2021 ජුලි 03 වන සෙනසුරාදා

සංචරණ සීමා නිසා කබලෙන් ලිපට වැටුණු බස්-කෝච්චි

 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 59

කොවිඩ් 19 වසංගතය වසර එකහමාරකට අධික කාලයක් මුළුල්ලේ ලොවටම දරුණු ව්‍යසනයක් බවට පත්ව තිබේ. කලින් කලට විවිධ ප්‍රභේද නිර්මාණය කරමින් තම ආධිපත්‍යය පතුරුවන කොරෝනාව ලෝක ආර්ථිකය බින්දුවට හෙළා ඇත. මේ වනවිට ලොවින් අඩක් පමණ ජනයා රැකියා විරහිතයන් හා දිළින්දන් බවට පත්ව අවසන්ය. බොහෝ සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර බිඳ වැටී, ජීවන වියදම අහස උසට ඉහළ නැග ජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත්කර තිබේ.

රටපුරා සංචරණ සීමා පැනවීම හේතුවෙන් අපේ රටේ දේශීය දළ ජාතික නිෂ්පාදනයෙන් දිනකට අහිමි වූ මුදල රුපියල් කෝටි 1500 කට අධික යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි. සිංහල අවුරුදු පොකුරත් සමඟ පැනනැඟුණු කොවිඩ් තුන්වැනි රැල්ල හේතුවෙන් පසුගිය මාස දෙක තුළ වරින්වර සංචරණ සීමා පැනවීමට රජයට සිදුවිය. පසුගිය මැයි මස 25 දින සිට ජූනි 21 අතර කාලය පුරා සම්පූර්ණයෙන්ම පාහේ සංචරණ සීමා පැනවුණු අතර ඒ අනුව දළ ජාතික නිෂ්පාදනයෙන් අහිමි වූ මුදල බිලියන 450ක් පමණ වේ.

සංචරණ සීමා පැනවීම මත මගී ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම අඩාල විය. එය සෘජුවම බලපෑවේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය සේවය සහ පෞද්ගලික බස් කර්මාන්තය කෙරෙහිය. කොරෝනා ආරම්භයට පෙර ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය දිනකට බස්රථ 5100ක් පමණ ධාවනය කළේය. කොරෝනාව සමඟ එම සංඛ්‍යාව 4500 දක්වා පහත වැටිණි. සම්පූර්ණයෙන්ම සංචරණ සීමා පැනවීමත් සමඟ බස් රථ ධාවනයද ඇනහිටියේය. 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය 2019 වසරේ ඉපැයූ ආදායම රුපියල් කෝටි දෙදහස් හත්සිය හැටකි. එහෙත් 2020 වසරේ කොරෝනා ව්‍යසනය හේතුවෙන් එහි ආදායම රුපියල් එක්කෝටි එක්දහස් හයසිය තිස්පහක් දක්වා පහත වැටිණි. 

ලංගමය දෛනිකව කිලෝමීටර් 12 ලක්ෂයක පමණ දුරක සේවා සපයන අතර මගීන් ලක්ෂ 19 ක් පමණ දිනකට ප‍්‍රවාහනය කරනු ලබයි. සංචරණ සීමා නිසා බස් රථ ධාවනය නොකිරීම හේතුවෙන් ලංගමයට දෛනිකව රුපියල් මිලියන 80 පමණ මුදලක් අහිමි වී තිබේ. 2020 මුල් මාස හතර තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් බිලියන 10.86ක් උපයා ගත්තද මේ වසරේ මුල් මාස හතරහමාර තුළ උපයාගෙන ඇත්තේ  රුපියල් බිලියන 8.74 ක් යැයි විගණනය නොකළ මූල්‍ය ප්‍රකාශන පෙන්වා දෙයි. 2021 මැයි මාසයේ සංචරණ සීමා පැනවූ දින 17ට එහි පාඩුව රුපියල් මිලියන 1360කි. ලංගමයේ සිටින සේවක සංඛ්‍යාව 29000ක් පමණ වේ. කෙතරම් අසීරුතා මධ්‍යයේ වුවද තම සේවකයන්ගේ වැටුප් ගෙවීමට කටයුතු කර ඇතැයි එහි සභාපතිවරයා කියා තිබේ.

ලංගමය මෙන්ම කබලෙන් ලිපට වැටුණු අනෙක් පිරිස වන්නේ පෞද්ගලික බස්රථ හිමිකරුවන්ය. ලංකාව පුරා ධාවනය කෙරෙන පෞද්ගලික බස්රථ සංඛ්‍යාව 15,000ක් පමණ වන අතර එහි සේවයේ නිරත සංඛ්‍යාව 50,000ක් පමණ වෙති. පෞද්ගලික බස් කර්මාන්තය මගින් මගී ජනතාවගෙන් 60%කට පමණ ප්‍රවාහන පහසුකම් සපයයි. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරන පරිදි සංචරණ සීමා හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනය නොවීම නිසා දෛනිකව රුපියල් කෝටි 15ක පමණ ආදායමක් එම කර්මාන්තයට අහිමි වී තිබේ. මෙම සේවකයන් අතුරින් වැඩි පිරිසක් දෛනික වැටුප් ලබන්නන්ය. ඔවුන්ගේ ජීවනෝපාය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති අතර ඒ සම්බන්ධයෙන් රජය නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි ඔහු කියා සිටී. අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත පිරිස පෞද්ගලික වාහන මගින් ප්‍රවාහනය නොකර බස් රථ වලින් ගමන් කිරීමට අවස්ථාව ලබාදීමට රජය පියවර ගත්තා නම් මහා මාර්ගයට මෙපමණ වාහන සංඛ්‍යාවක් නොපැමිණෙන බවත් බස්රථ කර්මාන්තයට යම් සහනයක් සැලසෙන බවත් ඔහුගේ අදහස වී තිබේ.  

මේ අතර පසුගියදා ඉහළ දැමුණු තෙල් මිල ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි තත්ත්වයකට පෞද්ගලික බස් කර්මාන්තකරුවන් පත් කර ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කරයි. ඔහු පවසන පරිදි ඩීසල් මිල වැඩිවීම නිසා බස්ගාස්තු 15෴කින්වත් වැඩි කළ යුතුය. එමෙන්ම නිරෝධායන නීතිය යටතේ ආසන සංඛ්‍යාවට මගීන් ගෙන යන්නේ නම් අනිවාර්යයෙන්ම 25%ක බස්ගාස්තු ඉහළ දැමීමක් සිදු කළ යුතුයැයි ඔහු කියා සිටී. එහෙත් පසුගිය කාලයේ ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ගෙන යාමට නිර්දේශ කිරීමත් සමඟ බස් ගාස්තුව ඉහළ දැමීමට රජය කටයුතු කළේය. තෙල් මිල වැඩි කිරීම මත යළි බස් ගාස්තු ඉහළ දැමුවහොත් දැඩි ආර්ථික අසීරුතා මධ්‍යයේ ජීවත් වන ජනතාවට හිස එසවිය නොහැකි තත්ත්වයක් නිර්මාණය කරනු ඇත. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම අනෙකුත් සියලු ද්‍රව්‍යයන්හි මිල අහස උසට නැග තිබේ. 

සංචරණ සීමා නිසා ශ‍්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවටද දෛනිකව රුපියල් කෝටි 2ක පමණ ආදායමක් අහිමි වන බව පැවසේ. මගී ප්‍රවාහනයෙන් පමණක් දුම්රිය දෙපාර්තමේන්තුව දිනකට උපයන ආදායම රුපියල් කෝටි දෙකකි. සාමාන්‍ය දිනවලදී දුම්රිය සේවා 365ක් පමණ ක්‍රියාත්මක වේ. පසුගිය මැයි 21 වැනිදා මුළු දිවයිනටම සංචරණ සිමා පැනවීමට පෙර පළාත් අතර සංචරණ සිමා පැනවීම හේතුවෙන් එම දුම්රිය තුන්සිය හැටපහෙන් ධාවනය කෙරුණේ දුම්රිය අනූ හතක් පමණි. දිවයිනටම සංචරණ සීමා පැනවීමෙන් පසු භාණ්ඩ හා ඉන්ධන ප්‍රවාහන දුම්රිය හැර කිසිදු දුම්රියක් ධාවනය වූයේ නැත. මගී ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය, ඉන්ධන ප්‍රවාහනය මගින් දුම්රිය දෙපාර්තමේන්තුව වාර්ෂිකව රුපියල් කෝටි එක්දහස් හයසියයක් පමණ ආදායමක් උපයා ගනී.

ඉන්ධන මිල ඉහළ යෑම නිසා බස් ගාස්තු හා දුම්රිය ගාස්තු ඉහළ දැමිය යුතුදැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ ඉන්ධන මිල ඉහළ අගයකින් වැඩිවී ඇති බැවින් යම් ගැටලුවක් නිර්මාණය වී ඇති බවයි. එහෙයින් පෞද්ගලික බස්රථ සම්බන්ධයෙන් සලකා බැලීමක් කළ යුතු යැයි ඔහු කියා සිටියේය. කෙසේ නමුදු සංචරණ සීමා ඉවත් කළ විට පළාත් ඇතුළත ධාවනය කරන බස්රථ ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා යුතු බවත්, එසේ නොකරන රියදුරන් හා කොන්දොස්තරවරුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03