පසුගිය මැයි 20 දින පටන්ගත් සංචරණ සීමා ජුනි 14 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ. ලෝකයේ වෙනත් රටවල මෙන් නොව ලංකාවේ සංචරණ සීමා යනු ඇඳිරි නීතියට කියන තවත් නමකි. පසුගිය අවුරුද්දේ කොවිඩ් වළක්වන ඇඳිරි නීතිය දැමූවද දැන් එයට සංචරණ සීමා යන වචනය භාවිතයට බලධාරීන් තීරණය කර තිබේ. මේ අතර පාසල් දරුවන් අහන්නේ සංචරණ සීමා සහ ඇඳිරි නීතිය අතර වෙනස කුමක්ද කියලාය.
කෙසේ වුවත් වෛද්‍ය විශේෂඥයන් නම් කියන්නේ අපේ සංචරණ සීමා පැනවූයේ අශ්වයා ඉස්තාලයෙන් පැනගිය පසුව බවයි. ලොක්ඩවුන් කළද කොවිඩ් රෝගීන්ගේ අඩුවක් නම් අපට තවමත් වාර්තා නොවේ. මදි නොකියන්න අවුරුදු කෑමේ රඟ දැන් රටටම ඛේදවාචකයක් වී තිබේ.
කොරෝනා වයිරස අවදානම නිසා බොහෝ වෘත්තීන් නිවසේ සිට පවත්වාගෙන යාමට බල කෙරිණි. කාර්යාලීය වැඩකටයුතු වට්ස්ඇප්, ඊමේල් හරහාත් සාකච්ඡා, සම්මන්ත්‍රණ Zoom, Skype, Messenger වැනි වීඩීයෝ සමාජ ජාල මගිනුත් සිදු කිරීමට සිදුව තිබේ.
නිවසේ සිට කළ නොහැකි ැකියා සහ විනෝදාස්වාදය සපයන කලා ක්ෂේත්‍රවලට යන එනමං නැතිව තිබෙන්නේ අවුරුද්දකට වැඩි කලක පටන්ය. ඒ අතර සිනමාවේදී අශෝක හඳගම Zoom තාක්ෂණය ඔස්සේ "ඇල්කොහොල් නැති බියර්" නම් චිත්‍රපටය පසුගිය වසරේ තැනුවේය. ඉන්දියාවේ වසංගත තත්ත්වය හමුවේ නළුනිළියන තැන්තැන්වල සිට දුරකථනවලින් චරිත ූගත කර ඒවා සංස්කරණය කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමද දක්නට ලැබුණි.
මගේ හිතවත් රාගම මිතුරෙක් තම නිවසට යාබදව වෙසෙන සමීපතම මිතුරා සමඟ පසුගිය දිනෙක මධුවිත තොලගැවේය. ඔහු සිතුවේ හොඳින් දන්නා හඳුනන මිතුරන ඇසුර අවදානමක් නැති බවකි. දින දෙකක් ගතවූ පසු ඒ මිතුරා පොසිටිව්ය. මගේ හිතවතාට දෙලෝ රත්විය. ඔහුටද පීසීආර් පරීක්ෂණ කෙරුණි. යාන්තම් ඔහු නෙගටිව්ය. කොවිඩ් නිසා දැන් පොසිටිව්, නෙගටිව්, පීසීආර්, වැක්සිනේෂන් වැනි වචන ගෙදරදොර නිතර භාවිතයට ගැනේ. මේ අතර මුහුණු පොතේ කාන්තාවක් පෝස්ටුවක් එක් කර තිබුණේ "පොසිටිව්" වශයෙනි. ඇයගෙන් බොහෝ දෙනෙක් විමසා තිබුණේ "දුවෙක්ද, පුතෙක්ද" කියාය.
කාර්යාලීය මිතුරෙක් මුහුණු පොතට පසුගියදා එක්කර තිබුණේ "ගෙදර හිටියොත් ප්‍රෙග්නන්සි ටෙස්ට් පොසිටිව් - වැඩට ආවොත් කොරෝනා පොසිටිව්" කියලාය.
දැන් ළමුන්ගේ අධ්‍යාපනයත් ඔන්ලයින්ය. ඔන්ලයින් අධ්‍යාපනයට කුඩා ළමුන්ටත් ස්මාට් ෆෝන් සින්නක්කරවම ලබාදීමට දෙමාපියන්ට සිදුව තිබේ. බොහෝ ළමුන් මේ වාසියෙන් තම මිතුරන් අතර වට්ස්ඇප් කණ්ඩායම් සකසා ඔන්ලයින් ගේම්ද පටන් ගෙන තිබේ. වෙනදා ෆාමසිවලට බේත් ගැනීමට යනවා මෙන් දැන් ඩේටා කාඩ් ගැනීමට සංචරණ නීති කඩමින් යාමට දෙමාපියන්ට සිදුව තිබේ. පසුගිය දිනෙක එසේ ඩේටා කාඩ් සොයමින් යන පියෙක් ළඟ පොලිස් වාහනයක් නතර විය. පොලිස් නිලධාරියා කීවේ ඩේටා කාඩ් අත්‍යවශ්‍ය ලෙස සැලකිය නොහැකි බවයි. අර පුද්ගලයා කීවේ එසේ නම් ළමුන් පාසල්වල ඔන්ලයින් පන්තිවලට නොයැවිය යුතු බවට නීතියක් දැමිය යුතු බවයි.
මෙවර වෙසක් දිනය ගියවරටත් වඩා අඳුරු විය. එක් පසෙකින් වැහි අඳුරය. අනෙක් පසින් රෝබිය අවදානමය. සෑම ළමයෙකුම නිවසේ සිට සිල්ගත යුතු බව පාසල්වලින් දන්වා තිබුණි. ළමුන් සිල්ගත් පින්තූරවලින් මුහුණු පොත පිරී ගියේ ඒ නිසාය. ඒ අතර කොළඹ ආනන්ද විදුහල වෙසක් නිමිත්තෙන් බැති ගී සරණියක් සංවිධානය කළේය. ළමුන් ගීත පුහුණු වී දෙමාපියන්ද සමඟ එය ගයා ූපගත කර එවිය යුතු විය. එය අගය කළ යුතු වැඬකි.
මේ අතර ගම්පහින් වාර්තා වුණේ නිරෝධායනයට ලක්කර සිටින පවුල්වලට හිමි සහන මල්ල ලබාදීමට තම නිවසට එන ලෙස පැවසූ ග්‍රාම නිලධාරීවරයකු ගැනයි. ආහාර මලු සූදානම් කළ ග්‍රාම නිලධාරිවරයා ඒ පවුල් වෙත ඇමතුම් ලබාදෙමින් තමා හමුවන ලෙස දන්වා තිබෙන අතර ඒ ගැන ජනතාව ප්‍රාදේශීය ලේකම්වරයාට පැමිණිලි කර තිබේ.
මේ අතර ලොක්ඩවුන් කාලේ බොහෝ දෙනෙකු කරන්නේ ගෙදරදොරේ වැඩ නොවේ. ස්මාට් ෆෝන් එක ළඟ තබාගෙන මුහුණු පොතේ සැරිසැරීමය. ගම්පහ පැත්තේ ගමක කිහිපදෙනකු මුහුණු පොතේ සංසරණය වූ දැන්වීමකට අනුව කොරෝනා බෙහෙතක් සාදා පානය කර කැරකිල්ල, ක්ලාන්තය වැනි රෝගවලට භාජනය වී තිබේ. වෛද්‍යවරුන්ගෙන් එයට ප්‍රතිකාර ගැනීමේදී හෙළිවී ඇත්තේ රුධිරයේ සීනි මට්ටම අඩුවීම නිසා එවැනි රෝග ලක්ෂණ ඇති වූ බවයි.
කරන්දෙණිය පැත්තේ පවුලකට ස්වයං නිරෝධානය වීමට සිදුවිණි. ඒ කොවිඩ් 19 සෘජු ආශ්‍රිතයන්වීම නිසාය. මේ නිසා පිටතට යාමට නොහැකි වීම නිසා ඒ නිවසේ කානතාව තම ටෙලර් කාඩ්පත නැගණියගේ සැමියාට ලබාදුන්නේ රහස් අංකයද සමගිනි. නැගණියගේ සැමියා ගැන එම කාන්තාවට තිබුණේ ලොකු විශ්වාසයකි. නෑනාගේ ආහාර ද්‍රව්‍ය අවශ්‍යතා ඔහු සැපිරුවේ ටේලර් කාඩ්පතින් ලබාගත් මුදල්වලිනි. ස්වයං නිරෝධායන කාලය අවසන් වුවද කාඩ්පත ලැබෙන පාටක් නොවීය. අවසානයේ ඇය එය ඉල්ලා ගත්තාය. පරික්ෂා කළ බැලූ විට එහි මුදල් සියල්ලම අවසන් වී ඇත. පසුව ආරංචි වුණේ ඔවුන් ස්වයං නිරෝධායනයට හිරවී සිටින අතර නැගණියගේ සැමියා කාඩ් පාතෙන් මුදල්‌ෙගන දිනපතාම බෝතල් සොයාගෙන පැමිණ විනෝදයෙන් කල්ගත කළ බවයි.
පෝදදල ප්‍රදේශයේ පුද්ගලයකුගේ උගුරේ මාළු කටුවක් සිරවිය. ඔහු ඩිස්පැන්සරියක් වෙත ගියේ එම මාළු කටුව ඉවත් කර ගැනීමටයි. "මේ දවස්වල රෝග අවදානම නිසා උගුර පරික්ෂා කරන්න විදිහක් නෑ. පී.සී.ආර් එකක් කරගෙන වාර්තාවත් අරන් එන්න" යැයි වෛද්‍යවරයා කීවේය. රෝගී පුද්ගලයා තරමක් සිතමින් සිට ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෙනත් වෛද්‍යවරයකු වෙත ගිය අතර ඔහු නොමිලයේම මාළු කටුව ඉවත් කර දුන්නේය.
දොම්පේ ප්‍රදේශයේ දිනපතා බීමට ඇබ්බැහි වූ පුද්ගලයෙකි. බාර් විවෘත නොකිරීම නිසා ඔහු මිතුරන්ගේ උපදෙස් පරිදි නිවසේ මත්පැන් තැනීමට පටන් ගත්තේය. කුරුම්බා වතුර තවත් දෑ සමඟ මිශ්‍ර කර මැටි මුට්ටියක් ගෑස් ලිපේ තබා රත්කිරීම ආරම්භ කළේය. නමුත් බිරිය පැමිණ ඔහුගේ මත්පැන් පෙරීමට තිත තැබුවේ මුට්ටිය විසිකරමිනි. "මේ දවස්වල ගෑස් එකක් ගන්නවත් එළියට බහින්න විදිහක නෑ. මේ මිනිහට අරක්කු පෙරිල්ල ලොකු වෙලා" යැයි ඇය බැණවැදී තිබුණ බව ආරංචිය.
කුසුම්සිරි විජයවර්ධන