2021 මැයි 01 වන සෙනසුරාදා

විනෝද සාගරයක් වෙන රත්මලාන ගුවන්තොට

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 184

ලංකාවේ පළමු ජාත්‍යන්තර ගුවන්තොටුපළ රත්මලාන බව අද වැඩිදෙනා දන්නේ නැත. ඊට හේතුව වැඩිවශයෙන් අසන්නට ලැබෙන්ගේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ නාමය නිසා විය හැකිය. 1935 වසරේ ආරම්භ කෙරුණු රත්මලාන ගුවන්තොටුපළ හිටපු අගමැතිවරයෙකු වූ සර් ජෝන් කොතලාවල මහතාට අයත් ඉඩමක ගොඩනංවන ලදී. ඉන් වසර තුනකට පසුව 1938 වර්ෂයේදී රත්මලාන ගුවන්තොටුපළ සිවිල් ගුවන්සේවා කටයුතු සඳහා මෙහෙයුම් ආරම්භ කොට ඇත.

මේ අයුරින් 29 වසරක් පුරාවට රත්මලාන ගුවන්තොටුපළ පරිශ්‍රයේ සියලුම ජත්‍යන්තර ගුවන් ගමන් කටයුතු සිදුකෙරිණ. අනතුරුව 1967 වසරේදී කටුනායක ගුවන්තොටුපළ ආරම්භයත් සමඟ සියලු ජාත්‍යන්තර ගුවන් ගමන් එම ගුවන්තොටුපළ වෙත මාරුකොට ඇත. එතැන් සිට රත්මලාන ගුවන්තොටුපළ භාවිත කෙරී ඇත්තේ දේශීය අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා පමණය. එහෙත් යුද සමය හේතුවෙන් ඊට අවශ්‍ය ගුවන් මෙහෙයුම් සඳහා භාවිතයට ගැනිණ. 2008-2009 වර්ෂවලදී වැඩිවශයෙන් රත්මලාන ගුවන්තොටුපළ දේශීය ගුවන්ගමන් සඳහා භාවිතා කෙරී ඇත. ඉන්පසු කාලයේදී රත්මලාන ගුවන්තොටුපළ වඩාත් එලදායි ලෙස භාවිතයට නොගත් බව පෙනී ගොස් ඇත.

මේ හේතුවෙන් අරමුණු කිහිපයක් පෙරදැරි කර ගනිමින් නවමු සංවර්ධන වැඩ පිළිවෙළක් රත්මලාන ගුවන්තොටුපළ කේන්ද්‍ර කොටගෙන ආරම්භ කිරීමට අදහස් කළ බව රත්මලාන ගුවන්තොටුපළ කළමනාකරු අරුණ රාජපක්ෂ මහතා පැවසීය.
දේශීය ගුවන් යානා කේන්ද්‍රස්ථානයක් වශයෙන් සංවර්ධනය කෙරෙන රත්මලාන ගුවන්තොටුපළ විනෝදාස්වාදය සඳහා වෙන්කරන ගුවන් ගමන් මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය. මේ යටතේ දේශීය ගුවන් ගමන් මාර්ග හඳුනාගැනීම, අලුත් ගුවන් ධාවන පථ හඳුනා ගැනීම එම ස්ථානවලට පියාසර කිරීමට ඇති බාධා ඉවත් කිරීම හෝ ලිහිල් කිරීමට අපේක්ෂිත බව කියැවේ.

දේශීය ගුවන් කර්මාන්තය උදෙසා මෙරට දේශීය ගුවන් යානා ආයතන 15ක් පමණ ක්‍රියාත්මකය. ඒවායෙන් කිහිපයක් මගී ප්‍රවාහනය සඳහාත් තවත් කිහිපයක් පුහුණු ආයතන වශයෙන් හා අධ්‍යාපන ක්‍රියාවලි සඳහාත් ක්‍රියාත්මකය. මේ සියල්ල රත්මලාන ගුවන් තොටුපොළ ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරේ. දේශීය ගුවන් ගමන් කේන්ද්‍රස්ථානයක් වශයෙන් ක්‍රියාකරන රත්මලාන සිට කටුනායක, මත්තල, මඩකලපුව හා යාපනයට අමතරව අවශ්‍ය ස්ථාන දක්වා ගුවන් ගමන් පහසුකම් සලසාගත හැකිය. ඉහත කී රත්මලාන, කටුනායක, මත්තල, මඩකලපුව හා යාපනය යන ගුවන්තොටුපළවල් හා ගුවන් සේවා (ශ්‍රී ලංකා, පෞද්ගලික) සමාගම යටතේ ක්‍රියාත්මකය. ඒ අනුව සිවිල් ගුවන්සේවා සැපයීම හා සිවිල් ගුවන්තොටුපළ මෙහෙයුම් කටයුතු සිදුකෙරෙයි.
රත්මලාන ගුවන්තොටුපළ විනෝදාස්වාදය වෙනුවෙන් යෙදවීමේදී ඊට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම ප්‍රථමයෙන් සිදුකරයි. මෙහිදී ගුවන් සේවා දැනුම හා අත්දැකීම් ලබාගැනීම පිණිස ගුවන් සේවා විනෝදජනක සංසදය ඇරඹීමට නියමිතය. මේ සඳහා කැමති පිරිස් සම්බන්ධවීමට හැකිය. ඒ තුළ අධ්‍යාපන වැඩසටහන් රුසක් ක්‍රියාත්මකය.

ව්‍යාපාරික හා වෙනත් අවශ්‍යතා පදනම් කරගෙන දිවයිනේ විවිධ ප්‍රදේශවලට කඩිනමින් ගමන් කිරීම සඳහා අවශ්‍ය ගුවන් ප්‍රවාහන සේවාව මෙහිදී ලබාගත හැකිය. (Scenic Flying) සේවාව නවමු අත්දැකීමකි. මෙහිදී ගුවනින් ගොස් දිවයින හා වටා ඕනෑම ස්ථානයක් දැකබලා ගත හැකිය. මෙය නවමු සංචාරක අත්දැකීමකි. ජෝයි ටුවර්ස් වශයෙන්ද ක්‍රියාත්මක වන මේ තුළදී සංචාරක ආකර්ෂණය දිනාගන්නා අවස්ථා රුසකි.

මෙහිදී අවශ්‍ය පරිදි ගුවන් යානා වෙන්කර ගැනීමට හැකිය. ඊට අමතරව දිනපතා හා සති අන්ත වශයෙන් කාලසටහනකට අනුව දේශීය ගුවන් තොටුපළ අතර ගුවන් ගමන් ක්‍රියාත්මකව පවතී. අවශ්‍ය පරිදි එම පහසුකම අත්විඳිය හැකිය.
රත්මලාන ගුවන්තොටුපළ එක් ගමනාන්තයක් වශයෙන් පමණක් නොව තවත් පහසුකම් රැසක් ලබාදෙන පරිශ්‍රයක් වශයෙන් සැකසී තිබේ. මෙහිදී මංගල ඡායාරූපකරණයට හා හනිමුන් සංචාර සඳහා ගුවන් යානා වෙන්කර ගත හැකිය. මීට අමතරව ටෙලිනාට්‍ය චිත්‍රපට හා වෙළඳ දැන්වීම්කරණය ආදිය සඳහාද යොදාගැනීමට අවස්ථාව ලැබී ඇත. මේ අතර දැනටමත් රත්මලාන ගුවන් තොටුපළ ගුවන් පුහුණු මධ්‍යස්ථානයක් වශයෙන් ක්‍රියාත්මකය.‍

කලාපීය ගුවන් ගමන් කේන්ද්‍රස්ථානයක් වන රත්මලාන ගුවන් තොටුපළ පරිශ්‍රයට පැමිණෙන ජනතාවට නවාතැන් ගැනීම, ඡායාරෑප ගැනීම, පිහිනීම හා විනෝදවීමට අවශ්‍ය වටපිටාව මෙහිදී සලසනු ලැබේ. මේ අතර පෞද්ගලික ගුවන් යානා සදහා නැවතුම් සේවා සැපයීම හා ඉන්ධන පිරවීම ඇතුළු සේවාවන් රුසක් රත්මලාන ගුවන් තොටුපළ පරිශ්‍රයෙන් ලබාගත හැකිය.

ඉකුත් ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් පැවැත්වුණු තරගාවලියකදී තෝරාගත් වාසනාවන්ත ආදරවන්ත යුවළ තුනක හයදෙනකු සඳහා Scenic Tour ගුවන් නැරඹුම් සංචාර පිරිනමා තිබිණ. මීට අමතරව සිංහල හින්දු අවුරුද්ද වෙනුවෙන් මාර්ගගත ක්‍රමයට පැවැත්වූ  සූරිය අවුරුදු කිරණ අවුරුදු උළෙලේදී ජයග්‍රහණය ලැබූ වාසනාවන්ත යුවළ දෙකකට Scenic Tour ලබාදි ඇත.

විශේෂ ස්තූතිය
ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ සාමූහික කළමනාකරණ හා අලෙවිකරණ ප්‍රධානී සුමිත් ද සිල්වා මහතාට.

සමන්ත ප්‍රදීප් විල්තෙර