වර්තමානය හොඳින් කියවා ගැනීම අනාගතය වෙනුවෙන් සිදුකරන විශාල ආයෝජනයකි. එවන් ආයෝජනයක් සිදුකිරීම උදෙසා අතීතයෙන් පන්නරය ලැබූ ජ්‍යෙෂ්ඨ දේශපාලන චරිතයක් සොයා අපි ගියෙමු. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ධූරයද නව පරපුරට භාරදී කාලීන දේශපාලනය දෙස අවබෝධයෙන් බලා සිටින ඔහු රටම හඳුනන ඩිව් ගුණසේකරය.
බැසිල්ගේ රාජපක්ෂ දේශපාලන ආගමනයෙන් ආණ්ඩුවේ ප්‍රශ්නය විසඳේද යැන පැනය ඔස්සේ අපි සංවාදය ඇරඹුවෙමු. එම අපේක්ෂාව මනෝ මූල කාරණයක් බවත් එය යථාර්ථයට නොගැලපෙන බවත් පවසමින් ඩිව් ගුණසේකරයන් සිය කතාව ඇරඹුවේය.
අප හමුවේ තිබෙන්නේ ත්‍රිත්ව අර්බුදයක්. පළමුවැනි කාරණාව ගෝලීය ආර්ථික අවපාතයක් තිබෙනවා. ලෝක ආර්ථිකය වහලා දාලා. දැන් ඒක හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ. දෙවැනි කාරණය ගෝලීයකරණය හේතුවෙන් අපේ ආර්ථිකයත් ඊට සම්බන්ධ වීම. කොරෝනා මර්දනය සහ එන්නත් පිළිබඳ ප්‍රශ්න එක්ක මේ තත්ත්වය ලොවපුරා සියලු රටවලට බලපාපු කාරණයක්. තුන්වැනි කාරණය අපේ රටේ මේ ආර්ථික අර්බුදය කොවිඩ් එක්ක හේතුවෙන් ඇති වූවක් නෙවෙයි. ඒක කොවිඩ් නිසා උත්සන්න වුණා.
වර්තමානයේ රට මුහුණ දෙන ආර්ථික අර්බුදය අදක ඊයෙක ඇතිවූවක් නොවන බව ඩිව් ගුණසේකර මහතා කියා සිටියි. 2009 වනවිට රටේ ආර්ථිකය සෘණ තත්ත්වයට පත්ව තිබූ බව ඔහු සිහිගන්වයි. එදා සියයට නවයට වැඩී තිබුණු දළ දේශීය නිෂ්පාදනය අද වනවිට සියයට බින්දුවට වැටී ඇති බව ඔහු පෙන්වා දෙයි.
2015න් පසු අවුරුදු කිහිපය තුළ රට හරියට පාලනය වුණේ නෑ. ආර්ථිකය අයාලේ ගියා. ජනාධිපති අගමැති අතර ගැටුම් ඇතිවෙන්න පටන් ගත්තා. නිෂ්පාදනය සිදුවුණේ නෑ. තිබුණු සල්ලිවලින් කකා හිටියා. මේ ආණ්ඩුව බලය ලබාගත්තේ එවන් තත්ත්වයක් ඇතුළේ. ආණ්ඩුව ආපු හැටියේම කොවිඩ් එක ආවා. පළවෙනි රුල්ල ඇතුළේ තත්ත්වය පාලනය කරගත්තා. දෙවැනි රුල්ල ආවා. ඒක පාලනය කරන්න බැරි වුණා. ඒක ආර්ථිකයටත් බලපෑවා. මේ තත්ත්වය කවුරු බලයේ හිටියත් මොන ආණ්ඩුව ආවත් මුහුණදීමට වෙන තත්ත්වයක්.
ඩිව් ගුණසේකර මහතාට අනුව කොවිඩ් තත්ත්වය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ගත්කල සාධනීය සහ නිශේධනීය තත්ත්වයන් අපට හඳුනාගත හැකිය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තුබූ අර්බුදය මෙන්ම විද්‍යාඥයන් සහ දේශපාලනඥයන් මෙම තත්ත්වය කළමනාකරණය කිරීම නිසි ක්‍රමෝපායන් භාවිත නොකිරීම තත්ත්වය ව්‍යාකූල වීමට හේතු වූයේය.
වසංගතයක් ආවම විද්‍යාත්මක පැත්තෙනුත් ප්‍රායෝගිකවත් සිද්ධාන්තයක් තියනවා. වසංගතයක් පාලනය කරන්න බෑ ජනතාවගේ සහයෝගය නැතිව. 1934දී ඇතිවුණ මැලේරියා වසංගත වෙලාවේ කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රිකවල ජනතාව මියගියා. සුද්දන්ගේ ආණ්ඩුව කරගන්න දෙයක් නැතුව හිටියා. සූරිය මල් ව්‍යාපාරය මතුවුණේ එතැනින්. නිදහස් සෞඛ්‍ය මහජන සෞඛ්‍ය ඇතිවුණේ එතැනින්. අපි ලෝකේ හොඳ මහජන සෞඛ්‍ය පදනමක් තිබෙන රටක්. එක තැනක කේන්ද්‍රීය මධ්‍යස්ථානයකින් වසංගතයක් පාලනය කරන්න බෑ. පළාත් සභා ප්‍රාදේශීය සභා ග්‍රාමසේවා කොට්ඨාස දක්වා ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන්න ඕනෑ. මෙතැනදී එහෙම ප්‍රජා මූලික ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුණේ නෑ. ඒක තමා වැරදුණේ.
එසේ නමුත් වර්තමාන ආර්ථික දේශපාලන අභියෝග පිළිබඳ සංවාදයේ තවත් පැත්තක් තිබේ. ජේ.ආර්. ජයවර්ධනගේ සිට ගෝඨාභය රාජපක්ෂ දක්වා විධායක ජනාධිපතිවරු සැලකීමේදී ගෝඨාභය රාජපක්ෂගේ වෙනසක් තිබේ. එය තේරුම් ගැනීමට නම් විධායක ජනාධිපති ක්‍රමය නම් වූ දේශපාලන ක්‍රමවේද අවබෝධ කර ගතයුතුය. විධායක ක්‍රමයේදී ජනාධිපතිවරයා රාජ්‍යයේ නායකයා, ආණ්ඩුවේ නායකයා, ත්‍රිවිධ හමුදාවේ නායකයා මෙන්ම පක්ෂයේ නායකයාද වෙයි. එය බලය කේන්ද්‍ර ගතවූ සිස්ටම් එකක් බව ඩිව් ගුණසේකර මහතා පෙන්වා දෙයි.
ඒ සිස්ටම් එක මෙතැනදී නෑ. මොකද ඔහු දේශපාලනඥයකුත් නෙවෙයි. පක්ෂ සාමාජිකයකුත් නෙවෙයි. පක්ෂ නායකයකුත් නෙවෙයි. ඒ නිසා මේ ව්‍යුහය ඇතුළේ මේ සිස්ටම් එක වැඩ කරන්නේ නෑ. මට පේන විදිහට ජනාධිපතිතුමා වැඩ කරන්නේ නිලධාරී මණ්ඩලයත් එක්ක. පක්ෂවත්, මන්ත්‍රීවරුවත් සම්බන්ධ නෑ. ඒක ව්‍යූහාත්මක අර්බුදයක්. ඒ නිසා ගැටලු මතු වෙනවා.
ජනාධිපතිවරයා පක්ෂයේ නායකයා නොවීම හේතුවෙන් ඇතිවන අර්බුදය පිළිබඳව ඩිව් ගුණසේකර මහතා පැහැදිලි කරයි.
ඇත්ත වශයෙන් පක්ෂ තියෙන්නේ පිටින්. බැසිල් රාජපක්ෂ ජාතික සංවිධායක, සභාපති ජී.එල්. පීරිස්, ලේකම් සාගර කාරියවසම්. මෙතැන සන්ධානයක් තිබුණාට ගැලපීමක් නෑ. ඉස්සර සන්ධාන කැබිනට් එකට යන්න ඉස්සෙල්ලා හරි එකට රුස්වෙනවා. මං දන්න විදිහට ඒක ව්‍යූහයේ ප්‍රශ්නයක්.
මීට සමගාමීව වර්තමනා දේශපාලන සංස්කෘතියේ බිඳ වැටීම පිළිබඳවද ඩිව් ගුණසේකර මහතා පැහැදිලි කරයි. වර්තමාන පාර්ලිමේන්තුව ඉතාම අඩු දේශපාලන අවබෝධයක් සහිත පාර්ලිමේන්තුවක් බව ඔහු පෙන්වා දෙයි.
බලන්න දැන් අවුරුදු දෙකක් ගිහිල්ලා තිබෙනවා. ආරථික අර්බුදය පිළිබඳ එක විවාදයක් පාර්ලිමේන්තුවේ තිබුණාද? අර මම ඉන්න කාලේ අල්ලපු මහ බැංකු හොරකම ගැන අවුරුදු හයක් ගිහින් තාම විවාදයක් පාර්ලිමේන්තුවේ නෑ. වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳ ජනතාව දන්නේ නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් දන්නේ නෑ. ඔවුන්ට අවබෝධයක් ඇත්තේම නෑ. ඇමැතිවරු අතර අතළොස්සකට විතරයි ඒ අවබෝධය තියෙන්නේ. ඇමතිවරු තිහක් ඉන්නවා. මගේ ඔළුවට එන්නේ නෑ තුන් හතර දෙනෙකුට වැඩිය. අනෙක් කට්ටිය ඉන්නවාද කියලා දන්නෙත් නෑ.
මෙවන් තත්ත්වයක් තුළ සිය පක්ෂයේ නායකයා වන බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණියහොත් සියල්ල හරියනු ඇතැයි මන්ත්‍රීවරුන්ට සිතිය හැකිය. එහෙත් ක්‍රමෝපායන් නොමැතිව ඔහු ආ පමණින් කිසිවක් වෙනස් නොවේ. එහෙත් ඩිව් ගුණසේකර මහතා පවසන පරිදි සිය පෞද්ගලික අදහසට අනුව බැසිල් රාජපක්ෂ මහතා එම පක්ෂයේ නිර්මාතෘවරයා නම් ඔහු පිටතින් නොසිට කලින්ම ඇතුළට පැමිණීමට තිබුණි. එහෙත් බැසිල් රාජපක්ෂ නොව සක්කරයා පැමිණියත් මෙම අර්බුදය විසඳිය යුත්තේ විද්‍යාත්මකව බව ඩිව් ගුණසේකර මහතා පෙන්වා දෙයි.
චමිඳු නිසල් ද සිල්වා