2021 ජුලි 03 වන සෙනසුරාදා

සිලි සිලි මල්ලත් තහනම්?

 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 55

සිලි සිලි මලු (ෂොපින් බෑග්) වලින් සිදුවන පරිසර හානිය නැතිකර ගැනීම සඳහා ඒවා තහනම් කිරීමට කඩිනම් අනුමැතිය ලබා ගැනීම සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පරිසර ඇමැති මහින්ද අමරවීර අපේක්ෂා කරයි.
මෙලෙස පොලිතින් හා ප්ලාස්ටික් තහනම් කිරීම වසර ගණනාවක් තිස්සේ විවිධ රජයන් උත්සාහ ගත්තද මේ වනතුරු තවමත් ඒවා තහනම් කිරීම සඳහා නිශ්චිත තීරණයක් ගෙන නොමැත. කෙසේවුවද මෙම නිෂ්පාදකයන් තහනම් කිරීමෙන් බොහෝ පිරිසකගේ රුකියාවල් අහිමි වන බවත් පත්වූ කිසිදු රජයක් මේවායින් පරිසරයට සිදුවන හානිය අවම කිරීම සඳහා නිසි වැඩපිළිවෙළක් අනුගමනය නොකර මෙවැනි තහනම් තීරණය ගතහොත් එය දේශීය ව්‍යාපාරිකයන් සහ විශාල පිරිසක් කබලෙන් ලිපට ඇද දැමීමක් බවත් සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ සහ ප්‍රතිචක්‍රීකරණය කරන්නන්ගේ සංගමය චෝදනා කරයි.

මෙම පොලිතින් ප්‍රශ්නය 2016 වසරේ සිට පැවැත එන ප්‍රශ්නයක්. එවකට ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිට මේ ගැටලුව ඇතිවෙලා තියෙනවා. ඒ කාලයේදී අලුත් ආදේශකයන් හඳුන්වා දුන්නා. නමුත් එයද සාර්ථක වුණේ නැහැ. ඝනත්වය වැඩි පොලිතින් කවර වෙනුවට ඝනත්වයෙන් අඩු පොලිතින් කවර හඳුන්වා දුන්නා. එයින් අවසානයේදී පොලිතින් කවර වැඩිවීමක් විතරයි වුණේ. මේ අතරේ ලන්ච් ෂීට් එකත් ලොකු ගැටලුවක් වුණා. පොලිතින් ලන්ච් ෂීට් එක තහනම් කරල අලුත් ලන්ච් ෂීට් එකක් හඳුන්වා දුන්නා. නමුත් අදටත් ඒකත් සාර්ථක වෙලා නැහැ. ඒ කිසිදු ව්‍යාපෘතියක් සාර්ථක වුණේ නැහැ. ඒ කාලේදී එවැනි අසාර්ථක ව්‍යාපෘති හඳුන්වා දුන් නිලධාරීන්ම මෙවරත් මේ රජයට මේ තහනම් කිරීම් පිළිබඳව උපදෙස් ලබාදෙනවා. මොවුන් මුළුමනින්ම සිලි සිලි බෑග් සහ ලන්ච් ෂීට් තහනම් කරන්න උත්සාහ කරනවා. නමුත් ඔවුන් ඒ වෙනුවෙන් විකල්පයක් ඉදිරිපත් කරලා නැහැ.

සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ සහ ප්‍රතිචක්‍රීයකරණය කරන්නන්ගේ සංගමයේ කමිටු සාමාජික බුද්ධික දර්ශන මහතා දේශයට අදහස් දක්වමින් එසේ පැවසීය.

මේ අනුව ඔවුන් පවසන්නේ මෙරට නිසි කසළ කළමනාකරණයක් නොමැති බවය. පොලිතින්වලින් පරිසරයට වන හානිය අඩුකර ගැනීම සඳහා නිසි කසළ කළමනාකරණයකින් සිදුකළ හැකි වුවද ඒ සඳහා නිවැරදි දැක්මක් රජය තුළ නොමැති බව ඔවුහු චෝදනා කරති. මෙලෙස නිසි කසල කළමනාකරණයක් පවතී නම් පොලිතින්වලට පමණක් නොව කසළවලටද සම්පූර්ණ විසඳුමක් ලබාගත හැකිය.

අපේ පොලිතින් අමුද්‍රව්‍ය කන්ටේනරයක් වරායට ආ විට අපි ඇස් දෙකට දකින්නටත් පෙර වරායෙන් එක් කිලෝවකට රුපියල් දහසක් අපෙන් අයකර ගන්නවා. එක කන්ටේනරයකින් කිලෝ විසිහතර දහස් හත්සිය පනහක් තියෙනවා. ඒ අනුව අපේ එක කන්ටේනරයකට දෙලක්ෂ විසිහතර දහස් හත්සිය පනහක මුදලක් ගෙවීම් කරනවා. ඒ මුදල අපි ගෙවන්නේ පොදුවේ ගෙවන බදු මුදලට අමතරවයි. ඊට අමතරව සාමාන්‍ය බදු මුදලද අපිට ගෙවන්න සිදුවනවා. මේ අනුව 2018 වසරේදී රජය විසින් අපෙන් මෙලෙස අයකරපු මුදල පමණක් කෝටි එකසිය පනස් එකක් වෙනවා.

යැයිද බුද්ධික දර්ශන වැඩිදුරටත් දේශයට අදහස් දක්වමින් පැවසීය.

පොලිතින් වලින් පරිසරයට හානියක් සිදුවේ. එහි සත්‍යතාවයක් ඇත. පොලිතින් අමුද්‍රව්‍ය රැගත් කන්ටේනර්වලින් අයකරගනු ලබන මෙම අමතර බදු මුදලින් මෙම පරිසරය රුකගැනීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් සිදු නොවන බව මොවුහු චෝදනා කරති.

රටේ තියෙන ප්‍රධාන ජනාකීර්ණ නගරයක් වන ගාලු පාරේ යන කෙනෙකුට ටොෆි කොළයක් දමන්නට කසළ බඳුනක් නැහැ. පරිසරය රුකගන්නට මහ ඉහළින් කතා කරන අය අපෙන් අය කරගන්නා මේ මුදලින් කසළ බඳුන් තබන වැඩපිළිවෙළක් කරන්නේ නැහැ. ඒ වෙනුවෙන් අපි වෙනම බදු මුදලක් මෙරටට ගෙවලයි තියෙන්නේ. නමුත් ඒ සැබෑ විසඳුම් යට ගහලා මිනිසුන්ගේ රුකියාවල් නැති කරන්න තමයි මේ හැමෝම උත්සාහ කරන්නේ. මගේ පොලිතින් සම්බන්ධ ආයතන දෙකක් තියෙනවා. ඒකේ දෙසීයක් පමණ සේවකයන් සේවය කරනවා. ඒ හැමෝගේම රුකියාවල් අද පවතින්නේ ලොකු අවදානමක. 2016දී මේ ප්‍රශ්නය මුලින්ම ඇතිවුණා. එතැන් සිට මේ වනතුරු පොලිතින් නිෂ්පාදන කර්මාන්තශාලා දෙසීයකට පමණ අලුතින් ආරම්භ කිරීමට ලයිසන් ලබාදීලා තියෙනවා. ගෙවල් දොරවල් උගස් තියලා, බැංකු ණය ගෙන මෙවැනි කර්මාන්තශාලා ඉදිකරන්නට අවසර ලබාගන්නට යද්දී අපයි මේ අවදානම ගැන මොවුන්ව දැනුවත් කරලා නැත්තේ... ඇත්තටම මේක හරි අසාධාරණයක්. මොවුන් මේ මිනිසුන්ගේ ජීවිතත් එක්කයි මේ සෙල්ලම් කරන්නේ.

යැයි සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ සහ ප්‍රතිචක්‍රීකරණය කරන්නන්ගේ සංගමයේ කමිටු සාමාජික බුද්ධික දර්ශන වැඩිදුරටත් දේශයට අදහස් දක්වමින් පැවසීය.

පොලිතින් නිසි ලෙස බැහැර කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය නිසි ලෙස සිදු නොවීම හේතුවෙන් පොලිතින් නිෂ්පාදකයින්ට සිදුව ඇත්තේ විශාල ගැටලුවකි. පොලිතින් නිෂ්පාදන කිරීමේ කර්මාන්තය මේ වනවිට 100%ක්ම දේශීය කර්මාන්තයකි. මේ අනුව මෙහි සිටින ආයෝජකයන් සහ ව්‍යවසායකයන් සියල්ලන්ම දේශීය පුද්ගලයෝ වෙති. මේ අනුව දළ වශයෙන් මෙම කර්මාන්තයේ නිෂ්පාදකයන් නමසීයකට වැඩි පිරිසක් සිටින අතර මෙමගින් හතළිස් දහසකට වැඩි පිරිසකට ඍජු රුකියා හිමිවී ඇති අතර වක්‍රව මෙම කර්මාන්තය වටා තවත් ලක්ෂ තුනකට වැඩි වශයෙන් ජීවත් වෙති. මේ අනුව කොවිඩ් වසංගතයෙන් සියල්ලන්ගේම ආර්ථිකය පහළ අගයට වැටෙද්දී. ඇතැමුන්ගේ රුකියා අහිමි වෙද්දී මෙවැනි කර්මාන්තයක් තහනම් කිරීම බොහෝ පිරිසකගේ රුකියාවල් අහිමි වීමකි.

කසළ කළමනාකරණය සම්බන්ධව හොඳ වැඩපිළිවෙළක් රජය සහ පරිසර අධිකාරියට තියෙන්න ඕනේ. 2016 වසරේදී තමයි මුලින්ම මේ තහනම් කරන්න සූදානම් වුණේ. එතැන් සිට මේ දක්වා ඒ වෙනුවෙන් ලබාදුන් විසඳුම් කිසිවක් සාර්ථක වුණේ නැහැ. ඔවුන් මුලින්ම පොලිතින් මාරයා ලෙස සංකල්පයක් ඇතිකළා. බෑග් එකක් අතේ තියාගත්තු මිනිසුන්ම මේ පොලිතින් හොඳ නැහැ කියල කිව්වා. මුලින්ම ලන්ච් ෂීට් තහනම් කළා. ඒ වෙනුවෙන් වෙනස් කොම්පෝස්ට් ලන්ච් ෂීට් එකක් ආදේශයක් කළා. රජය විසින් හඳුන්වා දුන් ලන්ච් ෂීට් එක සෑදීමට අපේ යන්ත්‍ර සූත්‍රවල යම් යම් වෙනස් කිරීම් කරන්න තිබුණා. ඒ වෙනුවෙන් 2016 වසරේ කර්මාන්ත අමාත්‍යංශය සමඟ කළ සාකච්ඡාවේදී ඔවුන් එම වෙනස් කිරීම්වලදී 50%ක් ලබාදෙන්න පොරොන්දු වුණා. ඒ අනුව කර්මාන්තශාලා හිමිකරුවන් තමන්ට හැකි පමණ ඔවුන්ගේ යන්ත්‍ර සූත්‍ර වෙනස්කර ගත්තා. නමුත් ඔවුන් පොරොන්දු වූ 50% වෙනුවට අපට ලබාදුන්නේ එක කර්මාන්ත ශාලාවකට ලක්ෂ දෙකක් පමණයි. මගේ කර්මාන්ත ශාලාවේ පමණක් යන්ත්‍ර සූත්‍ර වෙනස් කිරීමට මට ලක්ෂ තිස් ගණනක් වැයවුණා. එතනදීත් කර්මාන්තශාලා හිමිකරුවන්ව ඔවුන් අමාරුවේ දැම්මා....*

යැයි සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයින්ගේ සහ ප්‍රතිචක්‍රීකරණය කරන්නන්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

බොහෝ විට සිදුවන්නේ නිසි නීති රාමුවක් නොමැතිව නීති රීති ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමයි. මේ වනවිට ලංකාවේ සිලි සිලි බෑග් භාවිතයේ යම් වැඩිවීමක් ඇත. එයට හේතුව ලෙස මොවුන් පවසන්නේ පෙර තිබූ ඝනත්වයෙන් වැඩි පොලිතීනයට වඩා ඝනත්වයෙන් අඩු පොලිතීනය ඉක්මණින් කැඩී යාමක් සිදුවන බවය. මේ නිසා බොහෝ සුපිරි වෙළෙඳසල් ඇතුළු වෙළෙඳසල් භාණ්ඩ මිලදී ගැනීමේදී එකවර පොලිතින් මලු දෙකකට දමා දීමට පෙළඹේ. මේ නිසා පොලිතින් මලුවල භාවිතයේදී යම් වැඩිවීමක් දක්නට ඇත.

මේ තහනම සිදු කිරීමෙන් රටේ තිබෙන දේශීය කර්මාන්තයක් නැති කිරීම අපරාධයක් අසාධාරණයක්. ඒ නිසා මේ සඳහා නිසි ක්‍රමවේදයක් සහ වැඩපිළිවෙළක් හදන ලෙස රජයෙන් ඉල්ලා සිටියා. පරිසරය හානිය අපරාධයක්. නමුත් ඒ නිසා අපේ රුකියාවල් අහිමි කිරීම අසාධාරණයක්. ඒ සඳහා අපි පරිසර අධිකාරියට යෝජනා කිහිපයක් දන්වා සිටියා. එහිදී මෙතෙක් අපි ලබාදෙන රුපියල් දහයක අමතර බද්ද රුපියල් විසිපහ දක්වා වැඩිකොට ඒ තුළින් ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තයේ උන්නතිය සඳහා කටයුතු කිරීමත් එමඟින් කසළ කළමනාකරණයට අවධානය යොමු කිරීමත්, ඇසුරුම් නොමිලේ ලබාදීම වෙනුවට මිලක් නියම කොට පාරිභෝගිකයාට ලබාදීම වැනි යෝජනා ඉදිරිපත් කළා. කොවිඩ් වසංගතයෙන් බැටකන මේ අහිංසක මිනිසුන්ගේ රුකියාවල් අහිමි කරන්න එපා* යැයි සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයින්ගේ සහ ප්‍රතිචක්‍රීයකරණය කරන්නන්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග මහතා අවසන් වශයෙන් දේශයට පැවසීය.

 දිශානි ජයමාලි කරුණාරත්න