ගෙන්වන්නේ ඉන්දියාවෙන්ය. කොවිඩ් තර්ජනය හෙයින් මෙම ආනයන තාවකාලිකව සීමාවිය හැකිද යන ප‍්‍රශ්නය මතු වී තිබේ. මෙරට සිටින පෞද්ගලික අංශයේ ආනයනකරුවන් මෙතෙක් ප‍්‍රතිචාර දක්වා නැත. එහෙත් ඉතාම හදිසි තත්ත්වයක් මතුවුවහොත් ඉන්දියාව අපනයන පාලනය කරන්නට ඉඩ තිබේ. එක අවස්ථාවක ඉන්දියාව පුරා පැතිර ගිය නියඟය හෙයින් ලොකු ලූනු අපනයනය තාවකාලිකව නතර කළේය. එය ශ‍්‍රී ලංකාවට අවාසි ගෙන දුන්නේය. ලොකු ලූනු කිලෝවක මිල රැ. හාරසියය ඉක්මවා ගියේය. 

ආනයන වාර්තා දක්වන පරිදි ඛනිජ තෙල් හා ලිහිසි තෙල් ඉන්දියාවෙන් ගෙන්වන දේ අතර ප‍්‍රධානය. අනෙක රථවාහන, කාර්මික මෙවලම් සහ යන්ත‍්‍ර සූත‍්‍ර බව දැක්වෙයි. විදුලි උපකරණ හා මෙවලම් සෑහෙන ප‍්‍රමාණයක්ද ඉන්දියානු ආනයන අතර තිබේ. රෙදිපිළි, කපු, යකඩ, වානේ, සිමෙන්ති, ඖෂධ යනාදියද ලැයිස්තුවේ ඉහළින්ම ඇත. මෙවැනි ද්‍රව්‍ය ආනයනයට යම් බලපෑමක් සිදුවිය හැකි ද යන්න තවමත් පැහැදිලි නැත. රෝගීන් වාර්තාවන නමුත් ඉන්දියාව සම්පූර්ණයෙන් අඩපණ වී ඇති බවක් නොපෙනේ. ඇතැම් පැති හා දෙපාර්තමේන්තුවල කටයුතු සීමා කරන නමුත් ඉන්දියානු ආර්ථිකය අඩාල වන තීරණ ගැනෙනු ඇතැයි තක්සේරැ කළ නොහැක.

• වෙළඳාම ඉහළ නැග ඇති තරම ගැන සඳහන

2019 වසරේදී ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 4.59 ක් බව සඳහන්ව තිබුණි. එය ඉන්දියාවට ඉතා වාසිදායක තත්ත්වයකි. මෙරටින් යැවෙන දේ සීමිත හෙයින් වෙළඳ පරතරය තියුණු ලෙස වර්ධනය වෙමින් පවතින බව පෙනේ. දෙරටට වාසිදායක ලෙස නිදහස් වෙළඳ ගිවිසුමක් පවතී. එහි ඇතැම් කරුණු තවමත් නිරාකරණය කරගෙන නැත. නිදහස් වෙළඳ ගිවිසුමට පසු සේවා ගිවිසුමකට ඇතුළත්වීමට නියමිතව තිබුණ නමුත් එයට එරෙහිව සෑහෙන මතවාදයක් ඇවිලිණ. රේගු වාර්තා නිරීක්ෂණය කරනවිට ශ‍්‍රී ලංකාව ඉන්දියාවට සැපයුම් දොරටුවකි. කොළඹ වරායෙන් කරන බහාලුම් ප‍්‍රතිඅපනයනය විශාල අවස්ථාවකි. දත්ත පෙන්වන පරිදි කොළඹ වරායේ මෙහෙයුම් වලින් සියයට හැට පහක් පමණ ඉන්දියාවට කරන අපනයන බව දැක්වෙයි. මෙම වෙළඳ පසුබිම, ආනයන හා අපනයන අවස්ථා එක මොහොතකින් නතරවීමට අවකාශයක් නැත. කොවිඩ් අවදානම තිබිය දී පවා ගනුදෙනු වලට ඉඩ තිබේ. දෙරට අතර බලධාරීන් ප‍්‍රතිපත්ති අනුව දූරදර්ශීව කටයුතු කළහොත් ආර්ථික කටයුතු අඩාලවීමකින් තොරව පවත්වා ගැනීමට දෙරටම පුළුල් හැකියාවක් ඇත. 

කෙසේ නමුත් අවසාන විග‍්‍රහයේ දී ලෝක ආර්ථිකයේ හැසිරීමද සලකා බැලීම වැදගත්ය. මෙතෙක් කාර්යක්ෂමතාව හා ඵලදායීතාව සලකා සැපයුම් චක‍්‍රයක ස්වභාවයක් ක‍්‍රියාත්මක වූ නමුත් ලෝක ආර්ථිකය නුදුරු කාලයේදී ආරක්ෂණවාදී ප‍්‍රතිපත්තියකට අවතීර්ණ වෙන්නට ඉඩ තිබේ. තමන්ට අවශ්‍ය දේ රට තුළ නිපදවා ගැනීමට හා පිටතින් යැපෙන ප‍්‍රමාණය අවම වනු ඇත. අනෙක වෙනත් රටවලින් අමුද්‍රව්‍ය ගෙන්වා තවත් රටක කම්හල්වල කරන නිෂ්පාදන ක‍්‍රමවේද යම් කාලසීමාවකට අඩු විය හැකිය. එවැනි ආයෝජන සීමා වෙන්නට ඉඩ තිබේ. ශ‍්‍රී ලංකාව සැපයුම් චක‍්‍රයෙහි කොටසක් නම් එය ඉන්දියාවට බලපාන සාධකයක් නම් අනාගතයේදී ඇති විය හැකි වෙනස්කම් ගැන අවධානය යොමු කිරීම සුදුසුය. ක්ෂණයකින් පැන නැගුණ ඉන්දියාවේ කොවිඩ් රැල්ල ඒ හා සමානව යටපත් වන්නට ඉඩකඩ ඇත. අවස්ථා ඇති වන අතර අලුත් අවස්ථා පැන නැගෙන්නටද ඉඩ තිබේ. කළමනාකරණයක් සහිතව තීරණ ගැනීම අවශ්‍යතාවයකි.

 ගාමිණී සරත් ගොඩකන්ද

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03