2021 ජුනි 26 වන සෙනසුරාදා

කොවිඩ් එක්කම ළමයින්ට හැදෙන අලුත් ලෙඩේ

 2021 ජුනි 26 වන සෙනසුරාදා, ප.ව. 04:00 216

කොවිඩ් වසංගතය සමඟ අත්වැල් බැඳ ආ සමහර අමුතු රෝග ගැන මේ වනවිට අපට කිහිපවිටකදීම අසන්නට ලැබී තිබේ. නිදන්ගත රෝග ඉහළයාම මෙන්ම කවසාකි රෝගය, දිව ඉදිමීමේ රෝගය සහ මෑතකාලීනව අසන්නට ලැබුණ කළුදිලිර රෝගයද ඒ සඳහා නිදසුන්ය.

ඒ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී සුව වූ ළමුන් අතර පැතිර යන අලුත් රෝගයක් පිළිබඳව පසුගියදා වාර්තා විය. මෑතකදී ඉන්දියාවෙන්ද ඊටත් පෙර 2020දී එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවලින්ද වාර්තා වී ඇති එම රෝගය දැන් මෙරට දරුවන් තුළද ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අඟවා තිබේ.

සිරුරේ ඉන්ද්‍රියන් සහ පද්ධති ඉදිමීම නොහොත් බහු ඉන්ද්‍රීය ආසාදන රෝගය හෙවත්   මල්ටි සිස්ටම් ඉන්ෆ්ලමැට්රි සින්ඩ්‍රෝම් MIS C ලෙස එම රෝගය හඳුන්වන අතර ළමුන්ගේ වකුගඩු, පෙනහළු සහ මොළයට ඉන් බලපෑම් එල්ල වන බව ආනාවරණය වී ඇත. රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා රෝගයේ රෝග ලක්ෂණ මෙසේ විස්තර කළේය.

මේ නිසා ඇතිවෙන උණ සාමාන්‍යයෙන් දවස් 04ක් විතර පවතිනවා. කොවිඩ් සුව වූ පසුත් උණ පැවතීමට හැකියි. ඇස් රතු වෙන්න පුළුවන්. බෙල්ලේ වසා ගැටිති ඉදිමෙන්න පුළුවන්. තොල, දිව රතු වෙන්න පුළුවන්, හමේ රතු ලප ඇති වෙන්න පුළුවන්. පෙනහළුවලට බලපෑමක් ඇති වුණොත් හුස්ම ගැනීමේ අපහසුව, කැස්ස වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. අක්මාවට බලපෑම ඇති වුණොත් බඩ ඉදිමිලා එන්න පුළුවන්. ආහාර අරුචිය ඇති වෙන්න පුළුවන්. ඇස් කහපාට වෙන්න පුළුවන්. වකුගඩුවලට බලපෑම ඇති වුණොත් මුත්‍රා තද පාටට යන්න පුළුවන්. මුත්‍රා දැවිල්ල ඇතිවෙන්න පුළුවන්. මුත්‍රා යන ප්‍රමාණය අඩුවෙන්න පුළුවන්. මේකත් එක්කම හෘදය වස්තුවට බලපෑම් ඇති වෙන්නත් පුළුවන්. එතැනදී අපේ රුධිර පීඩනය අඩු වෙන්න පුළුවන්. අර ඔය වගේ දේවල් නිසා හිසරදය, ලෙඩ පාටට ඉන්නවා දරුවෝ. වැඩ කරන්නේ නැතුව පණ නැතුව වගේ උණත් එක්ක. එහෙම තත්ත්වයක් දැක්කොත් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හරි, රෝහලක් වෙත හරි දරුවව ගෙනියනවා නම් හොඳයි. ඉක්මනට පැමිණෙන්න. ගොඩක් පහුවෙලා ආවොත් තමයි සමහරක් වෙලාවට අපිට බේරා ගන්න අමාරු වෙන්නේ.

කොවිඩ් වැළඳුණු හෝ ඒ ආශ්‍රිත පවුල්වල අවුරුදු 8-15 අතර දරුවන්ට මේ රෝගය වැළඳී තිබෙන අතර රෝගය වැළඳීමේ හේතුව ලොව මෙතෙක් සොයාගෙන නැතැයි පවසන රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා, මේ අමුතු රෝගය ගැන තවදුරටත් පැහැදිලි කර ඇත්තේ මෙසේය.

මෙය කෝවිඩ්වල සංකූලතාවයක් හැටියට සැකකරනවා. පහුගිය සති දෙක තුනේ තමයි අපි මේක දකින්න පටන් ගත්තේ. අවුරුදු පහයි පහළොවයි අතර ළමයින්ට කෝවිඩ් හැදිලා සමහරක් වෙලාවට කෝවිඩ් රෝග ලක්ෂණ නොතිබෙන්න පුළුවන්. සමහර අයට කෝවිඩ් රෝග ලක්ෂණ තිබිලා වෙන්න පුළුවන්. සති දෙකකට විතර පස්සේ ඒ දරුවන්ට කොවිඩ්වලට ඇඟේ ප්‍රතිදේහ හැදෙනවනේ. සාමාන්‍යයෙන් සති දෙකක් විතර යද්දී මේ ප්‍රතිදේහ නිසා යම්කිසි ප්‍රතික්‍රියාවල් ඇතිවෙලා බහුවිධ ඉන්ද්‍රියයන් කීපයකට බලපෑමක් ඇතිවීම තමයි එතැනදී වෙන්නේ. විශේෂයෙන්ම වැඩිපුර අපි දකින්නේ අක්මාවට, වකුගඩුවලට, පෙනහළුවලට, මොළයට ඊට අමතරව හමට ඒ වගේ ඉන්ද්‍රියයන් කීපයකට රෝගය ඇතිවෙනවා කියලයි.

ඉහත කී රෝග ලක්ෂණ දවස් 14කට පසුත් දරුවන් තුළ පවතී නම් වහාම දැඩි සත්කාර වෙත යොමුකර ප්‍රතිකාර කිරීම සිදුකළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා අවධාරණය කරන්නේ.

රිජ්වේ ආර්යා ළමා රෝහල දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් සී. කිතුල්වත්ත ළමයින්ට විතරක් වැළඳෙන ප්‍රතිශක්තියත් එක්ක බැඳුණු රෝගී තත්ත්වයක් ලෙස හඳුන්වා දෙමින් මේ ගැන අදහස් පළකළේය. කොළඹට අමතරව වැලිමඩ, කුරුණෑගල, කරාපිටිය, වලස්මුල්ල වැනි මෙරට ප්‍රදේශ කිහිපයකදී එම රෝගයට ගොදුරු වූ දරුවන් වාර්තා වූ බව ඔහු පෙන්වා දෙයි. මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය තුළ දරුවන් 4 දෙනකු ප්‍රතිකාර ලබන අතර තවත් 20 දෙනකු පමණ ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇතැයි ඔහු “දේශයට” පැවසීය. බොහෝ විට දරුවන්ට කොවිඩ් වැළඳුන විට ඒගැන හඳුනා ගැනීමට අවශ්‍ය මූලික රෝග ලක්ෂණ නොපෙන්වන බවත් ඒ නිසා මේ රෝගයට ගොදුරුවන දරුවන් කලින්ම වෙන්කර හඳුනාගැනීම අපහසු වී ඇති බවත් ඔහු කියයි. මේ නිසා රෝහල් ගතව සිදුකරන වෛද්‍ය පරීක්ෂාවකින් එය හඳුනාගතයුතුව ඇතැයි ඔහු පෙන්වා දෙයි.

රිජ්වේ ආර්යයා ළමා රෝහල දැඩි සත්කාර ඒකකය භාර වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නලින් සී. කිතුල්වත්ත මේ රෝගයේ ඇති භයානක කම “දේශය” පාඨතයන් වෙනුවෙන් මෙසේ විස්තර කර දුන්නේය.

මේ රෝගය අපට අලුත් රෝගයක්. හැබැයි ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ එංගලන්තයේ තමයි මුලින්ම මතුවුණේ. දැන් අපිට පේනවා ලංකාවටත් මේ රෝගය ඇවිල්ලා කියලා. මේක ලංකාව පුරාම පැතිරෙන්න ඉඩ තියෙනවා. දෙමව්පියන්ට කියන්න තිබෙන පණිවිඩේ තමයි මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවෙන්න. මොකද පරක්කු කරනවා කියන්නේ අපි ළමයාගේ ජීවිතය අනතුරේ හෙලනවා කියන එක. 

මේ රෝගී තත්ත්වය එහි නමින්ම කියැවෙනවා, මල්ටි සිස්ටම් ඉන්ෆ්ලමැට්රි සින්ඩ්‍රෝම් ඉන් චිල්ඩ්‍රන්- Multisystem Inflammatory Syndrome in Children, කියලා ඒ කියන්නේ මේක ළමයින්ට විතරක් වැළඳෙන රෝගී තත්ත්වයක් විදියට තමයි දැනට වාර්තා වෙන්නේ. දරුවන්ට මේ කොවිඩ් බලපාලා තියෙන්නේ මේ විදියටයි. දරුවන්ට දැඩි සත්කාර ඒකක අවශ්‍ය වෙන තරමට අමාරුවෙලා තියෙන්නේ මෙන්න මේ නව රෝගී තත්ත්වය නිසා මේක ඇත්තටම ප්‍රතිශක්තියත් එක්ක බැඳුණු රෝගී තත්ත්වයක්. කොරෝනා රෝගයට විරුද්ධව අපේ ඇඟෙන් හැදෙන ප්‍රතිශක්තිය පසුව අපිටම රෝගයක් බවට පත්වෙලා තිබෙන ගතියක් තමයි මෙයින් පෙනෙන්නේ. මේකේ භයානක තත්ත්වය තමයි හෘද වස්තුවට බලපාලා සමහර වෙලාවට මියයාමට පවා ඉඩ තිබීම.

මෙම පශ්චාත් කෝවිඩ් සින්ඩ්‍රෝමය එය ආසාදනය වූ දරුවන් තුළ රුධිර පීඩනය අඩු කිරීමෙන් හෘදයට බලපෑමට හැකි අතර මෙය ඊටත් වඩා මාරාන්තික විය හැකි වඩාත් බරපතල සංකූලතා ඇති කළ හැකි බව ඔහු අවධාරණය කළේය. තම දරුවන්ට මෙම නව සින්ඩ්‍රෝම් රෝග ලක්ෂණ මතු වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ඔහුද දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.

 සුගත් පී. කුලතුංගආරච්චි

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03