2021 ජුලි 03 වන සෙනසුරාදා

තිස්ස වැවට බැස්ස චීන්නු

 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 40

ප්‍රොඪ ඉතිහාසයක් ඇති හෙළ සංස්කෘතියේ ජීවී සාක්ෂි සාධක තවමත් මේ රටේ මහපොළොව යට සැඟව පවතී. පුරාවිද්‍යා බිම්වල මේවා කොතෙක්දැයි අනුමාන කළ නොහැක. මූල්‍ය අගයට වඩා මේවායේ පවතින පෞරාණික බව ඉතා වැදගත්ය. එවැනි වටපිටාවක පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ඉඩමක ප්‍රසිද්ධියේ කැණීම් සිදුකරන්නේ කාගේ බලයකටදැයි විමතියකි.

පුරාණ රුහුණු මාගම රාජධානියේදී ක්‍රි.ව. 35-44 සමයේ රජ කළ ඉලනාග රජු විසින් ඉදිකළ බවට මහාවංශය සාක්ෂි දරන තිස්ස වැව මාගමට මහා සම්පතකි. තිස්ස වැව දින කිහිපයක පටන් ජාතික ප්‍රවෘත්ති මවන බිමක් බවට පත්ව තිබේ. ඊට හේතුව කාලාන්තරයක් සුද්ද පවිත්‍ර කොට නැතැයි කියන තිස්ස වැව රොන්මඩ හා පස් ඉවත් කර ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් චීන රටේ සමාගමකට ලබාදීම පිළිබඳ කරැණු මාධ්‍ය හරහා අනාවරණය කිරීමයි.
රෑපවාහිනී ඇතුළු ජනමාධ්‍ය රුසක් තිස්ස වැව සම්බන්ධයෙන් වාර්තා කළ ප්‍රවෘත්තිවල බර යන්ත්‍රෝපකරණ භාවිත කරමින් වැවේ රොන්මඩ ඉවත් කිරීමත් එම කටයුතුවල නිරත අය හමුදාවේ නිලඇඳුමකට සමාන ඇඳුමකින් සැරසී ගත් චීන ජාතිකයන් පිරිසක් බවත් සඳහන් විය. ප්‍රථමයෙන් මේ බව අනාවරණය කෙරැණු පසුව එහි සේවය කරන පිරිස් පෙර කී හමුදා ඇඳුමට සමාන ඇඳුම ඉවත් කර සිවිල් ඇඳුමකින් සැරසී එම කටයුතුවල නිරත වන බවද දකින්නට ලැබුණි. මේ ආකාරයට තිස්ස වැවේ සිදුවන ප්‍රතිසංස්කරණ කටයුත්ත සම්බන්ධයෙන් මාධ්‍ය අනාවරණය කරන තුරැම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නොදැන සිටීම පුදුමයකි.

පැරණි මාගම නගරයේ සීමාව වර්තමාන තිස්සමහාරාම තානායම ඇති ස්ථානය බව කියැවේ. මේ ස්ථානය ආශ්‍රිතව 20 වැනි ශතවර්ෂයේ මුලදී හෙන්රි පාකර් මහතා විසින් සිදු කළ කැණීමකි. එහිදී හමුවූ වරිච්චි බිත්ති සහිත පැරණි නිවාසය කුඹල්කරැවන්ට අයත් එකක් බවට විශ්වාස කර තිබිණි. එම ආශ්‍රිත ප්‍රදේශ ක්‍රිස්තු පූර්ව 400ට පෙර කාලයේ සිට ජනාවාසව පැවති බවට සාධක බව කියැවේ. මෙම කැණීම්වලදී ගජ ලක්ෂ්මි කාසි රැසක් සමඟ අර්ධ මැණික් රැසක්ද හමුව තිබේ. ඒ අනුව එවකට අපනයනය සඳහා රතු මැණික් මෙම ස්ථානයෙන් ගොඩගන්නා ලද බවද කියැවේ. තිස්ස වැවට ආසන්නව පිහිටි බිමක් වන්නේ ටිකිරියාගොඩානයි. එහි ඉපැරණි ගඩොල් මේ වන විටත් දැකිය හැකිය. මේ ස්ථානවලින් ශේෂ වූ පුරාවස්තු රැසක් මේ වන විටත් තිස්ස වැව තුළ ඇතැයි විශ්වාස කෙරේ.

මෙවැනි පෞරාණික වටිනාකමක් ඇති බිම් පරිශ්‍රය පුරාවිද්‍යා භූමියක් බව අමුතුවෙන් කිවයුතු නැත. තිස්ස වැව වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතට ගැනුණද එහි කිසියම් ප්‍රතිසංස්කරණයක් සිදුකරන්නේ නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිසි අවසරයක් ලබාගත යුතුව තිබිණ. එවැනි නීතිමය අවසරයකින් තොරව කාගේ හෝ බලපුළුවන්කාරකමකට තිස්ස වැවේ රොන්මඩ හා පස් ඉවත් කරන කොන්ත්‍රාත්තුව චීන සමාගමකට ලබාදී ඇතැයි සඳහන්ය. ඊට අනුබල දුන් අය තිස්ස වැවේ රොන්මඩ හා පස්වල වටිනාකම නොදනනේද? නැතිනම් මෙසේ ඉතිහාසගත ජීවී සාක්ෂි හාරා පිටරුටියන් සතුකර සන්තෝසමක් ලබාගැනීමේ ජාවාරමක්දැයි බරපතළ ගැටලුවකි.

රජය විසින් ආරම්භ කර ඇති &වාරි සෞභාග්‍යා* වැඩසටහන යටතේ වැව් අමුණු වාරි ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම ජාතික ව්‍යාපෘතියකි. මෙය නියමු ව්‍යාපෘතියක් වශයෙන් රාජ්‍ය මුදල් යෙදවීමකින් තොරව සිදු කිරීමට කටයුතු කර ඇත. ඉකුත් ජූනි 20 වැනිදා මෙම කටයුත්ත වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කොට තිබුණි. ඒ සඳහා එක්ව ඇත්තේ චීන රටට අයත් සමාගමකි. එහි සේවක පිරිස් සේවයේ යෙදී ඇත්තේ හමුදාවට අයත් කැලෑ ඇඳුමකට සමාන නිලඇඳුමක් ඇඟලාගෙනය. මේ සිදුවීම ප්‍රදේශවාසීන්ගේත් මාධ්‍යයේත් අවධානයට යොමුව තිබුණේ මේ ආකාරයටය.

තිස්සමහාරාම ස්ථූපය මෙන්ම තවත් පෞරාණික වශයෙන් වැදගත් ස්ථාන වැවට ආසන්නයෙන් පිහිටීම නිසා කාලයක සිට සෝදාපාළුවට ලක්වූ පුරාවස්තු රැසක් වැව් පතුලේ ඇතැයි විශ්වාස කෙරේ. අවට බිම්කඩ රාශියක හිමිකම ඇත්තේද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටය. එබැවින් කැණීමක් කිරීමට පෙර එම දෙපාර්තමේන්තුවේ අවසරය ලබාගැනීම අත්‍යාවශ්‍යය. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාගේ උපදෙස් මත අදාළ කැණීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිසි අවසරය ගන්නා තෙක් වහාම එම ව්‍යාපෘතිය නවත්වන ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂිකා වසන්තා අලහකෝන් මහත්මිය විසින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ලිඛිතව දන්වා තිබිණි. ඒ අනුව ප්‍රතිසංස්කරණ කටයුතු චීන සමාගම විසින් නවත්වා ඇති අතර ඉන් පසුව කිසිදු පාර්ශ්වයක් මගින් අවසරයක් ඉල්ලා නැති බවද වාර්තා වේ.

මේ අතර තිස්ස වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සිදු කරන ලෙස පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා වෙත යෝජනා කර ඇතැයි වාර්තා වේ. වැඩිදුරටත් වාර්තා වන්නේ මේ සඳහා යොදවන කමිටුව පුරාවිද්‍යා කොමසාරිස්වරයාට හා ඉහළ බලධාරීන්ට හිතවත් පිරිසක් බවත් ඔවුන් අදාළ කාරණය සැහැල්ලුවට සලකමින් ගැටලුවෙන් මිදීමට උපායක් යොදාගන්නට උත්සාහ ගන්නා බවත්ය. මේ කාරණය පිළිබඳව ඇතැම් මාධ්‍ය වාර්තා පළ කර තිබුණි.

මේ අතර වාර්තා වන්නේ තිස්ස වැවේ රොන්මඩ ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව ලාංකික ව්‍යාපාරිකයකු විසින් ලබාගෙන ඇති බවය. අනතුරැව ඔහු චීන සමාගමක් හා සහයෝගයෙන් කටයුතු කරන බව කියැවේ. එසේ වැඩ කරන පිරිස හමුදාවේ කැලෑ ඇඳුමට සමාන ඇඳුම් ඇඳුම් ඇඳ ඇත්තේ සේවයේ යෙදීමට පහසු වනු නිසා බවද ඔවුන් චීන හමුදාවේ පිරිසක් නොවන බවද වාර්තා වී තිබේ. කෙසේ වෙතත් තිස්ස වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා චීන හමුදාව යොදා ඇතැයි කීම සම්බන්ධයෙන් සමාජයේ වැඩි කතාබහක් ඇතිව තිබුණි.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03