2021 මැයි 08 වන සෙනසුරාදා

ඉන්දියාවේ අර්බුදය පමණක් නොව විසඳුම් දෙසද බලන්න

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 66

ජගත් ප‍්‍රජාව ඉන්දියාවේ පවතින වසංගත තත්ත්වය ගැන ශෝකාකූලව සිටී. මාධ්‍යයෙන් විකාශය කරන දර්ශන හදවත කම්පාකරවන සුළුය. තැන තැන ජීවිතක්ෂයට පත්වන පිරිස් ගැන තොරතුරු ලැබෙයි. රෝගීන් සඳහා ඔක්සිජන් හිඟවීම බලවත් ප‍්‍රශ්නයක් බව කියැවේ. වහාම ජනතාවට අවශ්‍ය සේවා සම්පාදනය කරන සේ අධිකරණය පවා නියෝග දෙන කාලයක් බවට පත්ව තිබේ. ලෝකයේ සියලුම රටවල් ඉන්දියාවට වහා ආධාර සපයන පිළිවෙතකට අවතීර්ණ වී තිබේ. ඉන්දියන් සාගර කලාපය සුනාමි ව්‍යසනයෙන් විපතට පත් අවස්ථාවේ දී ඉන්දියාව තනිව නැගී සිටින්නට හැකි බව දැක්වීය. ජාත්‍යන්තර ආධාර හා අනුකම්පාව අපේක්ෂා කළේ නැත. දහස් ගණනින් ජීවිත ක්ෂණයකින් අහිමි වූ එදවසට වඩා වෙනස් ස්වභාවයක් අද උද්ගත වී තිබේ. කොවිඩ් වෛරසය වේගයෙන් ඉන්දියාව පුරා ව්‍යාප්ත වන අතර තත්ත්වය පාලනය කරන සියලු පියවර ගෙන ඇති බව තොරතුරු වාර්තා කරයි.

ඉන්දියාවේ කොවිඩ් සාධකය ගැන ලෝකය පුරා මහත් අවධානයක් පවතින නමුත් එය අතරවාරයේ එරට ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක වන ආකාරයද සැලකිල්ලට ලක්විය යුතුය. ජාත්‍යන්තර වාර්තා දක්වන පරිදි ඉන්දියාවේ ප‍්‍රවාහන පද්ධතිය වේගයෙන් ඉලෙක්ට්‍රික් යුගයට ඇතුළු වෙමින් සිටී. එක පැත්තකින් කොවිඩ් අනතුර පවතින අතරවාරයේ පවා පොසිල ඉන්ධන අතහැර ඉලෙක්ට්‍රික් වාහන භාවිත කරන පියවර අත්නොහරින පියවරකය. වසර 2030 වනවිට එරටට ආනයනය කරන සියලුම කාර් සහ ට‍්‍රක් විදුලිය බලයෙන් ක‍්‍රියාත්මක විය යුතු බවට නීති පනවා තිබේ. නව දිල්ලි නගරය ඉතාම කාර්ය බහුලය. අධික වාහන තදබදයක් පවතී. වාහනවලින් නිකුත්වන දුම විශාල ප‍්‍රශ්නයක් වී තිබේ. පුළුස්සන ඉන්ධන ප‍්‍රමාණය එරට ආර්ථිකය අසරණ කරන තැනකය. එයට විකල්පයක් වශයෙන් විදුලිය බලයෙන් ධාවනය වන වාහනවලට පමණක් දොරටු විවෘත කරන තීරණයකය. ඉන්දීය මධ්‍යම ආණ්ඩුව මෙම වසරේදී විදුලිය බලයෙන් ධාවනය වන වාහන දස දහසක් අලුතින් ධාවනයට යොදවනු ඇත. දැනට භාවිතා කරන ඩීසල් හා පෙට‍්‍රල් වාහන මහා මාර්ගයෙන් ඉවත් කෙරේ. මෙවැනි පියවර පවා විශාල අභියෝගයක් වී ඇත. 

ලිතියම් බැටරිවල මිල අධිකය. අනෙක ඉන්දියාව පුරා තවමත් ආරෝපන මධ්‍යස්ථාන ප‍්‍රමාණවත්ව නැත. අලුතින් බැටරි ආරෝපනය කරන මධ්‍යස්ථාන 2,636 ක් ප‍්‍රධාන නගර 62ක් ආවරණය වන පරිදි වහාම ආරම්භ කරන පියවර ගෙන ඇති බව දැක්වෙයි. වාහන වලට අවශ්‍ය විදුලිය ඉල්ලුම සපුරාලීම සඳහා විශාල ජනන අවශ්‍යතාවයක් පැන නැගී තිබේ. එය වෙනුවෙන් ද ආයෝජන අවස්ථා ඇති කරන බව දැක්වෙයි.

ලෝක ආර්ථික සංසදය පෙන්වා දෙන පරිදි තිරසාර සංවර්ධනය හා පාරිසරික ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව ආදර්ශයකි. ගල් අඟුරු කැණීම අවසන් කරන තීරණයක් ද ගෙන ඇත. ඉදිරි වසර දහ තුන තුළ සම්පූර්ණයෙන්ම ගල් අඟුරු පතල් අත්හැර දමනු ඇතැයි සැලකේ. ඉන්ධන දහනය හේතුවෙන් ඕසෝන ස්ථරයට හානිකරන කාබන්ඩයොක්සයිඩ් ප‍්‍රතිශතය ඉහළ නගී. කාබන්ඩයොක්සයිඩ් විමෝචනය වන අවස්ථා අවම කරන තීරණ ලෝකයේ සෑම ක්ෂේත‍්‍රයෙකින්ම අනාවරණය වෙයි. වාහනවලට භාවිතා කරන ඉන්ධන අවම කරන ප‍්‍රතිපත්තිය එහි එක පැත්තකි. 

ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව හා ප‍්‍රාන්ත ආණ්ඩු විදුලියෙන් ධාවනයවන වාහන නිපදවන ව්‍යාපෘති වලට අවසර දෙන තීරණයක් ගෙන ඇත. ප‍්‍රතිපත්ති සකස් කර තිබේ. එමගින් අලුත් ආයෝජන අවස්ථා ඇතිවෙයි. විශේෂයෙන් යතුරුපැදි හා ත්‍රීවිලර් විදුලියෙන් ධාවනය කරන තාක්ෂණයට ඉක්මනින්ම හරවනු ඇත. මෙම දශකය අවසන් වනවිට යතුරුපැදි හා ත‍්‍රිවිලර් වලින් සියයට 65-70 අතර ප‍්‍රමාණයක් විදුලියෙන් පමණක් විය හැකි බව එරට ප‍්‍රතිපත්ති සම්පාදකයෝ පෙන්වා දෙති.
කර්මාන්ත අංශයෙහි වාර්තා දක්වන පරිදි වාහන බැටරි නිපදවන්නට අවශ්‍ය ලිතියම් හා කොබෝල්ට් ආනයනය කරන්නට එරටට සිදුවී තිබේ. වෙනත් රටවලින් යැපෙන්නට සිදුවී ඇති අංශයකි. විදුලි වාහන නිපදවීම සඳහා ගෙන යන පියවර හමුවේ ලිතියම් හා කොබෝල්ට් ආනයනය සඳහා සැපයුම් චක‍්‍රය නිර්මාණය කරන්නට සිදුවී තිබේ. අලුත් තොරතුරු දක්වන පරිදි ඉන්දියාවේ අභ්‍යවකාශ පර් යේෂණ අංශය ලිතියම් හා කොබෝල්ට් මහා පරිමාණයෙන් නිපදවන සොයා ගැනීම් වෙනුවෙන් පරිවර්තනය කර ඇත. විශාල ආයෝජනයක් සහිතව කම්හල් දහයක් අරඹන සූදානමක්ද තිබේ. ලිතියම් බැටරි නිපදවන දැවන්ත ආයෝජනයක් සඳහා පසුගියවසරේ ජනවාරියේදී එරට මධ්‍යම රජය අනුමැතිය දී ඇති අතර එයට විශේෂ වරප‍්‍රසාද හා බදු සහන ප‍්‍රකාශයට පත්කර ඇතැයි අනාවරණය වෙයි.

ඉන්දියාවේ පැතිරෙන කොවිඩ් වසංගත තත්ත්වය ගැන ලෝකය පුරා විශාල තැතිගැන්මක් තිබෙන නමුත් තත්ත්වය කළමනාකරණය කරගෙන නැවත සුපුරුදු රිද්මය ලබාගන්නා අවස්ථාව වනවිට ඉන්දියාව පුරා තාක්ෂණික විපර්යාසයක් සිදුවනු නිසැකය. ඉන්ධන භාවිතය අඩුවන අතර ගල් අඟුරු කැනීම් නතරවෙයි. බලශක්ති වියදම අඩුවන විට එය නිෂ්පාදනයට බලපාන සාධකයකි. අඩුම පිරිවැයකින් ප‍්‍රවාහනය සිදුවන විට වෙළඳපොළ තරඟකාරීත්වයක් ඇති විය හැකිය. එය ලෝකයේ අනෙක් රටවල අපනයන වෙළඳාම හමුවේ වාසිදායක හැරවුම් ලක්ෂයක් වනු ඇත. ආසියානු කලාපයේ අනෙක් රටවලට කලින් විදුලි බලයෙන් ධාවනයවන වාහන ඉන්දියාව ඉහළ ආර්ථික තලයකට කැඳවන එක විප්ලවයක් වනු ඇත.
මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට එවන්නේ නම් අගය කරමි.

 මිලින්ද මොරගොඩ