ඔබත් මමත් මේ ගෙවමින් සිටින්නේ ඉතාමත් තීරණාත්මක මොහොතකි. කොවිඩ් තුන්වැනි රුල්ලට ගොදුරු වූවන් සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයක් තුළින්ම එකා දෙන්නා බැගින් හමුවන්නට පටන් ගෙන ඇත. ඒ හා සමානව මරණය. මේ සියල්ල කොවිඩ් වෛරසය නිසාය. කෙසේ වෙතත් අවසානයේ රජය විසින් සෞඛ්‍ය අංශවල දැඩි ඉල්ලීම මත පසුගිය 21 වැනිදා සිට රට වසා දැමූ අතර ඉන්පසුව 24දා විවෘත කර අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඉඩ ලබාදුනි. එහිදී රජය දන්වා සිටියේ අත්‍යවශ්‍යම භාණ්ඩ පමණක් ලබා ගැනීම සඳහා ළඟම වෙළෙඳසළ වෙත පමණක් පා ගමනින් යන ලෙසය. එය ප්‍රායෝගිකව සිදුකිරීමට අපහසු දෙයක් වුවත් වර්තමාන තත්ත්වය මත ඒ හැර සිදුකිරීමට වෙනත් විකල්පයක් නොතිබිණි. ඒ ජනතාව එක්රුස් වීම අවම කිරීම සඳහාය.
එහෙත් එම නීතිද කඩකරමින් ඇතැම් පිරිස් හිතුමතේ නිවසින් දෙන්නා තුන්දෙනා බැගින් එළියට බැස ගමන් කරන්නට වූයේ අත්‍යවශ්‍යම දේවල් ලබා ගැනීමට වඩා නිවසේ සිරවී සිටීමට ඇති අකමැත්ත නිසාය. මේ නිසා පොලිස් නිලධාරීන්ට ඔවුන්ට බැණවැදී එළවා දැමීමට සිදුවිය.
මේ රජය විසින් එන්නත්කරණයද ඉතා ඉක්මනින් සිදුකරමින් සිටියේ හඳුනාගත් අවදානම් දිස්ත්‍රික්ක පහක් තුළය. ඒ කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්ක තුළය. එන්නත්කරණය ඉතාම සීඝ්‍රයෙන් සිදුවන විට මේ එන්නත්කරණයේ අක්‍රමිකතා රැසක් ක්‍රමයෙන් හෙළිදරව් වන්නට විය.
රජය විසින් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ප්‍රමුඛතා ලැයිස්තුවක් සකසමින් ප්‍රථමයෙන් ලබාදුන්නේ මේ කොවිඩ් මෙහෙයුමේ ඉදිරියෙන්ම සිටි වඩාත්ම අවදානම් කණ්ඩායම සඳහාය. ඒ සඳහා සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ ආදී කණ්ඩායම් රුසකට මූලිකත්වය ලබාදී තිබුණි. එහෙත් පළමු මාත්‍රාව ලබාගත් බොහෝ දෙනකුට දෙවැනි මාත්‍රාව ලබාගැනීමේ අවස්ථාව මඟහැරී ගියේ රට තුළ ඇස්ට්‍රා සෙනෙකා එන්නත් නැති වීමත්, ඉන්දියාවේ පවතින තත්ත්වය නිසා මෙරටට ගෙන්වීම ඇණහිටීමත් නිසාය. මේ නිසා ඉතාම සීමිත ප්‍රමාණයක් එම එන්නත ළඟ තබාගත් රජය දෙවැනි මාත්‍රාව ජනතාවටත් ප්‍රථමයෙන් මෙම කොවිඩ් මෙහෙයුමේ ඉදිරියෙන්ම සිටින අයට ලබාදීමට තීරණය කළේ ඔවුන්ට ඇති අවදානම නිසාය.
එහෙත් ඒ සියල්ල උඩුයටිකුරු කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පිරිසක් තම පවුලේ සාමාජිකයන්ට එන්නත විදගැනීමේ සිද්ධියක් පිළිබඳ තොරතුරු ඉස්මතුවීම නිසා සතර අතින් එම සංගමයට චෝදනා එල්ලවන්නට විය. විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රබල චෝදනා එල්ල වුණි.
දෙවැනි මාත්‍රාව රුපියල් පන්දහසට විකුණන බවට තොරතුරු ඇතැයි කී එම සංගමයම තම පවුලේ බිරින්දෑවරුන්ට, දරුවන්ට, දෙමව්පියන්ට, නැන්දම්මා, මාමණ්ඩිලාට පමණක් නොව නිවෙසේ සේවකයන්ට පවා ලැයිස්තුගත කර එන්නත් ලබාදුන් බවට එහිදී චෝදනා එල්ලවිය. විශේෂයෙන් ඇතැම් වෛද්‍යවරුන් කෙතරම් අසත්‍ය දත්ත ඇතුළත් කර ඇතිද යත් බිරින්දෑවරු දෙදෙනකු, ස්වාමිපුරුෂයන් දෙදෙනකු වශයෙන්ද ඇතුළත් වී තිබූ බවටද චෝදනා නැගුණි. මේ එන්නත්කරණය විශාල ජාවාරමක් බව සෞඛ්‍ය අංශවල සිටින අනෙකුත් නිලධාරීන්ගේ පවා චෝදනාවට ලක්ව තිබුණි. එයට හේතුව නම් මේ වනවිටත් ඇතැම් වෛද්‍යවරු, හෙදියන්, කාර්ය මණ්ඩල එන්නත ලබාගෙන නොතිබුණු නිසාය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දැඩිව චෝදනා එල්ලවන විට වෛද්‍ය සංගමයේ ඇතැම් අයගේ පිළිතුර වූයේ එය වැරුද්දක් නොවන බවය. එහෙත් මේ සම්බන්ධයෙන් චෝදනා එල්ලකරන පාර්ශ්වයන්ගේ චෝදනාව වූයේ එලෙස වෘත්තියට අදාළ නොවන පිරිස් වෛද්‍ය ලේඛනවලට ඇතුළුකර එන්නත විදගැනීම වෛද්‍ය වෘත්තීයේ සදාචාරයට පමණක් නොව ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසිවලටද පටහැනි බව කියාය.
වෛද්‍ය සංගමයේ ක්‍රියා කලාපය නිසා මෙම වසංගතයේ ඉදිරියෙන්ම සිටින තම සාමාජිකයන්ට ඇස්ට්‍රා සෙනෙකා දෙවැනි මාත්‍රාව අහිමිවීම ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැඩි කළකිරීමකට පත්ව සිටියෝය. මේ නිසා ඔවුන්ගේ මතය වූයේ එයට විරුද්ධව වැඩවර්ජනයක් සඳහා යාමය. ඒ අනුව සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩ අත් හැරීමට තීරණය කළහ.
එහෙත් මේ අවස්ථාවේ තත්ත්වය අවදානම් නිසා වහාම සෞඛ්‍ය අමාත්‍යවරිය සහ සෞඛ්‍ය අංශයේ බලධාරීහු විශේෂ රුස්වීමක් කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට වූහ. එහිදී සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබාදුන් සහතිකය වූයේ ඊට පසුදින රජයේ වෛද්‍ය නිලධාරීන්ට එන්නත් ලබාදුන් ස්ථානවලම ඔවුන්ටද දෙවැනි මාත්‍රාව ලබාදෙන බවටය. ඒ අනුව වර්ජනය අවසන් වූ අතර ඊට පසුදින එන්නත් ලබාගැනීම සඳහා අදාළ ස්ථාන වෙත සෞඛ්‍ය පරීක්ෂකවරු ගියහ. ඒ යනවිට එන්නත ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් එම ස්ථානවල තිබුණේ නැත.
මේ සිද්ධිය එක්තරා පිරිසකගේ ක්‍රියාවක් බව වටහාගත් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පිරිස් වහාම සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පැමිණිලි කළහ. ඔවුන්ගේ චෝදනාව වූයේ මෙම එන්නත් ක්‍රියාව කඩාකප්පල් කිරීම පිටුපස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පිරිස් සිටින බවටය. ඒ අනුව වහාම සෞඛ්‍ය අමාත්‍යංශය මැදිහත්ව එම ගැටලුවට විසඳුම් ලබාදීමට තිරණය කළේය.
මේ අතර ඇස්ට්‍රා සෙනෙකා දෙවැනි මාත්‍රාව ලබාගැනීමට නොහැකිව මේ රටේ විශාල ජනතාවක් සිටිති. එහෙත් ඉන්දියාවේ සීරම් ආයතනය වසා දැමීම නිසා මෙරටට එන්නත් ලබාගැනීම ඉතාම අපහසු තත්ත්වයකට මුහුණ පාන්නට සිදුවී ඇත. මේ නිසා වහාම වෙනත් පෞද්ගලික ආයතන හරහා එන්නත් මිලදී ගැනීමට උත්සහ දරන්නට විය. ඒ අනුව ලක්ෂ හයක එන්නත් ලබාගැනීම සඳහා පෞද්ගලික සමාගම් පහළොවක් සමඟ රජය සාකච්ඡා කරන බව මාධ්‍ය හරහා පවා ප්‍රචාරය විය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කරුණු විමසා රජයේ ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඇස්ට්‍රා සෙනෙකා ආයතනය වෙත ලිපියක් යොමුකර තිබුණි. එයට පිළිතුරු වශයෙන් එම ආයතනය ප්‍රසන්න ගුණසේන මහතාට ලිපියක් යොමුකරමින් දන්වා සිට ඇත්තේ ඇස්ට්‍රා සෙනෙකා එන්නත් පෞද්ගලික ආයතන හරහා නොවිකුණන බවත් එසේ බාහිර පාර්ශ්ව හරහා එන්නත් මිලදී නොගන්නා ලෙසත් කියාය. එම එන්නත ලබාදීමේ බලය ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහන, යුනිසෙෆ් සංවිධානය සහ ඉන්දියාවේ සීරම් ආයතනයට පමණක් බවත් එම ලිපිය මගින් දැනුම් දී ඇත. ඒ නිසා එම එන්නත වෙළෙඳාම් කිරීමට බාහිර පාර්ශ්වයන්ට අවසර ලබාදී නොමැති බවත් එලෙස ලබාගන්නා එන්නත් ව්‍යාජ ඒවා බවත් ඒ සම්බන්ධයෙන් තම සමාගම කිසිම වගකීමක් නොදරන බවත් එම සමාගම එම ලිපිය හරහා වැඩිදුරටත් දන්වා තිබුණි.
ඇස්ට්‍රා සෙනෙකා එන්නත පළමු මාත්‍රාව ලබාදුන් මෙරට සංඛ්‍යාව 925,242 කි. එයිනුත් දෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස 341,541කි. තවත් ලක්ෂ හයක එන්නත් ප්‍රමාණයක අඩුවක් ඇත. කෙසේ වෙතත් ඉහත කී ආකාරයට පෞද්ගලික අංශය ඔස්සේ එන්නත් මිලදී ගැනීමට රජය සූදානම් වනවිට රජය සීරම් ආයතනය සමඟ තවත් ලක්ෂ හයක එන්නත් ලබාගැනීම සඳහා සාකච්ඡා කර තිබුණි.
එහෙත් පුදුමය නම් සීරම් ආයතනය ව්‍යවසනය හමුවේ එන්නතක මිල තුන්ගුණයකින් ඉහළ දමා තිබීමය. එනම් පළමු මොහොතේ එක් එන්නතක් ඩොලර් 5ට ලබාදුන්නත් මෙවර ඔවුන් පවසා ඇත්තේ එක් එන්නතක් ඩොලර් 15ක් වන බවය. ඩොලර් පහළොවට ලබාගන්නවා නම් සතියක් ඇතුළත එය ලබාදෙන බවටත් පොරොන්දු වී ඇත.
කෙසේ වෙතත් මේ ව්‍යවසනය හමුවේ සීරම් ආයතනය මේ ආකාරයෙන් මිල ගණන් ඉහළ දැමීම නිසා රජය දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බව සඳහන් වේ. එම එන්නත් මිලදී ගන්නවාද නැද්ද යන්න තවම තීරණය කර නොමැති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වනවිට මුළුරටම සංචරණ සීමාවට යටත්ව ඇත. පසුගිය 21 වැනිදා සංචරණ සීමා දැමීමෙන් පසුව රජයේ අදහස වුණේ නැවත 28 වැනිදා විවෘත කිරීමටය. එහෙත් 24 වැනිදා වනවිට එය දීර්ඝ වූ අතර නැවත ජුනි 7 දක්වා සංචරණ සීමා පැනවීමට රජය තීරණය කළේය. ඒ අනුව 31 වැනිදාත් ජූනි 4 දාත් සංචරණ සීමා ලිහිල්කොට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීම සඳහා අවසරය ලබාදීමට රජය මෙහිදී තීන්දු කර තිබුණි. එහෙත් එයට බොහෝ සෞඛ්‍ය අංශ විරුද්ධ වූ අතර පසුගිය 24 වැනිදා ජනතාව විශාල වශයෙන් එක්වීම නිසා 31 සහ 4 යන දෙදිනද රට සම්පූර්ණයෙන් වසාදැමීමට රජය මේ වනවිටත් තීන්දු කර ඇතැයි සඳහන් වේ. එහිදී අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ලබා ගැනීමේ ක්‍රමයක්ද ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
මේ අතර පසුගිය සතියේ ප්‍රධානම සිද්ධිය වුණේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිඳට කොවිඩ් වැළඳීමේ සිද්ධියයි. එම දෙදෙනාට සහ විපක්ෂනායක කාර්යාලයේ තවත් දස දෙනෙකුට කොරෝනා රෝගය ව්‍යාප්ත වී තිබිණි. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිඳ මේ වනවිට සිටින්නේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමිනි.
මේ වනවිට විපක්ෂය විශාල වශයෙන් ආණ්ඩුවේ කොවිඩ් මර්දන වැඩපිළිවෙළ ගැන දැඩි විවේචනයක සිටියි. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරන්නේ හමුවෙන රෝගීන් සහ මියයන ජනතාව වෙනුවෙන් ජනාධිපතිවරයා සම්පූර්ණයෙන් වගකිවයුතු බවය. එසේම සමගි ජනබලවේගයේ විපක්ෂනායක ඇතුළු පිරිස චෝදනා කරන්නේ ආණ්ඩුව කොවිඩ් මර්දන වැඩපිළිවෙළ සහ එන්නත්කරණ වැඩසටහන සම්පූර්ණයෙන් අවුල් කරගෙන ඇති බව කියාය. විශේෂයෙන් එන්නත්කරණය දේශපාලකයන්ගේ හිතවතුන්ට සීමාවී ඇති බවද එහිදී චෝදනා කළේය. කෙසේ වෙතත් රජය දැඩිව ප්‍රකාශ කර සිටියේ එවැනි කිසිම ආකාරයකින් දූෂණයක් එන්නත්කරණයේ නැති බවය.
එහෙත් ඒ සියල්ල උඩුයටිකුරු කිරීමට වැඩිකලක් ගියේ නැත. මොරටුව නගරාධිපති සමන් ලාල් මහතා එන්නත්කරණය තමන්ගේ පාලනයට ගෙන තිබෙන සිද්ධියක් පසුගියදා දැකගැනීමට හැකි විය. ඔහු තම හිතවතුන්ට ටෝකන් ලබාදී ඒ හරහා එන්නත විදීමට වෛද්‍යවරියට බලකර තිබිණි. එහෙත් ඊට වෛද්‍යවරු විරුද්ධ වූ අතර එහිදී දෙපිරිස අතර ගැටුමක් හට ගත්හ. නගරාධිපතිවරයා දිගින් දිගටම කියා සිටියේ තම ලැයිස්තුවට පිටින් එන්නත ලබාදිය නොහැකි බවය.
අවසානයේ එයට පොලිසීය මැදිහත් වූ අතර වෙනසක් නැතිව පෝලිමේ පැමිණි ආකාරයට එන්නත ලබාදීමට පහසුකම් සැලැස්වීය. කෙසේ වෙතත් මේ තත්ත්වය මාධ්‍ය තුළ ප්‍රචාරය වීමත් සමඟ දැඩි කතාබහක් ඇති විය. එහිදී නගරාධිපතිවරයාට චෝදනා එල්ල වූ අතර පසුව වෛද්‍යවරියගේ පැමිණිල්ල මත නගරාධිපති අත්අඩංගුවට ගනු ලැබීය.
කෙසේ වෙතත් මේ ආකාරයෙන් හැසිරීම ගැටලුවක් වුවත් ඒ සඳහා බලය ලබාදී තිබුණේ කොවිඩ් මර්දන කමිටුව හරහාය. එනම් ප්‍රදේශයේ නගරාධිපති, සභාපති ප්‍රාදේශීය කමිටුවේ ප්‍රධානියා විය. ඒ නිසා ඔහු මේ ආකාරයෙන් ටෝකන් ලබාදීම සිදුකර තිබූ අතර එය ඉතාම සාර්ථක ක්‍රමවේදයක් බව පසුගිය දවසක ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජෝන්ස්ටන් පෙරේරා මහතා පවා පවසා තිබුණි. එම ක්‍රමය කුරුණෑගලටද ඇතුළත් කරන ලෙස දන්වා තිබුණේය. එසේ නම් වරද කාගෙද? සමන් ලාල්ගෙද? සෞඛ්‍ය අංශවලද? නැත්නම් ඔවුන්ට බලය දුන් ආයතනද? සැබවින්ම ඔවුන්ට බලය දුන් ආයතන වගකිව යුතුය. එවැනි බලයක් දීම හරහා මේ ගැටලුව ඇතිව තිබිණි.
ලෝකයේ පවා එන්නත්කරණය සිදුකිරීමේ බලය ලබාදී තිබුණේ දේශපාලන අංශවලින් තොරව සෞඛ්‍ය අංශ වෙතය. එහෙත් ලංකාවේ දේශපාලන අධිකාරියේ විශාල මැදිහත් වීමක් දක්නට ඇත. එක පැත්තකින් එයද සාධාරණය. එනම් එන්නත් දුන් පසු තමන්ගේ පවුලේ අයට විද ගැනීමට සෞඛ්‍ය බලධාරීන් පෙරමුණ ගැනීම නිසාය. ඒ නිසා කොතන පිරිසිදුදැයි සෙවීම ගැටලුවක් මෙන්ම ප්‍රශ්නයකි.
මේ වනවිට කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාලේඛන පවා ගැටලු සහගත තත්ත්වයකට මුහුණ පා ඇත. විශේෂයෙන් ඒ මරණ සංඛ්‍යාව ගැනය. එනම් එක දිනකට වාර්තා වන කොවිඩ් මරණ ලෙස සඳහන් වන්නේ සතියක දෙකක එකතුවක් ලෙසය. ඒ අනුව දවසේ එකතුවෙන් බාගයක්ම ඇත්තේ සතියක ප්‍රතිඵලය. එසේම වාර්තාවන රෝගීන්ගේ සංඛ්‍යාලේඛනද අවුල් සහගත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි. එම චෝදනාව එල්ල කරන්නේ වසංගත රෝග ඒකකයේ ප්‍රධානී සුදත් සමරවීර මහතාට එරෙහිවය. කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ සෙසු සෞඛ්‍ය අංශ පවසන්නේ සුදත් සමරවීර මහතා නිවැරැදි තොරතුරු ලබාදෙන බවය. මේ හේතුවෙන් දැන් සෞඛ්‍ය අංශ පවා දෙකට බෙදී ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී ඇත්තටම සිදුවී ඇත්තේ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල මන්දගාමී වීමය. පී.සී.ආර්. ප්‍රතිඵල ගොඩගැසීම නිසා රෝගීන් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත් ජනාධිපතිවරයා පවා පී.සී.ආර්. වෙනුවට ඇන්ටිජන් පරීක්ෂණ වැඩිකරණ ලෙස දන්වා ඇත. එහෙත් වෛද්‍යවරුන් එයට තවම ප්‍රතිචාර දක්වා නැත. එයට හේතුවී අත්තේ ඇත්තටම මේ තුළ ඇති අත යට ගනුදෙනු නිසා යැයි චෝදනාවක්ද ඇත. ඒ සම්බන්ධයෙන් මේ වනවිට රහස් පොලීසිය මගින් පරීක්ෂණ සිදුකරනු ලබයි. සැබවින්ම මේ කොවිඩ් මෙහෙයුමේදී ආණ්ඩුවට වඩා වැඩියෙන්ම ෆේල් නිලධාරිවාදය සහ ජනතාව බව මේ සියල්ලෙන්ම ගම්‍ය වන කටුක යථාර්ථයයි .
I ගයාන් ගාල්ලගේ