2021 ජුනි 26 වන සෙනසුරාදා

නිල ඇඳුමෙන් කුඩු ඇද්ද එස්.අයි

 2021 ජුනි 26 වන සෙනසුරාදා, ප.ව. 04:00 456

පොලිස් නිල ඇඳුම අවභාවිත කරමින් කාකි සූට් ඇඳි උප පොලිස් පරීක්ෂකවරයකු හොරොයින් ජාවාරමේ නිරතව සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකුගේ අණසකට යටත්වය. ඊට එරෙහිව පියවර ගත් නිල ඇඳුම අඳින පළඳින උත්තරීතර පොලිස් නිලධාරින් පිරිසකගේ වැටලීමකින් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ රුපියල් කෝටි 53කට අධික වටිනා හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි අතරමඟදීය. පොලිස් මූලස්ථානයේ අපරාධ බුද්ධි විශ්ලේෂණ නිවාරණ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් වැටලීම සිදුකර තිබුණේ විදෙස්ගතව සිටිමින් මෙරට තුළ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන පානදුර සලිඳු මල්ලී ගේ ජාවාරමක් බව මනාව වටහාගෙනය.

පොලිස් මූලස්ථානයේ අපරාධ බුද්ධි විශ්ලේෂණ නිවාරණ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට ලැබුණු අතිශය පෞද්ගලික හා විශ්වසනීය තොරතුරක් අනුව කෙරුණු වැටලීම ඔහුගේ නිරන්තර අධීක්ෂණය යටතේ සිදුකෙරුණි. නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු තොරතුර අනුව එම ඔත්තුකරුවන් සිය කොට්ඨාසයේ දක්ෂ නිලධාරීන් කිහිප පොළක් වෙත හඳුන්වා දී වැඩි විස්තර සාකච්ඡා කිරීමට අවස්ථාව සලස්වා තිබිණ. එහිදී ඔත්තුකරුවන් විසින් පැහැදිලිවම පවසා තිබුණේ දකුණු කළුතර පොලීසියේ උසාවි අංශයේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කරන උප පොලිස් පරීක්ෂක ටී. සනත් කුමාර ද සිල්වා නැමැත්තා දකුණු පළාතේ සිට කොළඹට හෙරොයින් තොග ප්‍රවාහනය කරන බවය. ඒ සඳහා නවීන රථවාහන හෝ අධිවේගී මාර්ගය භාවිත කරන බවද කියා ඇත.

තොරතුරුකරුගේ හෙළිකිරීම තුළින් තවදුරටත් හෙළිකර තිබුණේ සලිඳු මල්ෂික ගුණසේකර හෙවත් පානදුර සලිඳු මල්ෂික නොහොත් පානදුර සලිඳු මල්ලී නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ හෙරොයින් තොග ඔහු විසින් ප්‍රවාහනය කරන බවය. එම ජාවාරම නිදහසේ සිදුකිරීමට පොලිස් නිල ඇඳුම අවභාවිත කරන බවද කියා තිබිණි.

මෙම සලිඳු මල්ලී නැමැත්තා මීට වසර හයකට පෙර 2015 වසරේදී පානදුර පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූවෙකි. ඒ හෙරොයින් ග්‍රෑම් 15ක් සමඟය. එවකට ඔහුගේ වයස අවුරුදු 19කි. දැන් 25 වැනි වියේ පසුවන මොහු ඉකුත් ජනවාරි මාසයේ පානදුර ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තබා ඝාතනය කිරීමක ප්‍රධාන සැකකරුය.

දිනය පසුගිය ජනවාරි 25 වැනිදාය. එදින පාන්දර පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් එල්ලකර වෙඩිතබා තිබුණේ යතුරුපැදියක පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු විසිනි. සිදුවීමෙන් අයකු ජීවිතක්ෂයට පත්ව තිබූ අතර ඝාතනයට හේතුව මත්ද්‍රව්‍ය මුදල් ගනුදෙනුවකි. අනතුරුව සැකකාර යතුරුපැදිය හා ගිනි අවිය පොල්ගොඩ ගඟෙන් ගොඩගැණුනද නවතම අනාවරණය වන්නේ එම ගිනිඅවිය එම ඝාතනයට යොදා නොගත් පොලිස් විමර්ශන නොමග යැවීම සඳහා භාවිත කළ එකක් බවය.

මෙම වෙඩි තැබීම පානදුර සලිඳු මල්ලිගේ ක්‍රියාවක් බව හඳුනාගෙන අවසන්ය. එදා පටන් මොහු ආගිය අතක් නැතත් විදෙස්ගතව ඩුබායි රටේ සැඟවී සිටින බවත් ඕස්ට්‍රේලියාවේ සැඟවී සිටින බවත් නැතිනම් ලංකාවේම රුඳී සිටිමින් මත්ද්‍රවය ජාවාරම මෙහෙයවන බවත් කියැවේ. මේ අතර කරුණු වාර්තා වන්නේ සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හරක් කටා නැමැත්තාට අයත් හෙරොයින් ජාවාරම පානදුර සලිඳු මල්ලී මැදිහත්ව මෙහෙයවන බවය. හරක් කටා යන අය මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම කරන බව කියැවේ.

හරක් කටාගේ මත්කුඩු ජාවාරමේ ප්‍රධාන භූමිකාවක යෙදෙන පානදුර සලිඳු මල්ලී විවිධ උපක්‍රම ඔස්සේ හෙරොයින් තොග ප්‍රවාහනය සිදුකරයි. අත්අඩංගුවට පත් උප පොලිස් පරීක්ෂකවරයා ඔහුගේ සමීපතමයෙකි. ඔහු සිදුකරන එක් කුඩු ප්‍රවාහන කටයුත්තක් සඳහා රුපියල් ලක්ෂ 20ක දීමනාවක් ලබන බවද හෙළි වී ඇත. ලබාගත් තොරතුරු අනුව විමර්ශන ආරම්භ කළ අපරාධ බුද්ධි විශලේෂණ නිවාරණ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරුන් වන සමන් පද්මලාල් හා කැළුම් සෝමරත්න ඇතුළු පිරිසක් දින ගණනාවක් පුරා මෙහෙයුමේ යෙදුනෝය. තොරතුරු සෙවීම සඳහා පිරිස ගාල්ල, හබරාදූව, පානදුර, කළුතර, මතුගම ඇතුළු ප්‍රදේශ රුසක ආවේක්ෂණ රාජකාරියේ නිරතව සිටියහ. එහිදී හෙළිකර ගැනීමට සමත්ව තිබුණේ උප පොලිස් පරීක්ෂකවරයා විසින් හෙරොයින් තොගයක් රුගෙන කොළඹට යාමට සූදානම් බවය. එම කටයුත්ත ජූනි 18 වැනිදා සිදුකිරීමට නියමිත බවද ස්ථීර වශයෙන්ම තහවුරු කර ගැනිණි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ කෙරුණු මෙහෙයුම අතරතුර ඔහු උපදෙස් ලබා දී තිබුණේ 18 වැනිදා මෙහෙයුම සඳහා වාහන දෙකක් භාවිත කරන ලෙසය. එකක් පොලිස් නිල රථයක් වන අතර අනෙක පෞද්ගලික පාර්ශ්වයක එකකි. තීරණය කරගත් පරිදි අදාළ වාහන ගාල්ල නගරයට ගොස් හබරාදූව පොලිසිය පසුකර මාතර දෙසට සෑහෙන දුරක් ගමන්කර තිබුණි. මේ අතර නිලධාරීහු පිරිස කොග්ගල ප්‍රදේශයේ ස්ථානගත වී සිටියහ.
තොරතුරු ලැබී තිබුණු පරිද්දෙන් දුඹුරු පැහැති විට්ස් වර්ගයේ කාර් රථයක්  වැටලීම නිලධාරීන්ගේ අරමුණය. වැඩි වේලාවක් යන්නට මත්තෙන් එවැනි මෝටර් රථයක් ධාවනය වන බව නිලධාරීන් නිරීක්ෂණය කරන්නේ ලැබුණු තොරතුරු සනාථ කර ගනිමිනි. එම රථය පදවාගන යන්නේ පොලිස් නිල ඇඳුමින් සැරසුණු අයකු බවද පැහැදිලිවම නිරීක්ෂණය කොට තිබුණි. එහෙත් රථය ලුහුබැඳීම අවදානම් ලෙස සැලකුවේ ජාවාරම්කරුවන්ගේ ඔත්තුකරුවන් මාර්ගය අවට රඳවා සිටීම සාමාන්‍ය කරුණක් නිසාය. මෙහිදී පොලිස් නිලධාරීන් අනුමාන කර තිබුණේ විට්ස් රථය ගාල්ල අධිවේගී පිවිසුමෙන් කොළඹ දෙසට ධාවනය කරනු ඇති බවය. එහෙත් නොනවත්වාම ධාවනය කළ රථය ගාල්ල පසුකර හික්කඩුව දෙසට ධාවනය කර ඇත. ඒ වනවිට තොරතුරු අනුව සැකකළේ හික්කඩුව ප්‍රදේශයේදී නැවත කුඩු තොගයක් පටවනු ඇති බවය.

සැකසහිත මෝටර් රථය ලුහුබැඳ යමින් සිටි නිලධාරීන් බද්දේගම ප්‍රදේශයෙන් අධිවේගී සැකසහිත මෝටර් රියට ඉස්සර කරන රථය මඟ හරස්කර නවතා විට්ස් වර්ගයේ රථයට මඟ අහුරා ඇත. තොරතුරු අනුව වාර්තා වී තිබූ සැකකාර උප පොලිස් පරීක්ෂක ටී. සනත් කුමාර ද සිල්වා රථයේ රියැදුරුය. නිල අඳුම සහිතව සිටි ඔහු පසෙක තබා රථයේ ඩිකිය පරීක්ෂාවට ලක්කර තිබුණි. කළු පැහැති තරමක් විශාල ගමන් බෑග් දෙකක් එහි තිබී ඇත. ඒවායේ අසුරා තිබුණේ හෙරොයින් පාර්සල කිහිපයකි. මේ ආකාරයට වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 18 වැනිදා රාත්‍රී 9.00ට පමණය.

එම ස්ථානයේදීම සිදුකළ ප්‍රශ්න කිරීමේදී සැකකාර උප පොලිස් පරීක්ෂක සිල්වා නැමැත්තා පවසා තිබුණේ පානදුර සලිඳු මල්ලිගේ කීමට බඩු ටික අතුරුගිරියට රුගෙන යන බවය. එහිදී වෙනත් පාර්ශ්වයක් වෙත හෙරොයින් තොගය බාරදීමට සූදානමින් යන බවද කියා ඇත. ඒ සඳහා අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුම අසලට වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් පැමිණෙන බවත් එහි දෙදෙනකු පැමිණෙන බවත් ඔහු හෙළිකර තිබිණි.

පානදුර සලිඳු මල්ලී නැමැත්තා වට්ස්අප් තාක්ෂණය ඔස්සේ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සමග සංවාදයේ යෙදෙයි. අනතුරුව වීඩියෝ ඇමතුමක් ලබාගන්නා ඔහු උප පොලිස් පරීක්ෂක සිල්වා සිටින ස්ථානය අවට හා මෝටර් රථය ඇතුළත පවා නිරීක්ෂණය කරන්නේ වීඩියෝ ඇමතුම හරහාය. ඒ අනුව හෙරොයින් ජාවාරමට සුදුසු පරිසරයක් ඇතැයි තහවුරු කරගන්නා සලිඳු අදාළ භාණ්ඩ ප්‍රවාහනය සඳහා බාර කරයි. ඒ ක්‍රමවේදය සලිඳුට ආවේණික එකකි. මේ ආකාරයට හෙරොයින් ප්‍රවාහනය කරන එක් අවස්ථාවක් සඳහා සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාට ලක්ෂ 20ක මුදලක් ලබාදෙන බව ප්‍රකාශ කර ඇත. හරක්කටා නැමැති ජාවාරම්කරුගේ කුඩු තොග සලිඳු විසින් වෙනත් පාර්ශ්ව හරහා සංසරණය කරන බවද හෙළිවී තිබිණ.

මේ ආකාරයටම සැකකාර උප පොලිස් පරික්ෂකවරයා මීට ඉහතදීද කොග්ගල ප්‍රදේශයෙන් හෙරොයින් තොගයක් රුගෙන අධිවේගී මාර්ගය ඔස්සේ වැලිපැන්න දක්වා රුගෙන ගොස් තිබිණ. එහිදී සලිඳු උපදෙස් ලබාදී තිබුණේ හෙරොයින් තොගය රැගත් මෝටර් රථය අධිවේගී මාර්ගයෙන් පිටවූ වහාම දන්වා ඇති ස්ථානයක නතරකර එතැනින් නික්ම යා යුතු බවටය. අනතුරුව එම ස්ථානයේ නවතා තිබෙන එක්තරා මාදිලියක යතුරු පැදියකින් පිටවිය යුතු බවටද දන්වා ඇත. මේ උපක්‍රමය සලිඳුගේ හෙරොයින් ප්‍රවාහනයේ ගමනාන්තය සැඟවීම සඳහාය. ඒ අතර තවත් පාර්ශ්වයක් පැමිණ මෝටර් රථය රුගෙන යන්නට ඇති බව ඔහු පොලිසිය හමුවේ කියා ඇත.

මේ ආකාරයට අවශ්‍ය තොරතුරු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව උප පොලිස් පරීක්ෂකවරයා රුගත් විට්ස් රථය අතුරුගිරිය අධිවේගී පිවිසුම අසලට පැමිණ තිබුණි. ඒ පසුපස පොලිස් නිලධාරීන් රුගත් රථයද විය. හෙරොයින් තොගය බලාපොරොත්තුවෙන් ඒ වනවිටත් වැගන්ආර් වර්ගයේ මෝටර් රථයක් එතැන නවතා තිබී ඇත. සැකකරු විසින් ඈත තියාම එම රථය හඳුනාගෙන පොලිස් නිලධාරීන්ට පෙන්වා ඇති අතර වහාම ක්‍රියාත්මක වූ නිලධාරීහු හෙරොයින් තොගය ඔවුන්ට ලබාදෙන අවස්ථාවේදී අත්අඩංගුවට ගත්හ. මෙසේ අත්අඩංගුවට ගත් කුඩු තොගයේ වටිනාකම රුපියල් කෝටි 53කට අධිකය.

මෙසේ අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා 52 හැවිරිදිය. ඔහු වාද්දුව පොතුපිටිය උතුර පදිංචිකරුවෙකි. වැගන් ආර් රථයේ පැමිණි දෙදෙනාගෙන් අයකු කොළඹ 15 අලුත් මාවත පදිංචි රාමයියා සම්මුගනාදන්ය. අනෙක් සැකකරු ජාඇල ඒකල පාරේ පදිංචි යෝගරාජා අරුල්නාත්ය.

සැකකරුවන්ට අයත් දුරකතන සිම් 5ක් ඔස්සේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කෙරේ. හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර ඇත. සැකකරුවන් තිදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා 24 වැනිදා තෙක් රුඳවුම් බාරයේ තැබීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය. ඒ වෙත සැකකරුවන් ඉදිරිපත් කරනු ලැබුවේ කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක රණවීර මහතා විසිනි. මේ ආකාරයට දින 7ක රුඳවුම් නියෝග ලබාගෙන සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාරකර ඇත.

පොලිස් මූලස්ථානයේ අපරාධ බුද්ධි විශ්ලේෂණ නිවාරණ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ ඍජු අධීක්ෂණයෙන් එම කොට්ඨාස අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂකවරුන් වන සමන් පද්මලාල්, කැලුම් සෝමරත්න සහ උප පොලිස් පරීක්ෂක දයාසේන සමග පොලිස් සැරයන්වරුන් වන චමින්ද (38049) තරංග (89803) විතාන (65031) පොලිස් කොස්තාපල්වරුන් වන ජනක (67490) සමීර (74503) ජයරත්න (79325) මුණසිංහ (50880) ධනංජය (96540) සහ සිල්වා (89936) යන නිලධාරීහු වැටලීමට දායක වූහ.

 සමන්ත ප්‍රදීප් විල්තෙර