2021 ජුලි 03 වන සෙනසුරාදා

කළු ජාතිකයා මැරූ අමෙරිකාවේ පොලිස් ඝාතකයා වසර 22ක් හිරේ

 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 187

කළු ජාතික ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ අමෙරිකානු පොලිස් නිලධාරී ඩෙරෙක් චවුවින් හට ඇමෙරිකානු අධිකරණය වසර 22 මාස 6ක සිර දඩුවමක් නියම කළේය. 2020 මැයි 25 දින මිනියාපොලිස්හි මාර්ගයකදී ජෝර්ජ් ෆ්ලොයිඩ් ගෙල සිරකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් චවුවින්ට චෝදනා එල්ල විය. ඔහු ජෝජ් ෆ්ලොයිඩ්ගේ ගෙල දණහිසෙන් සිරකරගෙන සිටින අයුරුත් තමාට හුස්ම ගත නොහැකියැයි ෆ්ලොයිඩ් කෑගසන අයුරුත් දැක්වෙන ජංගම දුරකතනයකින් රෑගත කරන ලද වීඩියෝවක් අන්තර්ජාලයේ ප්‍රචාරය වීමත් සමඟ ඇමෙරිකාව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළේය. පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහි දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වුණු අතර එම සිදුවීම ඇමරිකානු කළු ජාතිකයින් පමණක් නොව සුදු ජාතිකයන් ද දැඩි කනස්සල්ලට පත් කළේය. මිනිසා පොලිස්හි පොලීසිය ඩෙරෙක් චවුවින් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට පියවර ගත්තේ එම උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙසිනි. මෙය අමෙරිකානු අධිකරණයක් මගින් සුදු පොලිස් නිලධාරියකුට ලබා දුන් දීර්ඝම සිර දඬුවම ලෙසද සැලකේ. නඩු තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසු චවුවින් ෆ්ලොයිඩ්ගේ පවුලේ ඥාතීන් හට මෙලෙස සිය කනගාටුව ප්‍රකාශ කළේය.

 අමතර නීතිමය කරුණු කිහිපයක් මත මේ අවස්ථාවේ මට විධිමත් ප්‍රකාශයක් කළ නොහැකිය. ෆ්ලොයිඩ් පවුලට මගේ ශෝකය ප්‍රකාශ කිරීමට අවශ්‍යයි. ඉදිරි කාලයේ තවත් වැදගත් තොරතුරු කිහිපයක් ලැබෙනු ඇත. ඒවා ඔබට යම් සහනයක් ලබා දෙනු ඇතැයි මම සිතමි." යනුවෙන් ඔහු කළ ප්‍රකාශය තුළ කිසියම් ගුප්ත පණිවිඩයක් ඇතුළත්ව ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා කළේය.

නඩු තීන්දුවෙන් පසු චවුවින්ගේ මව වන කැරොලින් පව්ලෙන්ටි කීවේ තම ප්‍රත්‍රයා  යහපත් පුද්ගලයකු බවයි.  "ඩෙරෙක් නිහඬ, කල්පනාකාරී, ගෞරවපූර්ව සහ පරාර්ථකාමී මිනිසෙක්. ඔහු ජාතිවාදියකු ලෙස හුවා දක්වා තිබෙනවා. මට ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කළ නොහැකි වුවද මා ඔහු වෙනුවෙන් සියයට සියයක්ම පෙනී සිටිනවා* යනුවෙනි..

ජෝජ් ෆ්ලොයිඩ් පොලිස් අත්අඩංගුවට පත් වූයේ ඩොලර් 20 ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබා දී භාණ්ඩ මිලට ගැනීමට තැත්කළේ යැයි කුඩා සිල්ලර වෙළෙඳසලක සේවකයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය. පළමු මරණ පරීක්ෂණයේදී අනාවරණ වූයේ ගෙල සිර කිරීමෙන් නොව හෘද රෝගයක් හා මත් ද්‍රව්‍ය භාවිතය නිසා ඇතිවූ සංකූලතා හේතුවෙන් ඔහු මරණයට පත් වූ බවයි. එහෙත් ෆ්ලොයිඩ්ගේ ඥාතීන් විසින් එම වාර්තාව ප්‍රතික්ෂේප කරමින් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටියේය. ඒ අනුව දෙවැනි වරට මරණ පරීක්ෂණයක් පැවැත්වුණු අතර එහිදී අනාවරණ වූයේ ෆ්ලොයිඩ්ගේ මරණය සිදුව ඇත්තේ ගෙල සිර කිරීමෙන් බවයි. මාංචු දමා සිටි ජෝජ් බිම හොවා ගත් ඩෙරෙක් චවුවින් මිනිත්තු 9යි තත්ත්පර 29ක් තම දණහිසින් ජෝජ්ගේ ගෙල සිරකරගෙන සිටි බව පසුව අනාවරණ විය. ඩෙරික් චවුවින් ජෝජ් ෆ්ලොයිඩ්ගේ ගෙල සිරකරන අවස්ථාවේ තවත් පොලිස් නිලධාරින් තිදෙනෙකු එම ස්ථානයේ සිට තිබේ. ඔවුන්ගෙන් දෙදෙනෙක් ෆ්ලොයිඩ්ගේ පිටට දණ තබා ඔහු බිමට තෙරපාගෙන සිටි බවද අනෙක් නිලධාරියා එදෙස බලා සිටි බවද අනාවරණ විය. ඔවුන් තිදෙනාද සේවයෙන් පහ කිරීමට බලධාරීහු පියවර ගත්හ.

ෆ්ලොයිඩ්ගේ මරණයත් සමඟ අප්‍රිකානු ඇමරිකානුවන්ට එරෙහිව පොලිසිය විසින් වසර ගණනාවක් තිස්සේ සිදුකරන ලද ප්‍රචණ්ඩ ක්‍රියාවලට විරෝධය පාමින් උද්ඝෝෂණ සහ ප්‍රචණ්ඩ ක්‍රියා එක්සත් ජනපදය පුරා පැතිර ගියේය. උද්ඝෝෂකයෝ නිව්ෙයා්ර්ක්හි නිලධාරීන් සමඟ ගැටුම් ඇතිකරගත් අතර කොලොම්බස්, ඔහියෝ සහ ඩෙන්වර්හි ගමනාගමනය අවහිර කළහ. විශ්වවිද්‍යාල කිහිපයක් ෆ්ලොයිඩ්ගේ නමින් ශිෂ්‍යත්ව ඇති කළ අතර නෙට්ෆ්ලික්ස් ආයතනය කළු ජාතික විශ්වවිද්‍යාල සඳහා ඩොලර් මිලියන 120ක් පරිත්‍යාග කළේය. විදී පුරා ඔහුගේ රුව සිතුවම් කෙරුණු අතර අනුස්මරණ උත්සව මෙන්ම පවුලේ සාමාජිකයන් සඳහා අරමුදල් ද රැස්කෙරිණි.

2020 මැයි 25 වන දින අත්අඩංගුවට පත් ඩෙරික් චවුවින් සේවයෙන් පහකර දෙවැනි හා තුන්වැනි ගණයේ සාපරාධි අපරාධයක් සිදු කිරීම සහ මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම යන චෝදනා තුන යටතේ නඩු පැවරිණි. මිනසෝටාහි කළු ජාතිකයකුගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලැබූ පළමු සුදු පොලිස් නිලධාරියා වන්නේ චවුවින්ය. ඩොලර් මිලියනයක බැඳුම්කරයක් මත චවුවින් 2020 ඔක්තෝබර් 7 වන දින කොන්දේසි සහිත ඇප මත නිදහස් කරන ලදී. නඩු විභාගය පැවැත්වෙන දිනයන්හි උසාවියේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කළහොත්, උසාවියේ අනුමැතියකින් තොරව මිනසෝටා ප්‍රාන්තයෙන් පිටව ගියහොත් හෝ ෆ්ලොයිඩ්ගේ පවුලේ අයට තර්ජනය කිරීම් හෝ බියගැන්වීම් සිදු කළහොත්  ඔහුගේ බැඳුම්කරය රාජසන්තක කරනු ඇති බවට අධිකරණය ඔහුට දැනුම් දුන්නේය.

නඩු විභාගය මිනියාපොලිස්හි හෙනපින් ප්‍රාන්ත අධිකරණයේ පැවැත්වූ අතර එය 2021 මාර්තු 8 සිට අප්‍රේල් 20 දක්වා පැවැත්විණි. 2021 මාර්තු 12 වන දින මිනියාපොලිස් නගර සභාව විසින් ෆ්ලොයිඩ් පවුලට ඩොලර් මිලියන 27 ක වන්දියක් ගෙවීමට අනුමත කරන ලදී.

එලෙස වන්දියක් ගෙවා නඩුව සමථයකට පත් කිරීම සම්බන්ධයෙන් ඇතැම් ජුරි සභිකයන් එකඟ වූයේ නැත. සුදු ජාතිකයන් සය දෙනෙක්, කළු ජාතිකයන් සිව් දෙනෙක් සහ මිශ්‍ර ජාතිකයන් දෙදෙනෙක් වශයෙන් නිර්නාමික ජුරි සභිකයන් දොළොස් දෙනෙක් හා විකල්ප ජුරි සභිකයන් තිදෙනෙක්  නඩු විභාගය සඳහා නම් කරනු ලැබ සිටියහ. මිනසෝටාහි රෑපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය වූ පළමු අපරාධ නඩු විභාගය මෙය වූ අතර තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ මිලියන 23 කට අධික ජනතාවක් සජීවී ලෙස එය නරඹා තිබිණි.

සියලු චෝදනාවලට චවුවින් වැරදිකරු බවට තීන්දු විය.  ජෝජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයෝ චවුවින්ට වසර 30ක සිරදඬුවමක් ඉල්ලා සිටියහ. චවුවින් මෙම මනුෂ්‍ය ඝාතනය සිදු කර ඇත්තේ දැඩි කුරිරු චේතනාවකින් බව 2021 මැයි 12 වන දින හෙනපින් ප්‍රාන්තයේ දිසා විනිසුරු පීටර් කාහිල් ප්‍රකාශ කළ අතර වසර 22කුත් මාස 6ක උපරිම සිර දඬුවමක් නියම කරන බව ප්‍රකාශ කළේය. සාමාන්‍යයෙන් මිනසෝටාහි  පූර්ව අපරාධ ඉතිහාසයක් නොමැති පුද්ගලයකුට දෙවැනි ගණයේ මිනීමැරුමක් සඳහා උපරිම දඬුවම වසර දොළහමාරකි. එහෙත් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට වවුවින් සෘජුව සම්බන්ධ බවට ෆ්ලොයිඩ්ගේ නීතීඥයන් ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කර ඇති හෙයින් වැඩි දඬුවමක් ලබා දුන් බවට විනිසුරුවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව ඔහුට 2043 ජුනි 3 දා තෙක් සිරදඬුවම් විඳින්නට සිදු වනු ඇත. ඔහුට ගිනි අවි හෝ පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සදහටම තහනම් වන අතර, ඩීඑන්ඒ නියැදියක් ලබා දීමටත්, දඬුවම් ලද අපරාධකරුවකු ලෙස ලියාපදිංචි කිරීමත් සිදු වේ.  ෆ්ලොයිඩ්ගේ ඝාතනයට වගකිව යුතු අනෙක් නිලධාරීන් තිදෙනා වන ඇලෙක්සැන්ඩර් කුවෙන්ග්, තෝමස් ලේන් සහ ටූ තාඕගේ නඩු විභාගය 2022 මාර්තු 7 වන දින ආරම්භ කිරීමට නියමිතය. 

මරණයට පත් ජෝර්ජ් පෙරී ෆ්ලොයිඩ් (කනිෂ්ඨ) අප්‍රිකානු ඇමරිකානුවෙකි. උතුරු කැරොලිනාවේ ෆයෙට්විල්හි උපත ලද ෆ්ලොයිඩ් හැස්ටන්හි හැදී වැඩුණු අතර 1993 දී යේට්ස් උසස් පාසලෙන් උපාධිය ලබා ගත්තේය පාසල් සමයේ දක්ෂ පාපන්දු හා පැසිපන්දු ක්‍රීඩකයකු වූ ඔහු යේට්ස් උසස් පාසලේ පැසිපන්දු කණ්ඩායමේ සම නායකයා විය. 1997 සිට 2005 දක්වා කාලය තුළ ඔහුට අපරාධ අටකට වැරදිකරු වී තිබිණි.. 2007 දී සිදු කළ මංකොල්ලයක් නිසා ඔහු වසර හතරක සිර දඬුවමක් නියම විය. සිරෙන් නිදහස් වීමෙන් පසු ඔහු හිප්හොප් කලාකරුවකු ලෙසද, ක්‍රිස්තියානු ආගමික නිකායක උපදේශකයෙක් ලෙසද කටයුතු කළේය. එහිදී ඔහු ප්‍රචණ්ඩත්වයට එරෙහිව කටයුතු කරන ලෙසට තරුණයන්ට උපදෙස් දුන් අතර ප්‍රචණ්ඩ විරෝධී වීඩියෝ සමාජ ගත කළේය එක් කාලයක  යම් යම් වැරදි සිදු කර ඇති නමුදු ආගම ඔස්සේ තම ජීවිතය යහමගට ගත් බව ඔහුගේ  මිතුරන් කියා තිබිණි.

 2014 දී ඔහු මිනියාපොලිස් ප්‍රදේශයට සංක්‍රමණය වූ අතර සමාජ ශාලාවක ආරක්ෂක නිලධාරියෙක් ලෙස සේවය කළේය. පසුව ට්‍රක් රථ රියදුරකු ලෙස  සේවය කළේය. 2020 දී කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඔහුට ට්‍රක් රථ රියදුරු රුකියාව අහිමි විය. ඔහු යළි පොලිස් අත්අඩංගුවට පත් වූයේ ආර්ථික අපහසු මැද ජීවත් වන අතරතුරය. ඔහුට තිබූ චෝදනාව වූයේ ව්‍යාජ ඩොලර් 20ක නෝට්ටුවක් ලබා දී භාණ්ඩ මිලට ගැනීමට තැත් කිරීමය. එම සිදුවීමට ඔහුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය. ඇමෙරිකාවේ කළු ජාතිකයන්ට එරෙහිව පවතින පොලිස් ප්‍රචණ්ඩත්වය පිළිබඳව විවිධ අවස්ථාවල අසන්නට ලැබේ. ජෝජ් ෆ්ලොයිඩ් සිදුවීම ඉන් එක් අවස්ථාවක් පමණි. කිසිවකු විසින් ජෝජ් ෆ්ලොයිඩ්ගේ ගෙල සිරකරනු ජංගම දුරකතනයකින් රෑගත නොකළා නම් පළමු මරණ පරීක්ෂණ වාර්තාව අනුව අපරාධකරුට පහසුවෙන් ගැලවී යාමට අවස්ථාව සැලසෙනු ඇත. එම දුරකතන සාක්ෂිය ෆ්ලොයිඩ් ඝාතනය පිළිබඳ ප්‍රබල සාක්ෂියක් විය. 

මේ අතර තමාට ලබා දුන් නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් කිරීමට 45 හැවිරිදි ඩෙරෙක් චවුවින් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.  මේ වන විට ඔහු රඳවා සිටින්නේ  ඕක් පාක් දැඩි ආරක්ෂිත සිරගෙදරය. එහි සිරකරුවන් 341 දෙනකු සිටින අතර ඉන් 276 දෙනෙක් මිනිමැරුම් චෝදනා යටතේ සිර දඬුවම් විඳින්නන්ය. 

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා