ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි යැයි කියමන ශ්‍රී ලංකාවේ ඇතැම් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට මනාව ගැලපේ. වැරදි වැඩම නැවත නැවත පුරුද්දක් ලෙස කරන ක‍්‍රීඩකයන් නිසා ශ්‍රී ලංකාවට පසුගිය සතියේ ද ‘කළු පැල්ලමක්’ එකතු විය.
එංගලන්ත තරග සංචාරයකට සහභාගි වෙමින් සිටි වර්තමාන ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ ජ්‍යෙෂ්ඨයන් ලෙස සැලකිය හැකි උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කඩුලු රකින ක‍්‍රීඩක නිරෝෂන් දික්වැල්ල යන ක‍්‍රීඩකයන් අවේලාවේ වීථි සංචාරය කිරීමේ චෝදනාවට නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගත්තේය.
විස්සයි20 තරග තුනම පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රබලතම පිතිකරුවන් තිදෙනකු වන මෙම තුන්කට්ටුව කණ්ඩායමෙන් ඉවත්වීමත් සමඟ බිඳී තිබූ කොඳු නාරටිය දෙකට කැඩුණි.
මෙම තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරන අවස්ථාවේදීම ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව කොන්ද බින්ඳේය. ශ්‍රී ලංකාව සතුව සජීවීව සිටින ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ දිමුත් කරුණාරත්න මෙම සංචාරයෙන් ඉවත් කිරීමත් සමඟ කණ්ඩායමේ ශක්තිය හීන වූ බව අමුතුවෙන් කිව යුතු නැත.
විස්සයි20 තරගවලදී ශ්‍රී ලංකා පිතිකරුවන් දැඩිව ආසාර්ථක වන විට විශේෂඥ විස්තර විචාරකයෝ ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් නොමැතිවීම පිළිබඳව විස්තර විචාරයට සහභාගි වී සිටි කුමාර් සංගක්කාරගෙන් විමසා සිටියහ. එහිදී සංගක්කාර ද අමාරුවේ වැටුණු ආකාරය දැකගත හැකිවිය.
තේරීම් කමිටුව සහ ක‍්‍රිකට් තාක්‍ෂණික කමිටුව තරුණ ක‍්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීමට එංගලන්ත සංචාරයම තෝරාගැනීම පිළිබඳ විවේචන තිබූණ ද ඔවුන් ඒවා කණකට ගත්තේ නැත.
එංගලන්තයේදී පැවැති අවසන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වූ දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුම ඇතුළත්ව සිටීම දිමුත්ට දැවැන්ත ශක්තියක් බවට පත්විය.
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි තරගය පරාජයට පත්වීමට ආසන්නව තිබියදී දිමුත්ගේ ආරාධනයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඕවර දෙකක් යවමින් තරගය කණපිට පෙරලූ ආකාරය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ලෝලීන්ගේ මතකයේ තිබේ. එම ඕවර දෙක යැවීමට මාස හයකට පෙර හෝ මැතිව්ස් ජාත්‍යන්තර තරගයකදී පන්දු යවා නොතිබුණි.
මෙම කණ්ඩායමේ නායක කුසල් පෙරේරාට උපදෙසක් ලබාගැනීමට හෝ අත්දැකීම් ඇති ක‍්‍රීඩකයකු නැති තරම්ය. මැතිව්ස්, දිමුත් සහ දිනේෂ් චන්දිමාල් යන ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් තිදෙනාගෙන් අවම වශයෙන් දෙදෙනකුවත් මෙම තරගාවලියේ තරගවලට සහභාගි වූයේ නම් තරුණ ක‍්‍රීඩකයන්ට යමක් ඉගෙන ගැනීමේ අවස්ථාව තිබුණි.
ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් සියලු දෙනාම එකවර කණ්ඩායම ඉවත් කිරීම වඩාත් භයානකය. මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන් එකවර විශ‍්‍රාම යෑමත් සමඟ කඩා වැටීම මේ දක්වා ප‍්‍රතිපූර්ණ කරගැනීමට නොහැකි වී තිබේ.
එවැනි අත්දැකීමක් තිබියදී ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම සූදානම් කිරීමේදී ජ්‍යෙෂ්ඨයන් හැලීම කැපී පෙනේ.
රොමේෂ් කළුවිතාරණ සහ ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ වැනි හිටපු ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත තේරීම් කමිටුවක් අත්හදාබැලීමට එංගලන්ත සංචාරය තෝරාගැනීම අනුමත කළ නොහැකිය.
ඉන්දීය පිලට එරෙහිව මෙම මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරගාවලියේදී ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් කිහිප දෙනකු කණ්ඩායමට කැඳවිය යුතුව තිබේ.
ජාත්‍යන්තර ක‍්‍රිකට් විස්තර විචාරක හිටපු ශ්‍රී ලංකා ක‍්‍රීඩක රසල් ආනල්ඩ් සමාජ මාධ්‍ය ජාලයක් හරහා මෙහෙයවන වැඩසටහනකට සහභාගි වූ හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය සහ තිලකරත්න ඩිල්ෂාන් ද ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් එකවර ඉවත්කිරීම විවේචනයට ලක් කළහ.
එහිදී ධනුෂ්ක, දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් යන ක‍්‍රීඩකයන්ගේ හැසිරීම ද ඔවුන්ගේ දැඩි විවේචනයට ලක්විය.
ධනුෂ්ක ගුණතිලක වැරදි කිරීම පුරුද්දක් බවට පත්කරගෙන ඇති බව පෙනේ. නිරෝෂන් දික්වැල්ල ද මීට පෙර විනය විරෝධී ක‍්‍රියා හේතුවෙන් අවවාද ලැබූවෙකි.
කුසල් මෙන්ඩිස් රාත‍්‍රී කාලයේ පුද්ගලයකු රථයකට යට කර නිවෙසට පලා ගොස් පොලීසියට බාර වූ අතර එම සිද්ධියට අදාළ නඩුව පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතී.
මෙම ක‍්‍රීඩකයන්ට එරෙහි විනය පරීක්ෂණ පවත්වා ඔවුන්ට නිසි දඬුවමක් ලබා නොදුනහොත් නැවතත් වැරදි නොකරයි යැයි කිසිවකුට සහතිකයක් දිය නොහැක.
යොහාන් භාසුර