2021 ජුලි 03 වන සෙනසුරාදා

රතු නිෙව්දන නිකුත් කළ රට පැන්න සැකකරුවෝ

 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 77

සංවිධානාත්මක අපරාධ හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත ප්‍රබල ගණයේ පාතාලයන් රුසක් හොර රහසේ විදේශවලට පැනගොස් සිටිති. විවිධ පැමිණිලි හා චෝදනාවන්ට ලක්ව වරෙන්තු ලබා ඇතත් අධිකරණය මගහැර සිටින පොලීසිය අත්අඩංගුවට ගැනීමට සොයන ප්‍රධාන පෙළේ අපරාධකරුවන් හා සැකකරුවන් රුසක්ද පළාගොස් විදේශවල සිටිති. එසේ රුඳී සිටිමින් මෙරට තුළ මහා පරිමාණයෙන් අපරාධ හා ජාවාරම් මෙහෙයවන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය රතු නිවේදන නිකුත්කර තිබේ.

විදෙස් රටවල සැඟව සිට මෙරට අපරාධ හා ජාවාරම් මෙහෙයවන බව ස්ථීර වශයෙන් සනාත කොටගෙන තිබෙන සැකකරුවන් 24 දෙනකු සම්බන්ධයෙන් මෙම රතු නිවේදන නිකුත්කර ඇත. පිරිස අතර මත්ද්‍රව්‍ය ජාවාරම හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 11 දෙනකු සිටින බව වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙරට ජාත්‍යන්තර පොලිස් (Interpol) ශාඛාව මගින් මෙම රතු නිවේදන නිකුත් කොට තිබෙන අතර මූල්‍ය වංචා හා තවත් අපරාධවලට සම්බන්ධව සිටින පුද්ගලයන් 13 දෙනකු මේ පිරිසට අයත්ය. මෙසේ රතු නිවේදන නිකුත් කර ඇති පුද්ගලයන් විසි හතර දෙනාගෙන් දස දෙනකු පමණ තානාපති සේවා හා බුද්ධි අංශවල සහාය මෙන්ම උදර්පන නීතිය භාවිතා කරමින් මෙරටට ගෙන්වීමට කටයුතු සූදානම් කෙරෙන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වාර්තා කරයි.

පොලිස් මෙහෙයුම්වලදී භාරයට ගන්නා මත්ද්‍රව්‍ය නඩු භාණ්ඩ බවට පත් කිරීමෙන් අනතුරුව එම ද්‍රව්‍ය වඩාත් කඩිනමින් විනාශ කිරීමට අවශ්‍ය කරන නීතිමය බලතල මේ වසර තුළදී සංශෝධනය කොට ඊට අවශ්‍ය කරන නීති සම්පාදනය කරගැනීමට පියවර ගන්නා බවද පොලිස් මූලස්ථානය වෙතින් නිවේදනය කොට ඇත. පොලිස්පතිවරයා විසින් මැතකදී විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබිණ. එමගින් අපරාධකරුවන්ට එරෙහිව විවෘත වරෙන්තු හා රතු නිවේදන ගැනීම සඳහා අවශ්‍ය පියවර කඩිනම් කරනු පිණිස අදාළ තොරතුරු සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය වෙත යොමු කිරීමට කටයුතු කරන්නැයි දන්වා තිබිණ.

මේ අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධකරුවන් පිළිබඳව ලේඛනයක් සකස්කර තිබුණි. ඒ අනුව කියැවුණේ බස්නාහිර පළාත තුළ පමණක් අපරාධ කල්ලි 25ක් ක්‍රියාත්මක බවය. ඒ අතරට කල්ලි සාමාජිකයන් 346 දෙනකු සම්බන්ධ බවද වාර්තා කෙරිණ. එම පිරිස සංවිධානාත්මක අපරාධ සඳහා සබඳතා දැක්වූ අයවලුන්ය. මේ අතරින් ප්‍රබලයන් 25 දෙනකු විදෙස්ගතව සිටින බවද අනාවරණය කොට තිබිණ. මේ අතර වාර්තා වන්නේ පසුගිය මාස 16ක පමණ කාලය පුරාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිස් ශාඛාව හරහා ලබාගෙන තිබූ මුළු රතු නිවේදන ප්‍රමාණය 150ක් වන බවය. මේ අතුරින් පනහකට වැඩි ප්‍රමාණයක් හිටපු එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් බවද කියැවේ.

සංවිධානාත්මක අපරාධ හෝ හෙරොයින් ජාවාරමේ නිරත පාතාලයෝ මෙරටින් පලාගොස් සැඟවි සිටීමට ඩුබායි රාජ්‍යය බහුල වශයෙන් යොදාගනිති. ඊට පෙර ඇතැමුන් ඉන්දියාවට පලායාමටද උත්සාහ කරති. ඉන්දියාවට පලාගියද එතැන් සිට නැවත ඩුබායි බලා යන අයද සිටින අතර තවත් පාතාලයන් හා ජාවාරම්කරුවන් ඕස්ට්‍රේලියාව හා මැලේසියාව වැනි රටවලට පලාගොස් සිටිමින් මෙරට ජාවාරම් හා අපරාධ මෙහෙයවන බව දැකිය හැකිය. ආරක්ෂක බුද්ධි තොරතුරු අනුව ශ්‍රී ලංකා පොලීසියට අවශ්‍ය වරෙන්තු ලබා සිටින අපරාධකරුවන් සැඟවී සිටින රට අනාවරණය කොටගෙන තිබුණද පවතින නීතිමය බාධාවන් හමුවේ ඔවුන් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමේ අඩුපාඩු පවතී. එක් ප්‍රධාන කාරණයක් වන්නේ උදර්පණ නීතිය සම්බන්ධයෙන් වන අඩුපාඩුය. මේ නිසා ආරක්ෂක අංශ විසින් ගනු ලැබූ තීරණයකට අනුව ඔවුන් මෙරටට ගෙන්වීමේ සරල හා පහසුම ක්‍රමය ඔවුන් මෙරටින් පලාගිය ආකාරයටය. මෙම පිරිස් ලංකාවේ සිට පලාගොස් තිබුණේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර භාවිතයෙනි.

ව්‍යාජ ගමන් බලපත්‍ර සකස් කරගෙන විදෙස් ගතවීම ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමකි. ඒ අනුව එම හේතුව මත අදාළ පිරිස රැඳී සිටින රටේ බලධාරීන්ට එම පුද්ගලයන් පිටුවහල් කළ හැකිය. 

මේ වනවිට පාතාල කල්ලි සාමාජිකයන් 130කට ආසන්න ප්‍රමාණයක් බන්ධනාගාර ගතව සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. තවත් කිහිප දෙනෙකු රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ එවැනි පොලිස් ඒකක යටතේ සිටින බවද කියැවේ. මොවුන් ඝාතන, පැහැර ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැසීම, ගිනි අවි ජාවාරම, හා ජනපති හෝ ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ යන බරපතළ ඝනයේ චෝදනාවන්ට ලක්වූ අය බව ලෙස වාර්තා වේ.

සත්‍ය ලෙස හඳුනාගෙන තිබෙන අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කර තිබියදී හැබෑ නමින් නොවන අන්වර්ථ නාමවලින් පෙනී සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නිල් නිවේදන ප්‍රසිද්ධ කිරීමටද මීට පෙර කටයුතු කර තිබිණ. මෙසේ නිල් නිවේදන නිකුත් කෙරුණද අපරාධකරුවන් රුඳී සිටින ස්ථානයක් හෝ නියම නමක් පවා දන්නේ නැත. නමුත් අන්තර්ජාතික පොලීසිය හරහා රතු නිවේදනයක් නිකුත්කර ඇති විට අදාළ සැකකාර අපරාධකරු අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගත හැකිය. ඔවුන් හඳුනා ගැනීමට වන ප්‍රධානම සාධකය විදේශ ගමන් බලපත්‍රයයි. එහෙත් බොහෝවිට එය ව්‍යාජ නමක් යටතේ සැකසූ එකකි. මෙවැනි පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යංශය යන ආයතන එක්වෙති.

යම් සැකකරුවකුට පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙන අවසන් දිනය ඉක්මවා ගියවිට රෙජිස්ටාර්වරයා විසින් පළමුව නිකුත් කරන දැන්වීම සිතාසිය නම් වේ. මෙය පැහැර හරින සැකකරු පිළිබඳව තොරතුරු අධිකරණයට දන්වන පොලීසිය සැකකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසිය නම් නියෝගය නිකුත් කරයි. එයද මගහරින සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මගින් වරෙන්තුව නිකුත් කරයි. එහිදී පොලීසියට එම සැකකරුවන් ඕනෑම මොහොතක අත්අඩංගුවට ගැනීම කළ හැකිය.

මෙවැනි පිරිස් පලාගොස් සැඟවී සිටින රට හා ලංකාව අතර සැකකරුවන් හුවමාරු කරගැනීමට අවශ්‍ය කරන නීතිය උදර්පන නීතිය වේ. එම නීතියට අදාළ රටවල් හා අත්සන් තබා ඇත්නම් සැකකරුවන් පහසුවෙන් රුගෙන ආ හැකිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් පිළිබඳ සම්මුතීන් අරඹා තිබුණද උදර්පන සම්මුතීන් සම්බන්ධව අත්සන් තබා නොමැති වීම කනගාටුවට කරුණකි. ප්‍රතිභා මහානාමහේවා මහතා පෙන්වා දෙන පරිදි දැනට ලංකාව - පාකිස්තානය, ලංකාව - ඉන්දියාව, ලංකාව - යුක්රේනය හා ලංකාව - මැලේසියාව වශයෙන් උදර්පන නීතියට අත්සන් තබා ඇත. මෙම රටවල සිටියදී ලංකාවට අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට පත්ව ඇත්නම් ඔවුන් නිසැකයෙන්ම මෙරට පොලීසිය වෙත බාරකළ යුතුය.

මේ ආකාරයට මෙරට පොලිසිය හා අදාළ අංශවල නිලධාරීහු මෙරටට අවශ්‍ය කරන අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වෙහෙසෙති. එහිදී ඇතිවන බරපතළ අර්බුද රාශියකි. රට රටවල් අතර සැකකරුවන් හුවමාරු කරන මෙකී නීතීන් සමූහය ඊට බාධාවන්ය. කෙසේ හෝ එවැනි අපරාධකරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔස්සේ ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇතත් ජනාධිපතිවරයාගේ පොදු සමාව යටතේ රතු නිවේදනය අවලංගු කිරීමට හැකියාව තිබෙන බවද පෙන්වා දෙමු.

 සමන්ත ප්‍රදීප් විල්තෙර