ලෝක වසංගතයක් වූ කොවිඩ්-19 වෛරසය දිනපතා මිනිසුන් මරු වසඟයට ගනිමින් සිටී. ඒ මරණයේ අඳුරු සෙවණැල්ල දැන් අපේ ගම් දනව් පුරා පැතිරී තිබේ. සීමා මායිම් නොතකා හිත්පිත් නැතුවම ඔඩු දුවන කොරෝනාවට දැන් ජීවිත එකපිට එක ගොදුරු වන බව අසන්නට ලැබේ. එකම පවුලේ ආදරණීය මව, පියා හා දරුවන් කොවිඩ් මාරයාට බිලිවූ සිදුවීම් දකින්නට ලැබෙන්නේ ලෝක වසංගතයේ අධි අවදානම තවදුරටත් තහවුරු කරමිනි.
මේ බරපතළ අවදානම පිළිබඳව කාගේත් අවධානය යොමු කරමින් සිත් සසල කළ සිදුවීම් පෙළක් වාර්තා විය. එකම පවුලේ සැමියා - බිරිය හා පුත්‍රයා කොවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ කතාව මහනුවර යටිනුවර මුරතලාව ප්‍රදේශයෙන් වාර්තා වූයේ සෞඛ්‍ය අංශ බලධාරීන්ගේ පවා අවධානය ඒ වෙත යොමු කරවමිනි. ඊට පෙර දිනක එකම පවුලේ පියා හා දියණිය කොරෝනා රෝගයෙන් මියගිය පුවත වාර්තා වූයේ ගාල්ල තල්ගස්වල ප්‍රදේශයෙනි. මේ අතර කාලයේ තවත් එකම පවුලේ තිදෙනකු කොරෝනා රෝගයෙන් මරණයට පත්වූ බව වාර්තා වූයේ මාලබේ උඩවත්ත ප්‍රදේශයෙනි. එහිදී ජීවිතක්ෂයට පත් තිබුණේ ස්වාමිපුරුෂයා - බිරිය හා ඇගේ නැගණියක බවද වාර්තා විය.
මෙම අවාසනාවන්ත සිදුවීම් පවුල් තුනක් ආශ්‍රයෙන් වාර්තා වී තිබෙන අතර එහිදී තරුණ ජීවිත දෙකක් ඇතුළුව පුද්ගලයන් අට දෙනෙක් අකාලයේ මරු වසඟයට පත්වූහ. සිද්ධීන් සියල්ල අතර වැඩි අවධානයක් යොමුව තිබුණේ මහනුවර මුරුතලාව ප්‍රදේශයේ එකම නිවෙසක සිදුවූ මරණ ත්‍රිත්වය සම්බන්ධයෙනි. හිත් සසල කරවන අවාසනාවන්ත කොවිඩ් මරණ තුන සති තුනක් ඇතුළත සිදුව ඇතැයිද වාර්තා වන පරිදි පියා (72), මව (70) හා පුතා (38) යන වයස් සීමාවේ පසුවූවෝ වෙති.
පේරාදෙණිය අගුණවල පිහිටි සිරිපාල ගරාජය ප්‍රදේශයේ ප්‍රසිද්ධය. එහි හිමිකරු සිරිපාල බාසුන්නැහැ කාටත් හිතවත්ය. ඔහුට එම ක්ෂේත්‍රයේ අත්දැකීම් හා පළපුරුද්ද පනස් වසරකට වැඩිය. සිරිපාල බාසුන්නැහැගේ පුතා ධම්මිකය. පියාගේ අඩි පාරේ ගිය ඔහු ද දක්ෂ කාර්මිකයෙකි. මිතුරෝ ධම්මික Classic කාර් හදන දොස්තර වශයෙන් හැඳින්වූහ. ඔවුන් සිය ෆේස්බුක් පිටුවල, ධම්මික හඳුන්වා ඇත්තේ අගුණවල පැණිදෙණිය මීවතුර ආරුක්කු පාලම යට පරණ කාර් අලුත් කරන ක්ලැසික් කාර් දොස්තර නමිනි.
වෘත්තීය වශයෙන් අනගි නමක් දිනා සිටි &රාජපක්ෂ ගරාජය* හිමිකාර සිරිපාල රාජපක්ෂ හා පුතු ධම්මික රාජපක්ෂ දෙදෙනා අතුරින් සිරිපාල රාජපක්ෂ මහතාට යම් අසනීප තත්ත්වයක් හටගෙන තිබුණේ මැයි මස අවසන් දින කිහිපයේදීය. ඇතැම් රෝගී ලක්ෂණ කොවිඩ් ලක්ෂණ හා සමාන වුවද නිවැසියෝ ඒ බවක් දැන නොසිටියහ. කෙසේ හෝ අසාධ්‍ය රෝගී තත්ත්වය නිසා සිරිපාල මහතා රෝහල්ගත කළ පසුව පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමේදී ඔහු කොවිඩ් රෝගියකු බවට හඳුනා ගැනිණ. එසේ හඳුනාගෙන වැඩි දිනක් යන්නට මත්තෙන් හුස්ම ගැනීමේ අසීරුතාවකින් පෙළුණු රාජපක්ෂ මහතා ජීවිතක්ෂයට පත්විය. මරණයට හේතුව කොවිඩ් නියුමෝනියාව බව වෛද්‍ය වාර්තා මගින් දන්වා තිබිණි. එසේ මොහු මියගොස් තිබුණේ ඉකුත් ජූනි 3 වැනිදාය.
සිය පවුලේ ව්‍යාපාරය අගුණවල පැණිදෙණිය ප්‍රදේශයේ පවත්වාගෙන ගියද ඔවුන් පදිංචිව සිට තිබුණේ මුරුතලාව ප්‍රදේශයේය. සිරිපාල රාජපක්ෂ මහතාගේ මරණයෙන් පසුව කොවිඩ් බවට සැක කෙරෙන රෝග ලක්ෂණ ධම්මික රාජපක්ෂ මහතා වෙතින්ද දකින්නට ලැබිණි. වහාම රෝහල්ගතව පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව ඔහු ද කොවිඩ් ආසාදිතයකු බව තහවුරු කරගෙන ඇති අතර ඔහුට දින කිහිපයක් තුළදී රෝගය උත්සන්න වී ඇතැයිද වාර්තා විය. වැඩි දිනක් යන්නට මත්තෙන් අවාසනාවන්ත ලෙස ධම්මිකගේ මවද රෝගී වූවාය. ඇයටද කොවිඩ් ආසාදිත බව තහවුරු කොටගෙන ප්‍රතිකාර ලබන අතරතුර ඇය කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් මියගියාය. ඒ පසුගිය ජූනි 14 වැනිදාය. ධම්මිකගේ ආදරණීය මව වූ ශීලා රාජපක්ෂ මහත්මියට රෝගය වැළඳී ඇති බවක් හෝ ඒ හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති වගක් ධම්මිකට සැල වී නැත. මේ අවාසනාවන්ත සිදුවීම වන විටත් ධම්මික රෝගයෙන් පීඩා විඳිමින් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බව කියැවිණි. කෙසේ හෝ කොවිඩ් ආසාදිතව සිය මව මියගිය බව නොදත් ධම්මික මව මරණයට පත්ව දින 10කට පසුව ජීවිතක්ෂයට පත්ව තිබුණේ ජූනි 23 වැනිදාය.
අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ ධම්මික 38 හැවිරිදි විවාහකයෙකි. ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වුණේ මහයියාව ආදාහනාගාරයේදීය. ධම්මික ආදරණීය සැමියකු හා පියකුව සිටියදී කොවිඩ් මාරයාට බිලිවුවද ඔහුගේ ආදරණීය බිරිය හා දරුවන්ට රෝගය වැළඳුණද වාසනාවකට මෙන් ඔවුහු රෝගයෙන් ආරක්ෂිතව සිටිති.
මෙම මරණ පිළිබඳව මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමඟ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ එකම පවුලේ තිදෙනකු මියයාම පසුපස සෞඛ්‍ය හෝ වෙනත් අංශයක අතපසුවීමක්දැයි සොයා බලන බවය. එවැනි තත්ත්වයක් වැළැක්වීමට ගන්නා පියවර රජය හැටියට හෝ සෞඛ්‍ය අංශ මගින් හෝ පවුලක් වශයෙන් ගැනීමට අපහසුතාවක් පැවතියේද නැතිනම් නොසැලකිල්ල නිසා මේ තත්ත්වය සිදුවූයේද යන්න සොයා බලන බවත් ඉදිරියේදී මෙවැන්නක් සිදු නොවීමට ඇවැසි පියවර ගන්නා බවත් ඔහු පැවසීය.
මේ ආකාරයට තවත් ස්ථානයක එකම පවුලේ පියා හා දියණිය මියගොස් තිබුණේ ගාල්ල තල්ගස්වල ප්‍රදේශයේදීය. පියා 76 හැවිරිදිය. ඔහු මැයි 9 වැනිදා මිය ගියේය. උපාධිධාරිණියක වූ 27 හැවිරිදි දියණියට රෝගී ලක්ෂණ නොපෙන්වුවද පියාගේ මරණයෙන් සතියකට පසුව ඇය හුස්ම ගැනීමේ අපහසුතාවකට රෝහල් ගතවූවාය. පියාගේ මරණින් දින අටකට පසුව මියගිය ඇයගේ මරණයද කොවිඩ් නියුමෝනියාව නිසා සිදුව ඇති බව දන්වා ඇත. ඇය පවුලේ එකම දරුවා බවද කියැවිණි.
මේ අතර මාලබේ උඩවත්ත නිවෙසක පදිංචිව සිටි අවුරුදු 96 හා 86 වයස්වල අඹු සැමි යුවළක් හා ඔවුනගේ නැගණියක බව කියන 82 වැනි වියේ පසුවූ කාන්තාවක කොවිඩ් ආසාදිතව අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබුණේ අප්‍රේල් 22 දිනය. ඔවුන් අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී මැයි මස මුල් දින තුන ඇතුළතදී ජීවිතක්ෂයට පත්ව තිබුණේ කොවිඩ් නියුමෝනියාව හේතුවෙනි.
මෙම මරණ සියල්ලට හේතුව කොවිඩ් නියුමෝනියාවයි. මෙතෙක් පැවති අවදානමට වඩා ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය දැඩි අවදානම් බව කියයි. එහි ව්‍යාප්තිය පැවති ප්‍රභේදයට වඩා 50කින් අධිකය. එබැවින් ඉදිරියේ ඇත්තේ අධි අවදානමකි. මේ පිළිබඳ අවධානයෙන් ආරක්ෂිතව පසුවීම නුවණට හුරුය.
සමන්ත ප්‍රදීප් විල්තෙර