2021 මැයි 01 වන සෙනසුරාදා

රට සාමාන්‍ය වෙන්න මාස දෙකක්වත් යයි

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 12

දේශබන්දු තෙන්නකෝන් 

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත

බස්නාහිර පළාත ඉතාම තීරණාත්මක තැනක තියෙන්නේ කොවිඩ් වෛරසය නිසා. මෙවරත් ශ්‍රී ලංකා පොලීසිය ඒ වෙනුවෙන් කැපවීම් සිදුකරනවා. ඔබ බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා. ඔබට පෙනෙන විදිහට බස්නාහිර පළාතේ තත්ත්වය මොනවගේද?
කොවිඩ් රුල්ලේ අපි ඉන්නේ මේ තුන්වැනි අවස්ථාවේ. ඔබ කිව්වා වගේ මේ කොවිඩ් වෛරසය නිසා ඉතාම බරපතළ පීඩාවකට ලක්වෙන්නේ මේ බස්නාහිර පළාතේ ජනතාව. ඒකට හේතුව තමයි අනෙකුත් පළාත් එක්ක බලද්දී වැඩිම ජනගහනයක් ඉන්න පළාත තමයි මේ බස්නාහිර පළාත. ඒ වගේම ජන ඝනත්වයත් මේ කාරණයේදී බලපානවා. විශේෂයෙන් ජනතාව සමීපව ජීවත්වෙන නිවාස තියෙනවා. ඒ වගේම නිවාස සංකීර්ණ තියෙනවා. නාගරික වතු තියෙනවා. මේ අයට පෞද්ගලික සෞඛ්‍ය පහසුකම් පවත්වාගෙන යන්න අමාරුයි. බහුතරයක් පොදු පහසුකම් යටතේ වෙන්නේ. මේ නිසා රෝග ව්‍යාප්තිය වැඩියි.

ගොඩක් අය අහනවා ඇයි මේ ලොක්ඩවුන් කරන්න බැරි කියලා රට?
කොහොම වුණත් මෙවර ලොක්ඩවුන් කිරීමක් කළේ නෑ. හේතුව ජනතාව අපහසුතාවයට ලක්වෙන නිසා. ගියවර විශාල වශයෙන් ජනතාව අපහසුතාවයට ලක්වුණා. ඒත් මෙවර ජනාධිපතිතුමා අපිට දැනුම් දීලා තියෙනවා සෞඛ්‍ය මාර්ගෝපදේශක අනුව නීතිය බලාත්මක කරන්න කියලා. ඒ අනුව මෙවර අපි දැඩි අවධානයක් දීලා නීතිකඩන, සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක නොකරන අයට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. මෙතැනදී මම කියන්නේ ජනතාව ස්වයංව පාලනය වෙන්න ඕන. අපි මැදිහත්වෙලා නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට ජනතාව මේ වෛරසය සම්බන්ධයෙන් අවදානම ගැන හිතලා අනවශ්‍ය ගමන්, රුස්වීම්, විනෝද චාරිකා නොයා ඉන්න ඕන.

ඇතැම් ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා ඇයි අවුරුද්දට දැඩි සීමාදාන්න බැරිවුණේ කියලා?
මේ තත්ත්වයට හේතුව පසුගිය අලුත් අවුරුදු උත්සව සමය. 2019 පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ජනතාව විශාල ලෙස හිරවුණා. ඒ වගේම ගිය වසරේ කොවිඩ් වෛරසයත් එක්ක ගෙවල් වලට සීමාවුණා. මෙවර අලුත් අවුරුදු ළං වෙනකොට රෝගීන් සුළු වශයෙන් වාර්තා වෙන්න ගත්තේ. පාලනය වෙලා තිබ්බේ. ඒ නිසා අපි මෙවර ජනතාවට ඉඩදුන්නේ අවුරුදු සතුට තමන්ගේ සමීපතමයන් සමඟ සමරන්න. එහෙම ඉඩ නොදුන්නා නම් විශාල අසහනකාරී තත්වයක් ඇති වෙනවා. ඒ නිසා සෞඛ්‍ය අංශ උපදෙස් දුන්නේ සෞඛ්‍ය ආරක්ෂාව මුල්කර ගනිමින් අලුත් අවුරුදු සමරන්න කියලා.

ඒත් එහෙම නෑ නේද? අලුත් අවුරුදු උත්සව පවා තිබුණා?
ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ අවුරුදු උත්‍සව සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර පවා නිකුත් කරන්න එපා කියලා. අපි ඒවා නිකුත් කළේ නෑ. කිසිම දේකට ශබ්ද විකාශන බලපත්‍ර නිකුත් කළේ නෑ. මෙතැන සිදුවුණේ ජනතාව ඒ ආසන්න කාලවල සාප්පු සවාරි, ජනතාව ගැවසෙන තැන්වල එහෙම කාලය ගතකළා. විනෝද චාරිකා, පොදු ප්‍රවාහනය භාවිත කිරීම් වැඩිවුණා. මොකද පාසල් නිවාඩුව නිසා. මේ සියල්ල නිසයි මේ තත්ත්වය උදාවුණේ. දැන් අපි මෙහෙයුම් දියත් කරලා තියෙන්නේ මේ තත්ත්වය පාලනය කරන්න. නැවත සාමාන්‍ය තත්ත්වයට එන්න තව මාස දෙකක් වගේ කාලයක් ගතවෙයි. මේ වෙලාවේ ජනතාවට වගකීමක් තියෙනවා මේ තත්ත්වයෙන් මිදෙන්න වගකීම් සහගත ලෙස හැසිරෙන්න.

• දැන් මේ බස්නාහිර පළාතෙන් පිට යන අය සීමා කරන්න ක්‍රමයක් නැද්ද?
බස්නාහිර පළාතෙ ජනතාව විශාල සංඛ්‍යාවක් පළාතෙන් පිට සංචාරය කරන ස්ථාන 11ක් තියෙනවා. ඒ තැන් සියල්ල කේන්ද්‍ර කරගෙන ගියවර වගේ ස්ථිර ස්ථාන නැතුව තැන් තැන්වල හදිසි ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරනවා. එහෙම කරන්නේ සමහර පිරිස් ඒ ස්ථාන මගඇරලා යන නිසායි. ඒ නිසා හදිසියේම අපි මේ පරීක්ෂාව සිදුකරනවා. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ දැන් මේ වෙනකොට නිකුත්කරලා තියෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැන නිසි අවධානය යොමුකරලා ඒවා ආරක්ෂා කරන්න කියලා.

අපි දැකලා තියෙනවා සමහර අය මේ නීති පිළිපදින්නේ නෑ. අඩුම තරමේ මාස්ක් එකවත් හරියට දාන්නේ නෑ?
කවුරු හරි කෙනෙක් නිරෝධායනය නීති, සෞඛ්‍ය නීති නොසලකා හරිනවා නම් ඔහුට විරුද්ධව නීතිමය වශයෙන් ක්‍රියාත්මක වෙන්න වෙනවා. අපි මේ වෙනකොට නිල ඇඳුමෙන් වගේම සිවිල් ඇඳුමෙනුත් පොලිස් නිලධාරීන් යොදලා ඉන්නවා මේ ගැන සොයා බලන්න. මම ජනතාවගෙන් ඉල්ලන්නෙ වගකීමෙන් ක්‍රියාකරන්න. මේක ජාතික වගකීමක්. ජනතාවට යම් අපහසුතාවයක් එන්න පුළුවන්. ඒත් මේක හැමදාම තියෙන තත්ත්වයක් නෙමෙයි.

දැන් කොහොමද පොලීසිය මේ වැඩපිළිවෙළට සම්බන්ධ වෙන්නේ?
අපි ස්වයං නිරෝධායන ක්‍රියාවලියට සෘජුව සම්බන්ධ වෙලා ඉන්නෙ. රෝගීන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් වගේම දෙවැනි පෙළ ආශ්‍රිතයනුත් නිරෝධායනය කරනවා. මේ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු කණ්ඩායමක් අපි එක්ක එකට වැඩ කරනවා. අපි රතුපාට සහ කහපාට ස්ටිකර් එකක් අලවනවා. මහජන පරීක්ෂකවරුත් අලවනවා. එතකොට ඕන කෙනෙක්ට අඳුරගන්න පුළුවන් ඒ ගෙදර. මේ වෙද්දී බස්නාහිර පළාතේ පවුල් 6000 කට වැඩි පිරිසක් නිරෝධායනය කරලා. පුද්ගලයන් හැටියට 20000කට කිට්ටුවෙන්න ස්වයං නිරෝධායනයට යොදලා ඉන්නේ.

දැන් රට ලොක්ඩවුන් කරන්නේ නැද්ද?
මේ රටේ ජනාධිපතිවරයා, හමුදාපතිවරයා, පොලිස්පතිවරයා ඒ නිලධාරීන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අය ඇතුළු සියලුදෙනා විශාල පිරිසක් මේ වෙනුවෙන් දිවා රූ නොබලා කැපවෙනවා. අනෙකුත් රටවල් එක්ක බලද්දී මේ රට සාපේක්ෂව ඉහළ තැනක තියෙනවා. අපේ සෞඛ්‍ය පද්ධතිය ගැන ඇත්තටම ආඩම්බරයි.

බස්නාහිර පළාත කියන්නේ පාතාලයේ ප්‍රධාන තැනක්. අපි දැක්කා පහුගිය කාලේ පාතාල ක්‍රියාකාරකම්. කොහොමද මේ වෙනකොට පාතාල කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය?
ජනාධිපතිතුමත්, නීතිය හා සාමය බාර අමාත්‍යතුමාගෙත් උපදෙස් පරිදි පොලිස්පතිතුමාගේ නායකත්වයෙන් අපි සැලසුමක් දියත් කළා මේ පාතාල මර්දනය සඳහා. වැඩිම සංවිධානාත්මක කල්ලි කීපයක් සක්‍රීයව තිබ්බ පළාතක් තමයි මේ බස්නාහිර පළාත. අපි මේ වෙනකොට පාතාල ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය ව්‍යාපාර කරන ජාල අඳුරගෙන තියෙනවා. ඒ අයට උදව් කරන අය අඳුරගෙන තියෙනවා. දැන් අපි එකින් එක ලිහාගෙන යන්නේ. ඒ පුද්ගලයන් ගැන, දේපල ගැන ගන්න ඕන ක්‍රියාමාර්ග අපි ගනිමින් යනවා. හැබැයි වර්තමාන තත්ත්වය එක්ක ක්‍රියාකාරකම් අඩුවෙලා තියෙනවා. කොහොම වුණත් අපි නිරන්තර අවධානයෙන් ඉන්නවා මේ පාතාලය ගැන. එක දෙයක් ඉදිරි කාලයෙදී මුළුමනින්ම පාතාලයත්, මත්ද්‍රව්‍යත් අපි මේ රටෙන් තුරන් කරනවා.

අවසාන වශයෙන් අහන්නේ මේ දේවල් කරන්න බස්නාහිර පළාත ඇතුළේ ඇති තරම් පොලිස් නිලධාරීන් ඉන්නවද? අඩුවක් තියෙනවා නේද?
මෙහෙමයි ගොඩක් පොලීසියට බැඳෙන්නේ බස්නාහිර පළාතට පිට පළාත්වලින්. කාලයක් ගියාම ඒ අය විවාහ වෙලා දරුවෝ එක්ක නැවත සුපුරුදු ගමට යනවා මාරුවක් හදාගෙන. ඒ නිසා යම් අඩුවක් බස්නාහිර පළාතේ තියෙනවා. ඒත් මේ වෙනකොට අපි සාකච්ඡා කරලා තියෙනවා බස්නාහිර පළාතේ පාසල් අත්හැරිය තරුණ තරුණියන් ගෙනැල්ලා ඒ අයව අපි පොලීසියට බන්ද ගන්න අදහසක් තියෙනවා. ඉදිරියේදී නව පොලිස් ස්ථාන කිහිපයක්ම ආරම්භ කිරීමත් එක්ක අපි ඒ වෙනුවෙන් නිලධාරීන් පුරවගන්න හදන්නෙ මේ බස්නාහිර පළාතෙන්. ඊටපස්සේ මේ තත්ත්වය හරියයි.

 ගයාන් ගාල්ලගේ

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03