යුද ඉතිහාසයේ මතක මාවත තුළ පියමං කරන "වනැස TV “ යූටියුබ් නාලිකාවේ සුවිශේෂී වීඩියෝවක් පසුගියදා අප නෙත ගැටුණි. මේ වීඩියෝවේ එන වික්‍රමාන්විත කතා පුවත දේශය පාඨක ඔබ සමඟ බෙදාගැනීම යෙහෙකි යැයි අපි සිතූවෙමු. එය “වනැස" යූටියුබ් නාලිකාවේ සංජීව පතිනායක මහතා විසින් කපිතාන් බන්දු කුඹලාතර මහතා සමඟ සිදු කරන සම්මුඛ සාකච්ඡාවකි. කපිතාන් බන්දු කුඹලාතර යනු කලක ගුවන ජයගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වික්‍රමාන්විත නිලධාරියෙකි. ඔහු වර්තමානයේ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ගුවන් නියමුවෙක් ලෙස කටයුතු කරයි.
ඒ එක්දහස් නවසිය අනූ පහ වසරේ නොවැම්බර් මස දහ අට වැනිදා දිනයයි. උතුරු අර්ධද්වීපය ත්‍රස්වාදීන්ගෙන් බේරාගැනීමේ අරමුණින් රිවිරුස මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් තිබුණි. ඉදිරියට යන භටයන්ට පහසුකම් සැපයීම වෙනුවෙන් ගුවන් හමුදාව නොකඩවා ගුවන් මෙහෙයුම් සිදු කරමින් සිටියේය. මෙම කාලයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු වූ විශාලතම ගුවන් යානය වූයේ "වයි එයිට්" යානයයි. එහි ගුවන් මගීන් එකසිය විසිපහක් රුගෙන යා හැකි වූ අතර මගීන් රුගෙන නොයන අවස්ථාවලදී කාගෝ ටොන් විස්සක් රුගෙන යාමට ද හැකිවිය. 1995 වසරේ නොවැම්බර් දහ අට වැනිදා "වයි එයිට්" ගුවන් යානයට වැදගත් රාජකාරියක් පැවරී තිබුණි. එම රාජකාරිය වූයේ යුදබිමේ සෙබළුන්ට අවශ්‍ය සැපයුම් යාපනය පලාලි ගුවන් තොට බලා රැගෙන යාමයි.
මෙදින ගුවන් යානයේ කපිතාන්වරයා ලෙස කටයුතු කරනු ලැබුවේ ස්කොඩ්‍රන් ලීඩර් තිබ්බටුමුණුවයි නම් විරෝධාර රණවිරුවාය. ඔහු සමඟ පියාසැරියට එක්වීමට සිටි අනෙක් නියමුවා වූයේ එවකට ගුවන් හමුදාවේ සිටි ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවකු වූ ග_ප් කපිතාන් සී.ටී. ගුණවර්ධන මහතායි. එසේ නමුත් ඔහුගේ විශ්‍රාම දිනය මෙදිනට යෙදී තිබුණි. ගුණවර්ධන මහතා සේවා දිගුවක් ඉල්ලා තිබූ නමුත් ඊට අදාළ ලිපිය ද ඔහු අතට ලැබී නොතිබිණි. අප කතා නායකයා වන බන්දු කුඹලාතර මහතා හට මෙදින විවේකී දිනයක් විය. කුඹලාතර සහ තිබ්බටුමුණුව හොඳ මිතුරෝ වූහ. මෙම ගුවන් ගමනේ සහායක නියමුවා ලෙස කටයුතු කිරීමට කුඹලාතර මහතාට ඔහු ආරාධනා කළේය.
මට තිබ්බටුමුණුව කතා කරලා කිව්වා අපි දෙන්නත් එක්ක මේ ෆ්ලයිට් එකේ යමු කියලා. අපි ඉක්මනට ගිහිල්ලා එමු.. මට ඇවිල්ලා දානේ ගෙදරකත් යන්න තියෙනවා කියලා ඔහු කිව්වා.
මට මතකයි උදේ පාන්දර හයයි දහයට විතර තමා අපි ගුවන් ගතවුණේ රත්මලානෙන්. එදා කපිතාන් විදිහට කටයුතු කළේ ස්කොඩ්‍රන් ලීඩර් තිබ්බටුමුණුව. අපි දෙන්නම කපිතාන්වරු. නමුත් ඔහු තමා ජ්‍යෙෂ්ඨ කෙනා. ඒ නිසා මම සහාය නියමුවා විදිහට කටයුතු කළේ. ඔහු කිව්වා බන්දු ඔයා යනකොට ෆ්ලයි කරන් යන්න. මම එනකොට ෆ්ලයි කරන් එන්නම් කියලා. ඉතින් මම තමයි ගුවන් යානය ෆ්ලයි කරන් ගියේ යාපනයට.
මේ දිනවල ගුවන් ගමන්වලදී පණිවුඩ හුවමාරුවට භාවිත කළේ සුපුරුදු වාචික සන්නිවේදන නොවේ. ඒ සඳහා විශේෂ කේත ක්‍රමයක් භාවිත විය. ඒ අනුව එම ක්‍රමය හරහා යාපනය සමඟ ගොඩබැසීමට පෙර ගුවන් නියමුවෝ පලාලි ගුවන්තොට සමඟ දෙතුන් විටක් තොරතුරු හුවමාරු කර ගත්හ. මේ දිනවල ත්‍රස්තවාදීහු මිසයිල භාවිත කරමින් ගුවන් හමුදාවේ යානාවලට දැඩි තර්ජනයක් එල්ල කරමින් සිටියහ. ගුවන් අනතුරුද කිහිපයක් සිදුවී තිබුණි. එනිසා මේ ආදී වූ විශේෂිත ක්‍රම රැසක් ගුවන් හමුදාව භාවිත කළේය. තවත් එවන් උපක්‍රමයක් වූයේ යාපනය අර්ධද්වීපයට ඉතා ඉහළින් පියාසර කර මුහුදේ නාවික සැතපුම් විස්සක් තිහක් පමණ ඈතට ගොස් නැවත පැමිණ ගොඩබැසීමේ උපක්‍රමයයි. එහිදී ගුවන් යානය භූමියට ඉතා සමීපව මීටර් දෙසීයක් තුන්සීයක් පහතින් පියාසර කරවමින් යාපනය අර්ධද්වීපයට ගොඩබැසීම සිදුවිය. මෙසේ ගොඩබැසීමට පැමිණෙන විට යානයට හෙලිකොප්ටරයකින් සහ ඩෝරා යාත්‍රාවලින් ආරක්ෂාව සැපයීම ද සිදුවිය. මෙදින එම කටයුත්ත සාර්ථකව සිදුවෙමින් තිබුණි.
මම අපේ ෆ්ලයිට් ඉන්ජිනියර්ට "ෆ්ලප්" එක දාන්න කියලා කීවා. ෆ්ලප් කියන්නෙ වේගය අඩුකරගන්න දාන දෙයක්. රෝද පල්ලෙහාට දාන්න කියලත් කිව්වා. දැන් මම ගුවන් යානය පියාසර කරගෙන යනවා. එකපාරට පලාලි ටවර් එකෙන් පණිවිඩයක් ආවා ගුවන් යානය වහාම හරවගන්න බෝට්ටු වගයක් මේ පැත්තට එනවා කියලා. එයා බොහොම බයෙන් තැති අරගෙන කෑගැහුවේ. අපිට ඒ පණිවිඩය ඇවිල්ලා තත්පරයක් යන්න වුණේ නෑ. යානයේ වම් අත පැත්තේ විශාල පිපිරුමක් ඇහුණා. ඒක අපේ කන ගාව ක්ලේමෝ බෝම්බයක් පුපුරනවා වගේ ශබ්දයක්. කන් අඩි බිහිරිවෙලා ඇඟ දෙදරලා යන ශබ්දයක්. ඒකත් එක්කම ගුවන් යානය ඒ පැත්තට හැරිලා කඩාගෙන යටට යන්න පටන් ගත්තා.
ත්‍රස්තවාදීන් එල්ල කරනු ලැබුවේ තාපය වැඩි තැනට ඉලක්ක වන ගුවන්යානා නාශක මිසයිලයකි. ඒ අනුව මිසයිලය වැදී තිබුණේ යානයේ වම්පස තටුවේ වූ දෙවැනි එන්ජිමටයි. ඒ අනුව එම එන්ජිම පුපුරා ගුවන් යානයේ තටුව බාගෙට කැඩී ගොස් තිබුණි. මේ වන විට යානයේ කාර්ය මණ්ඩලයේ පස් දෙනෙක් වූහ. සිදුවූයේ කුමක්දැයි එකවර පැහැදිලි නොවුණු නමුත් තිබ්බටුමුණුව සහ අප කතා නායකයා එක්ව යානය පාලනය කර ගැනීමට උත්සාහ දැරූහ. ඒ අනුව පහළට යමින් තිබූ යානය යාන්තම් එසවුණා පමණි. යානය මුහුදට වැදී ගිලී ගියේය. එහෙත් දැන් යානය මුහුද යටින් ඉදිරියට ගමන් කරයි.
“දැන් අපි මුහුද යට ඉන්නේ. දැන් මුහුද යටින් එයාක්‍රාෆ්ට් එක ගමන් කරනවා. මේක ස්ලෝ ඩවුන් වෙනකොට ටික ටික උඩට ආවා. එතකොට අපේ ජල මට්ටම තිබුණේ අපේ වින්ඩෝ එකට පල්ලෙහායින්. මට මතකයි ඇතුළේ යනකොට මගේ ඔළුව තැන් කිහිපයක වදිනවා. නැවතිච්ච ගමන් මම බෙල්ට් ටික ඔක්කොම ගලවලා දාලා, බී වින්ඩෝ කියලා එකක් තියෙනවා දකුණු පැත්තේ. මම ඒ ජනේලේ අරගෙන එළියට පැන්නා. ඇත්තවශයෙන්ම ඒ වින්ඩෝ එකෙන් පනින්න කෙනකුට අමාරුයි. ඒත් අපි ඒකෙන් පනින විදිහ කලින් ප්‍රුක්ටිස් කරලා තිබුණේ. ඒත් මහත එක්කෙනකුට එහෙම පනින්න බෑ. මම ඒ දවස්වල එච්චර මහත නෑ. මම පැත්තට හැරිලා පැනගත්තා. මම පැනගෙන මුහුදේ ඉඳන් කෑගහනවා ඇතුළේ ඉන්න කට්ටියට එළියට එන්න කියලා."
මේ අතර ගුවන් නියමු කුටියේ ඉහළින් ඇති හදිසි දොරටුව විවර කරගෙන යානයේ කපිතාන්වරයා ලෙස කටයුතු කළ තිබ්බටුමුණුව ද එළියට පැන්නේය. ඔහු සමඟම ෆ්ලයිට් ඉන්ජිනියර් නානායක්කාර නම් නිලධාරියාද එළියට පැන්නේය. මේ වන විට කුඹලාතර මහතාට ගුවන්යානයට සිදුවී ඇති දේ අවබෝධ විය. ගතවූයේ මිනිත්තු දෙක තුනක් පමණි. යානය නැවත මුහුදේ ගිලී ගියේය. මුහුදට පැනගැනීමට හැකි වූ නිලධාරීන් තිදෙනා එක ළඟ මුහුදේ පීනමින් සිටියහ. ගොඩබිම ඈතින් යාන්තමින් ඉරක් මෙන් පෙනෙන්නට තිබුණි. මෙම සිදුවීම සිදුවූයේ ගොඩබිමට කිලෝමීටර් තුනක් විතර ඈතිනි.
“මම ඇහුවා ඔහුගෙන් සපත්තු ටික ගලවාගත්තා ද කියලා. ඔව් සපත්තු ටික ගලවාගත්තා කියලා කිව්වා. මමත් සපත්තු ටික ගලවාගත්තා. අපි මුහුදේ ටෙඩල් කර කර හිටියා. මුහුද ගැන දන්න අය දන්නවා. මුහුදේ ඈත ගියාම අඩි ගණන් උසට රුලි උස් පහත් වෙනවා. එක ළඟ අඩි දහයක්වත් ඈත පේන්නේ නෑ. වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා අර දෙන්නාව මට නොපෙනී ගියා. වචන දෙක තුනයි කතා කළේ. මට මතකයි ස්ක්‍රොඩුන් ලීඩර් නානායක්කාර සීට් කුෂන් එකක් අල්ලන් හිටියා. තිබ්බටුමුණුව හොඳට පීනන්න පුළුවන් එක්කෙනෙක්. එයා හොඳට ඔළුව උඩට තියාගෙන පීන පීන හිටියා. දෙන්නා එක ළඟ හිටියේ."
මුහුදේ පීනමින් සිටි කුඹලාතර මහතා ඈත පාවෙන ඔක්සිජන් ටැංකියක් දුටුවේය. එය ගුවන් යානයේ තිබුණු එකකි. ඒ අනුව ඔහු ඒ දෙසට පිහිනන්නට වූ අතර ඔහුගේ එක් පාදයක මස්පිඬු පෙරළීමක් සිදුවිය. කෙසේ හෝ ඔහු තනි පාදයෙන් වාරු ගෙන ඔක්සිජන් සිලින්ඩරය ළඟට ගිය අතර අප කතා නායකයා යාන්තමින් එහි එල්ලුණේය. ඒ වන විටත් පිහිනීමෙන් හෙම්බත්ව සිටි කුඹලාතර මහතාට ආධාරකයක් නොමැතිව තවදුරටත් ජීවත්ව සිටීමට නොහැකි බව අවබෝධ වී තිබිණි. එය තවදුරටත් ඔප්පු කරමින් සිලින්ඩරයේ එල්ලෙන විට ඔහුගේ අනෙක් පාදයේ ද මස්පිඬු පෙරළී ගියේය. ඔහු දැන් ඔක්සිජන් සිලින්ඩරයේ එල්ලී දිවි රුකගන්නට උත්සාහ දරමින් සිටියි.
“තවත් බිහිසුණු දෙයක් සිද්ධ වුණා. මං හිතන්නේ අපිට වෙඩි තියපු ත්‍රස්තවාදී බෝට්ටුව වෙන්න ඇති අපේ පැත්තට ඇවිල්ලා කරකැවෙනවා. ඔහොම මෙහෙම මීටර් හතළිහක් පනහක් විතර ළඟ. මට හොඳට මතකයි කළු පාට ඇඳගත්ත මිනිස්සු හිටියේ. බෝට්ටුව වටේටම වෙපන් මවුන්ට් කරලා තිබුණේ. ඒගොල්ලෝ හෙව්වේ කවුරුහරි ඉතුරුවෙලා ඉන්නවාද කියලා. ඇත්තටම මම ගොඩක් බය වුණේ ඒ වෙලාවේ මාව අල්ලාගත්තොත් කියලා. ඇත්තටම මැරෙන එක සැපයි ඊට වඩා. මම ඔක්සිජන් සිලින්ඩරය බදාගෙන ඔළුව යට ගහගෙන ඉන්නවා. හුස්මක් ගන්නවා ආයේ යට යනවා. මගේ අත්දෙක විතරයි සිලින්ඩරයෙන් පේන්නේ. ඒගොල්ලෝ ගොඩක් ළඟටම ආවා. කොහොම හරි මාව දැක්කේ නෑ වාසනාවට."
මේ අතර නාවික හමුදා බෝට්ටු දෙකක් පැමිණ ත්‍රස්තවාදීන්ට වෙඩි තැබුවේය. ඒ සමඟම කුඹලාතර මහතාට නැවත ජීවිත අවදානමක් මතුවිය. ඔහු වෙඩි හුවමාරුවට මැදිවිය. ඔහුගේ ආසන්නයට විශාල උණ්ඩ පදිත වෙයි. එහෙත් එවරද වාසනාව ඔහු සතු විය. නාවික හමුදා පහරදීම් හමුවේ ත්‍රස්තවාදීහු පලා ගියහ. නාවික හමුදා බෝට්ටුවක් ඔහු අසලින් ගමන් කරන්නට විය. එවර කුඹලාතර මහතා ඊට අත වැනුවේය. එහෙත් එවර ඔහු වාසනාවන්ත නොවුණි. නාවික භටයෝ ඔහුව නොදුටූහ. ඔහු නැවත සිලින්ඩරය අල්ලාගෙන පාවෙමින් සිටියේය.
“ඊටපස්සේ හෙලිකොප්ටරයක් ආවා. අපිව හොයන්න පටන් ගත්තා. මම දිගටම එල්ලිලා අත වැනුවා. ඊටපස්සේ හෙලිකොප්ටරය ඒගොල්ලෝ එතැනට පහත් කළා. අඩි දහයක් වගේ වෙන්න පහත් කළා. හෙලිකොප්ටරයේ ඉන්නවා එයාර් ගනස්ලා දෙන්නෙක්. පුම්බපු ටයර් එකක ගැටගහපු කඹයක් දැම්මා පල්ලෙහාට. මම අර ටයර් එක ඇතුළට ගිහිල්ලා අත් දෙක දෙපැත්තට දාගත්තා. එයාර් ගනස්ලා දෙන්නා කඹෙන් ඇදලා මාව ගත්තා ඇතුළට. මට කතා කරගන්න බෑ. එත් මම නැග්ග ගමන්ම කිව්වේ තව දෙන්නෙක් ඉතුරුවෙලා ඉන්නවා කියලා. ගුවන් නියමුවෝ දෙන්නා මම කිව්ව පැත්තට ගියා. එතකොට ඒ දෙන්නාව දැක්කා. ඒ දෙන්නා සිහිසුන් වෙලා මුනින් අතට පාවෙනවා. ඔළුව යට පිට විතරයි පේන්නේ දෙන්නගෙම. ඒ දෙන්නව ගන්න උත්සාහයක් දැරුවා. ගන්න බැරිවුණා. ඒගොල්ලෝ කිව්වා මට මේ දෙන්නව ගන්න බෑ අපි යනවා. අපි නේවි එකට කිව්වා අපි දැන් පලාලි හොස්පිටල් එකට යනවා කියලා.
පලාලි හමුදා රෝහලට ඇතුළත් වන විට කුඹලාතර මහතා සිටියේ ඇවිදගත නොහැකි තත්ත්වයකය. ඔහු රෝහලට ඇතුළත් වී ස්වල්ප වේලාවකි. තිබ්බටුමුණුව සහ නානායක්කාර යන නිලධාරීන් ද රෝහලට ඇතුළත් කර තිබුණි. ඔවුන් ජීවත් වනවාදැයි කුඹලාතර මහතා විමසන විටත් ඔවුහු අවසන් හුස්ම පිටකරමින් සිටියහ. ඔවුන්ට කෘත්‍රිම ශ්වසන ලබාදෙන වෛද්‍යවරු වූහ. ඔවුන්ගේ ජීවිත ගලවා ගැනීමට වෛද්‍යවරුන් දැරෑ උත්සාහය ඔහු දෑසින්ම දුටුවේය. එහෙත් අවසානයේ අවාසනාවන්ත ලෙස එම ගුවන් විරුවන් දෙදෙනා දිවි හැරගිය පුවත කුඹලාතර මහතාට දැනගැනීමට ලැබුණි. අනෙකුත් කාර්යමණ්ඩලයේ එක සාමාජිකයකුගේ සිරුරක් පමණක් සොයාගනු ලැබීය. ඒ අනුව මෙම ගුවන් අනතුරින් ගුවන් යානයේ කපිතාන්වරයා ලෙස කටයුතු කළ ස්කොඩ්‍රන් ලීඩර් තිබ්බටුමුණුව, ෆ්ලයිං ඉන්ජිනියර් ලෙස කටයුතු කළ ස්කොඩ්‍රන් ලීඩර් නානායක්කාර, නෙවිගේටර් ලෙස කටයුතු කළ ෆ්ලයිට් ඔෆිසර් සංජීව ගුණවර්ධන, කමිනිකේටර් ලෙස කටයුතු කළ ෆ්ලයිට් ලෙප්ටිනන් ප්‍රසංග බාලසූරිය, ලෝඩ් මාස්ටර් ලෙස කටයුතු කළ කෝප්‍රල් ජයසිංහ යන ගුවන් විරුවෝ දැයට අහිමි වූහ.
වනැස ටී.වී යූටියුබ් නාලිකාවේ සංවාදයේ එක් කොටසක් ඇසුරින් අපි මෙම අපූරු කතාව ඔබට කීවෙමු. මෙහි තවත් තතු එහින් අන්තර්ගතය. පසු කලෙක තමන්ට එල්ල කළ මිසයිලයේ කොපුව පවා කපිතාන් බන්දු කුඹලාතර මහතාට හමුවිය. මෙම බිහිසුණු ගුවන් අනතුර ලාංකික යුද ඉතිහාසයේ නොමැකෙන මතකයක් ලෙස ඉතිරිව පවතී. අප මේ කතාව ඔබ හමුවේ තැබුවේ ඉතා සැකෙවිනි. වනැස යූ ටියුබ් අවකාශයේ ඔබටත් තවත් මෙවන් ඓතිහාසික සංග්‍රාමික තොරතුරු සොයාගත හැකිය.
චමිඳු නිසල් ද සිල්වා
විශේෂ ස්තූතිය : වනැස TV යූටියුබ් නාලිකාවේ සංජීව රත්නායක මහතාට