2021 ජුලි 03 වන සෙනසුරාදා

බිලියන වෙනුවට ට්‍රිලියනවලින් ණයවෙන අපේ බැංකු

 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 26

උද්ධමන අනුපාතිකය සහ වාණිජ බැංකුවල තැන්පතු පොලී අනුපාතිකය අතර සියයට 3ක පමණ ධන වෙනසක් තිබිය යුතු නමුත් අද වන විට බැංකු පොලී අනුපාතිකය උද්ධමනයට වඩා සියයට 1 ½ - 2ක පමණ පසුපසින් සිටී. වර්තමානයේ වාණිජ බැංකු සාමාන්‍ය ඉතුරැම් තැන්පතුවලට ගෙවන උපරිම පොලිය සියයට 4.5කි. මේ අනුව බැංකුවල මුදල් තැන්පත් කරන්නන්ට සියයට 1.6ක පමණ ඍණ පොලියක් ලැබේ. මෙයින් සිදුවන්නේ තම අතේ ඇති මුදල බැංකුවේ තැන්පත් කරන්නන්ට එහි අගය තවත් අඩුකර ගැනීමකි.

මෙයට පෙර අවස්ථාවල බැංකු පොලිය නියම කිරීමේදී උද්ධමන අනුපාතිකයට වඩා සියයට 2-3 අතර ප්‍රමාණයක් වැඩියෙන් තැබීම සිදුවිය. එයට හේතුව උද්ධමනය නිසා ජනතාවගේ ජීවන තත්ත්වයට සිදුවන අහිතකර බලපෑම අවම කිරීමය.
එහෙත් මේ වන විට සිදුව ඇත්තේ එහි ප්‍රතිවිරැද්ධ ප්‍රතිඵලයකි. බැංකුවල මුදල් තැන්පත් කිරීමට යන අයට සිදුව ඇත්තේ තම අත ඇති මුදලේ අගය අඩුකර ගැනීමටය. මෙම තත්ත්වය මත ජනතාව බැංකුවලින් ඉවත් වී යාම නොවැළැක්විය හැකිය. මෙම තත්ත්වය බැංකු පද්ධතියේ බිඳවැටීමකට හේතු නොවනු ඇතැයි කාට නම් කිව හැකිද? බැංකුවලින් සිදුකෙරෙන්නේ මුදල් මැවීමක් යැයි ආර්ථික විද්‍යාවේ ඉගැන්වේ. බැංකුවල ඇති මුදල්වලින් වැඩි කොටස ජනතාවගේ මුදල්ය. බැංකු කරනුයේ එම මුදල් විවිධ පුද්ගලයන් සහ ව්‍යාපෘති සඳහා වැඩි පොලියට ණයට සපයා ආදායමක් ලැබීමය. ඇත්තවශයෙන්ම කිවහොත් බැංකු ආදායම ලබන්නේ අන් අයගේ මුදල්වලිනි. එම මුදල්වලට ගෙවන පොලියට වඩා වැඩි පොලියකට මුදල් ණයට දී ආදායම ලබයි. සියයට තුනක පමණ පරතරයක් ඇත්තේ ජනතාව බැංකු කෙරෙහි ආකර්ශනය කර ගැනීමටය.

එසේ වුවද බැංකුවල මුදල් තැන්පත් කිරීම තමන්ට අවාසි සහගත බව ජනතාවට අවබෝධ වූ විට ඔවුන් වෙනත් මූල්‍ය ධාරා කරා යොමුවීම වැළැක්විය නොහැකිය. මේ නිසා වාණිජ බැංකුවලට තම ආදායම් ඉලක්කවලට ළඟාවීමට අපහසු වෙයි. බැංකු නොවන මූල්‍ය ආයතන වැඩි පොලියක් ගෙවන නිසා පාරිභෝගිකයෝ ස්වකීය ගිණුම්වල මුදල් ආපසු ලබාගෙන වෙනත් ආයතනවල ආයෝජනය කිරීමට පෙළඹෙති. එසේ වුවද එම මූල්‍ය සමාගම්වලටද හිතු හිතූ ආකාරයේ පොලී අනුපාත ගෙවිය නොහැකි වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන දෙපාර්තමේන්තුව මගින් ඔවුන් නියාමනය කරන බැවිනි. එම හේතුව නිසා පාරිභෝගිකයන් වෙනත් අවිධිමත් මූල්‍ය ආයතන කරා යොමුවීමට හෝ තම මුදල් අන් දේවල් සඳහා ආයොජනය කිරීමට පෙළඹෙනවා ඇත. මෙම තත්ත්වය රටේ සමස්ත ආර්ථිකයට අහිතකර බව නිගමනය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා වාණිජ බැංකුවල අද පවතින තත්ත්වය පිළිබඳ මෙසේ කරුණු දැක්වීය.

බැංකුවල මුදල් තැන්පත් කරන්නේ ආදායමක් ලබාගන්නයි. බැංකුවල මුදල් තැන්පත් කරලා එයින් උපදින පොලී ආදායම මාසිකව ලබාගෙන ජීවත්වන අය අපේ රටේ සිටිනවා. සාමාන්‍ය මූල්‍ය සම්ප්‍රදාය වන්නේ රටේ උද්ධමන අනුපාතිකයට වඩා බැංකු පොලිය වැඩිවිය යුතුය යන්නයි. ඒත් අද උද්ධමන ප්‍රතිශතය 6.1ට වැඩිවන විට බැංකුවල දැමූ තැන්පතුවලට ලැබෙන්නේ සියයට 4.5ක පමණ පොලියක්. මෙහිදී තැන්පතුකරුවන් ලබන්නේ ඍණ (-) මූර්ත ආදායමක්. රුපියල් 100 ක් තැන්පත් කළ අයකුට ලැබෙන්නේ රැපියල් 104.50 පමණ මුදලකුයි. ඍණ උද්ධමනය සියයට 6ක් වූ විට එය ඍණ (-) සියයට 1 ½ක ආදායමක්. එවිට රුපියල් 100 මූර්ත අගය වන්නේ රුපියල් 98.50 ක්. ඇතැම්විට එයටත් අඩු වෙනවා.

මේ තත්ත්වය මත බැංකුවල මුදල් තැන්පත්කරන්නන් තමාගේ අතේ ඇති මුදලටත් තට්ටු කරගන්නවා. එහෙම නම් සිහිබුද්ධිය ඇති අය බැංකුවල මුදල් තැන්පත් කරන්න යාවිද? බැංකුවල ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ මුදල් ණයට දී පොලී අයකර ගැනීමයි. එලෙස ණයට දෙන මුදල් සම්පාදනය කරගන්නේ තැන්පත්කරැවන්ගේ තැන්පතුවලින්. එසේ නම් බැංකුවලට තැන්පතු නොලැබීම ඒවා පවත්වාගෙන යාමට විශාල බාධකයක් වන බවයි කිවයුතු වන්නේ.

අද පවතින තත්ත්වය නිසා ලැබෙන අයහපත් ප්‍රතිවිපාක රුසක්. එකක් තමා බැංකුවල මුදල් තැන්පත් කර යැපෙන අයගේ ආදායම අවම වීම නිසා ඔවුන්ගේ සුබසාධක මට්ටම් පහළ බැසීම. බැංකුවල පොලිය අඩුවන විට ඔවුන් වැඩි පොලිය ලැබීමට විකල්ප හොර ක්‍රමවලට නැඹුරැ වෙනවා. පිරමීඩ් ජාවාරම්, දඬුවම් මුදලාලි වැනි විවිධ වැඩි පොලී ලබාදෙන ජාවාරම්වලට සම්බන්ධ වෙනවා. එවැනි අනියම් ක්‍රමවලට තෝතැන්නක් ඇතිවෙනවා. ඒ නිසා පාරිභෝගිකයන් අමාරැවේ වැටෙනවා.
අනිත් හානිය තමා මුදල්වලට ලැබෙන්නේ අඩු ප්‍රතිලාභයක් නිසා ජනතාව තම ආදායම ඉතිරි කර නොගෙන පරිභෝජනය කිරීමට පෙළඹෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ උද්ධමනය තවත් ඉහළ යාමයි. එයින් සමස්ත රටේ හා ජනතාවගේ ආර්ථිකයට සිදුවන්නේ හානියක්.

එසේම බැංකුවල මුදල් තැන්පත් නොකර වැඩි පොලියක් දෙන මූල්‍ය සමාගම්වලට පාරිභෝගිකයන් යොමුවෙනවා. මේ තත්ත්වය නැති කිරීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය සමාගම්වල උපරිම පොලිය යම් ලෙසකට පාලනය කර තිබෙන බව පෙනෙනවා. වාණිජ බැංකුවලින් මූල්‍ය සමාගම්වලට මුදල් ගලා යාම අකර්මණ්‍ය කිරීමට කටයුතු කරනවා.

අද පවතින තත්ත්වයේ භයානකම ප්‍රතිඵලය වන්නේ මුදල් විධිමත් හා අවිධිමත් ක්‍රමවලින් රටෙන් පිටකිරීමේ ප්‍රවණතාව වැඩිවීමයි. රැපියල් ඩොලර්වලට මාරැකර විදේශ බැංකුවල තැන්පත් කිරීම නිසා අපේ විදේශ විනිමය හිඟවීමෙන් ඒ අර්බුදය තවත් උග්‍ර වෙනවා. ඩොලර් පිටරට යවන නිසා රටේ ඩොලර් හිඟ වෙනවා. ඩොලරයක් මිලට ගැනීමට අද සම්මතය අනුව ගෙවන මුදලට වඩා වැඩි මුදලක් පෞද්ගලික සමාගම්වලට ගෙවා ඩොලර් මිලදී ගෙන පිටරට යැවීම දැනට සිදුවෙමින් පවතින විශාල ආර්ථික අර්බුදයක්. අද රටේ ඩොලර් හිඟවීමට එක හේතුවක් එයයි.

ජනතාව මුදල්  ගෙවා රත්‍රං වැනි වත්කම් මිලට ගැනීමට පෙළඹෙනවා. ජාත්‍යන්තර වෙළෙඳපොළේ රත්‍රං මිල දවසින් දවස ඉහළ නගින නිසා රත්‍රං මිලට ගෙන තබාගැනීම හොඳ සාර්ථක ආදායම් මාර්ගයක් බවට ජනතාව පිළිගෙන තිබෙනවා. මෙහිදී සිදුවන්නේ බැංකුවලට හිමිවිය යුතු මුදල් වෙනත් ව්‍යාපාරවලට යාමයි. එවිට ජනතාවට ණය ගැනීමට බැංකුවල මුදල් හිඟ වෙනවා. එය බැංකු පද්ධතිය කඩාවැටීමටද හේතු වෙනවා. මේ තත්ත්වය නිසා අලුතින් මුදල් මුද්‍රණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 28දා රැපියල් බිලියන 209 පමණ වටිනා මුදල් මුද්‍රණය කළා. මෙය දිනකදී මුද්‍රණය කළ සුවිශාලම මුදල ලෙස ඉතිහාසගත වෙනවා. මෙලෙස මුද්‍රණය කරන මුදල් රජයට ණය ලෙස දෙනවා. එයින් රජය අවශ්‍ය වියදම් දරනවා. මෙලෙස සම්මතයෙන් පිට අවිචාරවත් ලෙස මුදල් මුද්‍රණය කළ විට මුදලේ අගය අඩු වී භාණ්ඩ මිල ඉහළ යාමෙන් උද්ධමනය තවත් වැඩි වෙනවා. දැනට උද්ධමනය සියයට 6.2 කියලා ප්‍රකාශ කළාට සත්‍ය උද්ධමනය එයට වැඩියි. දැනට ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් මුද්‍රණය කිරීමේ රෙගුලාසි ලිහිල් කර තියෙනවා. සමස්ත මූල්‍ය ක්‍රමයම මේ වන විට උඩු යටිකුරු වී තියෙනවා. නූල් පන්දුව අවුල්වෙලා. එක වරදක් නිසා තවත් වරදකට යනවා. මෙහි කෙළවරක් දැකිය නොහැකියි.
මහ බැංකුවේ අධිපති පසුගියදා දීර්ඝ නිවේදනයක් මගින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ජාතික මෙහෙවරක් ලෙස සලකලා රැපියල සම්ප්‍රේක්ෂණය කරන්න එපා කියලා. එහෙම බොධිසත්ත්වවරැ කොහේද ඉන්නේ? මහ බැංකු අධිපති කියන දේ අහලා රට ගැන සලකලා කටයුතු කරන අය අඩුයි. වැඩි ආදායමක් ලබන ක්‍රමවලට යන්න තමා ජනතාව නිරතුරැව පෙළඹෙන්නේ. එය ඒ අයගේ පැත්තෙන් සාධාරණයි.

රජයට ආදායම ලබාගන්න භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි පවත්වනවා. එහෙත් ඒවායින් අපේක්ෂිත මුදල නොලැබෙන විට ගන්නවා. මෙලෙස අඩු පොලියට ණය ගන්න නිසා තමා බැංකු පොලිය අඩු කරලා තියෙන්නේ. පසුගිය ජනවාරි 1දා සිට 20 දක්වා රැපියල් බිලියන 1200 ක් මෙලෙස ලබාගෙන තියෙනවා. මේ වන විට එම ප්‍රමාණය ට්‍රිලියන 1.2 බවට පත්ව තියෙනවා. දැන් අපට බිලියන අතහැරලා ට්‍රිලියනවලට යාමට සිදුව තිබෙනවා.

මෙම අවුල් සහගත මූල්‍ය තත්ත්වය නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ණය දීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ නිසා වැඩි පොලියට විවිධ විදේශීය මූල්‍ය ආයතනවලින් ණය ලබාගන්නට රජයට සිදුවෙලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ මෙම පැටළුණු නූල් බෝලය ලිහාගෙන එන්න කියලයි. ඒත් බලධාරීන් ගන්නා විසඳුම් නිසා මෙම අවුල තවත් උග්‍ර වෙනවා. දැනට මොනවා හෝ පැච් දමලා දිව්වත් දීර්ඝකාලීනව රටට විශාල හානියක් සිදුවන බව කිව යුතුයි. හැමදාම මෙය කරන්න බැහැ.

වාණිජ බැංකු මෙහිදී කරන්නේද විශාල ලෙස ජනතාව සූරාකෑමක්. බැංකු තැන්පතු පොලිය අඩුයි. ණයවලට අයකරන පොලිය වැඩියි. මේ නිසා වාණිජ බැංකු විශාල ලාභයක් ලබනවා. එහෙත් එම මුදල් බැංකුවලට තබාගන්න ඉඩ නැහැ. ඔවුන්ට සිදුව ඇත්තේ එම මුදල් අඩු පොලියකට ශ්‍රී ලංකා මහ බැංකුව හරහා ආණ්ඩුවට දීමටයි. එයින් බැංකු පද්ධතියට හෝ මහජනතාවට සිදුවන යහපතක් නැහැ. අද වාණිජ බැංකු පරිහානියට පත්වෙමින් ඇත්තේ මේ නිසයි. රජය පොලිය අඩු මට්ටමක පවත්වාගෙන යාමට බලපෑම් කරන්නේ ඔවුන්ට බැංකුවලින් අඩු පොලියට ණය ගැනීම සඳහායි.

අද පවතින මෙම වැරදි ක්‍රියාදාමය වහා නිවැරදි කිරීමට පටන්ගත යුතුයි. මෙයට කෙටිකාලීන විසඳුම් යොදා වැඩක් නැහැ. දීර්ඝකාලීන විසඳුම්වලට යා යුතුයි.

 යසවර්ධන රුද්රිගූ