ෆේස්බුක් පිටුවක් හරහා සිය පෞද්ගලික රහස් හෙළි කළා යැයි කියන සිදුවීමක් හේතුවෙන් කෝපයට පත්වූ දේවාලයක් පවත්වාගෙන යන කපුවකු බව කියන අයකු පුද්ගලයන් දෙදෙනකු කුරුසයක් වැනි ලී තහඩුවක තබා ඇණ ගැසීමේ සිද්ධිය රටේම ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය. ෆේස්බුක් ප්‍රචාරය ගෙන ගියා යැයි කියන පුද්ගලයන් දෙදෙනකු මෙසේ පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දී වද හිංසා පමුණුවා කුරුස ආකෘතියක තබා ඇණ ගසා මරා දැමීමට තැත් කළ මේ සිදුවීම මහනුවර ප්‍රදේශයෙන් වාර්තා විය. පසුගිය ජූනි 25 වැනිදා ආසන්න ලැබුණු එකී සිද්ධිය පිළිබඳව කරුණු මෙසේය.
දුෂ්මන්ත සුජිත් කුමාර නැමැත්තා බලගොල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි. වෘත්තීය වශයෙන් කපුවකු ලෙස කටයුතු කරන ඔහු බලගොල්ල, අම්පිටිය හා දඹුල්ල යන ප්‍රදේශවල දේවාල පවත්වාගෙන යයි. මොහු සම්බන්ධයෙන් යම් තොරතුරක් අනවශ්‍ය ලෙස ෆේස්බුක් පිටුවක් හරහා පළ කර තිබුණේ ඔහුගේ හිතවත් මිතුරකු විසිනි. එම තොරතුර හරහා කපුවකු බව කියන අයට දැඩි අසාධාරණයක් සිදුව ඇතැයි පැවසේ. ඒ පිළිබඳ කෝපයෙන් පසුවූ කපුවා අදාළ පුද්ගලයාට කරුණු දන්වා ඇතත් පලක් වී නැතැයිද වාර්තා වේ. කෙසේ හෝ පැවති හිතවත්කම අනුව ඊට සම්බන්ධ මිත්‍රයා බලගොල්ල පිහිටි සිය නිවෙසට ගෙන්වා ගැනීමට කපුවා සමත් විය. එම ගමනට කපුවාගේ මෙන්ම අදාළ අයගේ මිත්‍රයකු වන අයකුද පැමිණ තිබිණි. ඔවුන් දෙන්නා යතුරුපැදියක නැගී එම නිවෙසට ගොස් තිබුණේ පසුගිය 25 වැනිදා සන්ධ්‍යාවේය.
මෙසේ පැමිණි දෙදෙනාගෙන් අයකු මහනුවර පොල්ගොල්ල පදිංචිකරුවකු වන මංජුල රත්නායක (44) නැමැත්තෙකි. අනෙක් පුද්ගලයා කඩුවෙල බෝමිරිය පදිංචි ඩී.කේ. රත්නායක (36) නැමැත්තෙකි. මෙකී පුද්ගලයන් දෙදෙනාම දුෂ්මන්ත සුජිත් කුමාර යන කපුවාගේ සමීප මිතුරෝ වූහ. ෆේස්බුක් පිටුව හරහා කපුවාට අපහාස වන ලෙස ප්‍රකාශයක් ප්‍රසිද්ධ කර ඇතැයි කියන්නේ මංජුල රත්නායකය. කපුවාගේ නිවෙසට පැමිණ සුළු මොහොතකට පසුව කපුවා හා තවත් පිරිසක් විසින් මංජුල බලහත්කාරයෙන් කුදලා වෑන් රථයකට ගොඩකරගෙන බලගොල්ල සිට මහනුවර දෙසට ධාවනය කළහ. සිදුවීමෙන් කලබලයට පත්වූ ඩී.කේ. රත්නායක නැමැත්තා යතුරුපැදියට නැගී අදාළ වෑන් රථය පසුපස ගොස් තිබුණේ මංජුල රුගෙන යන්නේ කොහේදැයි දැනගැනීමටය. වෑන් රථය පසුපස ආ තැනැත්තාද කපුවා ඇතුළු පිරිස විසින් මහමගදී අල්ලාගෙන ඔහුවද වෑන් රථයට ගොඩකරවාගෙන තිබුණේ පහර කිහිපයක් ගැසීමෙන් පසුවය. අනතුරුව දෙදෙනා රැගෙන ගොස් තිබුණේ මහනුවර අම්පිටිය ගාල්තැන්න ප්‍රදේශයේ දේවාලයක් ආසන්නව පිහිටි කැලෑවක් වෙතය. එහිදී දෙදෙනාට පොලු මුගුරුවලින් පහර දී තිබෙන අතර ඔවුන් වේදනාව ඉවසාගත නොහැකිව කෑගසා ඇතැයි කියති. මේ අතර කුරුසයකට සමාන ලෙස සකස් කළ ලී ආකෘතියක් මත පුද්ගලයන් දෙදෙනා තබා ඔවුන්ගේ දෑත් හා දෙපාවලට පරාල ඇණ ගසා තිබිණි. මෙහිදී මර ළතෝනි නැගූ ඔවුන්ගේ ශබ්දය අසල්වැසියකුට ඇසීමෙන් එම තැනැත්තා සිදුවීම පිළිබඳව පොලීසියේ හදිසි ඇමතුම් අංශයේ 119 අංකය අමතා දන්වා ඇතැයි කියති.
ඒ සමඟ ක්‍රියාත්මක වූ මහනුවර පොලීසියේ නිලධාරීන් පිරිසක් අම්පිටිය ගාල්තැන්න ප්‍රදේශයට ගොස් තිබිණි. ඒ වන විටත් මේ දෙදෙනාට පහරදෙමින් වද හිංසා පමුණුවමින් ඔවුන් ඝාතනය කිරීමට සූදානමින් සිටි පිරිස පොලීසිය පැමිණෙන බවට ලද සංඥාවක් සමඟ ඇණගසා තුවාල කර සිටි දෙදෙනා දමා පලා ගොස් තිබුණි. වහා පියවර ගත් පොලිස් නිලධාරීන් තුවාල ලබා සිටි අය මුදාගෙන රෝහල්ගත කිරීමට කටයුතු කර තිබූ අතර ප්‍රතිකාර ලැබීමෙන් පසුව ප්‍රශ්න කිරීමට ලක් කර තිබිණි.
එහිදී හෙළි කර තිබුණේ බලගොල්ල පදිංචි දුෂ්මන්ත සුජිත් කුමාර යන අය තවත් පිරිසක් සමඟ එක්ව තමුන් පැහැරගෙන පැමිණ අමානුෂික ලෙස පහර දී ඇණ ගැසූ බවය. අම්පිටිය හා දඹුල්ල ප්‍රදේශවල දේවාල පවත්වාගෙන යන ඔහු ප්‍රබල දේශපාලනඥයන් රැසකගේ හිතවත් ආධාරකරුවකු බවද පවසා තිබිණි.
කපුවා ඇතුළු ඔහුගේ සාහාසික පිරිස මෙම පුද්ගලයන් දෙදෙනාට ඇණ ගසා වද හිංසා පමුණුවා මරා දැමීමට තැත් කිරීම සම්බන්ධයෙන් වූ විමර්ශන පොලිස් කණ්ඩායම් කිහිපයක් මැදිහත්ව සිදු කෙරෙයි. ඒ අතරට මහනුවර පොලීසිය, පල්ලෙකැලේ පොලීසිය, මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය, මහනුවර කොට්ඨාස වැටලීම් ඒකකය අයත් වේ.
විමර්ශනවලින් හෙළි වී ඇති පරිදි කපුවා ඇතුළු පිරිසගේ පහරකෑමට ලක්ව ඇත්තේ කපුවාගේ මිතුරන් දෙදෙනෙකි. ප්‍රහාරයට හේතුව අවි ආයුධ සම්බන්ධ ගැටුමක්ද නැතිනම් නිදන් කොල්ලයක්දැයි සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙයි. පහරකෑමෙන් තුවාල ලැබූ අයගේ දත් ගැලවී අස්ථි බිඳී ඇතැයි රෝහල් ආරංචිමාර්ග වාර්තා කරයි. මෙසේ බරපතළ පහරදීම හා තුවාල සිදු කිරීම හරහා කපුවා විසින් යම් රහසිගත තොරතුරක් දැනගැනීමට උත්සාහ කර ඇතැයි පොලීසිය විශ්වාස කරයි.
මෙම සිදුවීමෙන් දින හයක් පමණ ගතවන තුරු සිද්ධියේ සැකකරුවන් දෙදෙනකු හැර ප්‍රධාන සැකකරු හා අනෙක් පිරිස සොයාගැනීමට නොහැකි විය. කෙසේ නමුත් පසුව තොරතුරු වාර්තා වූයේ මෙම කපුවා කියන පුද්ගලයා මහනුවර අම්පිටිය ප්‍රදේශයේ කඩුකල්ලිය නමින් ප්‍රසිද්ධ මැර පිරිසකගේ සහාය අනුව මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවය. සැකකාර කපුවා ප්‍රබල දේශපාලන හිතවතුන්ගේ බලය අනිසි ලෙස භාවිත කරන හා දේශපාලනඥයන්ට මැතිවරණ සමයේ අත දිගහැර වියදම් කරන අයකු බවද වාර්තා වේ. ඔහුට විරුද්ධව පහරදීම්, ආයුධ පරිහරණය, ස්ත්‍රී දූෂණ ඇතුළු චෝදනා රුසක් පවතින බවද කියැවේ.
පහරදීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රධාන සැකකාර කපුවා නීතිඥවරයකු මාර්ගයෙන් පොලීසියට බාර වී ඇතැයි පොලීසිය පවසයි. අත්අඩංගුවට ගැනුණු අය අතර සාලිය චතුරංග ගුණරත්න නොහොත් සඳුන් හෙවත් සතා නැමැත්තෙක් ද වෙයි. ඔහු සන්තකයේ තිබූ හෙරොයින් මිලිග්‍රෑම් 4470ක්ද සොයාගෙන ඇත. මේ අතර සජීව දිසානායක නැමැත්තා දිගන විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු සතුව හෙරොයින් මිලිග්‍රෑම් 4035 ක් තිබූ බවද වාර්තා වේ. ප්‍රියංකර බණ්ඩාර හෙවත් චුට්ටේ නොහොත් බුලා යන අය හෙරොයින් මිලිග්‍රෑම් 4030 ක් සමඟ ද ධනුෂ්ක අමරකෝන් යන අය හෙරොයින් මිලිග්‍රෑම් 3500 ක් සමඟ ද අත්අඩංගුවට ගැනුණු අතර අනුර නවරත්න හා සමීර ගුණතිලක යන සැකකරුවෝ ද මේ වන විට අත්අඩංගුවේ පසුවෙති. මේ පිරිසේ වැඩිදෙනා මහනුවර රජපිහිල්ල මාවත පදිංචිකරුවෝය. සෙසු අය, කෙන්ගල්ල හා බලගොල්ල පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් සමඟ වෑන් රථයක්, කඩු 5 ක්, මත්පෙති රුසක්, කටු සහිත මුගුරු 1 ක්, ලොරි රථයක්, පැදුරක්, ජංගම දුරකතන 2 ක්, තුවාලකරුවන්ට අයත් ජංගම දුරකතන 2 ක්, තුවාල සිදු කළ ලේ තැවරුණු ඇණ හා ලේ තැවරුණු කියතක්, උදැල්ලක්, ලණු, වෙළුම් පටි, මිටියක් සමඟ පොලු මුගුරු කිහිපයක් ද අත්අඩංගුවට ගත් බව පොලීසිය වාර්තා කරයි. මේ අතර සැකකාර කපුවාගේ නම හා විස්තර සහිත පුවරුවක්ද පොලීසිය බාරයට ගෙන ඇති අතර සැකකරුවන් තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජූලි 9 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබීය.
මේ අතර සිද්ධියේ ප්‍රධාන සැකකාර කපුවාට හා අමරකෝන් යන සැකකරුට එරෙහිව අයුතු ජනරාශිය, පහරදීම, බරපතළ තුවාල සිදු කිරීම, මිනී මැරීමට තැත් කිරීම ඇතුළු චෝදනා රාශියක් වන බවද පොලීසිය වාර්තා කරයි.
සමන්ත ප්‍රදීප් විල්තෙර