2021 මැයි 22 වන සෙනසුරාදා

වසංගතය වසන්තයක් කරගත් මිනී පෙට්ටි මුදලාලිලා

 2021 මැයි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 268

ලංකාවේ මාෆියා බොහෝය. කුඩු මාෆියාව, පාතාල මාෆියාව, දේශපාලන මාෆියාව, බෙහෙත් මාෆියාව වගේ එකී නොකී මෙකී සියලු ක්ෂේත්‍ර මාෆියාවල ගොදුරු වී ඇත. අඩුම ගණනේ ඉගෙන ගන්න යන පාසල් තුළත් රටේ නැති මාෆියාය.
අපි අද මේ කියන්නට යන්නේ වසංගත ඛේදවාචකය, මාෆියාවක් කරගත් කාක්කන් රැලක් ගැනය. මේ වසංගතයේදී අබ ඇටයේ සිට මුදල් ගසාකන කාක්කන් රැසක් සිටියත් මේ කියන්නේ මැරුණු මළකුණෙනුත් මුදල් ගසාකන මාෆියාවක් ගැනය. වටෙන් පිටෙන් ලැබුණු තොරතුරුවලින් පමණක් නොව ලියුම්කරු සෘජුවම දුරකථනය හරහා සම්බන්ධ වෙමින් සොයාගත් තොරතුරුය.

ලියුම්කරු:- මේ..... මල්ශාලාවෙන්ද?
කළමනාකරු (මල්ශාලාවේ):- ඔව් මහත්තයා. මොකක්ද වෙන්න ඕන.
කොරෝනා මිනීදාන පෙට්ටියක් කීයක් වෙනවද?
මහත්තයලාගේ කවුද?
මගේ ඥාතියෙක්. හම්බන්තොට.

නෑ මිනිය තියෙන්නේ?
කළුබෝවිල
ගෙදර අය නිරෝධායනයේද?
ඔව්.
පෙට්ටියේ සල්ලි දෙන්නේ මහත්තයද?
ඔව්.

මහත්තයා මේක මාර අමාරු වැඩක්. අපි කරන්න ඕන වැඩේ.
ඇයි මිනිය හොස්පිට්ල් එකෙන් නෙමෙයිද අරන් යන්නේ.
පිස්සුද මහත්තයා අපි අදින්න ඕන.

හරි ගාණ කියන්නකෝ.
මහත්තයා මේක අමාරු වැඩක්නේ. මම ගාණක් කියන්නේ නෑ සාමාන්‍යයෙන්. ඒත් මේක කරන්න ඕන නිසා 40,000, 35,000 විතර යනවා. නමුත් මහත්තයා 30,000 ක් දෙන්න.
මෙම ඇමතුම සිදුවුණේ කළුබෝවිල ප්‍රදේශයේ මල්ශාලාවක් සමඟය. දෙවැනි ඇමතුම ලබාගත්තේ මරදාන ප්‍රදේශයේ මල්ශාලාවකටය.

ලියුම්කරු:- හෙලෝ... මේ ......මල්ශාලාවද?
සේවකයෙක්:- ඔව්.
මට දැනගන්න පුළුවන්ද කොරෝනා මිනීදාන පෙට්ටියක් කීයද කියලා.
18,000 ඉඳන් ඉහළට තියෙනවා.

ඉහළට කිව්වේ?
25,000, 30,000, 40,000 ඊටත් වඩා.
එච්චර වැඩි ඒවා ගන්නවද?
ඔව්. පැකේජ් තියෙනවා.
කෝවිඩ් මිනීවලට.
ඔව්...

මේ ඇමතුම් දෙක පමණක් නොව තවත් ඇමතුම් කිහිපයක්ම ලියුම්කරු විවිධ මල්ශාලා වෙත ලබාගත්තේය. ඇතැම් මල්ශාලාවල මළසිරුරේ අවසන් කටයුතු සිදු නොකරන අතර මළසිරුර දමන පෙට්ටිය පමණක් ගෙනවිත් දෙනු ලබයි. කිසිදු සැරසිල්ලක් නැති පෙට්ටියක වටිනාකම 20,000කි. ඇතැම් ස්ථානවල 12,000 කි. මේ සියල්ල ඔවුන්ගේ කැමැත්ත සහ හිතුමතයට කියන ගණන් මිස ලබාදෙන පෙට්ටියේ කොලිටිය අනුව නොවන බව පැහැදිලිය. ඒ බව ඔවුන් සමඟ කතාබස් කරන විට හැඟෙයි.
ලියුම්කරු:- පෙට්ටිය එච්චර ගණන් ඒකේ මොකක් හරි විශේෂයක් තියෙනවද?
එක් මල්ශාලාවක සේවකයෙක්:- ඔව්. කොරෝනා විෂබීජ එළියට යන්නේ නෑ.
ලියුම්කරු:- ආ එහෙම ඒවත් තියෙනවද?

මල්ශාලාවේ සේවකයා:- ඔව් ඔව්. ඒවා හදන්න කියලා තියෙන විදිහනේ. සාමාන්‍ය ඒවාවලට දාන්න බෑ.
ඉහත කී ආකාරයෙන් මිනිස්සු ඇන්දවීම හරි හරියට ඇතැම් මල්ශාලා හිමිකරුවන් විසින් සිදුකරනු ලැබේ. කෙසේ වෙතත් මේ ආකාරයෙන් අමු අමුවේ අන්දවන්නේ මේ රටේ අසරණ මිනිස්සුය. විශේෂයෙන් තමන්ගේ සමීපතමයා අතැරදමා ගිය අයටය. ඔවුන් වේදනාවෙන් සිහිවිකල් වී ඇති මොහොතක මේ ආකාරයෙන් හක්කේ තියෙන දතේ සිට ගැලවීමට උත්සහ දැරීම කෙතරම් නින්දිත ක්‍රියාවක්ද?

ඥාතීන්ට පෙන්වා ඉටිකොළ උරයක බහාලන මළසිරුර නැවත කිසිම ආකාරයකින් එළියට ගන්නේ නැත. ඊටපසු සාමාන්‍ය මිනීපෙට්ටියක අසුරා අදාහනාගාරයට දමා අළුකරනු ලබයි. පාංශුකූල නැත, කතෝලික පූජා නැත. සියල්ල පැයක් වැනි කාලයක් තුළ නිමකරන මොහොතක මේ ආකාරයෙන් මිනී පෙට්ටි පැකේජයන් කුමකටද? රුපියල් 20,000, 30,000, 40,000 ලෑලි පෙට්ටි කුමකටද? වැඩි ගෞරවයක් දෙන්නද? නැත්නම් තත්ත්වයෙන් උසස් බව පෙන්වන්නටද? නැත. තමන්ගේ සමීපතමයන්ට පවා අසලකට යා නොහැකි තත්ත්වයකට මරණය පත්වු පසු මෙවැනි මිනීපෙට්ටි අලෙවිය ජාවාරමකි. එය සැබවින්ම මල්ශාලාවේ ආදායම වැඩිකරගන්න මිස වෙනත් හේතුවක් නොවන බව පැහැදිලිව පෙනෙන දෙයකි.
අසරණ වී ඇති මොහොතක, ශෝකයෙන් පීඩාවට පත්ව සිටියදී මෙකී මිල ගණන් කිසිවකු හිතන්නේ නැත. ළඟම මල්ශාලාව එය නම්, එකම මල්ශාලාව රෝහල අසල එය ගාණ ලක්ෂයක් කිව්වත් එය නොගෙන ඉන්නේ නැත. එලෙස නොගෙන ඉන්නට මෝචරියේ සේවකයන්ද ඉඩ තබන්නේ නැත. එයට හේතුව ඇතැම් රෝහල්වල මළසිරුරේ අවසන් කට‍යුතු කළයුතු තැන දන්වා සිටින්නේ මෝචරියේ සේවකයන් විසින්ම වීමය. ඒ තරමට මෝචරියත් මල්ශාලාවත් මේ වසංගත මරණ බිස්නස් එකක් කරගෙන ඇත.

මේ සම්බන්ධයෙන් සොයාබැලීමේදී තවත් දෙයක් අනාවරණය විය. එනම් ඇතැම් රෝහල්වල මළසිරුරු ප්‍රවාහනය කිරිම සඳහා අවශ්‍ය සේවකයන් සහ වාහන නොමැති වීම නිසා අවට මල්ශාලාවට නිතැතින්ම මළසිරුරු අයිතිවීමේ ඉඩකඩක්ද උරුමව තිබීමය. මේ තත්ත්වය නිසා මල්ශාලා මිනී පෙට්ටිවල ගණන් තව තවත් ඉහළ දමා අසරණ අහිංසක මිනිස්සුන්ගෙන් මුදල් ගරන්නට පටන් ගෙන ඇත. අසරණ මිනිස්සුද කේවල් නොකර මීනී පෙට්ටිය ගන්නා තැනට පත්ව සිටිති.
කෙසේ වෙතත් මේ සියල්ලෙන් අසරණ වන්නේ අහිංසක ජනතාවය. මළසිරුර අරගෙන යාමට නොහැකි නිසා ඔවුන් ඒ බරත් දරන්නට හිත හදාගෙන ඇත. ඒ ඉඩකඩ ඇතැම් මල්ශාලා අධික ආදායම් මාර්ගයක් කරගෙන ඇත. මේ සියලු දේවල් සිදුවන්නේ මේ මහපොළව මතය. එහෙත් ඒ ගැන කිසිවකු කතා කරන්නේ නැත. හොයන්නේ බලන්නේ නැත. අසාධාරණය ගැන කතා කරන්නේ නැත. මේ නිසා තව තවත් ජනතාව අසරණ වනවා මිස සහනයක් නැත. එක පැත්තකින් ජීවන බරය, තවත් පැත්තකින් ජීවිතේ බරය, මළ පසු මිනීපෙට්ටියේ බරත් දරන්නට වීම ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා සේය.

 ගයාන් ගාල්ලගේ