2021 ජුලි 03 වන සෙනසුරාදා

මුදල් මුද්‍රණය: ආර්ථික අර්බුදයේ ලකුණක්

 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 385

ශ‍්‍රී ලංකාව කිසිසේත් අපේක්ෂා නොකළ පීඩනයකට මුහුණ පා සිටින බව පිළිගත යුතුය. පළමු ආසාදිතයා වාර්තා වූ මොහොතේ සිට අද දක්වා සෞඛ්‍ය අංශයේ වියදම් පමණක් දෙගුණ තෙගුණ වී තිබේ. අඩු ආදායම් ලබන ජන කොටස තෝරා සහන සැපයීමේ වැඩපිළිවෙළට මුදල් අවශ්‍යය. ආදායම් ලැබෙන අංශ අවහිර වී ඇති බව නොරහසකි. ආර්ථිකය ඍණ අගයකට පසුබසින විට ස්වභාවය වෙනස්ය. සමාජයක් වශයෙන් අලුත් ව්‍යුහයට මුහුණ දිය යුතුය.

මහ බැංකුව මෙරට ඉතිහාසයේ වාර්තාගත මුදල් ප‍්‍රමාණයක් මුද්‍රණය කර සංසරණයට නිකුත් කර ඇති බව අනාවරණය වෙයි. ඇණවුමක් නිකුත් කර අවශ්‍ය තරම් මුදල් මුද්‍රණය කරගත හැකිය. මුහුණත වටිනාකම හා සසඳන විට නෝට්ටුවක් මුද්‍රණයට වැය කළ යුතු මුදල විශාල එකක් නොවේ. මහ බැංකුවට මුදල් නිකුත් කිරීමේ බලය පැවරී තිබේ. රටට අවශ්‍ය තරමටත් වඩා මුදල් නිකුත් කර ජනතාව අතට අලුත්ම නෝට්ටු නිකුත් කරන්නට බැරිකමක් නැත. රටට මූල්‍ය විනයක් අවශ්‍යය. මුදල් සැපයුම ඉහළ ගියහොත් දරුණු ප‍්‍රතිවිපාක හටගනී. ප‍්‍රතිපත්ති අනුව විශේෂඥ වාර්තා කැඳවා අවශ්‍ය ප‍්‍රමාණය මුද්‍රණය කරන අතර සංසරණයට නිදහස් කරන්නේ ද පිළිවෙළක් අනුවය.

• මුදල් මුද්‍රණ ප‍්‍රතිපත්තියේ වෙනසක් සිදුවී තිබේද?

අලුතින් මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් නිශ්චිත වැඩපිළිවෙළක් තිබේ. එය පාලනය කරන්නේ ශ‍්‍රී ලංකා මහ බැංකුවයි. මුදල් මණ්ඩලය ප‍්‍රතිපත්ති තීරණ ගනී. 1948 අංක 58 දරන මුදල් පනත එහි ලා උපයෝගී කරගැනේ. විදේශ ගනුදෙනුවලදී විනිමය අවශ්‍යතා වෙනුවෙන් රුපියල්වලින් ගෙවා මිල දී ගැනීමේ දී අලුත් මුදල් නෝට්ටු නිකුත් කරන්නට සිදුවෙයි. ශුද්ධ විදේශ වත්කම් සහ දේශීය ආර්ථිකයේ ප‍්‍රසාරණය විශේෂ සැලකිල්ලට ලක්වෙයි. අනෙක දේශීය වශයෙන් ණය ගැනීමේ දී එනම් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිදහස් කිරීමේ දී ද අලුත් මුදල් නෝට්ටුවලින් ගෙවීම සිදු කරයි. රට තුළ සිදුවන ආර්ථික ප‍්‍රසාරණය සලකා සංසරණය වන මුදල අඩුවැඩි විය හැකිය. භාවිත කිරීමේ දී අපිරිසුදු හා විනාශ වන මුදල් ප‍්‍රමාණය සලකා බලන අතර මුදල් ඉල්ලුම ප‍්‍රශස්ත මට්ටමක තබාගැනීම අරමුණු කරගෙන ද වරින්වර අලුතින් නිකුත් කළ යුතු මුදල් තොගයේ වටිනාකම තීරණය කෙරේ. විශ්වාසය මුදල් සම්බන්ධ ඉතාම වැදගත්ය. ව්‍යවහාර වන මුදල සම්බන්ධ සැකය, අවිශ්වාසය ආර්ථිකයක් විනාශ කළ හැකි සාධකයකි.  

මහ බැංකු වාර්තා පෙන්වන පරිදි 2013-2017 කාලය තුළ නිකුත් කර ඇති අලුත් මුදල් ප‍්‍රමාණය රුපියල් බිලියන 455.5 කි. 2020 නොවැම්බර් අවසානය වන විට මහ බැංකුව සතුව පැවැති භාණ්ඩාගාර බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 566 ක් බව දැක්වෙයි. මෙම කොටස කල්පිරෙන විට නැවත වෙන්දේසියක් සිදු නොවුණහොත් අලුතින් මුදල් නෝට්ටු නිකුත් කිරීම හැර වෙනත් විකල්පයක් නැත. සෑම සතියකම භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වෙන්දේසි කෙරේ. ඒවාට ලැබෙන ඉල්ලුම වෙනස්ය. යම් අවස්ථාවක ඉල්ලුම අඩු වුවහොත් කලින් ගත් දේශීය ණය ගෙවා දැමීමට මුදල් අවශ්‍යය. සංචිතවල පවතින අලුත් මුදල් නෝට්ටු නිකුත් කිරීමට මහ බැංකුවට සිදුවෙයි. එය අලුත් තීරණයක් නොවේ. කෙසේ නමුත් වරින් වර අනපේක්ෂිත පරිදි මුදල් නිකුත් කිරීමට සිදුනොවන පරිදි ආර්ථිකය හැසිරවීම ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමක් බව පෙන්වා දිය යුතුය.

• ප‍්‍රතිපත්ති කෙසේ වෙතත් ජනතාවගේ පීඩනය 

ලෝකයේ සියලුම රටවල් දැවැන්ත ආර්ථික අර්බුදයකය. ලෝක ආර්ථිකය පසුගිය වසරේ දී සියයට දෙකකින් පහත වැටිණ. මෙම වසරේ දී එය නැවත සකස් කරගත හැකි වෙතැයි අනුමාන කළේය. එහෙත් අපේක්ෂා බොඳ වෙමින් තිබේ. තවත් වටවලින් වසංගතය නැග එන අතර ආර්ථික සක‍්‍රීයභාවය හීනවෙමින් තිබේ. එහි පීඩනය ශ‍්‍රී ලංකාවට ද බලපාන කරුණකි. නිෂ්පාදනය අඩාල වී තිබේ. වියදම් ඉහළ නැග ඇත. රටවල් අතර බලපවත්වන අලුත් නීති රීති හෙයින් පිරිවැය වර්ධනය වන ස්වභාවයකය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පවා වේගයෙන් වෙනස් වන බව වෙළෙඳපොළ වාර්තා දක්වයි. ශ‍්‍රී ලංකාව මෙම ජාත්‍යන්තර ග‍්‍රහණයෙහි එක කොටසකි. සංචාරක ව්‍යාපාරයෙන්, විදේශගත ශ‍්‍රී ලාංකිකයන්ගෙන් හෝ විදේශ වෙළෙඳාමෙන් ආදායම අඩුවන විට ප‍්‍රශ්න මතුවෙයි. තාවකාලික පියවරක් වශයෙන් ආනයන සීමා කර තිබේ. විනිමය නිදහස් කිරීම පාලනය කර ඇත. රටට අවශ්‍ය විදේශ මුදල් මිල දී ගැනීමේ දී ගෙවිය යුතු රුපියල් ප‍්‍රමාණය පාලනය කිරීම එහි අරමුණ බව පෙනේ. මුදල් පාලනය වන විට ඉල්ලුම සමබර කරගත හැකිය. දුප්පත් ජනතාව අත්‍යවශ්‍ය දේ වෙනුවෙන් සහන ඉල්ලන අතරවාරයේ ධනවත් පිරිස තමන්ගේ විනිමය අවශ්‍යතා වෙනුවෙන් කරුණු දක්වමින් සිටී. 

මුදල් අවශ්‍යතාවයක් තිබේ. පසුගිය දස වසර තුළ දළ වශයෙන් දේශීය ණය ගැනීම් දෙගුණ වී ඇත. පොලී අනුපාත උච්ඡාවචනය වෙයි. භාණ්ඩාගාර බිල්පත් අනුපාත අද වන විට සියයට 10.75 කි. පසුගිය වසරේ අඩු අනුපාතයක පැවැතිණ. මෙකී අනුපාත අනුව දළ වශයෙන් දස වසරකට වතාවක් පොලිය දෙගුණ වන පසුබිමක් නිරීක්ෂණය කළ හැකිය. මුදල් මණ්ඩලයේ තීරණ අනුව කොවිඩ් වසංගතය පැතිරෙන මුල් වකවානුවේ පොලී අනුපාත අඩු කළේය. එයින් තාවකාලික වාසියක් ලැබුණි. රජයේ මුදල් අවශ්‍යතා ඉහළ යන විට තව තවත් ණය ගන්නට සිදුවෙයි. දේශීය වශයෙන් ලබාගත් ණය පියැවීමට අලුත් නෝට්ටු නිකුත් කරන්නට සිදුවන අතර වාර්තා පෙන්වන පරිදි මහ බැංකුව ජූනි 29 වැනිදා රුපියල් බිලියන 208.45 ක් නිකුත් කර ඇත. එය කලින් සතියේ නිකුත් කළ රුපියල් බිලියන 23ට අමතරව බව සඳහන්ය. දේශීය මාධ්‍ය අනාවරණය කරන ලද පරිදි මෙම මුදල් නිකුත් කිරීම වාර්තාගත තත්ත්වයකි. රජයේ ණය ප‍්‍රමාණය බිලියන 1,127 ඉක්මවා ඇති අතර මේවා ගෙවීමට ආදායම සොයාගත නොහැකි වන අවදානම තුළ, ඉදිරි කාලයේ දී අලුත් මුදල් සංසරණය වීම වැළැක්විය නොහැකිය.

• රජයේ ආදායම හා වියදම ගැන දළ අදහසක්

පසුගිය අවුරුද්දේ මෙරට රජයේ සේවක වැටුප් හා විශ‍්‍රාම වැටුප් ගෙවන්නට වැය කර ඇති මුදල රජයේ ආදායමෙන් සියයට අසූ පහකි. රුපියලක් උපයන විට ශත අසූ පහක් වැටුප් හා විශ‍්‍රාම වැටුප්වලට වෙන් කරන්නට සිදු වී ඇත. තවත් පැත්තක් තිබේ. රුපියලක ආදායමක් ලබන ආණ්ඩුව තවත් ශත හැත්තෑ එකක් කලින් ගත් ණය පොලිය වෙනුවෙන් ගෙවන තැනකය. පසුගිය වසරේ දී ශ‍්‍රී ලංකාවේ ආදායම ප‍්‍රමාණවත් නැති බවට කදිම සාධකයකි. සියයක් උපයන විට එකසිය පනස් එකක් මෙම අංශ දෙක වෙනුවෙන් පමණක් වැය කරන්නේ කෙසේද? අමාත්‍යංශ වියදම්, සංවර්ධන කටයුතු, සමෘද්ධිවල සිට සහනාධාර, ආරක්ෂාව යනා දී වශයෙන් දහසකුත් එකක් දේ වෙනුවෙන් මුදල් නැත. මෙම රාමුව වෙනස් කරන්නට අලුත් ආයෝජන අවශ්‍යය. දේශීය හෝ විදේශීය ආයෝජන ලැබි රට තුළ සක‍්‍රීය පරිසරයක් ඇතිවුවහොත් පමණක් රාජ්‍ය ආදායම වැඩිවෙයි. දැන් පවතින ස්වභාවය අනුව ඛනිජ තෙල්, විදුලිය ඇතුළු සියලු රජයේ ආයතන විශාල අලාභ වාර්තා කරයි. මේවා පියවන්නේ කෙසේද?

රජය අය කරන බදු ආදායම නංවා ගැනීමට එක ක‍්‍රමයකි. ඉන්ධන මිල වැඩි කිරීම රට තුළ ඇති කරන ලද ආන්දෝලනයක තරම මතක් කරගත යුතුය. තෙල් මිල නොවෙනස්ව තබාගැනීමට ගෙවිය යුතු මිලක් තිබේ. එය දරා ගැනීමට ජනතාව අකැමැති නම් ආණ්ඩුව පියැවිය යුතුය. අඩුම තරමින් රජයේ සේවක වැටුප් හා ණය පොලිය ගෙවා ගත නොහැකි ආදායමක් උපයන ආණ්ඩුව තෙල් බරට කර ගසන්නේ කෙසේද? ගෑස්, කිරි පිටි, බස් ගාස්තු වැඩි විය යුතු බවට කියැවෙයි. මේවා නතර කරනු සඳහා සහන ප‍්‍රකාශයට පත් කළ යුතුය. සහල් ආනයන වියදම එන්නත් ආනයනය යනා දී වශයෙන් එකක් පරයමින් තවත් වියදම් ආණ්ඩුවකට එල්ලවන විට මුදල් අච්චුගැසීම හැර අනෙක් පිළියමක් නැත.

• උද්ධමනය පාලනය ගැන අවධානයක් 

රජයේ ණය ගැනීම හා ණය ගෙවීම උද්ධමනය ඉහළ නගින්නට හේතු නොවන ආකාරයට සැලසුම් කිරීම විද්‍යාත්මක ප‍්‍රතිපත්තියකි. රජයේ මුදල් හිඟය, තවත් බදු පනවා තවත් ආදායම ලබාගත නොහැකිවීම සලකා බලන විට අලුත් මුදල් නෝට්ටු යම් ප‍්‍රමාණයක් සීමාව ඉක්මවා නිකුත් කිරීමට ඉඩ තිබේ. උද්ධමනයට ඇතිවන බලපෑම මෙහි දී විමර්ශනයට ලක් වනු ඇත. 2018 වසරේ දෙසැම්බර් මාසයේ උද්ධමනය සියයට 2.8 කි. සාපේක්ෂව අඩුය. මෙරට ඉතිහාසයේ වාර්ෂික උද්ධමන අනුපාතිකය සියයට 16 ඉක්මවා ගිය අවස්ථා තිබේ. පසුගිය මාසයේ උද්ධමනය සියයට හය ඉක්මවන ලද බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව දක්වයි. යම් ප‍්‍රතිශතයක් තෙක් අලුත් මුදල් නෝට්ටු නිකුත් කිරීමට හැකි පරිසරයක් රට තුළ තිබේ. සංසරණයට මුදල් නිදහස් කිරීම සිදුවිය හැකි කාරණයකි. එයින් එක්තරා මටට්මකට රජයේ දේශීය ණය බර අඩුවන අතර ඉදිරි අය වැය පියැවීම සඳහා අලුතින් ණය ගැනීමට හැකි වාතාවරණයක් ඇති කරයි. 

ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට තීරණ ගත හැකිය. මහා භාණ්ඩාගාරයට රජයේ මුදල් අවශ්‍යතාව පෙන්වා අලුත් මුදල් නෝට්ටුවලින් සපයන සේ දැනුම් දීමට බැරිකමක් නැත. අලුත් මුදල් නෝට්ටු සංසරණයට එන විට උද්ධමනය එනම් භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යන ප‍්‍රවණතාවය ගැන පරෙස්සම් වීම සුදුසුය. ඉන්දුනීසියාව, බ‍්‍රසීලය, රුසියාව හෝ ග‍්‍රීසිය යන රටවල් උද්ධමනය හේතුවෙන් මෑත කාලයේ බරපතළ ප‍්‍රශ්න මතු වූ රටවල්ය. ඩොලර් දෙතුන් සියයක් සමඟ ඉන්දුනීසියාවේ ජකර්තා ගුවන් තොටුපොළෙන් එරටට ඇතුළු වන සංචාරකයකු මොහොතකින් ලක්ෂපතියෙක් වෙයි. හේතුව එක ඩොලර් එකකට එහි දී ලැබෙන රුපියල් ප‍්‍රමාණයයි. එපමණ එරට මුදල අවප‍්‍රමාණය වී ඇත. ජර්මනිය මුදල් අවප‍්‍රමාණය වීම නිසා අතීතයේ දී පාඩම් ඉගෙන ගත් රටකි. දැන් ආර්ථිකය නියම මගට ගෙන තිබේ. ශ‍්‍රී ලංකාව එවැනි කනගාටුදායක ඉරණමකට මුහුණ දිය යුතු නැත. ආර්ථික කළමනාකරණයේ දී මුදල් පාලනය ඉතාම වැදගත්ය. අත ඇති මුදල පරෙස්සම් කරගැනීම පමණක් නොව අවශ්‍යතා වෙනුවෙන් ණය ගැනීම ද සීමාවක කළ යුතුය. ගන්නා ණය අලුත් මුදල් නෝට්ටුවලින් පියවන්නට උත්සාහ කළහොත් එහි දරුණු විපාකවලට ගොදුරු වනු ඇත. යථාර්ථය පිළිගැනීම වැදගත්ය. විශේෂඥ අදහස් අනුව ආර්ථිකය සක‍්‍රීය කරන පියවරවලට වහා යොමුවිය යුතුව තිබේ.

 ගාමිණී සරත් ගොඩකන්ද