2021 ජුනි 26 වන සෙනසුරාදා

ගෙවත්තේ පළතුරු නෙලන රොබෝලා

 2021 ජුනි 26 වන සෙනසුරාදා, ප.ව. 04:01 31

ගෙවත්තේ පළතුරු ගහක් දෙකක් වවන්නට අපට කැමැත්තක් තිබේ. සාරවත්ව වගාකර අවසානයේදී පළතුරු අස්වැන්න නෙලන කාල වකවානුවේදී වෙනත් ගැටලු මතුවෙයි. ගහකට නැග පළතුරු නෙලාගන්නට ශ‍්‍රමිකයෝ නැත. සමහර අවස්ථාවල ගොවියන්ට සිය ගොවිපොළ කරගත නොහැකි වෙයි. අතින් නෙලා ගතයුතු බව බෝග නිසි වෙලාවට ලබාගැනීමට අවහිරතා ඇතිවෙයි. කලට වේලාවට නෙළා නොගතහොත් අස්වැන්න අපතේ යයි. නුපුහුණු ශ‍්‍රමිකයෝ හොඳට පැසුණු පමණක් නොව නොපැසුණු අස්වැන්න පවා එකවර කඩා දමති. සෑහෙන කොටසක් නිරපරාදේ අපතේ යන සිද්ධි නිතර වාර්තාවෙයි. ගහේ ඉදී සුවඳ හමන පළතුරක් ගෙවත්තෙන් නෙළාගෙන අතුරුපසට එකතු කරගන්නට තරමට තාක්ෂණය දියුණු වී තිබේ. අස්වැන්න තෝරා බේරා වෙළඳපොළට යැවිය හැකි හොඳම දේ පමණක් වෙන්කර නෙළාගත හැකි ක‍්‍රම ඇත. 

නිවසේ තබාගත හැකි සරල රොබෝවරයෙකු නිපදවා ඇති අතර පද්ධතියට දත්ත ඇතුළු කිරීමෙන් පසු තෝරාගෙන අස්වැන්න කඩා ගැනෙයි. මහා පරිමාණ වගා බිම්වලට පවා මෙම රොබෝවරු යෙදවිය හැකිය. ඉතාම දියුණු කැමරාවක් මෙම රොබෝ උපකරණයට සවිකර ඇති අතර එක ගහක් අත් නොහැර සියලුම පැතිවලින් සොයා බලා අස්වැන්න එකතු කර දෙන්නට සමත්ව තිබේ. අස්වැන්න නෙලා ගැනීමෙන් පසු නැවතත් ශ‍්‍රමය යොදා නිසි පරිදි තෝරා වෙන් කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගී. 

බ්‍රිතාන්‍ය විශ්ව විදයාලයක් මෙම සොයා ගැනීම කර තිබේ. දැනට පර්යේෂණ මට්ටමින් අත්හදා බලන අතර නුදුරු කාලයේදී වානිජ මට්ටමින් නිපදවනු ඇත. ත්‍රිමාණ ද්‍රෘෂ්ඨියක් සහිත කැමරාවක් මෙම රොබෝවරයාට සවිකර ඇත. මීටර් දෙකක් පමණ උස අතර සවිකරන ලද රෝදවලින් හරිතාගාරය තුළ සංචාරය කළ හැකිය. නෙළාගත යුතු දෙය තෝරා ගැනීම තත්ත්පර දහයක් ඇතුළත තීරණය කරගත හැකි බව දැක්වෙයි. දලනය කළ හැකි කැමරාව නෙලාගත යුතු අස්වැන්න තීරණය කරන අතර කුඩා අඩුවක් විහිදුවා පසුව එය නිශ්චිතව අසුරා ගැනේ. මිනිස් උපකාරයක් රහිතව දිනකට බැය විස්සක් දක්වා එක දිගට වැඩ කළ හැකි අතර එය විශාල ප‍්‍රයෝජනයක් වී තිබේ. 

යුරෝපා කලාපයේ රටවලට තාවකාලික ශ‍්‍රමය සීමාසහිත බව වාර්තා වෙයි. විශේෂයෙන් බ්‍රෙක්සිට් තීරණයෙන් පසු අලූත් තත්ත්වයක් උද්ගත වී ඇත. කලින් රුමේනියාවෙන් හා පෝලන්තයෙන් පැමිණී ශ‍්‍රමය අඩුය. එක කලාපයක් වශයෙන් පැවැති කාලයේ වීසා රහිතව එන අඩු ආදායම් ලාභීහු අස්වනු නෙලන කාලයේදී ගොවියන්ට මහත් සේවයක් සලසයි. නමුත් යුරෝපා හවුලෙන් ඉවත් වූ පසු බි‍්‍රතාන්‍යයේ ගොවියන්ට සෑහෙන ප‍්‍රශ්න මතු වී තිබේ. අනෙක දැන් පවතින දැඩි සංචරණ නීති තත්ත්වය තවත් අසීරු කරන ලද බව අනාවරණය වෙයි. ශ‍්‍රම හිඟයට කදිම විසඳුමක් බව දැක්වෙයි. 

කෘෂිකාර්මික අංශය වේගයෙන් වෙනස් වෙමින් තිබේ. අතීතයේ දී ගොවිපොළට බැස මඩ තවරාගෙන කරන වගාව දැන් යල් පැන ගිය තැනට පත්වන ලකුණු විද්‍යමාන වෙයි. අනාගතයේදී ගොවියෝ මහපොළව ස්පර්ශ කිරීමක් රහිතව ගොවිපොළවලින් එළවළු, පළතුරු ඇතුළු බව භෝග නිෂ්පාදනය කරන්නට බොහෝ දුරට ඉඩ තිබේ. බ්‍රිතාන්‍ය පර්යේෂකයෝ කෘතීම රොබෝයන්ත‍්‍ර යොදවා අස්වනු නෙලන අතරවාරයේ දී චීනය මිනිස් ශ‍්‍රමයක් රහිත කෘතීම බුද්ධියෙන් සම්පූර්ණයෙන්ම පාලනය වන ගොවිපොළ ඉදිකරන සැලසුමකය. යාන්ත‍්‍රික ට්‍රැක්ටර්වලට පරිගණක සවිකර ඇත. ලැබෙන නියෝග අනුව භූමිය අස්වද්දන්නට සමත්ය. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයේ පර්යේෂණ  කණ්ඩායමක් ගොවිබිමට ගැලපෙන තවත් රොබෝවරු විශේෂයක් නිපදවා තිබේ. මහාචාර්ය ජර්මනියේ පැවැති සම්මන්ත‍්‍රණයක දී සියලු අනාවරණ සිදුවිය.  ඕස්ට්‍රේලියාව අලුතින් නිර්මාණය කර ඇති රොබෝවරු ගොවිපොළ හා සත්ව පාලන කටයුතු සම්බන්ධ මෙහෙයැවිය හැකිය. කෙත් වතු සකස් කර අස්වද්දන යන්ත‍්‍රයක් එහි නිපදවා තිබේ. නියමිත පරිදි ඇට හෝ පැළ සිටුවිය හැකිය. ඒවායේ සන්නිවේදක තිබේ. කැමරා පද්ධති සවිකර ඇත. වල් පැළ හඳුනාගෙන ඒවා ගලවා ඉවත් කරන්නට අලුත් සොයාගැනීමක් වන මෙම රොබෝවරු සමත්ය. පස බුරුල් කර පොහොර යොදන්නට ද හැසිරවිය හැකිය. සත්ව පාලන කටයුතුවලට හවුල්වීම සඳහා නිපදවා ඇති රොබෝවරු ආහාරදීම, රැකබලා ගැනීමට දක්ෂය. සතුන් හැසිරෙන අන්දම හා අනෙකුත් ගොවිපොල කටයුතු ස්වයංක‍්‍රීයව හාම්පුතුන්ට තොරතුරු නිතිපතා සන්නිවේදනය කරති. දිවා රාත‍්‍රී නොතකා සේවය කරන හෙයින් විශාල වාසියකි. අනෙක ගොවිපොළ හා සත්ත්ව පාලන කටයුතුවලට නිපදවා ඇති රොබෝවරු සූර්ය බලයෙන් ක්‍රියාත්මක වෙයි.  මෙයට අමතරව මහ පොළවේ තත්ත්වය ගැන පරීක්ෂාකාරීව සිටින කෘත්‍රිම චන්ද්‍රිකා දෙකක් චීනය පසුගිය කාලයේ කක්ෂ ගත කළේය. ඒවා කෘෂිකාර්මික අංශයේ තොරතුරු සන්නිවේදනයට පමණක් යොමු කර ඇත. වාතයේ ආර්ද්‍රතාවය, කාලගුණ වෙනස්කම් සහ අස්වැන්න සම්බන්ධ දත්ත මෙමගින් එකතු කෙරේ. මේවා සමග එකතු වන ඩ්‍රෝන යාත‍්‍රා වගාවේ ක‍්‍රමවේදය වෙනස් කර ඇත. මිනිසුන් රහිත ඩ්‍රෝන යාත‍්‍රා වගාවට අවශ්‍ය පොහොර හා රසායනික ද්‍රව්‍ය විසුරුවීමට යොදා ගැනේ. අස්වැන්න නෙලීම එවා ගබඩා කරා යොමු කිරීම ද යාන්ත‍්‍රිකව කළ හැකි රොබෝ යන්ත‍්‍ර නිපදවා ඇත. අනාගතයේදී ගොවිපොළ නිෂ්පාදන වෙනස් විය හැකි ආකාරය ගැන අවධානය යොමු කරන්නට සුදුසු කාල වකවානුවකි. 

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.

 මිලින්ද මොරගොඩ