2021 ජුනි 26 වන සෙනසුරාදා

කාබනික ගොවිතැන මසුරන් වටිනවා: ඒත් හදිස්සියේ බැහැ

 2021 ජුනි 26 වන සෙනසුරාදා, ප.ව. 04:00 375

- නවරත්න හෙට්ටිආරච්චි
සමස්ත ලංකා සහ නුවරඑළිය කෘෂිකර්ම සමුපකාර සභාපති

රජකමට දෙවැනි නොවන ගොවිකමේ සුරුවිරුකම් පාන සැබෑ ගොවියකු අපි හමු වීමු. මේ වනවිටත් මහපොළොවේ අක්කර 18ක පමණ බිම් කඩක කාබනික වගාව සිදුකරන හෙතෙම වෘත්තියෙන්ම ගොවියෙකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයද හදාරා කලක බැංකු ක්ෂේත්‍රයේද රුකියාවක නියුතුව ඇති මෙම ගොවි මහතා නමින් නවරත්න හෙට්ටිආරච්චිය. ඔහු මේ වනවිට සමස්ත ලංකා සහ නුවරඑළිය කෘෂිකර්ම සමූපකාර සමිතියේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. නවරත්න මහතා සමඟ අප කතාබහ කළේ රසායනික පොහොර තහනම සහ කාබනික වගාව පිළිබඳවය. එය ඉතා දීර්ඝ හරවත් සංවාදයක් වූ නිසාවෙන්ම එහි හරය මෙසේ සංක්ෂිප්ත කොට ඔබ හමුවේ තබමු

කාබනික ගොවිතැන මෙරට තුළ ස්ථාපිත කිරීමට නම් පළමුව පස වෙනස් කිරීමට පෙර ගොවියාගේ මනස වෙනස් කළ යුතුව තිබේ. ගොවිතැනට වස විස භාවිතා කරන්නට පටන් ගත්තේ හරිත විප්ලවයත් සමඟයි. මිනිසුන් නසන්නට යුද්ධයේදී භාවිතා කළ උපක්‍රම ඔවුහු සතුන් නසා ගොවිතැන් කරන්නට භාවිතා කළෝය. අවසානයේදී එය හැටේ දශකය වනවිට ලොව පුරා ප්‍රචලිත විය. මෙරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවද ආණ්ඩුවල උවමනා එපාකම් අනුව පොහොර භාවිතය සහ වස විස භාවිතය ගොවීන් අතරට රුගෙන ගියේය. අපේ ගොවියන් මීට සූදානම් වී සිටියේ නැත. ඔවුනට අනාදිමත් කාලයක් පුරා භාවිතා කළ පාරම්පරික උපක්‍රම තිබුණි.

එම නිසාම රසායනික ගොවිතැන ප්‍රචලිත කිරීම උදෙසා මෙරට අධ්‍යාපන ක්‍රමයේ විශාල පරිවර්තනයක් කිරීමට පාලකන්ට සිදුවිය. එහි ප්‍රතිඵලක් ලෙස අද වනවිට පාසල් පද්ධතියේ සිට විශ්ව විශ්වවිද්‍යාල පද්ධතිය දක්වාම කෘෂිකර්මය කියා උගන්වන්නේ රසායනික ගොවිතැන පිළිබඳවයි. දශක පහක් පුරා පැවති මෙම ඉගෙනුම් ක්‍රියාවලිය නිසාවෙන්ම රසායනික ගොවිතැන ජන මනසට ඉතා කෘෂිකර්මය හසුරවන්නේද මෙම අධ්‍යාපනය තුළින්ම බිහිවූ බලධරයෝය. එම නිසාවෙන්ම මේ වනවිට සාම්ප්‍රදායික ගොවිතැන පිළිබඳව බලධාරීන්ට සේම ගොවි ජනතාවටද විශ්වාසයක් නොමැත.

මෙවන් තත්ත්වයක් පවතින රටක මිනිසුන්ට හිටිහැටියේම රසායනික ගොවිතැන අතහරින්නට යැයි කීම කොතරම් ප්‍රායෝගිකද යන්න ගැටලු සහගතය. මෙය ආණ්ඩුව අදියර කිහිපයක් ඔස්සේ ක්‍රියාවට නැංවිය යුතුව තිබූ තීරණයකි. පළමුව අධ්‍යාපන පාඨමාලා තුළට කාබනික ගොවිතැන ඇතුළත් කළ යුතුව තිබුණි. කෘෂිකර්මය හදාරන දරුවන් ගුරුවරුන් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් තුළ පවා කාබනික ගොවිතැන පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිව මෙම පරිවර්තනය සිදු කිරීම පහසු නොවේ. දේශපාලකයන් කථිකයන් පැමිණ දශක ගණනක් රසායනික ගොවිතැනට හුරු වී සිටි ගොවියාව එකවර වෙනස් කිරීමට දරන උත්සාහය අසාර්ථකය.

කෙසේ නමුත් රසායනික ගොවිතැනින් මිදී කාබනික ගොවිතැන කරා ගමන් කිරීම කවදා නමුත් සිදුවිය යුතුව තිබූවකි. කෘෂිකර්මාන්තයට වසවිස භාවිත කිරීම හේතුවෙන් අපගේ මුළු පරිසර පද්ධතියම විශාල අවදානමකට ලක්ව තිබේ. රසායනික ගොවිතැනේදී සිදුවන්නේ අප පමණක් රුකෙන්නට සිතා සියලු සතුන් නැසීමයි. එහෙත් අවසානයේදී අපද එම විනාශයේ ගොදුරක් බවට පත්වේ. එසේ නමුත් අප මතක තබා ගතයුත්තේ මෙම රසායනික ගොවිතැන පාලකයන් ගොවීන් මත ක්‍රමිකව බලෙන් පැට වූවක් බවයි. එම නිසාම වර්තමානයේදී පාලකයන් රසායනික ගොවිතැන් ගොවීන් ඈත් කරන්නේ නම් එයද යම් කාලයක් ලබාගෙන සිදුකළ යුත්තකි. මෙය වසර තුනක පමණ කාලයක් ලබාගෙන කන්නයෙන් කන්නයට පොහොර ගෙන ඒම අඩුකොට ගොවීන් කෘෂි කර්මාන්තය ආශ්‍රිතව කටයුතු කරන සෙසු ප්‍රජාවද දැනුවත් කරමින් සිදුකළ යුතුව තිබූවකි.

රසායනික පොහොර භාවිතය සමගම අප හමුවට පැමිණි තවත් ව්‍යසනයක් වන්නේ පළිබෝධ නාශක භාවිතයයි. මේවා භාවිතා කිරීමටද සිදුව ඇත්තේ රසායනික පොහොර භාවිතය ප්‍රතිඵලක් ලෙසය. කෘත්‍රිම ලෙස ගහකොළ වර්ධනය වීමත් සමග පලිබෝධනාශක භාවිතා කිරීමට ගොවීන්ට සිදුවේ. පොහොර භාවිතය ක්‍රමයෙන් අඩු කරගත හැකිනම් මෙවන් වස විසද ගොවිතැන් ක්‍රමයෙන් ඈත්වනු ඇත. කාබනික ගොවිපළවල් පවත්වාගෙන යනවිට කිසිදු සත්ත්වයකුට හානියක් සිදු නොවේ. ස්වභාවික ජෛව චක්‍රය ඔස්සේම ගොවිතැනට වන හානි වළක්වා ගත හැකි වේ.

රසායනික පොහොර යෙදූ විට පසේ සංයුතිය සම්පූර්ණයෙන්ම වෙනස් වේ. පළමුව පස මරා කෘත්‍රිමව ඊට අවශ්‍ය පෝෂක ලබාදීම මෙම පොහොර භාවිතයේදී සිදුවෙයි. ගසකට රසායනික පොහොර හුරු කළ පසු එම ගස කම්මැලියකු වෙයි. මූල පද්ධතිය ආහාර සොයා ගමන් කරන්නේ නැත. කම්මැලිකමට හැදුනු දරුවකු සේ ආහාර ගෙන මහත් වී අවසානයේදී මේ ගස් ලෙඩ වෙයි. එවිට ප්‍රතිකාර ලබාදීමට සිදුවන්නේද කෘත්‍රිමවය. පළිබෝධනාශක අද රසායනික ගොවිතැනට අත්‍යවශ්‍ය සාධකයක් වී ඇත්තේ මේ අනුවයි. කාබනික ගොවිතැනේදී අප පුරුදු කරන්නේ ගවලට තමන්ට අවශ්‍ය ආහාර සොයාගෙන කෑමටයි. එවිට එම ගස් ශක්තිමත්ව පරිසරයට ලෙඩ රෝගවලට ඔරොත්තු දෙයි.

රසායනික ගොවිතැනෙන් කාබනික ගොවිතැනට මාරු වනවිට පැහැදිලිවම බීජ වර්ග පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුය. රසායනික ගොවිතැනේදී ඊට පුරුදු පුහුණු කළ බීජ වර්ග තිබේ. ලෙඩ රෝග හැදුණාට ගැටලුවක් නොමැති නිශ්චිත ඵලදාවක් ලබාදෙන එම බීජ වර්ග බොයිලර් කුකුල් පැටවුන් වැනිය. දින විසි අටකින් මරාගෙන කෑම සඳහා ඔවුනට කෘත්‍රිමව පෝෂණය ලබාදෙති. රසායනික ගොවිතැනේදී ද වගාවට කෘත්‍රිමව පෝෂණය ලබාදෙන නිසා ඒ සඳහා භාවිතා කරන බීජද ඊට අනුරෑපීය. එම නිසාවෙන් කාබනික වගාවන් සඳහා අප ගමන් කරන්නේ නම් ඊට සුදුසු බීජ වර්ග ගොවියන්ට ලබාදිය යුතුය. එසේ නොවුණහොත් ගොවීන් අසරණ වී ණයගැතියන් බවට පත්වේ. ඒ සඳහා බීජ වර්ග නිර්මාණය කිරීමට මෙරට තුළ පරීක්ෂණ කටයුතු පැවැත්වීම අත්‍යවශ්‍යය. එය ක්ෂණිකව කළ හැක්කක් නොවේ.

කාබනික ගොවිතැන කරා ගමන් කිරීම නොකළ යුත්තක් යැයි නොකියමු. එය කාලය ගෙන සිදුකළ යුත්තකි. මරා දමා ඇති පසෙහි ජීවය ඉපදවීමටද කාලයක් ගතවේ. අප පස සුවපත් කළ යුතුව ඇත. කාබනික ගොවිතැනින් භෝග අපනයනය කරන විට ඊට අදාළ ප්‍රමිතියක් තිබේ. අවම වශයෙන් වසර දෙකක්වත් රසායනික පොහොර නොයෙදූ වගාබිම්වල අස්වනු අපනයනය සඳහා යොමුකළ යුතුය. ඒවා වසර දෙකේ සීමාව තුළින්ම අපට යමක් අවබෝධ කරගත හැකිය. මෙම කටයුත්ත සාර්ථක කැර ගැනීමට වසර දෙක තුනක් අවැසිමය. කෙසේ නමුත් කාබනික ගොවිතැනට ලෝකයේ විශාල ඉල්ලුමක් පවතී. එම නිසාම කාබනික ගොවිතැන සාර්ථක වීම තුළින් වෙළඳපොළ ගැටලුවක් ඇති වේ යැයි කිව නොහැකිය. මුළු රටේම මිනිසුන්ට කාබනික ගොවිතැනට හුරුවේ නම් මේ දිවයින ස්වර්ණ දීපයක් වනු ඇත.

විදේශයන්වලින් කාබනික පොහොර ආනයනය කරන බවට පසුගිය දිනවල සිදු වූ කතාබහද ඉතා බරපතළය. මෙරට ශාක සංරක්ෂණය වෙනුවෙන් නිරෝධායන ක්‍රමවේදයක් තිබේ. මෙරටට ශාකයක් පස් ටිකක් රුගෙන ඒමට නොහැකිය. වෙනත් රටවලින් වගාවන්ට හානි කරන විවිධ ක්ෂුද්‍ර ජීවීන්, ලෙඩ රෝග මෙරටට පැමිණීම වළක්වා ගැනීම එහි බලාපොරොත්තුවයි. ජීවයක් සහිත පොහොර රුගෙනවිත් පරීක්ෂාකර බැලීමට අපට ක්‍රමවේදයක් ඇද්දැයි පැහැදිලි නැත. අප රට සතු සම්පත් භාවිත කරමින් පොහොර හැදිය හැකි නම් එය ඉතා යහපත්ය. එහෙත් ඊට මෙරට සත්ව පාලනය ආදී තවත් ක්ෂේත්‍ර රුසක් සැලසුම් සහගතව හසුරවා ගත යුතුවේ. ඒ ඉතා අවබෝධයෙන් සිදුකළ යුත්තකි.

මේ දිනවල කාබනික වගාවට පිවිසීමත් සමඟ යම් අලාභයක් සිදුවුවහොත් ගොවීන්ට සහන ලබාදෙන බව කියැවේ. කෙසේ වෙතත් මේතාක් මේ රට ගොවීන්ට සිදුවන පාඩු පිළිබඳ නිශ්චිත තක්සේරුවක් කිරීමට ක්‍රමවේදයක් පවා නොමැත. මෙය ගොවීන්ගේ ජීවිත සහ බලාපොරොත්තු සමඟ සිදුකරනු ලබන ගනුදෙනුවකි. කාබනික ගොවිතැන කරා ගමන් කිරීම විශාල සැලසුමක් සහිතව සිදුවිය යුත්තක්මය. මන්දත් මෙරට සමස්ත ගොවිතැනේ අනාගතයම මෙවන් තීරණ මත රඳා පවතී. මේ වනවිටත් මෙරට ගොවිතැන භාර භාරගැනීමට දෙවන පරපුරක් නොමැත. මෙම තීරණයක් හේතුවෙන් ගොවීන් තවදුරටත් අසරණ වුවහොත්, ණයගැතියන් බවට පත් වුවහොත් අනාගතයේදී කිසිවෙක් ගොවිතැනට යොමුවේ යැයි සිතිය නොහැකිය. අප සංවාදයේ යෙදී සිටින මේ මොහොතේ ගොවියන් හමුවේ ඇති ජීවන අභියෝග අප්‍රමාණය. අද ගොවිතැනේ දුක හඳුනන දෙමව්පියෝ තම දරුවන්ට හෙට ගොවිකම පවරා නොදෙති.

කෙසේ නමුත් අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ ගොවිතැන මෙන්ම රටම සුවපත් කරන්නට කාබනික වගාවට ගොවියා යොමුවීම ස්ථිර වශයෙන්ම සිදුවිය යුත්තකි. එය කළ නොහැක්කක්ද නොවේ. එහෙත් ඊට දැනුම මෙන්ම සැලසුම්ද එසේම කාලයද අවැසිය. එසේම ගොවියාට සංවේදීව අවබෝධයෙන් සියල්ල සිදුකළ යුතුවේ.

සංවාද ඇසුරින් සටහන
 චමිඳු නිසල් ද සිල්වා