2021 ජුලි 03 වන සෙනසුරාදා

ගුරුවරයා සමඟ අතරමං වීම!

 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 136

කිසියම් දේශපාලන පක්ෂයක් රටක බලයට පත්වූ පසු ඔවුන්ට පැවරෙන්නේ ආණ්ඩු කිරීමේ වගකීමයි. එහෙත් ආණ්ඩු කරන අතර බලයට පත්වූ පක්ෂය සරුවට දේශපාලනය කළ යුතුය. එහෙත් මේ අංශ දෙක නඩත්තු කළ යුත්තේ තුලනාත්මකවය. ආණ්ඩු කිරීම අතහැර දේශපාලනය පමණක් කළත් වැරදිය. දේශපාලනය අතහැර ආණ්ඩු කළත් වැරදිය. අද මෙරට ක්‍රියාත්මක වන ආණ්ඩුවට සමහර පසුපෙළ දේශපාලනඥයන් චෝදනා කරන්නේ ආණ්ඩු කළාට දේශපාලනය නොකරන බව කියමිනි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වෘත්තීය දේශපාලනඥයෙක් නොවේ. ඔහු පැවත එන්නේ හමුදා විනය හා ශික්ෂණය සහිත රාජ්‍ය නිලධාරී පසුබිමකිනි. දේශපාලනය ඔහුට උරුම වූයේ පවුලේ දේශපාලන මහිමය සහ කරන ලද කටයුතුවල කාර්යසාධනය නිසාය. එනිසා ඔහුගේ ක්‍රියා කලාපය තුළ සෑමවිටම ඉස්මතු වන්නේ සම්ප්‍රදායික වෘත්තීය දේශපාලනඥයකුගේ ලක්ෂණ නොව ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධරයකුගේ ගති සොබාවයන්ය. මේ දක්වා ඔහුගේ ක්‍රියා කලාපය අධ්‍යයනය කරන විට පෙනෙන්නේ තමන්ගේ වෘත්තීය පසුබිම කෙරේ වැඩි බර තැබූ රාජ්‍ය නායකයකු ලෙසය. එය වරදක් නොවේ.  

මැති ඇමැතිවරුන් ආණ්ඩුව අතහැරලාද?

වත්මන් රජය බලයට පත්වෙද්දීත්, ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වෙද්දීත්, ජනතා අපේක්ෂා මහ ඉහළට නැග තිබිණි. ඇතැමුන් කීවේ ඔහු ආරක්ෂක ලේකම්වරයා ලෙස යුද්ධය ජය ගන්නට නිර්භීතව ක්‍රියා කළ ආකාරයට ආණ්ඩුවද පවත්වාගෙන යා යුතු බවයි. එහෙත් ඒ අය තේරුම් නොගත් සත්‍යයක් තිබේ. ඒ යුද හමුදාව යුද්ධ කරද්දී ඔවුන්ගේ කාර්යභාරය ලෙස සලකන්නේ ඉහළින් එන අණ සහ නියෝග පිළිපැදීමයි. එය නියමයකි. ඒවා ඉටු නොකළොත් හමුදා විනය අනුව දැඩි දඬුවම් ලැබේ. ඒ අනුව උපරිම විනය හා ශික්ෂණ සහිත පිරිසකට අණ දී පාලනය කළ හැකිය. නමුත් දැන් වත්මන් ජනාධිපතිවරයා නායකත්වය දෙන්නේ එබඳු විනය ශික්ෂණය සහිත කණ්ඩායමකට නොවේ. ඊට වඩා හාත්පසින්ම වෙනස් පසුබිම්වලින් පැවත එන 225කගෙන් සමන්විත දේශපාලන කණ්ඩායමකටය. ඔවුන්ගේ අපේක්ෂා විවිධය. විෂමය. ජනාධිපතිවරයාගේ ක්‍රියාන්විතය ඔවුනට ආගන්තුක වී ඇත්තේ එබැවිනි.

මනාප දේශපාලනය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දූෂණයට පාර කපා ඇත. අතීතයේ කුඩා ඡන්ද කොට්ඨාසයකට සේවය කළ මන්ත්‍රීවරයා දැන් දිස්ත්‍රික්කයට සේවය කළ යුතුය. ජනතාව සියල්ල බලාපොරොත්තු වන්නේ මන්ත්‍රීතුමාගෙනි. ඒ නිසා ඔහු පැය 24ම ජනතාව වෙනුවෙන් කැපවිය යුතුය. එය වෘත්තීය දේශපාලනයේ හැටිය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෘත්තීය දේශපාලනඥයෙකි. ඔහුගේ ක්‍රමවේදය ජනතාකරණය වූ තෙම්පරාදු දේශපාලනයයි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට මුලින්ම පත්වූ කාලයේද අදද බොහෝවිට 

කුඩා ළමුන් සමඟත් රටේ තොටේ තත්ත්වය ගැන කතා කරන මහින්ද

ඔහු සිය දුරකතනවලට ලැබෙන ඇමැතුම්වලට හැකි පමණ උත්තර දෙයි. ඔහු 2005 දී ජනාධිපති වූ සමයේ එක් දිනක් රාත්‍රී 12.00ට පමණ ඔහුගේ පැරණි මැතිවරණ කොට්ඨාසය වූ බෙලිඅත්තේ වැසියෙක් නිදා සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ ඍජු දුරකතනයට කතා කළේය. බෙලිඅත්තේ මිනිසුන්ට මහින්ද ජනාධිපති නොවේ, අපේ මහින්ද මහත්තයාය. ඒ විදියටම මහින්ද රාජපක්ෂ ඇමතූ බෙලිඅත්තේ වැසියා තමන් පුවක්දණ්ඩාව ගමේ අසවලා බව කීය. ඔහු මහින්ද දන්නා කෙනෙකි. අනතුරුව ඔහු කීවේ තමන්ගේ හරක් පට්ටියේ සිටි හරක් දෙදෙනෙක් හරක් හොරුන් විසින් පැහැරගෙන ඇති නිසා බෙලිඅත්තේ පොලීසියේ OIC මහතාට කතා කොට හරක් ටික සොයාගන්නට උදව් කරන ලෙසයි. නිදිමතේ සිටි මහින්දට අපහසුතාවක් දැනුණත් තමන් දැන් ජනාධිපති නිසා OIC ට කතා කළ නොහැකි නමුත් ඔහුගේ හරක් ප්‍රශ්නය විසඳා දෙන බව කීය. අනතුරුව අසල රාජකාරියේ සිටි ආරක්ෂක නිලධරයකු ලවා පොලීසියට දන්වා බෙලිඅත්ත පුවක්දණ්ඩාවේ වැසියාගේ ඉල්ලීමට වහා ප්‍රතිචාර දැක්වීය. පසුව පොලීසිය කලබල වී ඒ ගැන වහා පරීක්ෂණ කර නැතිවූ හරක් සොයා දුන් බව වාර්තා කළේය. ඒ මහින්දගේ හැටිය. ඒ විදියට අද වන තෙක් මහින්ද සමඟ දුරකතනයෙන් කතා කරන පොළොන්නරුව ප්‍රදේශයේ කුඩා පාසල් දැරියක්ද සිටී. ඇය තමන්ට තේරෙන භාෂාවෙන් මහින්ද සමඟ බොහෝ දිනවල සංවාදයේ යෙදෙයි. මහින්ද ඒ දැරියගේ කතාබහ ඉවසා අසා සිටී. ඔහු වෘත්තීය දේශපාලනඥයකු නිසා සැමවිටම ආණ්ඩුකරණය සමඟ දේශපාලනය කදිමට මිශ්‍ර කර ගත්තේය. ඒ ඉවසීම ඔහුට තිබිණි.

රටේ හොඳම දේශපාලන ගුරුවරයා ඉන්නේ ආණ්ඩුවේය

වර්තමානයේ ආණ්ඩුකරණ කටයුතුවල ස්වභාවයද වෙනස් වී ඇත්තේ ලොව පුරා ව්‍යසනයක්ව තිබෙන කොවිඩ් වසංගතය නිසාය. ආණ්ඩුව පොරොන්දු වූ බොහෝ දේ ඉටුකර ගන්නට තවමත් හැකි වී නැත. නමුත් යම් යම් අරමුණු සාධනය කරගෙන තිබේ. ආණ්ඩුවට පක්ෂ, සමාජ මාධ්‍යයට වඩා විපක්ෂ සමාජ මාධ්‍ය නිතැතින්ම ජනප්‍රිය වන නිසා (බණින අයට සමාජයේ ඇති කැමැත්ත අනුව) රට තුළට ගලා යන තොරතුරු ප්‍රවාහයේ ඇත්තේ විෂම බවකි. එවාට ආණ්ඩුවෙන් ලැබෙන ප්‍රතිචාරද දුර්වලය. වෙනදා මේවාට ප්‍රතිචාර දැක්වූයේ දේශපාලනඥයන්ය. දැන් ඔවුන්ද එබඳු ප්‍රතිචාර දැක්වීමක් කරන බව නොපෙනේ. ඔවුන් හැසිරෙන ආකාරයෙන් පෙනෙන්නේ ආණ්ඩුව දේශපාලනය අතහැර ඇති නිසා අපි ආණ්ඩුව අතහැර ඇත යන ස්වභාවයයි.
ආණ්ඩුවට දේශපාලනය කියා දෙන්නට අමුතු දේශපාලන ගුරුවරුන් අවශ්‍ය නැත. මෙරට හොඳම දේශපාලන ගුරුවරයා ඉන්නේ ආණ්ඩුවේය. මහින්ද රාජපක්ෂ සමඟ දේශපාලනය අතින් හැරෙන්නටවත් පුළුවන් නායකයකු දැනට මැතිසබයේ ඇති බවක් නොපෙනේ. එබැවින් වසර 54ක් තරම් පැරණි මහින්දගේ දේශපාලන අභ්‍යාසය ආණ්ඩුකරණයට සුදුසු මාත්‍රාවකින් මිශ්‍ර කරගත යුතුය.

ඒ අතරම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්‍රියාන්විතය තුළ අද ජනතාවට පීඩාවක් සේ දැනෙන නමුත් මතු යම් දිනක අනේ අර මනුස්සයා තමයි මේ වැඩේ කළේ* කියා කියන්නට සිදුවන ව්‍යාපෘති ගණනාවක් තිබෙන බව පෙනේ. පසුගිය කාලයේ කහ ආනයනය තහනම් කළ විට වත්මන් ආණ්ඩුව කිරි හොද්දටත් කෙළියා යැයි සැර පරුෂ ප්‍රතිචාර පළවනු දකින්නට ලැබිණි. ඒ සමඟ රට පුරා කහ වගාව ව්‍යාප්ත විය. දැන් අස්වනු ලැබේ. අස්වැන්න සරුය. එනිසා මෙරට කහ ගොවියාගේ අත මිටද සරුය. වෙළෙඳපොළේ කහ මිල ගණන්ද සාධාරණ මට්ටමට පත්වෙමින් තිබේ. කාබනික පොහොර භාවිතය දිරිමත් කරන්නට රසායනික පොහොර තහනම් කෙරිණි. එය ආණ්ඩුවේ දේශපාලන පොරොන්දු පත්‍රයේ තිබූ පොරොන්දුවකි. දැන්ම හරියට කරගතහොත් අනාගතයේ කුසල් රුස්වන පින්කමකි. මහජන පරපුරක් ලෙඩරෝගවලින් බේරාගන්නට එම තීරණය උපනිශ්‍රය වෙයි. එහෙත් මෙරට බහුතර ගොවීහු මේ තීරණය ගැන ආණ්ඩුව සමඟ කිපී සිටිති. සිදු කළ වේගය වැඩි බව පවසති. එය අනාගතය බලාගත් රාජ්‍යතාන්ත්‍රික පියවරකි. රාජ්‍ය නායකයා සමාජයට ඉදිරියෙන් සිටිමින් ගත් ඒ යහපත් තීන්දුව සමාජයට දිරවන බවක් නොපෙනේ. එය ජනතා සෞඛ්‍යයට හොඳ වුවත් ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍ය කෙරේ යහපත් ලෙස බලපාන්නේ නැත. එම නිසා පොහොර ප්‍රශ්නය විසඳුමක් නැතිව ව්‍යාකූල වන්නට ඉඩ දී රජයේ දේශපාලනඥයෝද බලා සිටිති. ජනාධිපතිවරයාට ජාතිය අමතා මහ දිග කතා කරන්නට සිදුවන්නේ දේශපාලනඥයන් කළ යුතු දැනුම්වත් කිරීම් නොකරන නිසාය.
ආණ්ඩුවක් බලයට පත්වන්නේ ජනවරමිනි. රජය වරම් ලබාගත්තේ දේශපාලන භාවිතයෙනි. එසේ නම් ආණ්ඩුකරණයේදී දේශපාලනය අත්‍යවශ්‍යය. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සිංහලය පැය 24න් රජ බස කරන්නට පොරොන්දු වූයේ දේශපාලන වාසියක් තකාය. මැතිනිය ජනසතු ව්‍යාපාර හා වගා සටන කළේද ඒ සඳහාය. ඩඩ්ලි සේනානායක මහතා වගා සටන සරුවට සිදුකර ගොවි රජවරුන් තේරුවේ දේශපාලන හේතුද සලකාය. ජේ.ආර්. රැකියා බැංකුව හැදුවේ දේශපාලනය උදෙසාය. ප්‍රේමදාස මහතා ජන සවිය දුන්නේද චන්ද්‍රිකාලා මහින්දලා සමෘද්ධි දුන්නේද ඡන්ද බලාගෙන නොවේද? මෑතක පැවති සෑම ආණ්ඩුවක්ම මන්ත්‍රී චිට් එකට රස්සා දෙන්න පටන් ගත්තේද දේශපාලනය උදෙසාය. ඒ අපේ රටේ දේශපාලන සංස්කෘතියේ අතීත උරුමයන්ය. එම උරුමයන් වත්මන් පාලනය යටතේද ජනතාව අපේක්ෂා කරති. ඒවා ඉටු නොවන විට ජනතාව ආණ්ඩුවට පළු යන්නට බණිති. මැති ඇමැති භවතුන්ද නොරොක් වෙති. අද මේ ආණ්ඩුවට සිදුව ඇති අලකලංචිය එයයි.

 ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03