කොවිඩ් වසංගතය නිසා පාසල් අධ්‍යාපනයට තිත වැටුණේ 2020 මාර්තුවල සිටය. ඉන්පසු පාසල් පැවැත්වීමට ගත් උත්සාහයන් ලත් තැනම ලොප්වූයේ යළිත් ඇරඹුණු කොවිඩ් රැලි නිසාය. මේ නිසා ලංකාවේ පාසල් මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ටද ගෙදරටම කොටු වී ඔන්ලයින් අධ්‍යාපනයේ සරණ යෑමට සිදුව තිබේ.
ඔන්ලයින් අධ්‍යාපනයට සිග්නල් ප්‍රශ්න, ස්මාට් දුරකථන නැතිකම, ඩේටා කාඩ් ලබාගැනීමට මුදල් නැතිකම ගැන රට වටෙන්ම කංකෙඳිරිගෑම් ඇසෙන්නට පටන්ගෙන ඇත.
බදුල්ල පස්සර වරාදොළ ගම්මානයෙන් අසන්නට ලැබෙන්නේ දියණියගේ ඔන්ලයින් අධ්‍යාපනයට අන්තර්ජාල සංඥා ලබාගැනීමට අඩි 150ක් උසැති ගසකට නැග රවුටරයක් සවි කළ පියෙකු ගැනය. ඔහු ජීවිත අවදානම පවා නොතකා එම ගසට නැග රවුටරයක් සවිකිරීම ගැන පුවත බී.බී.සී. ප්‍රවෘත්ති අඩවියේද පළකර තිබුණි. රටපුරාම විවිධ ප්‍රදේශවලින් කඳුවලට නැග, ගස්වලට නැග සිග්නල් හොයන දරුවන් ගැන නිතර අසන්නට ලැබේ.
අඩපණ වූ පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වාගෙන යාමට පියවර ගෙන තිබෙන අතර, එයට අවශ්‍ය උපකරණ හිඟය මෙන්ම පරිගණක සාක්ෂරතාව අවම මට්ටමක පැවතීමද දෙමාපියන්ට ප්‍රශ්නයක් වී තිබේ.
බකමූණ මහසෙන් ජාතික පාසලේ ගුරුවරයකු අප සමඟ පැවසුවේ විදුහලේ උසස් පෙළ සිසුන් පිරිසකට ස්මාට් දුරකථන නැතිකම නිසා අධ්‍යාපනය ලැබීමට නොහැකිව සිටින බවයි. ස්මාට් දුරකථන ආධාර වශයෙන් ලබාදෙන කුඩා ව්‍යාපෘතිද මුහුණු පොත වැනි සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක කරන අන්දමද ඉඳහිට දැකගැනිමට ලැබේ. &මේ පැත්තේ ස්මාට් පෝන් මිලදී ගැනීමට තබා එදිනෙදා ජීවිතය ගෙන යන්නෙත් අමාරුවෙන්. ඩේටා කාඩ් වගේ අමතර වියදම් දෙමාපියන්ට දැරීමට අමාරුයි.* බකමුණේ ගුරුවරයා අප සමඟ පැවසුවේය.
යුනෙස්කෝ සංවිධානය පවසා තිබෙන්නේද පවත්නා අවදානම් තත්ත්වය තුළ දරුවන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වාම ඔන්ලයින් අධ්‍යාපනයට යොමු කරවන ලෙසයි. නමුත් එක්වරම ඔන්ලයින් අධ්‍යාපනය සාර්ථකව සමාජයේ ව්‍යාප්ත කිරීම හිතලුවක් පමණි. සිසුන් සුළු පිරිසක් එයට අනුගත වුවද බහුතර පිරිසක් ඉන් හැලේ. දුර්වල සිසුන්ට ඔන්ලයින් සහ පාසලත් එපාවීම වැළැක්විය නොහැකිය.
අප සමඟ අදහස් දැක්වූ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ කථිකාචාර්ය චන්දිමා නිශ්ශංක පැවසුවේ ඔන්ලයින් අධ්‍යාපනයෙන් දරුවන්ට පාසල අමතක නොකිරීම විනා විෂය කරුණු ගැන ගැඹුරු හැදෑරීමක් ඉන් ලද නොහැකි බවයි.
ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව 30.1%කි. සෑම පුරවැසියන් සිව්දෙනකුගෙන් එක් අයෙකුට පරිගණක සමඟ වැඩ කිරීමේ හැකියාව පවතී. ඩිජිටල් සාක්ෂරතාව ජනගහනයෙන් 44.3%කි. සෑම පුද්ගලයන් පස් දෙනෙකුගෙන් දෙදෙනකුට වඩා පරිගණකය, ලැප්ටොප්, ටැබ්ලට් සහ ස්මාට් ජංගම දුරකතන තනිව පාවිච්චි කිරීමට පුළුවන. කෙසේ වුවත් සෑම සිසුවකුටම ඔන්ලයින් අධ්‍යාපනයට එක්වීමට නොහැකිවීමේ ප්‍රායෝගික ගැටලු රාශියකි.
ලංකාවේ පරිගණක යන්ත්‍ර සහිත නිවෙස් සංඛ්‍යාව 22.2%කි. ඉන් වැඩිම ප්‍රතිශතය වන 34.1% බස්නාහිර පළාතෙන්ද අඩුම ප්‍රතිශතය ඌව පළාතෙන්ද වාර්තාවේ. ජනගහනයෙන් 47%කට වැඩි පිරිසක් ස්මාට් ජංගම දුරකථන භාවිත කළද ඒ අතරින් 60%ක පිරිසක් එම දුරකථන භාවිතයෙන් අන්තර්ජාලයට පිවිසීමට නොදැන සිටින බව හෙළිව තිබේ.
විශ්වවිද්‍යාලද මේ වනවිට වසා දමා තිබේ. එම සිසුන්ද අධ්‍යාපනය සිදු කරන්නේ ඔන්ලයින් ක්‍රමයටය. පවතින තත්ත්වය මත සියලු සරසවි දින නියමයක් නොමැතිව වසා දමා ඇති අතර, මූලික පහසුකම්වත් නොමැතිව ඔන්ලයින් දේශන පැවැත්වීම මේ දිනවල සිදුවේ. එයින් බහුතරයක් සිසුහු දැඩි පීඩාවකට පත්ව සිටිති.* යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබුණි. කොවිඩ් තුන්වැනි රුල්ල මතුවීමට පෙර විශ්වවිද්‍යාල සිසුන් කණ්ඩායම් වශයෙන් නේවාසිකාගාරවල රඳවා ජෛව බුබුළු ක්‍රමයට අධ්‍යාපනය ලබාදුන් අතර පසුව එයද අත්හිටුවීමට සිදුවිය. අධ්‍යාපනය මෙන්ම විශ්වවිද්‍යාල විභාග පැවැත්වීමද ගැටලුවක් වී තිබේ. පාසල්වල වාර පරීක්ෂණ ඔන්ලයින් ක්‍රමයට මේ වනවිටද පැවැත්වීම සිදුවේ.
ලංකාවේ ඔන්ලයින් පන්ති පැවැත්වීම පාසල් ගුරුවරුන්ටද ගැටලුවක් වී තිබේ. වැසි වැටෙන විට, සුළං හමන විට හිටි ගමන් සංඥා දුර්වල වී යයි. කටහඬ නෑසී පන්තියට බාධා පැමිණේ. මුළු රටම ආවරණය වන පරිදි දුරකථන සංඥා පද්ධතියක් නැතිව ඔන්ලයින් අධ්‍යාපනය ගැන සිතීම විහිළුවකි. මෑතකදී කරන ලද සමීක්ෂණයකට අනුව අප රටේ අවුරුදු 18ට අඩු පාසල් දරුවන් සිටින පවුල්වලින් අන්තර්ජාල පහසුකම් ඇත්තේ 34%කට පමණි. ඉන් වැඩි ප්‍රතිශතයක් අන්තර්ජාල පහසුකම ලබාගන්නේ ස්මාට් දුරකථන හරහාය. ඉන් පැහැදිලි වන්නේ පාසල් දරුවන් සිටින පවුල්වලින් 66%කට අන්තර්ජාල පහසුකම් නැති බවයි.
පවතින තත්ත්වය තුළ සැමට සමාන අධ්‍යාපන අවස්ථා ලබාදීමට සිසුන් වෙනුවෙන් රෑපවාහිනී නාළිකාවක් ආරම්භ කළයුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබේ. අපට නෑ ඔන්ලයින් - ආණ්ඩුව ලොකු ලයින්* ආදී සටන් පාඨ සහිත පුවරු රැගත් උද්ඝෝෂණයක් පසුගියදා බදුල්ලේදී පැවැත්විණි.
ඔන්ලයින් ක්‍රමය හරහා සිසුන්ට නිසි ලෙස අධ්‍යාපනය ලබාදීමට නොහැකියි. ඒ සඳහා නිසි නිසි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අපි ආණ්ඩුවට බල කරනවා. මින් ඉදිරියට රෑපවාහිනී මාධ්‍යය යොදාගෙන අධ්‍යාපන කටයුතු සැලසුම් කරන ලෙසයි අපි ඉල්ලා සිටින්නේ. එසේ නොමැති නම් සියලුම පාසල් සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක හා ඊට අවශ්‍ය ඩේටා පහසුකම් නොමිලේ ලබාදිය යුතුයි. ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ පවසා සිටී.
කුසුම්සිරි විජයවර්ධන