2021 මැයි 01 වන සෙනසුරාදා

පදිංචිකරුවන්ගෙන් විනාශයට යන පැරණි අනුරපුර

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 64

මාස කිහිපයකට පෙර නිකුත් වූ ජාතික විගණන කාර්යාලයේ විශේෂ විගණන වාර්තාවකින් හෙළි වූයේ අනවසර පදිංචිකරුවන් නිසා අනුරාධපුර ඇතුළු නුවරට දැඩි හානියක් සිදුව තිබෙන බවයි. ඇතුළුනුවර අනවසරයෙන් පදිංචිව සිටිනවාට අමතරව එම ඉඩම් වෙනත් අයට අලෙවි කිරීම ද සිදුවන බව අටමස්ථානයේ විහාරාධිකාරී හිමිවරු ද පවසති. ප්‍රාග් ඓතිහාසික යුගයේ පුරාණ අනුරාධපුර නගරය ගැන මුල්ම සාක්ෂි හමුවන්නේ ඇතුළුනුවරිනි. එමෙන්ම දකුණු ආසියාවේ පැරණිම නාගරික ශිෂ්ටාචාරයක් ගැන පැහැදිලි සාක්ෂි මෙහි කරන ලද පුරාවිද්‍යා කැණීම්වලින් හෙළිදරව් විය.

පුරාණ  යුගයේ රජ මාලිගය ඇතුළු වැදගත්ම ගොඩනැගිලි පිහිටා තිබුණේ ඇතුළු නුවරය. පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම්කර ඇති මෙහි භූමි ප්‍රමාණය අක්කර 256කි. ඒ අනුව ඇතුළු නුවරට බලපාන්නේ පුරාවිද්‍යා ආඥාපනතයි. නමුත් අනවසර පදිංචිකරුවන්ට ඒ පනත් අදාළ වන්නේ දැයි යන්න පවා ගැටලුවකි. ඒ ඔවුන් පිටුපස බලවත් දේශපාලන හස්ත ක්‍රියාත්මක වන නිසයි. අනවසර ඉදිකිරිම් ගැන දීර්ඝ කාලයක සිට දැනුවත් කිරීම් කළත් සාර්ථක ප්‍රතිඵල ලැබී නැති බව විගණන වාර්තාව සඳහන් කරයි. ඇතුළු නුවර අනවසර පදිංචිකරුවන් 265 දෙනකුගේ ලේඛනයක් විගණන වාර්තාවට ඇතුළත් කර තිබේ. ඇතුළු නුවර විශාල ප්‍රදේශයක් මේ වනවිට කැණීම් පවා කර නැති අතර අනවසර පදිංචිකරුවන් නිසා සිදුවන හානිය ගැන කටයුතු කිරීමේ දී පුරාවිද්‍යා බලධාරීන් පවා අසරණ වන බව පෙනේ.

ඇතුළුනුවර පදිංචි පවුල් සංඛ්‍යාව දහසකට අධිකය. එය අඩුම තරමේ පන්දහසක ජනගහණයකි. මේ අතර 1969 කැණීම් ආරම්භ කිරීමට පෙර පටන් සිටි මුල් පදිංචිකරුවන් ද සිටින අතර ඔවුන්ට සින්නක්කර ඔප්පු හිමිය. එමෙන්ම පැරණි පදිංචිකරුවන් සඳහා කාඩ්පතක් ද ලබාදී ඇත්තේ ඔවුන්ගේ අනන්‍යතාවය හඳුනාගැනීමටයි. නමුත්  බලපත්‍රලාභී ඉඩම්හිමියන් සහ අනවසර ඉඩම්හිමියන් විශාල සංඛ්‍යාවක් ද මේ අතර සිටිති. මේ පිළිබඳව අපට ප්‍රදේශවාසියෙක් මෙසේ පැවසුවේය:
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන තිබෙනවා මේ පදිංචිකරුවන් සියල්ල මින් ඉවත් කළ යුතු බවට. ඒ සඳහා සැලැස්මක් පැවතියත් තවමත් සාකච්ඡා මට්ටමේ තමයි පවතින බව තමයි අපට ආරංචි. මුල් පදිංචිකරුවන්ට බෙදාදීමට ඇතුළු නුවර ප්‍රදේශයේ රජයේ ඉඩමක් හඳුනාගෙන තිබෙනවා. අනු පවුල් මින් ඉවත්කර ලෝලුගස්වැව පදිංචි කිරීමේ යෝජනාවක් පවතිනවා. නමුත් තවත් පිරිසක් යෝජනා කරන්නේ මිනිසුන් පදිංචිව සිටිම නිසා මේ ප්‍රදේශය ආරක්ෂා වන අතර සංස්කෘතික ගම්මානයක් ලෙස ඇතුළුනුවර සංවර්ධනය කළ යුතු බවයි. කෙසේ වුවත් මේ ප්‍රදේශයේ කිසිම වැඩකට කැණීම් කිරීමට බැහැ. මේ නිසා විදුලිය පවා ලබාදී තිබෙන්නේ ජී අයි බට දමා තාවකාලික පදනමින්. ජලය ලබාදී තිබෙන්නේ ද ගැඹුරට කැණීම් කිරීමකින් තොරවයි. නමුත් මේ ගැටලුවට විසඳුමක් ලැබන තුරු මේ දහස් ගණනක ජනතාවක් අතරමංවෙලා ඉන්නේ. ගෙයක් හදාගන්නවත් නිවාස ණයක් ලබාගන්නවත් බැහැ. රක්ෂිතයක ජීවත් වන හින්දා. 
කෙසේ වුවත් අලුත් ඉඩමක නිවාස දහසක් පමණ ඉදිකර මේ ජනතාව පදිංචි කිරීමට රුපියල් බිලියන ගණනක් වැයවන කරුණකි. නමුත් ඔවුන් පදිංචි කර මේ ජනතාවට ස්ථාවර ජිවිතයක් උරුම කර දීම අවශ්‍ය අතර ඇතුළුනුවර වෙනම සංස්කෘතික කලාපයක් ලෙස සංරක්ෂණය කිරීම අවශ්‍ය වේ. ඉන්දියාවේ ලුම්බිණිය ආශ්‍රිතව එවැනි පියවරක් දැකගත හැකි අතර එය නැරඹීමට ලාංකික වන්දනාකරුවන් ඇතුළු විශාල පිරිසක් පැමිණෙති. නමුත් ලංකාවේ අනුරාධපුර පූජා නගරයේ පැරණි අත්දැකීම් අනුව නම් පෙනෙන්නේ වෙනත් ප්‍රදේශවල ලබාදුන් ඉඩම් ලබාගත් පිරිස් නැවතත් පරණ ඉඩමට පැමිණ එහිත් පදිංචිවීමයි. 

ඇතුළුනගරය පිහිටා ඇත්තේ රුවන්වැලි සෑය හා අභයගිරිය අතරය. මේ බිම තුළ මහාපාලි දානශාලාව, විජයබා මාලිගය, ගෙඩිගේ හා දළදා මාලිගය පිහිටා තිබේ. මේ ස්ථානය සාමාන්‍ය බිම් මට්ටම අනුව, අනුරාධපුර පූජා නගරයේ උසින් වැඩිම කොටසයි. කැණීම් කිරීමේ දී අඩි 30ක් පමණ යටින් පිහිටිගල අසුවී තිබේ. අනුරාධපුර කාලයේ රාජකීයයන්, ප්‍රභූවරු ජීවත් වුණු වෙළෙඳ හා කාර්මික නිෂ්පාදන කටයුතු සිදුවුණු භූමිය මෙය බව හෙළිවී තිබේ. ඉන්දියාවේ තිබුණ අයුරින් බලකොටුවක් විදිහටයි මෙම නගරය  සංවිධානය වී ඇති බවට අනුමාන කෙරේ. වටේ විශාල ගඩොළු ප්‍රාකාරයකින් හා දිය අගලකින් වටකර තිබී ඇති අතර ප්‍රධාන දිසා හතරට පාරවල් හතරක් පවතින්නට ඇත. 

ඇතුළුනුවර වැදගත්කම ලෝකයටම පැවසීමට ආචාර්ය ශිරාන් දැරණියගගේ කැණීම් හේතු විය. එය ලංකා පුරාවිද්‍යාවේ හැරවුම් ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අධ්‍යක්ෂ වශයෙන් පත්වූ විටම ඔහු ඇතුළුනගරයේ ගෙඩිගේ අසල කැණීම ආරම්භ කළේය. ඒ 1969 දීය. කැණීම් සඳහා එවකට පැවති දියුණු තාක්ෂණ ක‍්‍රමවේදයන් භාවිත කිරීම සිදුවිය. එසේම, ‘පස් ස්ථර වින්‍යාසය’ නමැති (පාංශු ස්ථර පිහිටීමේ අනුපිළිවෙළ) පුරාවිද්‍යා කැණීම් සංකල්පය, ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත‍්‍රයට මුල් වරට හඳුන්වා දුන්නේ ද මෙම කැණීමේදීය. කැණීමේ දී, ගල් යුගය නියෝජනය කරන පුරාවිද්‍යාත්මක සාධක මෙන්ම, ‘පූර්ව ඓතිහාසික යකඩ යුගය’ නියෝජනය කරන සාධක ද ලැබිණි. ඉන් පසුවත් මෙහි කැණීම් සිදුවිය.
1980 දශකයේ ආරම්භයේ සිට 2010 වසර පමණ දක්වා ඇතුළුනුවර පුරාවිද්‍යා කැණීම් 14ක් සිදුකර තිබේ. මහාපාලි දානශාලා කැණීම (AMP), සල්ගහවත්ත (ASW), සංඝමිත්තා මාවත (ASM), ගෙඩිගේ (AG), ඩිංගිරි බණ්ඩාගේ වත්ත (ADB), විජයබා මාලිගය (AWM), දළදා මාලිගය (ADM) ආදි විවිධ නම්වලින් කැණීම් වළ පිහිටි ස්ථානය අනුව ඒ කැණීම් හඳුන්වා තිබේ. දැනටත් සල්ගහවත්ත කැණීම් බිම තහඩුවලින් පියස්සක් සකස් කර ඕනෑම අයකුට දැකගත හැකි ලෙස පවත්වාගෙන යයි. ලෝකයේ පුරාවිද්‍යාඥයන් පැමිණි විට මේ කැණීම් බිම නැරඹීමට යාම අනිවාර්ය සිරිතකි. පුරාවිද්‍යාව ඉගෙන ගන්නා සිසු සිසුවියෝ ද මෙහි පැමිණ අධ්‍යයනය කරති. 
වර්ෂ 1984 දී ශිරාන් දැරණියගල ඇතුළුනුවර නව කැණීමක් කළේය. එහි දී ‘ගෙඩිගේ වත්ත’ කැණීම් වළ තවදුරටත් පුළුල් කෙරිණි. වඩාත් විද්‍යාත්මක පදනමක පිහිටා, අතීත සංසිද්ධීන් පැහැදිලි කර ගැනීමට කාබන් 14 ක‍්‍රමයට කාලනිර්ණ කටයුතු කිරීම කැණීමෙහි එක් අරමුණක් විය.

එම කැණීමෙන් සොයාගත් තොරතුරු අනුව, අනුරාධපුරය සිය ජනාවාසය ආරම්භ කරන්නේ, අදින් වසර 6000කට පමණ ඉහත ප‍්‍රාග් ඓතිහාසික යුගයේය. එකල එහි වාසය කර ඇත්තේ මධ්‍ය ශිලා යුගය නියෝජනය කරන බලංගොඩ මානවයන්ය. ඊළඟට එළඹෙන මානව ජනාවාස අවධිය, අදින් වසර 3000කට ඉහත, එනම් ක‍්‍රි.පූ. 1000 දී ඇරඹෙන බව හෙළිවිය. එය ‘පූර්ව ඓතිහාසික යකඩ යුගයයි’. එනම් මානවයා ගල් ආයුධ භාවිතයෙන් ඉවත්වී යකඩ හෝ ලෝහ භාවිතය මුලින්ම හුරු පුරුදු කරගත් යුගය යන්නයි.

1988 වසරේ දී ආචාර්ය ශිරාන් දැරණියගල විසින් ඇතුළු නගරයේ සල්ගහවත්ත ස්ථානයේ නැවතත් පුරාවිද්‍යා පර්යේෂණ කැණීමක් ආරම්භ කළේය. වර්තමාන පොළොවේ මතුපිට මටට්මේ සිට ආසන්න වශයෙන් අඩි 30ක් පමණ ගැඹුරට සිදු කරන ලද මෙම කැණීමෙන් අනුරාධපුරයේ ජනාවාසකරණයේ ආරම්භය පිළිබඳව පැවති අදහස් තවදුරටත් විමසා බැලීමට ද අවස්ථාව උදා වී තිබේ. ඒ අනුව අක්කර 35-65 අතර භූමි වපසරියක ව්‍යාප්ත වී පැවති විශාල ගම්මානයක් නියෝජනය වන අනුරාධපුර මුල්ම ජනාවාසය ක‍්‍රිස්තු පූර්ව 900 කාලයට අයත් කිරීමට හැකියාව ලැබී තිබේ. අක්ෂර භාවිතය, යකඩ මෙවලම්, වී ගොවිතැන, මැටි භාජන හා අශ්වයන් හා ගවයන් ඇති කිරීම යනාදිය ඇතුළත් සංස්කෘතික ද්‍රව්‍ය ලැබීම මගින් මේ බව පැහැදිලි කෙරේ. 
ක‍්‍රිස්තු පූර්ව 700 පමණ වන විට මෙම ජනාවාසය අක්කර 125ක වපසරිය ඉක්මවමින් වර්ධනය වී පැවතුණි. ක‍්‍රිස්තු පූර්ව 500 පමණ වන විට ආසන්න වශයෙන් අක්කර 180ක පමණ භූමි ප‍්‍රමාණයක මෙම ජනාවාසය ව්‍යාප්තව පැවති බව හෙළි විය. ක‍්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ දී එනම් දේවානම්පියතිස්ස රජුගේ කාලයේ ලංකාවට බුදුදහම රුගෙන එනවිට අනුරාධපුර ඇතුළු නගරය එහි උපරීම වර්ධනය පෙන්නුම් කරන ලද අතර මේ වන විට එහි ව්‍යාප්තිය අක්කර 250ක් පමණ වූ බව හෙළිව ඇත. මිහිඳු හිමියන් පැමිණීමට පෙර පටන්ම අක්ෂය භාවිත කළ දියුණු නාගරික ශිෂ්ටාචාරයක් මෙහි පැවති බව ලෝකයට කිව්වේ ඇතුළුනුවරයි. ආචාර්ය ශිරාන් දැරණියගල වරක් කිව්වේ මේ බව පිළිගැනීමට ඉන්දීය පුරාවිද්‍යාඥයන් මැලිවූ බවත් පසුව ඔවුන් ලංකාවට ගෙන්වා පර්යේෂණ කැණීමක් කර එය ඔප්පු කර පෙන්වූ බවත්ය. කලාපීය වශයෙන් සලකා බැලීමේ දී උතුරු ඉන්දියාවේ උජ්ජෙයිනි නගරයට දකුණින් පිහිටි විශාලම නගරය බවට අනුරාධපුරය පත් වී පැවතුණු බව පුරාවිද්‍යාඥ ඇල්චින් සඳහන් කරයි. 

ලාංකික ශිෂ්ටාචාරය විජය කුමාරයාගේ පැමිණීම හෙවත් ආර්යාගමනයෙන් සිදුවූ බව යන මතය ද මේ කැණීම්වලින් නිෂ්ප්‍රභ වී තිබේ. එනම්, ක‍්‍රි. පූ. 543 දී විජය ආගමනය හෙවත් උතුරු ඉන්දීය ආර්ය සංක්‍රමණය සිදුවන විට ද, අපේ අනුරාධපුරය මහා නගරයක්ව පැවති බව ඇතුළුනුවරින් හෙළිදරව් වේ.  
නමුත් ඉන්දු ආර්යයන්ගේ සම්ප‍්‍රාප්තිය ගැනත් තොරතුරු මින් හෙළිව තිබේ. ඊට අමතරව අශ්වයන් භාවිතය, යකඩ සහ කාල රක්ත මැටි බඳුන් භාවිතය, වී ගොවිතැන, ගෘහස්ත එළ හරකුන් ඇති කිරීම ආදිය ද අනුරාධපුර මුල් ජනාවාසවල සිදුවූ බව හෙළිවිය.

කැණීමෙන් හමුවූ තවත් ඉතා වැදගත් කාරණයක් නම් මුල්වරට ‘යකඩ නගුල’ භාවිත කළ බවට සාධක ලැබීමයි. ඔවුන් යකඩ භාවිත කළ බවත්, වී ගොවිතැන් කළ බවත්, ඒ සඳහා එළ හරකුන් යොදාගත් බවත් හෙළිව තිබේ. ඇතුළුපුරයේ පුරවැසියන් එකල මැටි බඳුන් ද භාවිත කළ පිරිසකි. ගොවිතැනින් ලබාගත් ධාන්‍ය මැටි බඳුන්වල උයා-පිහා කෑ බව ඉන් පැහැදිලි වේ. සියල්ලෙන්ම පිළිබිඹු වන්නේ ඉතා දියුණු කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක හැඩරුවයි.  ඇතුළුපුරයෙන් ලංකාවේ මුල්වරට, ‘බ‍්‍රාහ්මී අක්ෂර’ භාවිතය පිළිබඳ සාධක ද ලැබේ.  ක‍්‍රි. පූ. 600-500 දක්වා වකවානුව බෙහෙවින් සුවිශේෂ වන්නේ අනුරාධපුරයේ විසූ ජනයා ‘%බ‍්‍රාහ්මී අක්ෂර’ භාවිත කිරීම නිසයි. දැනට සොයාගෙන ඇති පරිදි, එය දකුණු ආසියාවේ අක්ෂර භාවිතය පිළිබඳ පැරණිම සාධකය එයයි.

එසේ මුල්ම බ‍්‍රාහ්මී අක්ෂර’ සහිත මැටි බඳුන් කැබලි කැණීමේ දී හමුව තිබේ.
උතුරර ඉන්දියාවෙන් ආර්ය සංක්‍රමණයක් සිදුවූ බව හෙළිකරමින් හමු වූ උත්තර භාරතීය ‘පාත‍්‍රා’ කොටස් සුවිශේෂී වේ. ඒවා ක‍්‍රි.පූ. 350ට පෙර වකවානුවට අයත් යයි කාලනිර්ණය කර තිබේ. මෙය ඉන්දීයාවේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ රාජ්‍ය යුගයට පෙර බුද්ධ කාලයට ආසන්න කාලයයි. ධර්මාශෝක යුගයට ඉහතදීත් ලංකාවට බෞද්ධාගමික සම්බන්ධතා පැවතුණු බව ඉන් හෙළිවේ. පෞරාණික අනුරාධපුරයේ නාගරික ජනාවාස විකාශනයෙන් මතුකරගත් එම ප්‍රබල සාක්ෂි සියල්ල ගබඩා වී පැවතුණේ ඇතුළුනුවර පස් තට්ටු ඇතුළේය. ඉතින් දකුණු ආසියාවටම වැදගත් මේ පුරාවිද්‍යා නිධානය ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය බව අමුතුවෙන් කිව යුතුද?

 කුසුම්සිරි විජයවර්ධන

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03