මෙරට තිස් වසරක යුද්ධය ජයග්‍රහණය කිරීමේ ගෞරවය අදටත් ජනතාව පුදන්නේ ත්‍රිවිධ හමුදාවටය. එයිනුත් වැඩිම පුද සත්කාර ගෞරව හිමිවන්නේ යුද හමුදාවටය. ඒ ඔවුන් කළ කැපවීම පිළිබඳව ජනතාවට ඇති අපිරිමිත ගෞරවය හේතුවෙනි. එහෙත් එකී ගෞරවය පළිහක් ලෙස යොදාගනිමින් සිටින ඇතැම් වැරදි කරන්නන් සේම එකී ගෞරවය අවභාවිත කරමින් චණ්ඩි පාට් දමන්නෝ යුද හමුදාවේ සිටිති. ඇතැම් අවස්ථාවල එවැනි පුද්ගලයෝ සමාජ මාධ්‍ය තුළ විඩියෝ පටවලින් ද නිරාවරණය වෙති. එකී අවස්ථා ගණනාවකි . මේ කියන්නට යන්නේද පසුගිය දවසක හදිසියේ සමාජ මාධ්‍ය පුරා පැතිරී ගිය වීඩියෝ පටයක් ගැනය. එකී විඩියෝ පටයේ ඇතුළත් කතාවය.
පසුගිය සතියේ දිනක මින්නේරිය වනෝද්‍යානයේ අඩවි වන නිලධාරීන්ට ලැබුණු තොරතුරකි. එම තොරතුරෙන් කියවුණේ මෙරට කුප්‍රකට වන අලි සොරකු මින්නේරිය වනෝද්‍යානය අසල හෝටලයක ලැගුම් ගෙන සිටින බවත් ඔවුන් පැමිණ ඇත්තේ වනෝද්‍යානයෙන් අලි පැටවකු සොරකම් කරගෙන යාමට බවත්ය. ඒ අනුව වනජීවී නිලධාරීන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කොට ඔවුන් වනෝද්‍යානයේ ආරක්ෂාව සඳහා යොදවා ඇත. ඒ පසුගිය 22 වැනිදා සිටය.
කෙසේ වෙතත් මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතරතුර පසුගිය 25දා රාත්‍රී 10.30ට පමණ සැකකටයුතු වාහන දෙකක් වනෝද්‍යානයේ බටහිර මායිමේ පිහිටි ඊරිගේඔය මාර්ගයෙන් එළියට පැමිණියේය. පසුව මෙය දුටු වන නිලධාරීන් එම වාහන නවත්වන ලෙස සංඥා කර ඇතත් එකී වාහන අණ නොතකා ධාවනය විය. පසුව වනජීවී නිලධාරීන් එම වාහන පසුපස පන්නා ඇතැයි කියති. එලෙස එම වාහන දෙක පසුපස ඔවුන් පන්නාගෙන ගොස් ඇති අතර මදක් දුරින් පිහිටි පොලීසිය සහ හමුදාව එක්ව ක්‍රියාත්මක කරන මොරගස්වැව මුරපොළ අසලින් එම වාහන නවතන ලෙසට ද අණ කර තිබේ. එහෙත් එය තඹයකට මායිම් නොකළ එම වාහන දෙක නැවතත් ඉදිරියට පැමිණියේය. පසුව නොනවත්වා ධාවනය වූ වාහන දෙක පසුපස වනජීවී නිලධාරීන් අනුරාධපුරය තෙක් පන්නාගෙන ගොස් ඇති අතර එසේ ගමන් කිරීමේදී මෙය යුද හමුදාවට අයත් වාහන බවට ඔවුන්ට හඳුනාගත හැකිවිය. එබැවින් වනජීවී නිලධාරීන් එම වාහන දෙක හඹා යමින් ඉදිරියට ගොස් ගල්කුලම යුද හමුදා පොලිස් මුරපොළට දන්වා ඇති අතර එහෙත් එහිදී සිදුවූ ප්‍රමාදය හේතුවෙන් එම වාහන දෙක මුරපොළ පසුකරමින් පලාගොස් තිබිණි. කෙසේ වෙතත් උත්සාහය අත් නොහළ වනජීවී නිලධාරීන් නැවතත් වාහන පසුපස ලුහුබැඳ ගොස් ඇති අතර එම වාහන අවසාන වශයෙන් නවත්වා ඇත්තේ අනුරාධපුරයේ ප්‍රධාන හමුදා කඳවුරක ගේට්ටුව අසලය. එම වාහන කඳවුර තුළට ඇතුළු වූ බැවින් වනජීවී නිලධාරීහු නැවත හැරී ඔවුන්ගේ රාජකාරි ස්ථානය වෙත එන්නට පිටත් වූහ.
පිරිස යම් දුරක් පැමිණි පසු තිරප්පනේ ප්‍රදේශයේදී හමුදා නිලධාරීන් පිරිසක් වාහන හරස්කොට නවතා ඔවුන්ට බැණ වැදී ඇතැයි කියැවේ. පසුව නැවත ඔවුන් එම ස්ථානයෙන් පිටව පැමිණෙන විට පලුගස්වැව ඉදිරියේ සිටි හමුදා නිලධාරීන් කණ්ඩායමක් ඔවුන්ට සිය වාහන නවතන ලෙසට දන්වා ඇතැයි පැවසේ. එසේ නතර කරනවාත් සමඟ ඔවුන් පසුපසින් වාහනවල පැමිණි හමුදාවේ පිරිසක් වනජීවී නිලධාරීන්ට බැණ වැදී පහරදුන් බව කියති. කෙසේ වෙතත් එම සිද්ධියේ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළද ප්‍රචාරය වුණු අතර එහි ඇසෙන්නට වූ දෙබසක් අපි මෙලෙස සඳහන් කරමු.
1 පුද්ගලයා:- උඹ සිවිල් එකෙක්. නතර කරන්න කිව්වම මම නතර කරනවද?
2 පුද්ගලයා:- ඔබතුමා හොඳ වෙන්න පුළුවන්
1 පුද්ගලයා:- මගේ හොඳ නෙමෙයි. මේක මේ ආමි එකේ සිස්ටම් එක. පොලිසීය අත දැම්මොත් අපි නතර කරනවා. උඹ නතර කළොත් මම නතර කරනවද වාහනේ. ලොවෙත් නෑ. තේරුණාද? උඹ හිනාවෙනවද තට්ටයා. (අසභ්‍ය ලෙස). .කන පලනවා. (අසභ්‍ය ලෙස) උඹලා තමයි හොරු.
2 පුද්ගලයා:- මම තමයි සර් වනජීවී දෙපාර්තමේන්තුවේ කුමාරසිරි කියන්නේ.
1 පුද්ගලයා:- මම ඇවිල්ලා මොහාන් රත්නායක. ජෙනරාල් මොහාන් රත්නායක. අනුරාධපුර මේන් බාරව ඉන්නේ. 21 සේනාංකය ලියාගන්න. උඹ වනජීවී නෙවෙයි මොන (අසභ්‍ය වචනයෙන්) වුණත් මට අදාළ නෑ. තේරුණාද? මගේ ළමයි එක්ක යනකොට කැළලක්නේ මට.
මේ ආකාරයෙන් ගාලගෝට්ටි මැද එම සංවාදය සිදුවන අතර එහිදී පැහැදිලිවම පෙනී යන්නේ එම උසස් හමුදා නිලධාරියා මේජර් ජනරාල් මොහාන් රත්නායක බවය. කෙසේ වෙතත් මේ අතරතුර වනජීවී නිලධාරීන් හබරණ පොලීසියට දැනුම් දීමක් කර තිබිණි. එහිදී හබරණ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් පැමිණ දෙපාර්ශ්වය සමතයකට පත්කර ඇතැයි කියති.
එහෙත් ඊට පසුදිනම හබරණ පොලීසිය වෙත දෙපාර්ශ්වයෙන්ම පැමිණිලි ලැබී තිබුණු අතර මින්නේරිය ජාතික වනෝද්‍යානයේ භාරකරු භාතිය මඩුගල්ල, වන සත්ත්ව අඩවි ආරක්ෂක එම්.ඩබ්ලිව්.කේ. වාසල යන නිලධාරීන් දෙදෙනා විසින් තම නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, මරණ තර්ජනය කිරීම ඇතුළු කාරණා කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් පැමිණිලි දෙකක් ඉදිරිපත් කර තිබුණි. එසේම එදිනම මේජර් ජනරාල් මොහාන් රත්නායක විසින්ද තමන්ගේ නාමයට කැළලක් සිදුකළ බව කියමින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. කෙසේ වෙතත් පොලීසිය ඉතාම දියාරු ලෙසට තම රාජකාරිය කරමින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම වෙනුවට පැමිණිල්ල කැකිරාව දිසා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
එසේ කරුණු වාර්තා කරමින් හබරණ ස්ථානාධිපතිවරයා දිසා විනිසුරු සමන් වැරණියගොඩ මහතාගෙන් ඉල්ලා සිටියේ විමර්ශනයට අදාළ කරුණු වාර්තා කිරීමට ඉදිරි දිනයක් ලබාදෙන ලෙසටය.
එහෙත් එයට දැඩි ලෙස විරුද්ධ වූ දිසා විනිසුරුවරයා ප්‍රශ්න නැගුවේ සැකකරුවන් සහ ඔවුන් ගමන් ගත් වාහන අනාවරණය වී තිබියදී ඔවුන් අත්අඩංගුවට නොගන්නේ ඇයි ද යන්නය. එසේම සැකකරුවන්ගෙන් මෙතෙක් ප්‍රකාශ නොගැනීම සම්බන්ධයෙන් විනිසුරුවරයා දැඩි ලෙස දෝෂාරෝපණය කළ අතර සැකකරුවන් ප්‍රකාශ ලබාගැනීමට නොපැමිණෙන්නේ නම් වහාම ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද දැන්වීය.
එහිදී හබරණ පොලීසිය මේජර් ජනරාල්වරයාගේ කිර්තිනාමයට හානි කළ බවට සඳහන් පැමිණිල්ල ඉදිරිපත් කළේය. එවිට විනිසුරුවරයා විමසා සිටියේ වනෝද්‍යානයට ඇතුළු වන කෙනකු පරීක්ෂා කිරීමට වන නිලධාරීන්ට නීතිමය අයිතියක් නැතිද යන්නය. ඊට අවසර ඇති බව පොලීසියේ ප්‍රතිචාරය විය. ඒ අනුව දියාරු වී ගිය පරීක්ෂණ කඩිනම් කිරීමට හබරණ පොලීසියට සිදුවිය.
මේ අතර යුද හමුදාපතිවරයා විසින්ද මේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වෙනම පරික්ෂණ කණ්ඩායමක් පත් කරනු ලැබීය. ඒ මේජර් ජනරාල්වරු දෙදෙනකුගෙන් යුත් කණ්ඩායමකි. එම පරීක්ෂණය සිදු කර වහාම වාර්තාවක් ලබාදෙන ලෙසට හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා දැනුම් දුන්නේය.
මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන මේජර් ජනරාල් මොහාන් රත්නායක හබරණ පොලීසියට පැමිණියේය. ඒ මෙම සිද්ධියෙන් හමුදාවේ කීර්තිනාමයට හානිවන බව සඳහන් කරමින් ඔහු පොලීසියට පැමිණ බාරවිය. ඒ අනුව ඔහුව හබරණ පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. ඉන්පසුව අධිරණයට ඉදිරිපත්කළ ජෙනරාල්වරයාට කැකිරාව අධිකරණය විසින් ඇප ලබාදුන්නේය.
ගයාන් ගාල්ලගේ