2021 ජුනි 12 වන සෙනසුරාදා

රටම කතාකළ ගාලු පාරේ එන්නත් පොරේ

 2021 ජුනි 12 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 163

ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණයේ ඉතිහාසය 19 වැනි ශතවර්ෂය තරම් ඈත ඉතිහාසය තෙක් දිවෙන්නකි. 1986 ඉදිරිපත්වූ අනිවාර්ය ප්‍රතිශක්තිකරණයට (වසූරියට එරෙහිව) අදාළ නීතිය ගැන සඳහන් ප්‍රතිශක්තිකරණ ආඥාපනත ක්‍රියාත්මක වූ දා සිටම ලංකාව එන්නත්කරණය සාර්ථක කරගත් රටවල් අතර මුල්තැන දිනා සිටි රටකි. එසේ වුවද මෑතකදී කොවිඩ් එන්නත්කරණය සම්න්ධයෙන් රට තුළ ඇතිවූයේ අවුල් සහගත තත්ත්වයකි. එහි අලුත්ම අර්බුදය එළිදුටුවේ පසුගිය 7 දාය. ඒ ගාලු පුරේ හටගත් එන්නත් පොරේ හේතුවෙනි.

උණවටුනේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වෙතින් පසුගිය 7දා උදෑසන 6.45 සිට කොවිඩ් මර්දන එන්නත අයථා ලෙස ලබාදෙන බවට පැතිර ගිය තොරතුරක් හේතුවෙන් ඇතිවූයේ මහා කැළඹීමකි. අන්තිමේදී එය සෞඛ්‍ය බලධාරීන්ටද හිසරදයක් වූ ඔවුන්ටද තදබල විවේචන එල්ල වූ මහා පොරයක් බවට පත්වූයේ සමාජ මාධ්‍ය දෙදරවමිනි.

සිද්ධිය වාර්තා වූ ආකාරයට රට පුරා පළමු මාත‍්‍රාව ලබාගත් ලක්‍ෂ 5ක් ඉක්මවූ  ජනතාවට   දෙවැනි මාත්‍රාව ලබාගැනීම අර්බුදයක් වී තිබෙන ‘ඇස්ට්‍රාසෙනෙකා කොවිෂිල්ඩ්’ එන්නත් තොගයක් අදාළ දිනයේ ගාල්ලේදී ලබා දී තිබුණි. ඇස්ට්‍රාසෙනෙකා කොවිෂිල්ඩ් එන්නතේ 2 වැනි මාත්‍රාව එන්නත් කිරීමේ මෙම වැඩසටහනේදී පිට පළාත්වලින් (ප්‍රදේශවාසීන් කියන ආකාරයට කොළඹින්) පැමිණි විශාල පිරිසක් එන්නත් ලබාගැනීම එහිදී මහත් අර්බුදයකට හේතුවී ඇත. ගමේ පිරිස පසෙක සිටියදී කොළඹ සිට ගිය ව්‍යාපාරික පවුල්වල කිහිපදෙනකුට සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවුල්වල යැයි කියන සාමාජිකයන්ට මෙසේ එන්නත්කරණය සිදුකර ඇතැයි මේ ගැන අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා චෝදනා කර තිබුණි.

ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගන්න ලංකාවේ තවදුරටත් 580,000කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා. මේ තත්ත්වය යටතේ වෛද්‍යවරුන්ගේ නිවෙස්වල ඉන්න ඔවුන්ගේ පවුල්වල අයට එන්නත් ලබාදීම නිසා යම් අර්බුදකාරී තත්ත්වයක් පසුගිය දින කිහිපයේ නිර්මාණය වුණා. ජනමාධ්‍ය වාර්තා කරලා තිබුණා ගාල්ල උණවටුන රෝහල ආශ්‍රිතව ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදෙනවා කියලා. කොළඹ සිට පැමිණි පෞද්ගලික ආයතනවල අයට, වෛද්‍යවරුන්ගේ පවුල්වල අය, වැනි පිරිස් සඳහා එම එන්නත් ලබාදුන් බවට තමයි වාර්තා වුණේ. ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලංකාවේ නෑ කියලා යළි යළිත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් කියද්දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අනුබද්ධ ගාල්ලේ නියෝජිතයන් සතුව මේ එන්නත් තිබුණේ කොහොමද? ඒ එන්නත් පෞද්ගලික අංශයේ අයට ලබාදුන්නා නම් ඒ කොහොමද ලබාදුන්නේ. ඔවුන් නොයෙකුත් ප්‍රදේශවල ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නිදැල්ලේ තබා ගනිමින් ඔවුන්ට අවශ්‍ය අයට එන්නත් කරන ආකාරය අපිට පේන්න තියෙනවා. මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් අවශ්‍යයි.

ඇස්ට්‍රා සෙනෙකා එන්නත් තොග අවසන් යයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් දැනුම්දී තිබියදී රජයේ වෛද්‍ය නිලධාරීන් සතුව එම තොග රටපුරා සඟවාගෙන සිටින බවටද ඔහු මෙහිදී චෝදනා කළේය. මෙය රජයේ මුදල් අවභාවිතාවක් බවත් ඒ ගැන වහා පරීක්‍ෂණ ඇරඹිය යුතු බවත් ඔහු තවදුරටත් කියා තිබුණි.

පළාත් අතර දැඩි සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක සිදු වූ මේ අවභාවිතය ගැන   දැඩි විවේචන පළවූයේ සමාජ මාධ්‍යවලය. මේ සම්බන්ධයෙන් විෂයභාර රාජ්‍ය ඇමැවරයාට පාර්ලිමේන්තු විවාදයේදී උත්තර බැඳීමටද සිදුවිය. එහිදී රාජ්‍ය ඇමතිවරයා කියා සිටියේ පළාත් අතර දැඩිව ක්‍රියාත්මක වන සංචරණ නීති කඩකරමින් ගාලු ප්‍රදේශයට ගිය බස්නාහිර පළාතේ පිරිසකට ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ලබාදෙන ලදැයි කියන සිද්ධියට වගකිවයුතු සියලු නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ සිදුවීම දැනගත් වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා ගාලු ප්‍රදේශයට පිටත්කර යැවීමට පියවර ගෙන තිබෙනවා. එම විමර්ශන කණ්ඩායම එම විමර්ශන දැනටමත් අරඹා තිබෙනවා. විමර්ශන වාර්තාව ලැබුණු පසු අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.

එහෙත් රාජ්‍ය ඇමැතිවරයාගේ ප්‍රකාශය ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ දෙනෙක් දක්වන්නේද අප්‍රසාදයකි. ඔවුන් පෙන්වා දෙන්නේ මීට පෙර පිළියන්දල අගුලු දැමීමේ සිදුවීමේදී ඇමැති ගාමිණි ලොකුගේ මහතා ක්‍රියාකළ ආකාරය ගැන සෙවීට ද මෙවැනි නිලධාරීන් පිටත්කර යැවූ නමුත් තවමත් සිදුවූ දෙයක් නැති බවයි. මන්ත්‍රී ටෝකන් බෙදූ මොරටුව, කුරුණෑගල ආදී ආසන්න සිදුවීම් ගැනද ඔවුන් සිය අවධානය යොමුකර තිබුණි.

වගකිව යුතු නිලධාරීන්ගේ මෙවැනි අත්තනෝමතික ක්‍රියා වහාම නතර කළ යුතුයි. රට පුරා එන්නත්කරණ වැඩසටහන් දියත් වනවිට මෙවැනි ක්‍රියා තවත් ව්‍යාප්ත වීමට ඉඩ තිබෙනවා. එය සමස්ත එන්නත්කරණයට හානියක් යැයි සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයෙක් කියා තිබුණි.  ඔවුන් දැඩිව අවධාරණය කරන්නේ මෙවැනි අත්තනෝමතික ක්‍රියා ඉදිරියේදී නතර කිරීමට නම් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඇතුළු වගකිව යුත්තන්ට එරෙහිව වහාම දැඩි විනය පියවර ගත යුතු බවයි.
මේ ප්‍රකෝපකාරී අදහස් දැක්වීමට හේතු වූයේ කොවිඩ් – 19 සඳහා ලබාදෙන එන්නත ලංකාවේ කුමන පළාතක සිට පැමිණියත් ගාල්ලේදී ලබාගත හැකි යැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මාධ්‍ය අමතා කීමත් සමඟිනි. එය දෙබරයකට ගල් ගැසීමක් බඳු විය.

“මෙම එන්නත ලැබුණේ ලංකාවේ ජනතාවට එන්නත කරන්නයි. දැන් බොහෝ ප්‍රදේශවල දෙවැනි මාත්‍රාව ඉවරයි. නමුත් අප මනාව කළමනාකරණය කරගෙන එන්නත් කළ නිසා ඉතිරිව තිබෙනවා. එම නිසා කොහෙන් ආවත් අපි ළඟ තියෙන එන්නත් ලබා දෙනවා.” ඔහු කියා තිබුණේය.

නමුත් තමන්ට හිමි දෙවැනි මාත්‍රාව ලබාගැනීමට ගාල්ලේ ප්‍රදේශවාසීන්ට නොහැකි වෙද්දී, කොළඹින් පැමිණි පිරිසකට එන්නත ලබාගැනීමට හැකිවීම ගැන ප්‍රදේශවාසීන් ප්‍රකෝප වී තිබුණි. ගාල්ලේ මේ “කොළඹට කිරි” ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දැඩි චෝදනා එල්ලවූයේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාටත් වඩා දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ වෙනුර සිංගාරච්චි වෙතටය.

මේ අතර මේ සිදුවීම ගැන අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැහැදිලි කළේ ඉතිරි කරගත් හෝ අතිරික්ත එන්නත් තිබුණා නම් ඒවා යළි වසංගත විද්‍යා අංශයට හෝ ආමාත්‍යාංශය වෙත ලබාදිය යුතුව තිබූ බවය. ඉන්පසු නිසි ක්‍රමවේදයක් අනුව තෝරා බේරා බෙදාදිය යුතුව තිබූ බවය. ගාල්ලේ මෙබඳු අතිරික්තයක් ඇති බව මේ සිද්ධිය වනතුරු වාර්තා වී නොතිබූ බවද ඔහු කීවේය.

සමාජ ක්‍රියාකාරීන් කිහිප දෙනකුම මේ ගැන කීවේ කොළඹින් ගොස් අදාළ එන්නත් ලබාගත් පුද්ගලයන්ටද එරෙහිව සංචරණ නීති කඩකිරීම සම්බන්ධයෙන් නඩු පැවරිය යුතු බවයි.

ඇස් පනාපිටම පළාත් අතර සංචරණ නීති කඩකළ පිරිසක් දැන් ඉන්නවා. ඔවුන් පිට පළාත්වලින් ගාල්ලට ගිහින් එන්නත් ලබාගෙන තිබෙනවා. ඒ කියන්නේ පළාත් අතර සංචරණ නීති කඩකරලා. ඔවුන්ව පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. එක නීතියක් තිබෙනවා නම්, සංචරණ නීති ගැන ඔච්චර උනන්දු නම් අනික් අයට පාඩමක් ඉගෙන ගන්නත් එක්ක ගාල්ලේ එන්නත් හොරා කන්න ගිය කොළඹ ඉහළ පන්තියේ අයට නීතිය ක්‍රියාත්මක කරන්න. මොකද මේ ගිහින් තියෙන්නේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි සමාජයේ ඉහළ මට්ටමේ යමක් කමක් ඇති අය. ඔවුන් තමයි සංචරණ නීතිය බල්ලට දාලා බාල් නටන්නේ.

මහ දවාලේ තවකෙකුගේ ජීවත්වීමේ අයිතිය සංවිධානාත්මකව ඇති හැකි අය විසින් කඩා පැන කොල්ලකෑමක් හැටියට මේ සිද්ධිය සමාජ මාධ්‍ය තුළ අනාවරණය කර තිබුණි. අදාළ සිදුවීම පිළිබඳ සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය මේ වනවිටත් ගාල්ල ප්‍රදේශයට ගොස් ඇතැයි පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වනවිටද වාර්තා වී තිබුණි.

 සුගත් පී. කුලතුංගආරච්චි