2021 ජුනි 12 වන සෙනසුරාදා

රටම නොවැසුවොත් ඉවරෙටම ඉවරයි! - සෞඛ්‍ය අංශ වෘත්තිය සංගම්

 2021 ජුනි 12 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 18

මේ වනවිට පවතින්නේ නාමමාත්‍රිකව සංචරණ සීමා පැනවීමක් විතරයි. ඒ නිසා නමට පමණක් සංචරණ සීමා පැනවීමක් සිදුවෙලා තියෙනවා කියලා අපිට සතුටු වෙන්න පුළුවන්. අපිට ඒ ගැන කියන්න පුළුවන්. එය ජනමාධ්‍යවල පලකරන්න පුළුවන්. නමුත් අද දිනය වෙද්දී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනවා. ඒ වගේම බොහෝ පිරිසක් මහාමාර්ගවල ගමන් කරනවා. විශේෂයෙන් මහාමාර්ගවලට වැඩිපිරීසක් ඇතුළුමාර්ගවල ගමන් කරනවා*. යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවතින සංචරණ සීමාවන් පිළිබඳ අදහස් දක්වමින් පැවසීය.

මේ වනවිටත් බොහෝ ව්‍යාපාර අත්‍යවශ්‍ය ව්‍යාපාර බවට පත්කරමින් ඇත. තවදුරටත් අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ අත්‍යවශ්‍ය සේවා ලෙස ලේබලය යටතේ බොහෝ ආයතන සංඛ්‍යාවක් පවත්වාගෙන යනු බවය. මේ අතරේ බොහෝ ආයතනවල සියලුම කාර්යමණ්ඩල කැඳවීම් කර ඇති බවය. මේ අනුව බලාපොරොත්තු වුණු කොවිඩ් පාලනය කිරීමේ අරමුණු කරා මෙම තත්ත්වය යටතේ යා නොහැකිය.

මේ සංචරණ සීමා පැවනීමත් සමඟ රෝගීන් වාර්තා වීම අඩුවීමක් අපි බලාපොරොත්තු වුණා. නමුත් මේ පවතින තත්ත්වය යටතේ කොවිඩ් 19 පැතිරීම සඳහා ඉවහල් වන සියලුම සාධක නැවත වරක් ඒ ආකාරයෙන් රට තුළ පැවතීම නිසා මේ පවතින තත්ත්වය යටතේ රෝගීන්ගේ අඩුවීමක් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. නැවතත් මේ සංචරණ සීමා පවත්වාගෙන යන්නේ මේ ලෙස නම් එය සාර්ථක වන්නේ නැහැ. මේ නිසා කොවිඩ් මුල් අවස්ථාවේදී රට සම්පූර්ණයෙන්ම අඟුලු දමා නිරෝධායන ඇඳිරි නීතිය දමන්නට කටයුතු කලාක් මෙන් කළ යුතු බව අපි විශ්වාස කරනවා* යැයි උපුල් රෝහණ මහතා අදහස් දක්වමින් පැවසීය.

කොවිඩ් ආසාදිතයින් හා කොවිඩ් රෝගයෙන් මිය යන අයගේ සංඛාව දිනෙන් දිනම ඉහළ යාමත් සමඟ මේ වනවිට ක්‍රියාත්මක වන සංචරණ සීමා තවදුරටත් දැඩි කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපතිතුමාගෙන් ලිඛිතව ඉල්ලා ඇත.

දැනට ක්‍රියාත්මක වන සංචරණ සීමා තවදුරටත් ප්‍රතිඵලදායක වන ලෙස දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව, දිනෙන් දින රෝහල් පද්ධතියට දරාගැනීමට අපහසු වන ලෙස වැඩිවෙන රෝගීන් සංඛ්‍යාවෙන් සහ එම රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය වන ඔක්සිජන් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවන බව නිරීක්ෂණය වී තිබීමෙන් සනාථ වේ. 

දැනට නිකුත් වී ඇති සංඛ්‍යා ලේඛන අනුව 12% රෝගී වර්ධනයක් හා 28%ක මරණ වර්ධනයක් පසුගිය සතිය තුළ වාර්තා වී ඇති අතර එය අපගේ දඅඩි කනස්සල්ලට හේතු වන්නේ සෞඛ්‍ය අංශවල ප්‍රතිකාර කිරීමේ හැකියාව මෙයින් තවදුරටත් සීමා වන බැවිනි. මෙය තවදුරටත් වර්ධනය වුවහොත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී සෞඛ්‍ය අංශ ඉතා දැඩි අර්බුදයකට ලක්වීම වැළැක්වීමට නොහැකිය*. යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු ඇතුළු එම සංගමය විසින් ජනාධිපතිතුමන්ට ඉදිරිපත් කළ එම ලිපියෙහි සඳහන් කොට ඇත.

සංචරණ සීමා පනවා තිබුණද කොවිඩ් ආසාදිතයින්ගේ අඩුවක් නොවන බවත් එයට ප්‍රධාන හේතුව සෞඛ්‍ය අංශවල පවතින ඇතැම් ක්‍රියාකලාපයන් බව වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තීන්ගේ සංගමයේ සභාපති රවී කුමදේශ් මහතාද දේශයට අදහස් දක්වමින් පැවසීය.

සංචරණ සීමා පනවනවාටත් වඩා සම්පූර්ණයෙන්ම තහනමකට ලක්කිරීම තමයි මේ මොහොතේ කළ යුතු වන්නේ. මේ සංචරණ සීමා පනවා ඇත්තේ එලෙස සංචරණ සීමා පැනවිය යුතු කාල සීමාව පසු කරලයි. ලංකාවේ ඇති ප්‍රධානම දුර්වලතාවය වන්නේ ගත යුතු තීරණය ගනු ලබන්නේ මාසයකට පමණ ප්‍රමාදයකින් පසුවයි. කොවිඩ් වැනි වසංගතයක තීරණ ගනිද්දී දවස් පහක ප්‍රමාදයක් වුවත් ඉතා ඉක්මණින් වසංගතය ව්‍යාප්ත වන්නට හේතුවක් වෙනවා. අදටත් අපි පාලනය කරන්නේ අවුරුදු සමයේ රට ඇරලා මිනිසුන්ට සංචාරය කරන්නට පොලඹවලා රෝගය පාලනය වුවායැයි සිතා පී.සී.ආර් පරික්ෂණ අඩුකරලා පෙන්නා කරපු දේවල්වල ප්‍රතිපලයි. තවමත් සංචරණ සීමා කරලා තිබුණත් රෝගයේ ප්‍රවණතාවයේ අඩුවීමක් නැහැ. අද වන විට මේ ප්‍රවනතාවය සොයාගැනීම සඳහා කිසිඳු පරික්ෂණයක් කරන්නේ නැහැ. වාර්තාවන රෝගීන්ගේ පී.සී.ආර් පරීක්ෂණයන් කරනවා මිස අහඹු පරීක්ෂණ සිදුකරන්නේ නැහැ. මේ වනවිට ඕස්ට්‍රේලියාවට ඉන්දියානු ප්‍රභේදය ව්‍යාප්ත වී ඇත්තේ ලංකාවෙන් ගිය ශ්‍රී ලාංකිකයෙක්ගෙන් බව ඔවුන් සොයාගෙන තියෙනවා. නමුත් ලංකාවේ අද වන විට ප්‍රභේද සොයාගැනීම සම්බන්ධව කිසිම පරීක්ෂණයක් කරන්නේ නැහැ. ඒ එය නැවත්වීමට යම් යම් පාර්ශවයන් අනියම් විදිහට බලපෑම් කර ඇති බව වාර්තා වී තිබෙනවා.

මේ අනුව ඔවුන් පවසන්නේ හඳුනාගනු ලබන ආසාදිතයන්ගෙන් අඩුම තරමේ 1%කගේවත් ප්‍රභේද පරීක්ෂණයක් සිදු කළ යුතු බවය. මීට අමතරව විදෙස් රටවල්වලින් මෙරටට පැමිණෙන අයගෙන්ද ප්‍රභේද පරීක්ෂණයන් සිදුකිරීම ඉතා වැදගත් වේ. මේ අනුව පරීක්ෂණ ක්‍රියාවලිය නිසි පරිදි නොවීමත් ප්‍රභේද හඳුනාගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණයන් සිදු නොවීමත් හේතුවෙන් අසාදිතයන්ගේ අඩුවීමක් තවමත් දකින්නට නොලැබෙන බව ඔවුන් පවසති.

කෙසේ වුවද සංචරණ සීමා සම්බන්ධයෙන් තීරණය ගැනීම සෞඛ්‍ය විශේෂඥයින් සමඟ ඉදිරියේදී පුළුල්ව සාකච්ඡා කරන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

 දිශානි ජයමාලි කරුණාරත්න 

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03