2021 මැයි 01 වන සෙනසුරාදා

බඩුමිල නගිනකොට උද්ධමනය අඩුවන ලංකාවේ ක්‍රමය

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 151

උද්ධමනය යනුවෙන් ආර්ථික විද්‍යාවේදී හඳුන්වන්නේ භාණ්ඩ සහ සේවාවල මිල මට්ටම වැඩිවීමේ වේගය වේ. මෙය සැමවිටම ප්‍රතිශතයක් අනුව පෙන්වා දෙයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත්ම සංඛ්‍යාලේඛන අනුව පසුගිය මාසය වනවිට රටේ උද්ධමන වේගය සියයට 5.1ක් වෙයි. උද්ධමන වේගය එයට පෙර මාසවල තිබුණේ සියයට 4 හා 5 අතරය. එහෙත් මේ වනවිට 5 සංඛ්‍යාවද ඉක්මවා සිටී. මෙයට පෙර අවස්ථවාල උද්ධමනය ඉලක්කම් දෙකකින් පෙන්නුම් කළේය. එය සියයට 10 සීමාව ඉක්මවා ගොස් තිබිණ. පසුගිය රජය පැවසුවේ තමන් උද්ධමන වේගය තනි ඉලක්කමකින් පවත්වාගෙන ඒමට සමත්ව ඇති බවය. කෙසේ නමුත් මේ වනවිට භාණ්ඩ හා සේවා මිල කෙමෙන් ඉහළ නගින පසුබිමක උද්ධමන අනුපාතිකය පහළ මට්ටමක පවත්වාගෙන යාමට හැකිවේද යන්න පිළිබඳ ආර්ථික විශ්ලේෂකයන් බොහෝ දෙනෙක් සැකපහළ කරති. එසේම ශ්‍රී ලංකා මහ බැංකුවේ උද්ධමන ඉලක්කම පිළිගත හැකිද යන්නද ගැටලුවක් වී තිබේ.

අද බොහෝ දෙනා හුවා දක්වන තර්කයක් වනුයේ පසුගිය සමාජය රටේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමේ ප්‍රවණතාව අනුව උද්ධමන අනුපාතිකය මෙතරම් පහළ මට්ටමක තිබිය හැකිද යන්නය. ඇතැම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පසුගිය දිනවල සියයට සියයකින් පමණ ඉහළ නැග තිබේ. ඇතැම් අවස්ථාවල එයටද වැඩිය. එම තත්ත්වය මත භාණ්ඩ මිල ඉහළ යාමේ පොදු මිල කියුම මෙයට වඩා වැඩිවීමට ඉඩ ඇති බව පැවසේ. රජය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පහළ මට්ටමක පවත්වාගෙන යාමට විවිධ උපක්‍රම යෙදුවද ඒවායින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබී නොමැත.
උදාහරණයක් වශයෙන් සහල් මිල පිළිබඳ සලකා බැලූවිට 2019 වසරේ රුපියල් 80ක මට්ටමේ තිබුණු නාඩු සහ සම්බා සහල් මිල කිලෝව රුපියල් 140 දක්වා ඉහළ නැග තිබේ. කීරි සම්බා කිලෝව රුපියල් 180ට වැඩිය. කැකුළු සහල්වල මිලද රුපියල් 100ට ආසන්නය. 2019 වසරේ පැවතියේ කැකුළු සහල් කිලෝව රුපියල් 50-60 මට්ටමේය. මේ සා විශාල මිල වැඩිවිමක් සහල්වල පමණක් සිදුව ඇත.

එසේම ජනතාව අත්‍යවශ්‍ය ආහාර ලෙස සැලකෙන ලූනු, අර්තාපල්, මිරිස්, කරවල, මස්, මාළු, පොල්තෙල්, පරිප්පු ආදියේද මිල 2020 අවසන් භාගයේ සිට ඉහළ නගිමින් පවතින අතර තවම එහි අවසානයක් නැත. ඉදිරියේදී තවත් වැඩිවේ යැයි සිතිය හැකිය. බස් සහ දුම්රිය ආදී පොදු ප්‍රවාහන සේවාවලද ගාස්තු ඉහළ ගොස් ඇත. මේ සියලු භාණ්ඩ සහ සේවාවල මිල ඉහළ නගින ප්‍රවණතාව ගැන සලකා බැලූවිට ඇත්තවශයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන සංඛ්‍යාලේඛන පිළිබඳ විශ්වාසය තැබිය හැකිද යන ගැටලුව මතුවේ. එම වාතාවරණය මත උද්ධමනය අඩු යැයි කියා හෝ එය තනි ඉලක්කමක තබා ගැනීමට දක්ෂ වී තිබේයැයි කියමින් අපට උදම් ඇනිය හැකිදැයි යන්න ගැටලුවකි.

උද්ධමනය අඩුනම් ජනතාවගේ ජීවන වියදම අඩුවිය යුතුය. ඒ දෙක අතර ඇත්තේ සමරෑපී සම්බන්ධතාවකි. ජීවන වියදම වැඩි නිසා ජනතාව ජීවත්වීමේ අරගලයකට මැදිව සිටියදී උද්ධමන සංඛ්‍යාව පමණක් පහළ අගයක තිබීමෙන් ඇති ප්‍රතිඵලය කවරේද යන ගැටලුව මතුවේ. එසේ නම් මෙහි කොතැනක හෝ වරදක් තිබිය හැකිය. උද්ධමනය තනි ඉලක්කමකින් තබා ගැනීමට ගන්නා උත්සාහයට වැඩි උත්සාහයක් ජනතාවගේ ජීවන බර අඩු කිරීම සඳහා වගකිවයුත්තන් විසින් ගතයුතුව තිබේ. එසේ නොවේ නම් උද්ධමන අනුපාතිකයට ජනතාවට දිරවා ගැනීමට අපහසු වෙනවා ඇත.

මේ පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පවසන්නේ රටේ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාමෙන් පාරිභෝගිකයා පීඩාවට පත්ව ඇති විටෙක උද්ධමනය සංඛ්‍යාත්මකව පහළ තිබේයැයි විශ්වාස කළ හැකිද යන්නය. ඔහු මෙසේ පවසයි.

රජයේ සංඛ්‍යාලේඛන බොරු බවට ජනතාව අතර විශ්වාසයක් පවතිනවා. එය අද ඊයේ ඇතිවූවක් නොව අතීතයේ සිටම පවතින අදහසක්. ජනතාව කියන්නේ මෙම දත්ත හා සංඛ්‍යාලේඛන තමන් රුවටීමට යොදාගන්නා මෙවලම් බවයි. මෙම ගණනය කිරීම්වල යම් වරදක් ඇති බව බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. අද පවතින ගැටලුව වන්නේ උද්ධමනය පහළ මට්ටමක තිබියදී ජනතාවගේ ජීවන වියදම ඉහළ යාමයි. භාණ්ඩ හා සේවාවල අද පවතින මිල නොවෙයි හෙට තියෙන්නේ. එහෙම තිබියදී උද්ධමනය අඩු වන්නේ කෙසේද යන්න ගැටලුවක්. ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛන හා ප්‍රායෝගිකව පවතින මිල ගණන් අතර පරතරය විශාලයි. එහෙත් මේ නොගැලපීම ඔප්පු කිරීමට ජනතාවට ක්‍රමයක් නැහැ. රටේ විද්වත් මට්ටමෙන් සහ ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත පිළිගත යුතුව තිබෙනවා. එයයි ගැටලුව. ඒ නිසා ජනතාවගේ පැත්තෙන් මෙම ප්‍රශ්නය ගැන සොයාබැලීමක් සිදුවෙන්නේ නැහැ.

භාණ්ඩ හා සේවා මිලට ඍජුව බලපාන දෙයක් තමා ශ්‍රී ලංකා මුදල් ඒකකයේ ක්‍රය ශක්තිය හෙවත් මිලදී ගැනීමේ හැකියාව. රුපියලකින් මිලට ගතහැකි භාණ්ඩ ප්‍රමාණය කෙතෙක්ද? මෙය දවසින් දවස අඩුවෙනවා මිස වැඩිවෙන්නේ නැහැ. රටේ මිල මට්ටම ඉහළ යාමට රජය අසීමාන්තික ලෙස මුදල් මුද්‍රණය කිරීම තදින්ම බලපානවා. ඕනෑම භාණ්ඩයක සපයන ප්‍රමාණය වැඩි වනවිට එහි වටිනාකම අඩුවෙනවා. ශ්‍රී ලංකා රුපියලටත් එය බලපානවා. 2019 වසරේදී රජය අලුතින් මුදල් නෝට්ටු මුද්‍රණය කළේ බිලියන 4ක පමණයි. එහෙත් 2020 වනවිට බිලියන 680කටත් වඩා අලුත් නෝට්ටු අච්චු ගසා තිබෙනවා. මෙය ශ්‍රී ලංකා මහ බැංකුවේ පුරාණයේ සිට පැවතගෙන ආ නෝට්ටු මුදණය කිරීමේ ක්‍රමවේදයට පිටින් සිදුවූ දෙයක්. ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන අධිපති කියන්නේ MMT ක්‍රමය හෙවත් Modern Money Theory අනුව මෙලෙස මුදල් අච්චු ගැසුවා කියලයි. එහෙත් මෙම සිද්ධාන්තයෙන් වුවද කියැවෙන්නේ රටට පරිහරණයට අදාළ මුදල් මුද්‍රණය කිරීම මිස අසීමාන්තිකව මුද්‍රණය කිරීම නොවෙයි. එහෙම අවශ්‍ය මුදල් මුද්‍රණය කරනවා නම් උද්ධමනය ඉහළ යන්නේ නැහැ. භාණ්ඩ මිල ඉහළ ගොස් ජනතාව හිරිහැරයට ලක්වෙන්නේ නැහැ.

ඊළඟට උද්ධමනය වැඩිවීමට හේතුවක් තමයි අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීම. අද එය නැවැත්වීමට රජය අසමත් වී තිබෙනවා. පසුගියදා චීනයෙන් ණයට ගත් මුදල් යොදවා සංචිත ප්‍රමාණය වැඩිකිරීම නිසා රුපියල් 200 ඉක්මවා තිබූ ඩොලරය 195 පමණ දක්වා අඩුවුණා. රජයේ ඇමැතිවරු මේ පිළිබඳ ඉමහත් ආඩම්බරයෙන් කතා කළා. එහෙත් සිදුවූයේ කුමක්ද පැය 24 ඉක්මවීමටද පෙර මුලින් තිබූ තත්ත්වයටත් වඩා අගය පහළ ගියා. රුපියල ශක්තිමත් වීමට නම් විදේශ විනිමය වැඩිපුර ලැබිය යුතුයි. එහෙම නැතුව ණයට ඉල්ලාගත් මුදලක් දමලා බොරු විජ්ජාවක් පෙන්වා වැඩක් නැහැ. කොවිඩ් වසංගතය නිසා මෙන්ම ඊට පෙර පැවති විවිධ හේතු නිසා මේ වනවිට රටට විදේශ විනිමය එන්නේ නැහැ. විදේශ ප්‍රේෂණ ලැබෙන්නේ නැහැ. පිටරටවල රුකියා කළ අය ආපසු සිය රටට එනවා. සංචාරකයන් පැමිණීම අඩුවෙලා. පසුගිය දිනවල සුළු වැඩිවීමක් පෙන්නුම් කළත් මේ වනවිට ඒ අපේක්ෂා බිඳ වැටිලා. ආනයන තහනමද සාර්ථක නැහැ. ඒ නිසා විදේශ සංචිත අඩුවෙලා ගිහිල්ලා. මේ තත්ත්වය ඔසොවා තබන්නට සාර්ථක වැඩපිළිවෙළක් නැහැ.

ජනතාවගේ පාරිභෝජන වියදම් පසුගිය සමයේ විශාල ලෙස වැඩිවුණේ භාණ්ඩ මිල ඉහළ යාම නිසයි. මේ වනවිට කොවිඩ් වසංගතය නිසා තවත් වියදම වැඩිවෙලා තියෙනවා. කොවිඩ්වලින් වැළකීමට ගන්නා මාස්ක්වලට, විෂබීජ නාශකවලට, සබන්වලට හා යහපත් සෞඛ්‍ය පුරුදු ඇතිකිරීම නිසා වියදම් පැත්ත ඉහළ ගිහින්. ඇඳුම් පැළඳුම් පරිහරණයත් එහෙමයි. මේවා අලුතින් ඇතිවූ වියදම්. ඒවාද ජනතාවගේ දෛනික වියදම්වලට එකතු වෙන්න ඕනෑ. එක ත්‍රීවීලයකින් දෙදෙනකුට පමණක් යාමට නීති පැනවීම නිසා තිදෙනෙකු ආවොත් ත්‍රිරෝද රථ දෙකකින් යන්න වෙලා. බස්ගාස්තු දුම්රිය ගාස්තු වැඩිවීමද ජනතාවගේ වියදම් පැත්තට බර වැඩිවෙනවා.
මේ වනවිට නාගරික ජනතාව ස්වකීය දෛනික ආදායමින් සියයට 45ක් ආහාරවලට වැයකරන අතර වතුකරයේ සහ පිටිසර ජනතාව සියයට 65ක් වැය කරනවා. එහෙත් ඉදිරියේදී මෙම ප්‍රතිශත වෙනස්වීමට ඉඩ වැඩියි. එයට හේතුව ආදායම නොවෙනස්ව තිබියදී භාණ්ඩ මිල ඉහළ යාමයි. ආදායමෙන් වැඩි කොටස වියදම් කරන්නේ ආහාරවලටයි. රජය ආහාර වැය අඩුකිරීමට ගත් සියලු උත්සාහ ව්‍යර්ථ වී ඇති අතර මිල නියම කිරීමේ බලය ව්‍යාපාරිකයා ලබාගෙන තිබෙනවා. එයින් පෙනෙන්නේ රජයේ නොහැකියාවයි. අතරමැදියන් පාලනය කිරීමට ඇමැතිවරුන්ට නොහැකිව ඇති අතර ඔවුන් ආණ්ඩුව පාලනය කරන තැනට පත්වෙලා. මිල පිළිබඳ ස්ථායිතාවක් නැහැ. මේ නිසා ජනතාවගේ ජීවන වියදම පසුගිය කෙටිකාලය තුළ සීඝ්‍රයෙන් ඉහළ ගියා එහෙම තිබියදී උද්ධමනය පාලනය කරන්නේ කෙසේද යන්න ගැටලුවක්. ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛන රට ගැන අවබෝධයක් නැති විදේශ රටවල්වලට පෙන්වා අවශ්‍ය ණය ආදිය ලබාගැනීමට හැකිවෙනවා ඇති. එහෙත් එයද දිගටම කළ හැක්කක් නොවෙයි.

අනිත් අතට උද්ධමනය සහ ජීවන වියදම මැනීමට උපයෝගී කර ගන්නා ක්‍රමවේදය පිළිබඳවද විවේචන තිබෙනවා. මෙහිදී භාණ්ඩ 10කින් යුතු භාණ්ඩ පැසක් (9km Basket) උපයෝගී කරගෙන තමා මිල තබන්නේ. එහෙත් මෙම භාණ්ඩ 10 ඇත්ත වශයෙන්ම ජනතාව පාවිච්චි කරන භාණ්ඩද යන්න ගැටලු සහගතයි. එසේම පාරිභෝගිකයන් වැඩි වශයෙන් පාවිච්චි කරන මත්පැන් සහ දුම්වැටි මෙම භාණ්ඩ පැසට අඩංගු නැහැ. එම භාණ්ඩ අලෙවි කරනුයේ රජයේ අවසරය මතයි. හොරට අලෙවි කරන දේවල් නොවෙයි. ජනතාවගෙන් විශාල කොටසක් පාවිච්චි කරන එම භාණ්ඩ මෙම භාණ්ඩ පැසට ඇතුළත් නොකළේ ඇයිද යන්න ගැටලුවක්. එසේම මෙම නියැදිය ලබාගැනීමේදී ඒවා ගන්නා ස්ථාන, ප්‍රදේශ විටින් විට වෙනස් විය යුතුයි. එසේ නැතිව හැමවිටම එක පළාතකින් මිල ගන්නා විට එහි සත්‍ය තත්ත්වය නිරෑපණය වන්නේ නැහැ. එසේම මෙම මිල සටහන් කරන නිලධාරීන් එය හරියට කරනවාද යන්න අධීක්ෂණයක් සිදු නොවෙනවා. සමහරුන් කාර්යාල තුළටත් මෙම ආකෘති පත්‍ර පුරවන අවස්ථා මා දැක තිබෙනවා. එසේ නම් මෙම භාණ්ඩ පැසෙන් පමණක් මිලෙහි යථා තත්ත්වය නිරෑපණය වෙනවාද යන්න ප්‍රශ්න කළ යුතුයි.

එසේම දැනට සකස් කරන කොළඹ පාරිභෝගික මිල දර්ශනය අනුව සමස්ත රටේ මිල නිගමනය කරනවා නම් එය කොතරම් දුරට ප්‍රායෝගිකද යන්න දෙවරක් සිතා බැලිය යුතුයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ දර්ශකවලින් රටේ යථාර්ථය පිළිබිඹු නොවනවා නම් ඒවා පාදක කරගෙන ගන්නා තීරණ නිවැරදි නොවන බව කිවයුතුයි.

 යසවර්ධන රුද්රිගු