2021 මැයි 08 වන සෙනසුරාදා

උපතින්ම අබාධිත සැත්කම් 27ක් කළ මහනුවර සුපිරි සිසුවිය

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 67

සියලු සෞඛ්‍ය අභියෝග ජය ගනිමින් මෙවර අපොස උසස් පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් ඉදිරිපත් වී විශිෂ්ට ප්‍රතිඵල හිමිකරගත් විශේෂ අවශ්‍යතා සහිත දැරියක් පසුගියදා අපට හමුවිය. 

ඇය මහනුවර උසස් බාලිකා විදුහලේ අධ්‍යාපනය හැදෑරූ වත්සලා යසන්ති කුමාරි මුතුකුඩේ සිසුවියයි.

ආත්ම විශ්වාසයත් කැපවීමත් මත මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ජීව විද්‍යා අංශයෙන් ඉදිරිපත් වී ජීව විද්‍යා විෂයයට (ඒ) සමර්ථයක්ද භෞතික විද්‍යාව විෂයයට %බී^ සමර්ථයක්ද රසායන විද්‍යාව විෂයයට (ඒ) සමාර්ථයක්ද හිමිකරගෙන තිබේ.

සිය ජීවිතයේ ශල්‍යකර්ම 27කට මුහුණ දී විභාගයට මාස දෙකකට පෙරද ශල්‍යකර්මයකට මුහුණදුන් ඇය ලබාගත්‍ ජයග්‍රහණය අති විශිෂ්ට ජයග්‍රහණයක් බව ඇගේ පියා වන මුදල් අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්වරයකු වන අනුර බණ්ඩාර මුතුකුඩේ මහතා සහ මව වන ලුම්බිණි කුමාරි මුතුකුඩේ මහත්මිය පවසති.

සහෝදරයෙක් සහ සහෝදරියක් සිටින වත්සලා දැරිය විවිධ ආබාධ සඳහා ශල්‍යකර්ම රැසකට මුහුණ දුන්නද කැපවීමත් උනන්දුවත් මත විභාගයට පෙනී සිට ලබාගත් ජයග්‍රහණය පිළිබඳව මහනුවර උසස් බාලිකා විදුහලේ විදුහල්පතිනි මල්කාන්ති අබේගුණසේකර මහත්මිය පැවසුවේ විශේෂ අවශ්‍යතා සහිත සිසුවියක් ලෙස විදුහලට ඇතුළු වී දක්ෂ ලෙසින් ඇය සිය අධ්‍යාපන කටයුතු සිදු කළ බවයි. විශේෂ අවශ්‍යතා සහිත සිසුවියක් ලෙස තම විදුහලට ඇතුළත් වූ වත්සලා සිසුවියට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට තමන් ඇතුළු ගුරු මණ්ඩලය කටයුතු කළ බවද උසස් බාලිකා විදුහලේ විදුහල්පතිනි මල්කාන්ති චන්ද්‍රසේකර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා අපොස සාමාන්‍ය පෙළ විභාගයද උසස් ලෙස සමත් වූ (වත්සලා) සිසුවිය උසස් පෙළ විභාගයට ඉදිරිපත් වීම සඳහා මහනුවර උසස් බාලිකා විදුහලට ඇතුළත් වී තිබේ.

විවිධ ආබාධ සහිතව උපත ලැබුවද දක්ෂතාවය, හැකියාව සහ අධිෂ්ඨානය මත අධ්‍යාපනයෙන්ද ජයගත් වත්සලා තම ඉදිරි අපේක්ෂාව වෛද්‍යවරියක් වීම බව පවසන්නීය.

සිය මවට වැළඳුණු දරුණු වෛරස් රෝගයක් හේතුවෙන් වත්සලා දැරියට උපතේදීම මෙවන් සංකූලතා තත්ත්වයක් ඇතිවී තිබෙන බව වෛද්‍යවරු පවසති. 

ප්ලාස්ටික් ශල්‍ය විශේෂඥ වෛද්‍ය කනකතපිල්ලේ මහත්මියත්, දන්ත විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ රත්නකුමාර මහතාත් වරින් වර වත්සලා සිසුවියට ශල්‍යකර්ම රැසක් සිදු කර ඇත.

චිත්‍ර ශිල්පයටද සුවිශේෂී දක්ෂතා දක්වන වත්සලා සිසුවිය අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන්ද (ඒ) සමර්ථ අටක් සහ (බී) සමර්ථයක්ද හිමිකර ගැනීමට සමත් විය. ශල්‍යකර්ම රැසකට මුහුණ දී ඒ සියල්ල අභිබවමින් තමන් ඉදිරිපත් වූ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට සමර්ථයක් හිමිකරගත් වත්සලා යසන්ති කුමාරි මුතුකුඩේ සිසුවිය තම සියලු ශරීරාබාධ අමතක කර ලබාගත් විභාග ජයග්‍රහණය පිළිබඳව ඇගේ දෙමව්පියන් දෙදෙනාද මහනුවර උසස් බාලිකා විදුහලේ විදුහල්පතිනියද ගුරු මණ්ඩලයද සතුට පළ කරති.

ඇය නාසයේ සහ මුඛයේ රෝගී තත්ත්වයෙන් පසුවී උපතින්ම අතේ වැලමිට අසලින් කොටසක් ආබාධිත වී වම් අතේ මහපට ඇඟිල්ල පමණක් තිබියදී ශල්‍යකර්ම රැසකට භාජනය වී සිටී.

 ජේ.ඒ.එල්. ජයසිංහ