2020 වසර සඳහා වූ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පසුගිය සතියේ සිකුරාදා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට පිළිගන්වන ලදී.
මෙම මහ බැංකු වාර්තාව මගින් ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරනුයේ නිදහසින් පසු ශ්‍රී ලංකාවේ විශාලතම ආර්ථික අවපාතය මෙම 2020 වර්ෂය බවය. කොරෝනා වසංගතය හේතුවෙන් ලංකාවට පමණක් නොව ගෝලීය ආර්ථිකයට ඇතිවූ පසුබෑම හා සමගාමීව මෙම අහිතකර තත්ත්වයට මුහුණදීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 2020 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය මූර්ත වශයෙන් සියයට 3.6ක සංකෝචනයකට හෙවත් පසුබෑමකට ලක්වූ බව මහ බැංකුව පෙන්වා දෙයි.
ජාතික ඉතුරුම්වල පහළ යාම ඉක්මවා ආයෝජන වියදම පහළ බැසීමේ ප්‍රතිඵලයක් ලෙස 2020 දී ඉතුරුම් ආයෝජන පරතරය අඩුවිණි. වසංගතයෙන් ඇතිවූ අවිනිශ්චිතතා මධ්‍යයේ ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය පහළ වැටුණු අතර 2009 වසරින් පසු ප්‍රථම වරට සේවා වියුක්ති අනුපාතය සියයට 5 ඉක්මවිය. ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය (GDP) 2019 වසරේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් 3852 සිට 2020 වනවිට 3682 දක්වා පහළ ගියේය.
සමස්ත ආර්ථිකයේ ප්‍රමාණය 2019 වසරේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 84 සිට 2020 වනවිට ඩොලර් බිලියන 80.7 දක්වා පහළ ගොස් ඇත. සමස්තයක් ලෙස ආර්ථිකය සංකෝචනය වුවද රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති තුළින් ක්‍රියාවට නැංවූ වර්ධනාභිමුඛ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නිසා 2020 දෙවැනි භාගයේදී ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්ත්වයට පත්වීමේ සලකුණු පෙන්නුම් කර ඇත.
2020 වසරේදී ආර්ථිකය පසුබැසීමට හේතුව කොවිඩ් වසංගත තත්ත්වය බව හුවාදැක්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව උත්සාහ ගනී. එසේ වුවද 2020 වසරේ අවසාන භාගයේදී කොවිඩ් වසංගතය තරමක් දුරට සමතයකට පත්වීම හා ශ්‍රී ලංකා මහ බැංකුව ගත් ප්‍රතිපත්තිමය තීරණ නිසා රටේ ආර්ථිකය තරමක් දුරට යහපත් වීමට පටන්ගත් බව අවධාරණය කරයි. එහෙත් 2021 වසර ආරම්භයේ සිට යළිත් කොවිඩ් වසංගතය උත්සන්න වී ඇති නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ එම අපේක්ෂා බිඳවැටෙමින් පවතින බවක් පෙනෙන්නට තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව කියන පරිදි 2020 දී රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 109.7ක් වී ඇත. කෙසේ වුවද 2019 අවසානයේදී රාජ්‍ය ණය පැවතුණේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 94.3ක මට්ටමේය. මෙය සියයට 15.4ක ඉහළ යාමකි. පසුගිය යහපාලන රජය සමයේ රට ණය උගුලක අසුව ඇති බව පවසමින් බලයට පත් වර්තමාන ආණ්ඩුව සියයට 15.4ක් එම ආණ්ඩුවට වඩා ණය ගැනීම මෙහිදී විශේෂයෙන් කැපීපෙනේ. මහ බැංකු වාර්තාව මෙයට හේතු ලෙස පෙන්වා දෙන්නේ මධ්‍යම රජයේ ණය ගැනීම් වැඩිවීම සහ දළ දේශීය නිෂ්පාදිතය 2020 වසරේදී පහළ බැසීමය. 2019 වසරේ හිඟව තිබූ ණය රුපියල් බිලියන 14,155.3ක් වූ අතර 2020 වසර අග වනවිට හිඟ ණය ප්‍රමාණය රුපියල් බිලියන 16,427.1 දක්වා රුපියල් බිලියන 2271.8කින් සුවිශාල ලෙස වැඩි වී තිබීම ගැන විශේෂ අවධානය යොමුවිය යුතු වෙයි. රාජ්‍ය ණය වැඩිවීමට විශාල වශයෙන් දායක වී ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ලංකා විදුලිබල මණ්ඩලයයි. එම ආයතන දෙක පමණක් සියයට 50.9 හා 42.3ක ප්‍රමාණයේ ණය ලබාගෙන ඇති බව මහ බැංකු වාර්තාවෙන් හෙළි වේ.
ඊළඟට මහ බැංකු වාර්තාවෙන් අවධාරණය කරනුයේ ජාතික ආදායම සියයට 27.7ක් 2020 වසරේදී අහිමි කරගෙන තිබීමය. 2019 වසරේදී රුපියල බිලියන 1,890.9ක් වූ රාජ්‍ය ආදායම 2020 දී බිලියන 1,368ක් දක්වා පහළ වැටී ඇති අතර, දේශීය ආදායම් බදු ආදායම බිලියන 0.5කින් පමණ විශාල ලෙස පහළ වැටී ඇත. ඒ බිලියන 1.7 සිට 1.2 දක්වාය. ඍජු බදු ආදායමද සියයට 22.1කින් 2019ට වඩා 2020 දී අඩු වී ඇත. 2019 පැවතියේ සියයට 24.7කි. වක්‍ර බදුවල අඩුවීම මුළු ආදායමෙන් සියයට 77.9 දක්වා විශාල ලෙස පහළ වැටී ඇත. මෙයට ප්‍රධාන හේතුව වනුයේ භාණ්ඩ මිල අඩුකිරීම සඳහා 2019 තිබූ ආනයන බදු ආදිය විශාල ලෙස පහළ හෙලීමය. කිලෝවට රුපියල් 50ක් වූ සීනි ආනයන බද්ද ශත 25 දක්වා අඩුකිරීම එක උදාහරණයකි. සියයට 15ක්ව පැවැති වැට් බද්ද සියයට 8 දක්වා 2019 දෙසැම්බර් 1දා සිට අඩු කරනු ලැබීය. 2019 දී බිලියන 443.9ක්ව තිබූ වැට් බදු ආදායම රුපියල් බිලියන 233.8 දක්වා අඩකට බැස ඇත්තේ වැට් බදු අඩුකිරීමේ ප්‍රතිඵලයක් ලෙසටය.
මේ හැර සුරා බදුද 2019 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 2.7කව පැවතියද 2020 වනවිට 2.2 දක්වා සියයට 0.5කින් පහළ ගොස් ඇත.
මේ අනුව අපට පෙනී යන්නේ ආර්ථික වර්ධනය ඍණ සියයට 3.6 දක්වා පහළ බැස ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව පවසන පරිදි කොරෝනා වසංගතය නිසාම නොව රාජ්‍ය ආදායම එකතු කර ගැනීමේ අකාර්යක්ෂමතාව නිසා මෙන්ම බදු ආදායම කළමනාකරණය කිරීම අවුල් ජාලයක් බවට පත්කර ගැනීම නිසා බවද පෙනී යයි. එසේම වියදම් පාර්ශ්වයද සීමා කිරීම සාර්ථක වී නැති බව කිව යුතුය.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමියන් පවසන්නේ 2020 වසරේ රටේ ආර්ථිකය සංකෝචනය වී ඍණ අගයක් ගැනීම අප මෙතෙක් ගමන් කළ වැරදි ආර්ථික ගමන්මග නිසා සිදුවූ ප්‍රතිඵලයක් බවයි.
රටේ කුටුම්බයක හෙවත් පවුලක ආර්ථික උස් පහත්වීම සිදුවෙයි. එක මාසයක ආදායම අඩුවන අතර ඊළඟ මාසයේදී වැඩිවිය හැකියි. එහෙත් එලෙස විටින් විට උස් පහත්වීම එහි ආර්ථිකය කඩා වැටීමට බලනොපානවා විය හැකිය. රටද එසේමයි. එක වර්ෂයක ආර්ථිකය ඉහළ ගියද ඊට පසු පහළ යාමට පුළුවන්. මෙහිදී රටක් ලෙස සලකා බැලූවිට අප සලකා බැලිය යුත්තේ එක් වර්ෂයක පහළ යාම ගැන නොව දිගින් දිගටම පහළ යනවාද යන්න පිළිබඳවයි. එය දිගටම සිදුවේ නම් රටේ ආර්ථිකය කඩා වැටෙන බව පැවසිය හැකියි.
අපේ රටේ ඍණ ආර්ථික වර්ධන වේගයක් 2001 වසරෙදීද ඇතිවුණා. එය -1.5ක්. මේ දෙවැනි වර 2020 දී -3.6ක් වී ඇත. රටක ආර්ථික වර්ධනය ඍණ වන හේතු තියෙනවා. ස්වභාවික ආපදා, රෝග, හදිසි අවස්ථා, දිගටම පවතින යුද්ධ ආදිය නිසා රටක ආර්ථික වර්ධනය ඍණ විය හැකියි. මේ ගැන කම්පා වීමට වඩා දිගටම සිදුවීම වැළැක්වීමයි කළ යුතු.
අපේ රටේ ආර්ථික වර්ධන වේගය පසුගිය සමයේ ටිකින් ටික අඩුවෙමින් පැවතියා. 2015 වසරේ සිට ආර්ථික වෘද්ධිය 5 සිට ක්‍රමයෙන් පහළට පැමිණ 2019 වසරේදී වර්ධනය 2.3ට ආවා. අණ්ඩු බලාපොරොත්තු වූ ඉලක්කවලට ළඟාවීමට හැකිවූයේ නැහැ. 2020 දී ඍණ 3.6ක් බවට පත්වූවා. මෙහිදී සිදුව ඇත්තේ 2015 සිට ආදායම පහළ යාමයි. ඒ නිසා ආර්ථිකය ඉහළ යන වේගය අඩු වුණා. 2020 දී ආපස්සට යමක් සිදුවුණා. ආර්ථිකය සංකෝචනය වුණා. ආර්ථික වර්ධනය 2020 දී පහළ යාවි යැයි බලාපොරොත්තු වුවද මෙලෙස ඍණ අගයකට සංකෝචනය වේ යැයි රජය බලාපොරොත්තු වූයේ නැහැ.
ආර්ථික වෘද්ධිය ඉහළ මට්ටමක තිබේ නම්, රටේ ඒකපුද්ගල ආදායම ඉහළ මට්ටමකට නැංවීමට පුළුවන් වෙනවා. 1950 වසරේදී නිදහස ලැබූ ආසන්නයේ අපේ ඒකපුද්ගල ආදායම වූයේ අමෙරිකානු ඩොලර් 110ක්. මෙය වේගයෙන් ඉහළ නොගියද 2017 දී අමෙරිකානු ඩොලර් 4000 දක්වා පැමිණ අපේ රට ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වුණා. එහෙත් මේ තත්ත්වය ආපසු ටිකෙන් ටික පහළ යාම නිසා පසුගිය 2020 ජූලි මාසය වනවිට අපේ රට ඉහළ මැදි ආදායම මට්ටමෙන් පහළ දමා යළිත් පහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් කළා. මේ වනවිට ඒකපුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 3500 දක්වා පහළට පැමිණ තියෙනවා. මෙලෙස පහළ යාමට රුපියලේ අගය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අඩුවීම සහ රටේ ජනගහණ වෘද්ධියද බලපෑවා. අපේ රටේ ජනගහණ වෘද්ධිය මේ වනවිට සියයට දශම 5ක්. රටේ ආර්ථික වර්ධනයට මෙයද එකතු කළ විට (3.6+0.5) ඒකපුද්ගල ආදායම පහළ යාම -4.1ක් වෙනවා.
ජනගහණ වෘද්ධිය අඩුවන විට ඒකපුද්ගල ආදායමද අඩුවෙනවා. ජීවන මට්ටම පහළ යනවා. පවුලක ඉතිරිකිරීමේ ප්‍රතිශතය අඩුවෙනවා. ඊළඟ බලපෑම ඇතිවන්නේ ආණ්ඩුවේ ආදායමටයි. බදු අඩුවෙනවා. ඍජු සහ වක්‍ර බදු අඩුවෙනවා. එවිට රටේ ජාතික ආදායම පහළ යනවා. 2020 වසරේ රටේ සමස්ත ආදායම සියයට 27.7කින් පහළ ගොස් තිබෙන්නේ මේ නිසයි. මෙහිදී විරැකියාව වැඩිවෙනවා. මේ වනවිට අපේ රටේ විරුකියා අනුපාතය සියයට 4 සිට 5 දක්වා ඉහළ ගිහින්. මෙහිදී සිදුවන්නේ දුප්පත්කම ඉහළ යාමයි. පවුලක ආදායම් මාර්ග අහිමිවීමෙන් ජීවන මට්ටම පහළ බසිනවා. එවිට සිදුවන්නේ ආණ්ඩුවෙන් ලැබෙන සහනාධාර මත යැපීමටයි. ආදායම අඩුයි. වියදම වැඩියි. ආනයන අඩුවෙනවා. අපනයනද දුර්වල වෙනවා. ආනයන අඩුවීමෙන් ආනයන බදු ලැබීම පහළ යාම රටේ ජාතික ආදායමට බලපානවා. අද සිදුව ඇත්තේ එයයි. රටේ ආයොජන අඩුවෙනවා. විදේශ ආයෝජකයන් නොපැමිණෙන තත්ත්වයට පත්වෙනවා. අද අපේ රටට ඒ තත්ත්වය ඇතිවී තිබෙනවා. රටේ ආර්ථිකය ඉදිරියට ගමන් කිරීම ගැන විශ්වාසය නැතිවීම මෙයට හේතුවයි. රටක විශාල ලෙස ආයෝජනය කරන විට එයින් ලැබෙන ප්රතිලාභ ගැන ආයෝජකයන් බලනවා. මෙම තත්ත්වය ඕනෑම රටක දිගටම පැවතීම නිසා ආර්ථිකය හැකිලීම වර්ධනය වෙනවා.
මෙම දුර්වලතාවට ප්‍රතිකාර යෙදීම ඉතා අවශ්‍යයි. ආර්ථිකය හැකිලීම ගැන නොසලකා හැරි විට එය ඍණ වීම තමයි අන්තිමට වෙන්නේ. අද අපේ රටට සිදුවූවා වගේ. ආර්ථිකවය සංකෝචනය වීම වැළැක්වීමට ප්‍රතිකර්ම අංශ දෙකකින් සිදුවෙනවා. ඒ තමා කෙටිකාලීන හා දිගුකාලීන ප්‍රතිකර්ම. කෙටිකාලීන වශයෙන් මුදල් මුද්‍රණය, ජනතාවට මුදල් බෙදාදීම, සහනාධාර දීම, ආනයන පාලනය ආදිය ගත හැකියි. අපේ රට දැනට සිදුකරමින පවතින්නෙ එම උපක්රමයි. එහෙත් ඒවා කෙටිකාලීන විසඳුම් බව මතක තබාගත යුතුයි. අපෙ රට අද පවතින ආර්ථික පසුබැසීමට හේතු වී මෙතෙක් බලයට පත්වූ ආණ්ඩු දිගුකාලීන ආර්ථික සැලසුම්වලට වඩා කෙටිකාලීන ප්රතිකර්මවලට යොමුවීමයි. එය අවාසනාවන්ත තත්ත්වයක්.
දිගුකාලීනව පැහැදිලි ප්‍රතිපත්ති මත ගමන් කළ යුතුයි. මේ රටේ එය සිදුවන්නේ නැහැ. පක්ෂ - විපක්ෂ දේශපාලන අංශ එකමුතු වී එකම ප්රතිපත්තියකට නොයාම නිසා ආණ්ඩු මාරුවන විට ආර්ථික ප්රතිපත්තිද මාරුවෙනවා. අද පවතින ක්රමයේ පරිවර්තනයක් සිදුවිය යුතු බව කවුරුත් පිළිගත යුතුයි.
අපේ රට අතීතයේ සිටම කෘෂි ආර්ථිකයක් මත විශ්වාසය තැබූ රටක් වූවා. එහෙත් අදටත් රටේ දියුණුවක් නැහැ. එසේ නම් එය අසාර්ථක බව සනාථ වී තිබෙනවා. ඒ නිසා ආර්ථික සංවර්ධනයක් කරා යාමට කර්මාන්ත සහ සේවා අංශ කෙරෙහි අවධානය යොමුකළ යුතුයි. ලොව දියුණු වූ බොහෝ රටවල් මුලින් කෘෂිකාර්මිකව සිටියත්, පසුව කර්මාන්ත සහ සේවා අංශවලට ආවා. මේ ගැන නොසැලකූ අපි තවමත් උත්සාහ කරන්නේ කෘෂිකර්මයෙන් විප්ලවයක් කරන්නයි. අපේ රටේ වී නිෂ්පාදනය මාස 15කට සෑහෙන බව කියනවා. එළවළු පළතුරු ආදියේ නිෂ්පාදනය අතිරික්තයක් බවට පත්වුණා. එහෙත් කාර්මික නිෂ්පාදන ගැන සැලකිල්ලක් දැක්වූයේ නැහැ. කාර්මික අංශය ශක්තිමත් නම් ආර්ථිකය ඉහළට ගෙන ඒම පහසු වෙනවා. ඒකපුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 3500 සිට 15,000 – 20,000 මට්ටම්වලට ගෙන ආ හැකියි. එහෙම දියුණුවක් තිබේ නම් ආර්ථිකය අතරමග සංකෝචනය වීම ප්‍රශ්නයක් නොවේ.
අපේ රටේ විශාල පිරිසක් කෘෂිකර්මාන්තයේ නිරත වන්නේ ස්ව ශක්තියෙන් නොව රජයෙන් පිරිනැමෙන පොහොර සහනාධාරය සහ සහතික මිල මතයි. මෙයින් දේශපාලනඥයන් වාසි ගත්තත් රටට සිදුවන යහපතක් නැති බව වටහාගත යුතුයි. කෘෂිකර්මයට දෙන සහන අඩුකළා නම් අලුත් පරම්පරාව කර්මාන්ත සහ සේවා අංශවලට යොමුවීමේ ප්‍රවණතාව වැඩිවෙනවා. රට දියුණු කිරීම ආණ්ඩුවට පමණක් තනිව කළ නොහැකි අතර, එයට පෞද්ගලික ව්‍යවසායකයන්ද සම්බන්ධ කරගත යුතු වෙනවා.
2020 වසරේ සිදුවූ ආර්ථික සංකෝචනය වැනි ප්‍රතිඵල අඩුකර ගන්නට පහසු වෙනවා. රට කාර්මික ආර්ථිකයට යොමුව තිබුණා නම්, ඒ නිසා අද වැටී ඇති තත්ත්වයෙන් පාඩම් ඉගෙනගෙන අපේ ආර්ථික ගමන්මග වෙනස් කිරීම කාලීන අවශ්‍යතාවයක් බව කිව යුතුයි.
යසවර්ධන රුද්රිගූ