2021 මැයි 01 වන සෙනසුරාදා

කොරෝනා මැද දැන - නොදැන මිනිස්සු දාන සෙල්ලම්

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 25

සැලකිල්ල සහ නොසැලකිල්ල අතර ඇත්තේ එක් අකුරක වෙනසකි. එහෙත් ක්‍රියාවෙහිලා ඒ දෙක අතර ඇති වෙනස සුවිසල්ය. මේ මොහොතේ රට මුහුණදෙමින් සිටින කොවිඩ් වසංගත තත්ත්වය නොසැලකිල්ලේ ප්‍රතිඵලයක් යැයි කීම අසාධාරණ නැත. නොසැලකිල්ලේ ප්‍රතිඵලය කොතරම් භයානක ලෙස අත්දකිමින් සිටියද එය ද සැලකිල්ලට නොගන්නා පිරිසක් මෙරට තුළ තවමත් සිටීති. නොලියාම බැරි මෙම සටහන ලියනුයේ ඔවුන් වෙනුවෙනි.

සිංහල හින්දු අලුත් අවුරුද්ද මෙදා සැමරීමට යම් අවකාශයක් ලැබුණේ වසර දෙකකට පසුවයි. එහෙත් අවුරුදු සැමරුම සම්බන්ධව අවදානම කල් ඇතුව සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර තිබුණි. ඊට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ පවා නිකුත් විය. එහෙත් බහුතරය ඒවා කනකට ගත්තේ නැත. විශේෂයෙන් කොළඹ, කොටුව, කිරිබත්ගොඩ, මහරගම ඇතුළු නගරවලට පැමිණි ජනතාවගේ හැසිරීම ඇති කළේ කලකිරීමකි. දිවයිනේ සෙසු නගර උත්සව සමයේ ජනතාවගෙන් පිරී ගියේය. මේ පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු බොහෝ සංවිධාන සහ ආයතන දිගින් දිගටම අනතුරු ඇඟවීය. අද වන විට උද්ගත වී ඇති තත්ත්වය අප විසින්ම නිර්මාණය කරගත් තත්ත්වයක් බව මේ අනුව ඉතා පැහැදිලි වෙයි.

රෑ වැටුණු වළේ දවල් නොවැටී සිටීමට නම් දැන් කළ යුතු කාර්යයන් කිහිපයක් වෙයි. සියල්ලට පෙර පළමුව වැටී සිටින වළෙන් අප ගොඩ ආ යුතුය. ඒ සඳහා සෞඛ්‍ය අංශ අප්‍රමාණ කැපකිරීම් කරමින් සිටියි. දෙවැන්න නම් වළේ වැටුණු සැටි නිවැරදිව හඳුනාගැනීමයි. අප මේ සිදුකිරීමට සැරසෙන්නේ එයයි. දැන් අප පසුගිය සමයේ රටක් ලෙස අප කළ වැරදි එකින් එක විග්‍රහ කරගත යුතු වේ. එය හුදු විවේචනය පිණිස නොව අනාගතයට පාඩම් ඉගෙනීම වෙනුවෙන් කළ යුත්තකි. අලුත් අවුරුද්ද එළඹෙන විට මෙරට කොවිඩ් තත්ත්වය යම් පාලනයකට යටත් කිරීමට සෞඛ්‍ය අංශ සමත් වී තිබුණි. එහෙයින් මෙරට තුළ සංචරණ සීමා හෝ දැඩි නීති ක්‍රියාත්මක නොවිණි. ඇත්තෙන්ම අප සිටියේ සුබවාදී ප්‍රවේශයකය. එහෙත් ඉන්දියාව ප්‍රමුඛ ලෝකයේ බොහෝ රටවල් නැවත කොවිඩ් තෙවැනි රුල්ලට ගොදුරු වන බව අපට පෙනෙන්නට තිබුණි. එම නිසාම අවදානමට පෙර සූදානම වැදගත් බව නිරන්තරයෙන් රට තුළ කතාබහට ලක්විය.

එහෙත් මෙරට ජනතාව පළමුව අවුරුදු ෂොපින් වෙනුවෙන් පෙළගැසුණි. කිරිබත්ගොඩ, පමුණුව වැනි ප්‍රදේශවලට පැමිණි ජනතාව රෙදිපිළි ගැනීමට පොරකෑවේ වසරක් නිර්වස්ත්‍රව සිටි පරිද්දෙනි. එම ප්‍රදේශ හරහා ගමන් බිමන් යෑමට පවා නොහැකි වන පරිද්දෙන් මඟතොට ජනයාගෙන් පිරී ගියේය. අත් සේදීමට ඒ වන විට බොහෝ දෙනකුට අමතකව ගොස් තිබුණි. සැනිටයිසර් බෝතල් ළඟ තබාගෙන ගමන් ගිය අය මෙදා ඒවා අමතක කර තිබුණි. වෙහෙසට පත් වෙළෙන්ඳන් මෙන්ම කඩ සාප්පුවල සේවකයන් මුහුණු ආවරණ නිකට දමාගත්තේ නිදහසේය. මීටරය දුර මිත්‍යාවක් වූ අතර එය අනුගමනය කරන්නන් උත්සව සමයේ නගර තුළ සොයාගැනීම කළුනික සෙවීම හා සමාන විය. මේ සියල්ල සිදුවූයේ පෙර කී පරිදි දිනපතා අනතුරු ඇඟවීම් සිදුවද්දීය.

ඒ අතර රෑපවාහිනී නාලිකා රැසක් අවුරුදු වෙළෙඳාම වෙනුවෙන් අවුරුදු උත්සව පැවැත්වීම මූලික කොට ගත්තේය. නළු නිළියන්, ජනප්‍රිය චරිත එකතු කරගෙන ඔවුන් පැවැත්වූ අවුරුදු උත්සවවලදී සෞඛ්‍යාරක්ෂක උපදෙස් මුළුමනින්ම පාහේ නොසලකා හැරුණි. ප්‍රවෘත්ති ප්‍රකාශවලදී නිකුත් කරන අනතුරු ඇඟවීම් වැදි බණ බවට පත් කළේ ඔවුන්මය. මෙය ඉතා නරක පූර්වාදර්ශයක් වූ අතර මහජනතාව කොවිඩ් අවදානම නොසලකා හරින තත්ත්වයට පත්වීමට හේතුවක් ද විය. පුදුමය වූයේ ප්‍රසිද්ධියේ සිදුවූ මෙම කටයුතුවලට බලධාරීන්ගේ අවධානය යොමු නොවීමයි.

මීළඟට විනෝද චාරිකා සඳහා ජනතාව යොමුවීම විශේෂිත විය. කොළඹ ජනයා හුරුපුරුදු ලෙස රට වටා හෝටල්වලට අවුරුදු සමරන්නට ගියහ. අවුරුදු සමයේ දේශීය සංචාරකයන්ගෙන් දකුණේ හෝටල් පිරී ගියේය. එසේම අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර, නුවරඑළිය නගර සංචාරක පාරාදීසයන් බවට පත්විය. එයිනුත් නුවරඑළිය විශේෂිත විය. නුවරඑළිය නගර සහාව රාජ්‍ය රූපවාහිනී ආයතනයක් ද සම්බන්ධ කර ගනිමින් ප්‍රවර්ධන වැඩසටහන් ද සිදුකරමින් %වසන්ත උදානය^ උත්සවශ්‍රීයෙන් පැවත්වූයේය. නුවරඑළිය එකම හිස් ගොඩක් වූ අතර අද වන විට මෙම සිදුවීම දැඩි මතභේදයට හේතුවී තිබේ. අද වන විට මේ සම්බන්ධව පරීක්ෂණයක් සිදුවෙයි. මෙම උත්සව සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ ද ලැබී නොමැති බව කියැවේ. 

කොරෝනාවට මෙන්ම නොසැලකිල්ලට ද ජාති ආගම් කුල බේද නැති බව පෙන්වමින් යාපනයේ ද මෙම අනුවණකම එසේම සිදුවිය. යාපනය වන්නාර් පන්නෙයි ශ්‍රී කාමාච්චි අම්බාල් හින්දු කෝවිලේ පැවති වාර්ෂික තේරු උත්සවය සෞඛාරක්ෂිත උපදෙස් උල්ලංඝනය කරමින් පැවැත්වීය. බැතිමතුන් 50කට පමණ සීමා කරන ලෙසට දැනුම් දී තිබුණද තේරු උත්සවය වෙනුවෙන් 500කට අධික පිරිසක් සහභාගී වී තිබුණි. මාධ්‍ය ඔස්සේ අනාවරණය වූ පරිදි මුහුණු ආවරණ නොමැතිව ඔවුන් ඊට සභභාගී වී තිබුණි. අද වන විට යාපනය දිස්ත්‍රික්කය දැඩි කොවිඩ් අවදානමකට ගමන් කරමින් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඒ පිටුපස ඇත්තේ මෙම  අනුවණ හැසිරීම බව දැන් පැහැදිලි වෙමින් තිබේ. 

මෙවන් සිදුවීම් රට පුරා වාර්තා වී ඇතත් එහි ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටියත් තවමත් යථාර්ථය තේරුම් නොගන්නා පිරිසක් මෙරට වෙති. තවදුරටත් සියල්ල ආණ්ඩුවක් හෝ බලධාරීන්ගේ වගකීමක් යැයි සිතා වැඩ කරන පිරිස් අපට හමුවේ. තවමත් කොවිඩ් අවදානම එතරම් නොමැති ප්‍රදේශවල හැසිරීම ඉතාම අයහපත්ය. මුහුණු ආවරණ දමාගෙන තැන තැන සංචාරය කරන යමකු හමුවූ විට මුහුණු ආවරණය පහත් කර කතා කරන පුරුද්ද බොහෝ ගම්වල දැකගත හැකිය. එසේම අවමංගල, මංගල උත්සවවලට සීමා පනවා තිබුණත් බණ ගෙවල්, පිරිත් ගෙවල් ගම්වල ජයටම පැවැත්වෙයි. කෙසේ හෝ නීතිවලින් රිංගා යෑමට තැත් කිරීම වීරකමක් යැයි ඇතැම්හු සිතා සිටිති. එහෙත් ඒ හරහා තමන්ගේත් අනුන්ගේත් ජීවිතය අවදානමට ලක්වන බව ඔවුහු කල්පනා නොකරති.

මේ අතර මුස්ලිම් ජනතාවගේ රාමලාන් උපවාස සමයේ රාත්‍රී හැසිරීම් ද ඉතා අයහපත් තත්ත්වයක පවතින බැව් අප සිහිපත් කළ යුතුමය. මුස්ලිම් ජනතාව සමූහ වශයෙන් ජීවත් වන ප්‍රදේශවල මෙය සිදුවෙමින් පවතී. උපවාසය නිමවා කා බී රාත්‍රී කාලයේ දී ඔවුහු සාමූහිකව කටයුතු කරති. මෙය රාත්‍රියේ සිදුවන නිසාවෙන් බොහෝ දෙනකුට නොපෙනෙයි. එහෙත් එය ඉතා භයානක තත්ත්වයක් බව හෙට අනිද්දාට ඔබට වැටහෙනු ඇත. ජාති ආගම් භේදයකින් තොරව මුහුණු ආවරණ නොදමමින් සමූහ වශයෙන් රැස්වීමේ කටයුතු පිළිබඳ බලධාරීන්ගේ අවධානයට අපි  යොමු කරමු. මෙය තවත් විපතකට අත වැනීමකි.

සෑම ආගමකම කියවෙන පරිදි මිනිසා ඉතා බුද්ධිමත් සත්ත්වයෙකි. විද්‍යාවෙන්ද එය තහවුරු වී තිබේ. අවසානයේ අප ඔබෙන් ඉල්ලන්නේ එය ක්‍රියාවෙන් ද ඔප්පු කර පෙන්වන ලෙසයි.

චමිඳු නිසල් ද සිල්වා 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03