පාසල් ළමුන් ප්‍රවාහනයේ යෙදෙන රථවාහන යාපනයේ හැර දිවයින පුරා හතළිස් අටදහසක් ක්‍රියාත්මක වූ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පෙන්වා දෙයි. කොවිඩ් වසංගතයත් සමඟ ඒ සියල්ලටම සිදුව ඇත්තේ විශාල ගැටලුවකි.
සමස්ත පාසල් බස්රථ සේවයේ යෙදෙන සියල්ලන්ගේම රැකියාව වගේම ආදායම මේ වනවිට අහිමිවෙලයි තියෙන්නේ. අද අපි හරි අසරණයි. රජය මඟින් අඩු ආදායම්ලාභීන් සඳහා ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාවත් තවමත් මේ මිනිස්සුන්ට ලැබුණේ නැහැ. රුපියල් පන්දහසේ දීමනාව ලබාදුන් මුල් වතාවේ එම මුදල ලැබුණත් පසුව ඒ හැම කෙනෙකුගේම වගේ ඒ ලැබිය යුතු මුදල ලැබුණේ නැහැ. මේ පාරත් අපි ඇමැතිතුමන්ගෙන් ඒ සම්බන්ධව ඉල්ලීමක් කළා. යැයි සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලේකම් කේ. ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
මීට අමතරව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ රිය ශක්ති* සහන ණය තුන්දහසක පිරිසක් ගෙන තිබුණි. පවතින තත්ත්වය හමුවේ ඔවුන්ද පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටය. කිසිදු ආදායමක් නොලැබ, තම ණය වාරිකය ගෙවීමට ඔවුන්ට කළ නොහැකිය. මේ නිසාම ඇතැම් රථවාහන හිමිකරුවන් තමන්ගේ රථවාහන විකුණා දැමීමට පවා පෙළඹී ඇත.
එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා යටතේ රිය ශක්ති සහන ණය ලබාගත් තුන්දහසක් වැනි පිරිසක් මේ මොහොතේ දැඩි අපහසුතාවයකට ලක්වෙලයි ඉන්නේ. ඒ අයට රිය ශක්ති* සහන ණය තුන්වෙනි කොවිඩ් රුල්ලේදී ලබාදුන්නේ නැහැ. ඒ ණය සහන අපිට ලබාදෙන්න යැයි අගමැතිතුමා කියා සිටියත් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඒ ණය සහනය තවමත් අපිට ලබාදුන්නේ නැහැ. මේ අතරේ ෆිනෑන්ස් පහසුකම් වෙනුවෙන් අපි ඉල්ලා සිටි සහනය අපිට ලැබුණත් මෙම රිය ශක්ති* ණය සහනය තවමත් අපිට ලැබුණේ නැහැ. යැයි කේ. ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය
සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති ඇතුළු සංගමයේ සාමාජිකයන් මේ සම්බන්ධව ලිඛිතව ලිපි මඟින් මෙන්ම වාචිකවද ඉල්ලීම් කර තිබුණද තවමත් ඔවුන්ට සහනදායී පිළිතුරක් ලැබී නැත. රිය ශක්ති ණය පහසුකම ලබාදී ඇත්තේ වසර පහක ගෙවීමේ පදනමකට අනුවය
මේ සම්බන්ධව අපි මුදල් අමාත්‍යංශයට පවා කතාකරල විස්තර ඇහුවා. එක් උසස් නිලධාරියකු සඳහන් කළේ මේ කොන්දේසි පදනම මත රජයෙන් 7%ක් වසර පහක ගිවිසුමකට ලබාදෙන බවයි. වාරික පහුකළායින් පසුව ගෙවීම් කාලයත් දීර්ඝ වෙනවා. එවිට රජයෙන් ලබාදෙන 7% මුදල බැංකු වෙත ලැබෙන්නේ නැහැ. මේ නිසා බැංකු මඟින් මෙම සහනය ලබාදෙන්න අදිමදි කරනවා* යැයි සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලේකම් කේ. ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
දිගුවන ඉතිරි මුදලද ගෙවීමට කැමැති වුණු පාසල් ළමුන් ප්‍රවාහන සංගමය මෙම සහනය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. මේ අනුව අදාළ බැංකු මඟින් තුන්වන කොවිඩ් සහනය වෙනුවෙන් ඉල්ලීම් කරන ලෙස අදාළ බස් රථ හිමියන්ව දැනුම්වත් කර තිබුණි. මේ අනුව මාස තුනක ණය සහනයක් මේ වනවිට එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ණය යටතේ ලබාදුන් සියලු ණයවලට හිමිවුණි.
මාර්තු 21 වෙනිදායින් ලබාදුන් දෙවැනි සහනය ඉවර වුණා. ඒ අනුව තුන්වැනි සහනය ලබාදිය යුතු වන්නේ අප්‍රේල් සිටයි. නමුත් මේ තුන්වැනි සහනය ලබාදෙන්නේ ජූනි, ජූලි සහ අගෝස්තු මාසවලටයි. ඒ අනුව අප්‍රේල්, මැයි මාස දෙක ඇරියස් වෙනවා. ඒ අනුව ඒ මාස දෙක නොගෙවීමෙන් අපි හැමෝවම අසාදු ලේඛනයට ඇතුළත් වෙනවා. ඒ නිසා අපි හැමෝම ඉල්ලා සිටින්නේ මෙම සහනය අපිට අප්‍රේල්, මැයි, ජූනි සඳහා ලබාදෙන්න. නැවතත් අපි ඉතිරි මාස සඳහා සහනයක් ඉල්ලා සිටින්නම්.* යැයි කේ. ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.
ඔවුන් මේ ණය සහනය ඉල්ලා සිටියේ එක්වරම අවුරුද්දකටය. නමුත් ඔවුන්ට ලැබී ඇත්තේ මාස තුනක සහන කාලයක් පමණි. එම මාස තුනෙන් පසුව ඔවුන් නැවතත් එම සහනය ඉල්ලා සිටී. කෙසේ වුවද මේ වනවිට ඔවුන්ගේ ඉල්ලීම වන්නේ මාස දෙකක හිඟ කාලයක් ඉතිරි නොකොට මෙම සහන කාලය අප්‍රේල්, මැයි, ජූනි දක්වා වෙන්කරන ලෙසයි.
මේ කොවිඩ් කාලයේදී අපේ වාහනවල යන සමහර දරුවන්ගේ දෙමව්පියෝ අපිට උදව් කළා. සමහර දෙමව්පියෝ ආහාරපාන මලු පවා අපේ රථවාහන හිමියන්ට, රියැදුරන්ට දීලා තිබුණා. සමහර දෙමව්පියෝ ඒ අයට පුළු පුළුවන් හැටියට යම් මුදලක් මාස්පතා ලබලා දුන්නා. ඒ මුදලින් තමයි පාසල් ළමුන් ප්‍රවාහන කරන රථවාහනවල හිමිකරුවන් ඔවුන්ගේ රියැදුරන්ට මාසික වැටුප පවා ලබාදෙන්නේ. ඒ උදව් කළ හැමටම ගොඩාක් ස්තූති කරන්නම ඕනේ.
සමස්ත පාසල් ළමුන් ප්‍රවාහන සේවයම කබලෙන් ලිපට වැටුණා වගෙයි. පාසල් ළමුන් ප්‍රවාහන සේවයට අලුතින් ගෙන්වූ බස්රථවලට සුපිරි ඩීසල්* තමයි ගහන්න ඕනේ. සුපිරි ඩීසල්* උපරිම මුදලට ඉහළ ගියා. සුපිරි ඩීසල් වලින් ධාවනය වන මේ බස් රථවල යන දරුවන්ගේ දෙමව්පියන්ගෙන් අපි කීයක් නම් වැඩිකරන්න ඕනේද? මේක සමස්ත පාසල් ළමුන් ප්‍රවාහන සේවයටම ලොකු හානියක්. කිසිම රජයකට කිසිම ජාතික ප්‍රතිපත්තියක් නැහැ. මේකෙන් අපි වගේම දෙමව්පියොත් අමාරුවේ වැටෙනවා. පාසල් පටන් ගත්තයින් පසුව අපි මේ ගැන සාකච්ඡා කරලා දෙමව්පියන්ටත් අසාධාරණයක් නොවෙන්න යම් ගාණක් අපිටත් වැඩි කරන්න වෙනවා. මේ අතරේ රජයෙන් පාසල් දරුවන්ට වගේම ගුරුවරුන්ටත් එන්නත්කරණය ලබාදෙන්න සූදානම් වෙනවා. ඒ නිසා ළමුන්ව පාසලට ගෙන යන පාසල් ළමුන් ප්‍රවාහන සේවයේ නිරත අයටත් මේ එන්නත්කරණය ලබාදෙන ලෙසද අපි ඉල්ලා සිටිනවා. යැයි සමස්ත ලංකා පාසැල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලේකම් කේ. ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.
දිශානි ජයමාලි කරුණාරත්න